“ජාතීන් අතර සමගිය සුහදතාව ඇති කිරීමටත්, සංහිඳියාව ගොඩ නැගීමටත් රජය ලෙස සියලු ක්‍රියා මාර්ග ගන්නා අතර ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.


එතුමා මෙසේද ප්‍රකාශ කළේය. “අප පසුගිය අවුරුදු තුනක කාලයක් මේ රටේ ජාතික සමගිය සංහිඳියාව ඇතිකිරීම සඳහා කැපවී ක්‍රියාකරන රජයක් බව ඔබ හැම කෙනෙක්ම දන්නවා. මෙහිදී ගෙවී ගිය දින දෙක තුන තුළ අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ඇතිවූ සිද්ධීන්වලදී ජීවිත හානි, දේපල හානි සිදුවී ඒ ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්තාව රට තුළ ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. ඒ සිදුවීම් තුළ ජීවිත හානි දේපල හානි සිදුවූ සියලුම පවුල්වලටත් ඥාතීන්ටත් මගේ බලවත් කනගාටුව සහ වේදනාව ප්‍රකාශ කරනවා වගේම එම ප්‍රචණ්ඩකාරී ක්‍රියා මම සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.” ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් කොටසකි.


“ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකර ගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත්නොවී ඉවසිලිවන්තව බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල්තැබීමේ විවාදයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අගමැතිතුමා මෙසේද ප්‍රකාශ කර තිබුණි. “පසුගිය 22 වැනිදා අලුයම 2.00 ට පමණ තෙල්දෙණිය පොලිස් වසමේ කරලියද්ද ඉන්ධන පිරවුම්හලට ලොරි රථයකින් පැමිණි රියැදුරකුට ත්‍රිරෝද රථයකින් පැමිණි මුස්ලිම් ජාතික තරුණයන් සිව්දෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඉහත පහරදීමෙන් ඇතිවූ තුවාල හේතුකොට ගෙන තුවාලකරු මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 වැනි දින අලුයම 3.00ට පමණ මියගොස් තිබෙනවා. මෙම පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් සිදුකරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකක් වෙතින් උපුටා ගන්නා ලද කොටස් දෙකකි. මෙම කරුණුවලට අදාළව බොහෝ දේ පසුගිය දින දෙක තුන තිස්සේ මාධ්‍යවල අසන්නට දකින්නට ලැබුණි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ යම් යම් ප්‍රදේශවලට බලපාන පරිදි ඇඳිරි නීතිය පනවන ලදී. හදිසි නීතියද ක්‍රියාත්මක කරන ලදී. පවතින තත්ත්වයේ බැරෑරුම්කම එමගින් වැටහෙනු ඇත. කෙසේවුවද එය පාලනය කර ඇති බව ද වාර්තාවේ.


ශතවර්ෂ ගණනාවක කාලයක් තිස්සේ සිංහල මුස්ලිම් ජන වර්ග දෙක මේ රටේ සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත්වූ බව රහසක් නොවේ. එක බත්පත දෙකට බෙදාගෙන කන තරම් සමගියෙන් ජීවත්වූ ඔව්හු එම සමගිය නිසාම සාමූහිකව බොහෝ දේ දිනා ගත්හ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට නතුවී සිටි සමයේ එක්ව සටන් කර ජාතික නිදහස දිනා ගැනීමට දායක වූහ. මෙම සුළු සිදුවීම්වලින් පළුදු වී ඇති සිත් සුවපත් කිරීම සඳහා එම අතීතය මදක් සිහිපත් කිරීමට මේ ඉතා උචිත අවස්ථාවකි.

 

 

ඉතිහාසයේ සඳහන් වන අන්දමට මුස්ලිම් ජන වර්ගයාගේ මුල්ම ලංකාගමනය වාර්තාවන්නේ අරාබි වෙළෙන්ඳන්ගේ නැව් මෙරටට පැමිණීමත් සමගය. මුල් යුගයේ බොහෝවිට පැමිණියේ ඊජිප්තුවේ සිට වෙළෙන්ඳන්ය. මොරොක්කෝවෙන් සහ ඉරානයෙන් (පෙර කල පර්සියාව) ද මෙසේ වෙළඳාම සඳහා ජනයා පැමිණි බව මූලාශ්‍රවල සඳහන් වේ. මොරොක්කෝවේ සිට පැමිණි ඉබන් බතුනා මෙසේ සටහන් කර ඇත. “දින නවයක් තිස්සේ යාත්‍රා කළ අපි නව වන දිනයේ ලංකා දිවයිනට ගොඩ බැස්සෙමු. දුම් කඳක් මෙන් අහසට විහිදී තිබුණු සෙරන්ඩිබ් කන්ද අපි දුටුවෙමු. දිනාවන්හි (දෙවුන්දර) සිට ප්‍රංග්ස් හයක් දුරින් පිහිටි කුඩා නගරයක්වූ කේල් (ගාල්ල) නගරයට යාමට අපි පිටත්වීමු. එහි සිටි මුස්ලිම් මිනිසකු වූ කපිතන් ඊබ්‍රහිම් විසින් ඔහුගේ නිවසේදී අපට සංග්‍රහ කරන ලදී. ඒ නගරයෙන් පිටත්වූ සෙරන්ඩිබ් දූපතේ පිහිටි විශාලතම හා ඉතා අලංකාර නගරයක් වූ කලෙන්බු (කොළඹ) නගරය බලා පිටත්වීමු. මේ නගරයේ ප්ලෙස්ට් නමැති මුස්ලිම් නායකයා වාසය කරයි. ඉබන් බතුනා ලංකාවට පැමිණියේ ක්‍රි.ව. 1344 දීය. මුලින් වෙළඳාම සඳහා පැමිණ ආපසු ගිය අරාබි වෙළෙන්ඳෝ පසු කලෙක ටිකෙන් ටික මෙරට පදිංචි වූ බව කියති. ඉබන් බතුනා මෙරටට පැමිණෙන විට කොළඹ සහ ගාල්ලේ මෙන්ම පුත්තලමේද පදිංචිව සිටියේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන්නට ඇත.


