මෙයට වසර ගණනාවකට පෙර මා දන්නා එක්තරා දුප්පත් පවුලක් ළඟ පාත ගමක ජීවත් විය. වැන්ඳඹු මාතාවක් දූ දරු හය හත් දෙනෙකු සමඟ ඉතා අසීරුවෙන් ජීවත් වූ එම පවුලට කිසිඳු ආදායමක් නොවීය. ආත්ම ධෛර්යයෙන් යුතුව ජීවිතයට මුහුණ දුන් මෙම කාන්තාව තම දරුවන් උස් මහත් කර ගැනීමේ කාර්යයේ යෙදුනාය. කිසිදු ආදායමක් නැතිව ජීවත් වන්නේ කෙසේ දැයි අසල්වාසීහු කසු කුසු ගෑහ. ඒවා කනින් කොනින් ඇයටද දැන ගන්නට ලැබුණි. අසල් වැසියන්ගේ මතය වූවේ ඇය අසම්මත රහසිගත රැකියාවක යෙදෙන බවකි. මට එහෙම විසයක් නැහැ. මගේ කැක්කුම තියෙන්නේ මේ නොදරුවන්ගේ බඩට එක වේලක්වත් ආහාරයක්වත් සොයා දෙන එකයි ඇය කීවාය. 


වාරයට කොස් පොලොස් වැල වරකා ඔවුන්ට කුස පුරවා ගැනීමට මහෝපකාරී වූවේය. දෙල් කැලෑ කොළ ගමේ පලතුරු වර්ග වත්තේ පිටියේ සහ කුඹුරු යායේ ඉබේ වැවෙන ගොටුකොළ මුගුණුවැන්න ගිරා පළා ආදිය මහත් සේ ඔවුනට ව්‍යාංජන ලෙස ප්‍රයෝජනවත් විය. පසු කාලීනව මේ දරු පිරිස විවාහ ආදිය සිදු කරගෙන විසිර ගියහ. ඒ මාතාව මේ වන විට සුගතියක ඉපිද ඇතැයි මම සිතමි. දරුවන්ගේ තොරතුරු නොදනිමි. 
මේ කලකට පෙර කතාවකි. අද වන විටත් වර්තමාන සමාජයේත් මෙවැන්නෝ ජීවත් වෙති. රජයෙන් යම් කිසි සහනාධාරයක් ලැබුණා වුවත් එය ගෑවෙන්නටවත් මදිය. මෙවැනි අසරණයන් ගැන හඬක් නැගෙන්නේම නැත. උද්ඝෝෂණ කරන්නට ඔවුනට සංවිධාන ශක්තියක් නැත. අත දෙන්නට නායකත්වය දෙන්නට කෙනෙක් ද නැත. අපේ රටේ සාතිශය බහුතරය ඉහත කී පරිදි අන්තිම අඩියේ නොවනත් තම කටයුතු ඉටුකර ගැනීමට ආර්ථික ශක්තිය නොමැති අසරණයෝය. රජයේ සංඛ්‍යා ලේඛන මෙම තත්ත්වයේ සත්‍යතාව ගැන සාක්ෂි දරයි. 


මෙවැනි දීර්ඝ සටහනක් තැබීමට මා පෙලඹ වූ හේතුව වන්නේ රට පුරා කැකෑරෙන මාතෘකාවක් බවට පත්ව ඇති මන්ත්‍රී වැටුප් වැඩි කර ගැනීමේ යෝජනාව ගැන කතා කිරීමට ප්‍රවේශය වශයෙනි. අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගණන දෙසීය විසි පහකි. එය ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය. ආණ්ඩුවේ කටයුතු නිරන්තරයෙන්ම විවේචනය කරන විරුද්ධ පක්ෂය මෙම යෝජනාවට විරුද්ධ වේ යැයි සිතිය නොහැක. මන්දයත් මීට පෙර මන්ත්‍රී වැටුප් වැඩි කළ සෑම විටෙකම උපේක්ෂා සහගත සෝමනස්ස සිතින් යුතුව එය පිළිගත් බැවිනි. කුමන පදනමකින් හෝ මේසා විශාල වැටුප් වැඩි කිරීමක් තමා බාර නොගන්නා බව කීමට ධෛර්යයක් තිබුණේ එකම මන්ත්‍රීවරයෙකුට පමණි. ඔහු නම් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රිික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාය. ඔහුගේ සමහර කටයුතු ගැන අපට එකඟ විය නොහැකි වුවත් මේ මොහොතේ ඔහු දැක් වූ සෘජු ප්‍රතිපත්තිය අගය කිරීම කා විසිනුත් සිදු කළ යුතුය. 


