1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

1983 ජූලි 23 දින උතුරේ හමුදා සොල්දාදුවන් පිරිසකට එල්ල වූ බිම් බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් 13 දෙනෙක් මිය යාමත් සමග එම සිදුවීම දඩමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය සහිතව රට පුරා 1983 ජූලි 26 දින සිට ජාතිවාදී කෝලාහල ආරම්භ විය. එහිදී නීතිය අතට ගත් එජාපයේ ජාතිවාදී මැරයෝ රටේ විවිධ ස්ථානවල සිටි දෙමළ ජාතිකයන්ට පහර දෙමින්, ඔවුන් ඝාතනය කරමින් කඩ සාප්පු නිවාස කොල්ලකමින් ඒවා ගිනිබත් කරමින් දැවැන්ත විනාශයක් ඇරඹූහ. මෙම තත්ත්වය පාලනය කිරීමට ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවූ ජයවර්ධන පාලනය අවසානයේ එම විනාශකාරී ජාතිවාදී කෝලාහලය තම දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමට කටයුතු කළේය.


1983 ජූලි 26 ආරම්භ වූ ජාතිවාදී කෝලාහල නොකඩවා දින තුනක් පැවතීමෙන් පසු 83 ජූලි 29 වැනිදා හදිසි තීරණයක් ගත් ආණ්ඩුව හදිසි නීතිය උපයෝගී කරගනිමින් ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ 3 ක් තහනම් කිරීමට පියවර ගත්තේය. එසේ තහනම් කළ පක්ෂ වූයේ ජවිපෙ, කොප හා නව සම සමාජ පක්ෂයයි. මෙම පක්ෂ 3 තහනම් කරමින් ජයවර්ධන ආණ්ඩුව ප්‍රකාශ කළේ මෙම පක්ෂ ජාතිවාදී කෝලාහල පිටුපස සිටින බවත් රට තුළ අරාජිකත්වයක් ඇතිකොට ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත්ය. ආණ්ඩුවට එරෙහිව සිදුවන එම කුමන්ත්‍රණ පිටුපස සෝවියට් දේශය සිටින බව ද ප්‍රකාශ කරන ලදී. ඒ අනුව එජාපය විසින්ම ආරම්භ කළ ජාතිවාදී කෝලාහලය උපයෝගී කර ගනිමින් ජවිපෙ තහනම් කළ ආණ්ඩුව ජවිපෙන් එයට එල්ලවෙමින් තිබූ දේශපාලන අභියෝගයට එසේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා කුමන්ත්‍රණකාරී ලෙස පිළිතුරු සෙවීය. සැබැවින්ම ආණ්ඩුවට අවශ්‍ය වූයේ ජවිපෙ තහනම් කර මර්දනය කිරීමටය. එය ජවිපෙට එරෙහිව පමණක් කරන විට එහි දුෂ්ට අරමුණ නිරුවත්ව පෙනෙන නිසා එයට ආවරණයක් ලෙස ආණ්ඩුව කො.ප.යත් න.ස.ස.ප.යත් තහනම් කළේය. එම පක්ෂ දෙක තහනම් කිරීමේ වුවමනාවක් ජයවර්ධනට නොතිබූ බව සනාථ වන්නේ මාස කීපයකට පසු එම පක්ෂ දෙකේ තහනම ඉවත් කළ ආණ්ඩුව ජවිපෙ තහනම දිගටම පවත්වා ගෙන යාම අනුවය.
ජයවර්ධන ආණ්ඩුව ජ.වි.පෙ. තහනම් කළේ සැලැස්මක් සහිතවය. බලාපොරොත්තු නොවු වේලාවක ජවිපෙ තහනම් කොට එහි ඉදිරි පෙළ නායකයන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන රඳවා තබා ජවිපෙ අඩපණ කිරීම ආණ්ඩුවේ අරමුණ විය. ඒ සඳහා පළමු දිනයේම අත්අඩංගුවට ගත යුතු ඉදිරිපෙළ ක්‍රියාකාරීන් 300කගේ ලැයිස්තුවක් ආණ්ඩුව සකස් කර තිබුණි. එහෙත් විප්ලවවාදී පක්ෂයක් ලෙස ජවිපෙ සතුව තිබූ සුපරික්ෂාකාරීත්වය හා අනතුර කලින් වටහාගෙන ඊට අනුව කටයුතු කිරීමේ හැකියාව නිසා පළමු වටයේදීම ආණ්ඩුව පරාජය විය. ඒ ආණ්ඩුව බලාපොරොත්තු වූ ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසාය.