මගේ මතයක 1980 වසරට යොමු වෙයි. 1977 බලයට පත් රජය සහල් සහනාධාරය කපාහැර විවෘත වෙළඳපොලේ සහල් සුලභ කිරීම ඇතුළු තවත් බොහෝ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. මෙම කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් ජීවන වියදම ඉහළ ගියේය. එය බොහෝ සෙයින්ම දැනුණේ නාගරික කම්කරු පන්තියටය. වාචිකව කරන ලද ඉල්ලීම්වලින් ප්‍රතිඵලයක් නොවුණු නිසා 1980 ජුලි මාසයේ දී මහා වැඩ වර්ජනයක් කිරීමට ඔව්හු තීරණය කළහ. එහි ප්‍රධාන ඉල්ලීම වූවේ වැඩිවන ජීවන වියදම සලකා මසකට රුපියල් තුන්සියයක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසය. දළ වශයෙන් සැලකූ විට මාසයකට රුපියල් තුන්සියයක් යනු දිනයකට රුපියල් දහයකි. එම රුපියල් දහය ලබාදීම එකී රජය තරයේ ප්‍රතික්ෂේප කළේය. වර්ජනය කළ අසූ දහසක් සේවකයෝ රැකියාවලින් නෙරපන ලදුව බඩගින්නේ ගෙදර ගියහ. මෙම හේතුව නිසාම සමහර සේවකයෝ දිවි නසා ගත්හ. මා දන්නා එක් විදුහල්පතිවරයෙක් තම අඹු දරුවන් පෝෂණය කිරීම සඳහා තුට්ටු දෙකක් සොයා ගැනීමට බයිසිකලයකින් කරවල වෙළඳාම් කළේය. අසූ දහසක් දෙනා සේවකයන් නෙරපා දැමූ විට ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා උද්දාමයෙන් යුතුව පැවසුවේ මේ “අලියා නැට්ට හෙල්ලුවා පමණයි. හැපෙන්නට ආවොත් වැඩ වරදීවි.” බලවතුන්ගේ තර්ජන ගර්ජන වහසි බස් හා රාජ්‍ය බලය හමුවේ අසරණයෝ නිහඬ වූහ. 
එම ආණ්ඩුව තුළ ආධුනික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස කටයුතු කළ දෙදෙනෙක් අද බලවත් කැබිනට් ඇමතිධුර දරති. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා යන දෙදෙනාය. එමෙන්ම එම ආණ්ඩුවේ සාමාජිකයන් වූ අයගේ දූ දරුවෝ රැසක් අද ද තනතුරු දරති. මේ හැම දෙනාටම එදා කම්කරුවන්ට දිනකට රුපියල් දහයක් වැඩි කිරීමට තිබුණු අපහසුව ගැන වැටහීමක් ඇතුවා නිසැකය. අගමැති සහ ඇමති ජයවික්‍රම පෙරේරාට අත්දැකීමෙන් ඇති එම අවබෝධය එදා බලවතුන්ගේ දරුවන්ට දැනුමක් නොකිරීමට හේතුවක් ඇතැයි උප කල්පනය කිරීමට හේතුවක් නැත. මෙවැනි පසුබිමක් තිබියදී තම වැටුප් අසාමාන්‍ය ලෙස වැඩිකර ගැනීම කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක. එම වැටුප් වැඩිවීම් 215% ක් බව මාධ්‍ය වාර්තා කර තිබුණි. විප්ලවයට පෙර රුසියාවේ ඩුමා සභාවේ (රුසියානු පාර්ලිමේන්තුවේ) මන්ත්‍රීවරුන් වැටුප් වැඩිකර ගත්තේ සියයට හැත්තෑ පහකින් බව කියවේ. ප්‍රකෝපයට පත් ජනතාව එය අනුමත කළ සාර් රජුට දෝෂාරෝපණය කළේය. ඒකට හේතුව එය නොවුණත් අරගලයේ අවසානය වූයේ දෙවැනි නිකුලස් සාර් රජු ඇතුළු සියලු දෙනාම ඝාතනය වීමෙනි. එල්ලුම් ගස නැවත දලු ලෑම, බැඳුම්කර වංචා, නව අධිකරණ පත් කිරීම ආදී විවිධ මාතෘකා දෙස දෑස් දල්වාගෙන සිටින ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙම ව්‍යවසනයන් ගැන අවධානය යොමු කිරීමට කාලයක් නැත. 

 

 


මෙරටට සර්ව ජන ඡන්ද බලය හිමි වී ප්‍රථම මැතිවරණය පැවැත්වුණේ 1931 දීය. භූගෝලීය පදනම මත බෙදා වෙන් කෙරුණු ආසන පනහකින් පත්ව එන මන්ත්‍රීවරුන් පනහකගෙන් සහ යටත් විජිත පාලනයේ රාජ්‍ය නිලධාරින් අට දෙනෙකුගෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සමන්විත විය. අපේ වැඩිහිටියන් එම සභාව හැඳින්වූවේ කවුන්සලේ යනුවෙනි. කවුන්සලේට යන්නේ හොඳ අවංක අය යැයි ඔවුහු විශ්වාස කළහ. එයට හේතුවක් තිබුණි. අප ජීවත් වෙන මිනුවන්ගොඩ ආසනය නියෝජනය කළේ ඩී. ඇස්. සේනානායක මහතාය. යාබද වේයන්ගොඩ ආසනය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේය. ගම්පහ පැන්ටලියන් ජයසූරිය නොහොත් පන්ති මහතාගේය. එතැනින් එහා කැලණියට පත් වූයේ සර්. ඩී. බී. ජයතිලක මහතාය. මේ සියල්ලෝම මහත්වරුය. මෙයින් ජයතිලක සේනානයක යන මහත්වරුන් ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ කාලයක්ම වැඩ කළේ වැටුප් නොමැතිව ස්වේච්ඡාවෙනි. 


රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන්ට සහ අනෙක් පදවිධාරීන්ට වැටුපක් ගෙවිය යුතු යැයි අදහසක් පැවති අතර ඒ අනුව යෝජනාවක් ද ඉදිරිපත් විය. සභානායක සර් ඩී. බී. ජයතිලක මහතා සභාවට යෝජනා කළේ ඇමතිවරුන්ට හා කතානායක වරයාට රුපියල් 1500 ක් උප කතා නායක වරයාට සහ කාරක සභා උප සභාපති වරයාට රුපියල් දහසක් ද මන්ත්‍රීවරුන්ට රුපියල් පන්සියයක් බැගින් ද ගෙවිය යුතු යැයි යනුවෙනි. එහිදී නැගී සිටි වේයන්ගොඩ රාජ්‍ය මන්ත්‍රී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මන්ත්‍රී වැටුප ඊට අඩු විය යුතු යැයි යෝජනා කළේය. ඔහු කියා සිටියේ ඇමැතිවරුන්ට සහ කතානායකවරයාගේ වැටුප රුපියල් දහසක් ද උප කතා නායක හා කාරක සබා උප සභාපතිට රුපියල් හත්සිය පනහ බැගින්ද මන්ත්‍රීවරුන්ට රුපියල් හාරසියය බැගින්ද ගෙවීම ප්‍රමාණවත් බවය. බණ්ඩාරනායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මහජන සේවයට පිවිසෙන අය මහජනයාගේ බදු මුදල්වලින් වැටුප් බලාපොරොත්තුවීම විනීත ක්‍රියාවක් නොවන බවත් මෙම සභාවේ දුප්පතුන් කිසිවෙකුත් නොමැති බවත්ය. එහිදී සභානායක ඩී. බී. ජයතිලක මහතා කියා සිටියේ මතු අනාගතයේ යම් දිනක දුප්පත් මන්ත්‍රීවරයෙකු සභාවට පත්ව ඒමේ හැකියාවක් තිබෙන නිසා එවැන්නෙකුට වූවත් ගෞරවය රැකගෙන මහජන සේවය කළ හැකිවන පරිදි සුදුසු වැටුපක් නියම කළ යුතු බවත් සිහියේ තබාගෙන මෙම යෝජනාව සම්මත කළ යුතු බවයි. බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඡන්ද විමසීමේදී පරාජයට පත් විය. එයට පක්‍ෂව ඡන්දය දී තිබුණේ එච්. ඩබ්ලිව්. අමරසූරිය, (උඩුගම මන්ත්‍රී) මතුගම මන්ත්‍රී ඩී. ඩී. ඇතුළත් මුදලි, හලාවත මන්ත්‍රී ජී. සී. එස්. කොරෙයා, පානදුරේ මන්ත්‍රී සුසන්තාද ෆොන්සේකා, පුත්තලම මන්න්‍රී සර් හෙන්රිද මැල්, මොරටුව මන්ත්‍රී ඩබ්ලිව්. ඒ. ද සිල්වා බළපිටිය මන්ත්‍රී ජී. ආතර්ද සොයිසා, අනුරාධපුරය මන්ත්‍රී එච්. ආර්. ෆ්‍රීමන්, මාතලේ මන්ත්‍රී ඩබ්ලිව්. ටී. බී. කරල්ලියද්ද කුරුණෑගල මන්ත්‍රී. ජේ. ඇල්. කොතලාවල සහ දුම්බර මන්ත්‍රී. ඒ. රත්නායක යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා පමණි. විපක්‍ෂව ඡන්ද තිස් හයක් ලැබී තිබුණි. ඒ අනුව ඇමතිවරයෙකුට සහ කතා නායකවරයාට රුපියල් එක් දහස් පන්සියය බැගින්ද උප කතානායකවරයාට සහ කාරක සභා උප සභාපතිවරයාට රුපියල් දහස බැගින්ද මන්ත්‍රීවරුන්ට රුපියල් පන්සියය බැගින්ද ගෙවීමට නියම විය. අපේ රටේ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට නිර්දේශ වූ මුල්ම වැටුප එයයි. දින කීපයකට පෙර ජනාධිපතිතුමාම පැවසූ පරිදි එතුමාගේ වැටුප මෙන් පස් ගුණයක වැටුපක් මන්ත්‍රීවරයෙකුට ලැබේ. අනෙකුත් පහසුකම් එයට අමතරවය.