පක්ෂය තහනම් කළ බවට තොරතුරු ලැබෙනවාත් සමගම රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු නායකයෝ තම ආරක්ෂාව පතා ආරක්ෂක ස්ථානවලට ගියහ. ඒ පිළිබඳ දින කීපයකට පෙර ඇතිකර ගත් අවබෝධයක් ද තිබුණි. එහෙත් එවකට පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාව සිටි ලයනල් බෝපගේ එම ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත. ඔහු පක්ෂයේ පොදු තීරණය නොසලකා තම නිවසට වී සිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට පැමිණෙන විට තම නිවසේ රූපවාහිනිය නරඹමින් සිටි ඔහු පහසුවෙන් පොලිසියේ අත්අඩංගුවට පත්විය. මෙය ඒ වන විට ලයනල් බෝපගේ තුළ නිර්මාණය වෙමින් තිබූ දේශපාලන පිරිහීමක ප්‍රතිඵල මත සිදුවූ බව පෙනේ. ආරක්ෂාව සඳහා සැඟවී ඉන්පසු මුහුණදීමට සිදුවන දුෂ්කර ජීවිතයට වඩා නිවසේ සිට අත්අඩංගුවට පත්වී මාස කීපයකින් නිදහස්ව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ වුවමනාව ඔහුට තිබූ බව පසුව සිදුවූ දේවල් අනුව පැහැදිලි විය. පළමු රාත්‍රියේදීම ලයනල් බෝපගේ අත්අඩංගුවට පත්වූ අතර පසුදා එනම් 30 වැනිදා කොළඹ සිට නුවර බලා බසයෙන් ගමන් කරමින් සිටි දේශපාලන මණ්ඩල සභික සෝමරත්න කලුආරච්චි නෙලුන්දෙණියේ දී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව හෙළිවූ කරුණුවලට අනුව පක්ෂයට විරුද්ධව ද්‍රෝහිකම් කරමින් සිටි පුද්ගලයෙක් සෝමරත්න කලුආරච්චි එම බසයේ සිටිනවා දැක පොලිසියට ඔත්තුවක් දීම නිසා ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. ඊට අමතරව පක්ෂයට උදව් කළ බුද්ධිමතුන් කීපදෙනෙක් ඇතුළු සුළු පිරිසක්ද ආණ්ඩුව අත්අඩංගුවට ගෙන තිබුණ නමුත් පක්ෂ නායකයන් ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සමත් වූයේ කැමැත්තෙන්ම අත්අඩංගුවට පත්වූ ලයනල් බෝපගේ හා අතර මගදී ඔත්තුවක් මත පොලීසිය අත්අඩංගුවට ගත් සෝමරත්න කලුආරච්චි පමණි. ඉදිරිපෙළ නායකයින් නොවන එහෙත් කිසියම් ප්‍රසිද්ධියක් තිබූ කිහිපදෙනෙක් මේ දිනවල අත්අඩංගුවට ගත්තද වෙනත් ප්‍රසිද්ධ ඉදිරිපෙළ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව අසමත් විය.


මේ සමගම ආණ්ඩුව දුටුතැන අත්අඩංගුවට ගත යුතු නායකයන් 5 දෙනෙක් නම් කොට ඔවුන්ගේ ඡායාරූප පුවත්පත්වල පළ කළේය. එම පස්දෙනා වූයේ රෝහණ විජේවීර සහෝදරයා, උපතිස්ස ගමනායක සහෝදරයා, සෝමවංශ අමරසිංහ සහෝදරයා, වික්‍රමබාහු කරුණාරත්න හා වාසුදේව නානායක්කාරය. දින කීපයකට පසු වික්‍රමබාහු හා වාසුදේව ආණ්ඩුවට බාර වූ අතර ජවිපෙ නායකයින් සොයා ගැනීමට ආණ්ඩුවට නොහැකි විය. මෙහි දී රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක යන සහෝදරවරුන් ගැන තොරතුරු දෙන අයට රුපියල් 50,000ක තෑග්ගක් දෙන බවද ආණ්ඩුව ප්‍රකාශ කළ අතර ජයවර්ධනගේ රුපියල් 50,000 ලබා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමෙන් ආණ්ඩුවේ අසමත්කම ප්‍රදර්ශනය විය.


මෙලෙස 83 ජූලි ජාතිවාදී කලබල උපයෝගී කරගෙන පක්ෂය තහනම් කළ ජයවර්ධන පාලනය එතැන් සිට එම තහනම දිගටම පවත්වාගෙන යමින් පක්ෂය මර්දනය කර විනාශ කිරීමට විවිධ කුමන්ත්‍රණ කරමින් අවලාද නගමින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියාත්මක විය. ඒ අතරම පක්ෂය ද තහනම නොතකා විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස තහනම් තත්ත්වය තුළ රහසිගතව යළි ක්‍රියාත්මක විය.


පක්ෂ තහනමත් සමග ජවිපෙට සිදුවූයේ ඉතා සංකීර්ණ වටපිටාවක් තුළ අභියෝග රැසකට මුහුණ දෙමින් ක්‍රියාත්මක වීමටය. ජවිපෙ ආරම්භ වූයේම ධනේෂ්වර ක්‍රමයට එරෙහි දේශපාලනයක් වෙනුවෙන් නිසා ධනපති ආණ්ඩුවේ තහනමට අවනත වීමට ජවිපෙ සූදානම් වූයේ නැත. ඒ වෙනුවට තහනම තුළ ක්‍රියාත්මක වීමට ජවිපෙ කටයුතු කළේය. පක්ෂ තහනම සමග ජවිපෙ මුහුණ දුන් බරපතළ ගැටලුවක් වූයේ පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් තහනම දරා ගැනීමට නොහැකිව පක්ෂය හැරයාම නිසා නිර්මාණය වූ තත්ත්වයයි. මේ නිසා බොහෝ සංවිධාන අක්‍රිය වූ අතර සංවිධාන ජාලය බිඳී ගියේය. පක්ෂය ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදුණු කාලය තුළ මැතිවරණවාදයට වැටී සිටි පිරිස් හා තහනම නිසා බියට පත්වූ අය මෙලෙස පක්ෂය හැර ගියහ. මින් බොහෝ දෙනා පසුව ක්‍රම ක්‍රමයෙන් පක්ෂයට සම්බන්ධ වූ බවද සඳහන් කළ යුතුය.

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්