මුල් කාලයේ මන්ත්‍රීවරුන්ට නිල රථ ලබාදීමක් තිබුණේ නැත. ඇමතිවරුන්ට ලැබුණේත් ඉතා කුඩා ලාභ මෝටර් රථ බව අපට මතකය. එකල කම්කරු ඇමතිව සිටි මයිකල් සිරිවර්ධන මහතාට ලබාදී තිබුණු ෆෝඞ් ප්‍රිපෙක්ට් රථයේ නිතරම පාහේ මම ගමන් කර ඇත්තෙමි. රජයේ ගබඩාවෙන් ලබාදෙන මෙම කාර් ඇමති ධූරය අවසාන වූ පසු ආපසු භාර දිය යුතු විය. 1963 දී පමණ කැබිනට් ඇමතිවරුන්ට පමණක් බෙන්ස් සුඛෝපභෝගී රථ ලබාදීම සිදුවිය. එකල ඇමතිවරු සිටියේ කොහොමටත් පහළොවකට අඩුවෙනි. මෙම බෙන්ස් රථ ලබාදීමේ ක්‍රියාවලිය එදා විරුද්ධ පක්‍ෂයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය විසින් කොපමණ විවේචනයට ලක් කළාද කියතොත් ඊළඟ මැතිවරණයෙන් තම පක්‍ෂය ජයග්‍රහණය කළහොත් මේ වටිනා කාර් තමන් භාවිතයට නොගෙන මහජන යහපතට යොදවන බවට 1965 මාර්තු මහා මැතිවරණයේදී එම පක්‍ෂ නායකයෝ ප්‍රතිඥා දුන්න. ඇමතිවරයෙකු සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීම (මහජන මුදලින්) නින්දා සහගත ක්‍රියාවක් බව එදා සමාජයේ පිළිගැනීම වූ බව අපට මතකය. මාර්තු 22 වැනිදා පැවති ඡන්දයේදී ලැබුණු ප්‍රතිඵල අනුව ඩඞ්ලි සේනානායක මහතා අගමැති පදවියට පත් විය. එකල ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලදී ගැනීම වාසනාව පතන සහ ලක්‍ෂපතියන් වීමේ ආශාවෙන් පෙළෙන බොහෝ දෙනාගේ සිරිතක්ව තිබුණි. ශත පනහක් මිල වූ එම ටිකට් පතකට පළමු ත්‍යාගය ලෙස රුපියල් පනස් දහසක් ප්‍රකාශ කර තිබුණි. පසුව රජයේ තීරණයක් පරිදි ලොතරැයි දිනුමේ ප්‍රථම ත්‍යාගය සඳහා ඇමතිවරුන් භාවිත කළ බෙන්ස් රථයක් ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මැතිවරණයේදී පොරොන්දු වූ පරිදිම රජය එම මෝටර් රථ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඒ ආකාරයට යෙදූ බව අපි දුටුවෙමු. පරාජිත රජය යටතේ මෝටර් රථ ආනයනය බරපතළ ලෙස සීමා කර තිබුණු යුගයක ගත් රජයේ මෙම තීරණය අතිශයින්ම ජනප්‍රිය වූවේය. මුලින්ම ස්වීප් අලෙවියේ ප්‍රථම ත්‍යාගය සඳහා යොමුකරනු ලැබුවේ හිටපු වෙළඳ ඇමති ටී. බී. ඉලංගරත්න මහතා පාවිච්චි කළ බෙන්ස් රථය බව මාධ්‍යවල පළ විය. රජය එම ක්‍රියාමාර්ගය ගත්තේ හිටපු ආණ්ඩුවට යම් පහර දීමක්ද අපේක්‍ෂාවෙන් බව නිසැකය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිතවත්තු බොහෝ දෙනෙක් ශත පනහ බැගින් ටිකට් පත් මිලදී ගෙන ඉලංගරත්න මහතාට තැපැල් කර යැවූහ. ඒ එම රථය ඔහුට සින්නක්කරයටම අයිති කර දීමටය. එයද රසවත් කතාවකි. මගේ මතකය නිවැරදිනම් මෙම ලොතරැයියේ ප්‍රථම ත්‍යාගය හිමිවූ වාසනාවන්තයා බිහිවූයේ කැලණිය ප්‍රදේශයෙනි. ඔහු වහාම ඉලංගරත්න මහතා හමුවීමට කොල්ලුපිටියේ නිවසට ගියේය. තමාට මෙම ත්‍යාගය ඉලංගරත්න මහතාගේ සුරතින් භාර ගත හැකිනම් සතුටක් බව දැන්වීය. හිටපු ඇමතිවරයා තම පාක්‍ෂිකයාගේ ප්‍රීතිය වෙනුවෙන් එම ඉල්ලීම  පිළිගැනීමට එකඟ විය. පසු දිනක ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා අතින් නියමිත රථයේ යතුර ලබාගත් ඉලංගරත්න මහතා ඔහු ඉදිරියේම ජයග්‍රාහකයාට පිරිනැමුවේය. එම ඡායාරූප පුවත්පත්වලද පළ වී තිබුණු අන්දම අපි දුටුවෙමු. එම මෝටර් රථයට විශාල ඉල්ලුමක් සමාජයේ පැවතුණි. එවැනි රථ සුලබ නොවූ එම යුගයේ එම රථය රුපියල් ලක්‍ෂයකට අලෙවි කිරීමට සමත් වූ බව 1970 මැතිවරණයේදී කොළොන්නාව ප්‍රචාරක රැස්වීමකදී පවසනු මම අසා සිටියෙමි. ඔහු තම ව්‍යක්ත උපහාස ශෛලියෙන් එය පැවසුවේ” මට රිද්දවන්නට මම ඇමතිකාලෙ ගිය කාර් එක ස්වීප් ටිකෙට් ලොතරැයියෙ පළවැනි තෑග්ග හැටියට ඉදිරිපත් කළා. ඒක ඇදුනෙත් අපේ පාක්‍ෂිකයෙකුට. මහත්වරුණි” දෙන දොයියො දෙන්නෙ කෙළ මෝලෙන් තළ තළා යැයි අපේ ගම්වල කතාවක් තියෙනවා. පනස් දාහේ පළමු තෑග්ග ලබන්නට හිටපු අපේ පක්ෂෙ හාදයට මට රිද්දවන්ඩ ගිය ආණ්ඩුවේ වැඬේ නිසා තෑග්ග දෙගුණ වුණා. ලක්‍ෂයක් හම්බ වුණා. මට කොරන්ඩ ගිහින් වුණේ ඒකයි.” පසුව අනෙක් ඇමතිවරුන්ගේ මෝටර් රථද මේ අයුරින්ම ලොතරැයි දිනුම් ලෙස ප්‍රදානය කෙරුණි.


මෙසේ අපහාසයට, උපහාසයට සහ හාස්‍යයට ලක් කෙරෙමින් සිදු වුණු ක්‍රියාවලින් පෙන්නුම් කෙරෙන්නේ මහජන දේපොලවලින් සුරසැප විඳීම අයුක්තක් අසාධාරණයක් හෝ වරදක් ලෙස සලකන සමාජයක් එකල පැවති බවයි. එකල ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිවරයා තම කුඩා නිලරියෙන් පාසැල ළගින්ම යද්දීත් තම දියණිය රථයට නංවා ගත්තේ නැත. මේක තියෙන්නෙ ඇමති රාජකාරියට පමණයි. ළමයි ඉස්කෝලෙ ගෙනියන්න නෙවෙයි” කියාය. යූ. බී. වන්නිනායක මුදල් ඇමතිවරයා මංගල උත්සවයකට පැමිණ ආපසු යාමේදී අබලන් මෝටර් රථය ක්‍රියාත්මක කරවීම සඳහා තමාම තල්ලු කළ ආකාරය ප්‍රකට විද්වතෙකු තම ස්වයං ලිඛිත චරිතාපදානයේ සටහන් කර ඇත. ඒ එදාය. අද රට පාලනය කරන්නේ එදා සිටි ඩඞ්ලි සේනානායක මහතා වැනි අය නොවේ. එනිසා මෙවැනි මාතෘකා සමාජ ගත වී ඇත. “ශත පහකින්වත් මන්ත්‍රී වැටුප වැඩ කරන්නට දෙන්නේ නැතැයි” ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත. එය පමණක් වූවද ජීවන බරින් පීඩිතව සිටින මහ ජනයාට සහනයකි. මේ සම්බන්ධයෙන් දුම්රියේදී බස්රියේදී සහ මහමගදී හමුවන සාමාන්‍ය ජනතාව පවසන්නේ” ලැබෙන ලක්‍ෂ ගණනක් වූ ආදායමෙන් ජීවත් විය නොහැකි නම් මන්ත්‍රීවරුනි ඔය බංකොළොත් ජොබ් එක අතහැර දමන්න. අපි ඔයිටත් වඩා අඩුවෙන් වැඩ කරන අය සොයා ගන්නම්” යනුවෙනි. මෙයට වඩා තදින් අදහස් දක්වන අයද අපට හමුවේ. එහෙත් ඒවා මෙහි ලියන්නට නොහැක. මක්නිසාද යත් මා බන්ධනාගාරගත වනවාට හෝ අතපය කඩා ගන්නවාට මගේ දරුවන් අකමැති නිසාය.

 

 

 

 

 

සිරිල් වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.