වෙනම අනන්‍යතාවක් සහිතව ආගමික සංස්කෘතිකමය හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ජන කොටසක් වශයෙන් ජීවත්වූ ඔව්හු පසු කාලීනව මෙරට බහුතරය වූ සිංහලයන් සමග සහජීවනයෙන් යුතුව කල් ගෙවූහ. 1505 දී පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට වැඩුණු ජන ප්‍රජාවක් බවට පත්ව සිටි බව පැහැදිලිය.


කොළඹ වරායට පැමිණි ප්‍රථම පෘතුගීසි ජාතිකයා එහි පැමිණියේ අහම්බෙනි. ගෝවේ විසුරේ තනතුර දැරූ අයගේ පුත්‍ර ලොරන්සෝද අල්මේදා, රුවල් නැව් නවයක් රැගෙන ඉන්දියාවේ සිට මාලදිවයින් බලා පිටත්වූවේ මක්කම බලා යන මුස්ලිම් නැව් කොල්ලකෑම සඳහාය. සුළි සුළඟකට අසුවූ එම පෘතුගීසි නැව් කණ්ඩායම ගාලු වරායට ගසාගෙන ආවේය. ඔවුන් කොළඹට පැමිණියේ ලංකාවේ යසට වැවෙන කුරුඳු, පුවක් මෙන්ම බහුලව ඇති මැණික් සහ ඇත් දළද කෙරෙහි ලොබ වඩවමිනි.


එවකට කෝට්ටේ රජ කළ අටවැනි පරාක්‍රම බාහු රජ හමුවට යාමට කොළඹ සිට මග පෙන්වීමට යාමේ අවස්ථාව ලැබුණේද මුස්ලිම් ජාතික පිරිසකටමය. පෘතුගීසීන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම ගැන ඒ දේශවල දී දැන සිටි නිසා ඔවුන් ලංකාවේ මුල් බැස ගැනීම මුස්ලිම්වරුන්ගේ ප්‍රසාදයට හේතු නොවීය. ‘පරංගියා කෝට්ටේ ගියා වගෙයි’ කියවෙන ප්‍රස්ථා පිරුලක් ගොඩනැගෙන ආකාරයට ඔවුන් කටයුතු කළේ එනිසා යැයි සිතිය හැක. එහෙත් බුවනෙකබා රජු සමයේදී දොන් ජුවන් ධර්මපාල කුමරුට ඔටුනු පලඳවා ලංකාව පෘතුගීසි රජුට ඔප්පුවකින් පවරා දෙද්දී එකල සිටි මුස්ලිම් ජනයා උපකාර කළේත් අනුග්‍රහය දැක්වූවේත් පෘතුගීසීන් මෙරටින් පලවා හැරීමට සටන් කළ සීතාවක රාජසිංහයන්ටය. කොළඹ කොටුවේ බළල් මසුත් නොමැති වනතුරු පෘතුගීසීන් කොටුකර ලීමට හැකිවූයේ කැලිකට් හි සැවොරින් නම් මුස්ලිම් පාලකයාගේ උපකාර ලබාදීමට මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඉදිරිපත්වීම නිසාය.


එහෙත් ඉංග්‍රීසි පාලන සමයේදී ස්වදේශීය ජාතීන් අතර භේද ඇතිකොට පාලනය ගෙන යාමට උපක්‍රමයක් වශයෙනුත් වත්මනෙහි මෙන් ඉතා සුළු සිදුවීමක් දුර දිග යාම නිසාත් විශාල ජාතිභේදවාදී ගැටුමක් ආරම්භ වූ බව සඳහන් වේ. උඩරට රාජ්‍යය එහි ජනප්‍රධානීන් විසින් බි්‍රතාන්‍ය කිරීටයට පවරාදීමේදී 1815 මාර්තු දෙවැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන ලද ගිවිසුමේ පස්වැනි වගන්තිය අනුව මෙරට ජනතාවගේ ආගම් රැකගන්නා බවටත්, ආරක්ෂා කරන බවටත් ලිඛිතව සපථ කොට පොරොන්දු දී තිබුණි. එහෙත් එය පොරොන්දුවූ පරිදි සිදුවන බවක් පෙනෙන්නට නොතිබුණි. එනිසා ජනයා මෙන්ම ඔවුන්ගේ නායකයන් ද සිටියේ අසහනයෙනි. 


මේ අතර 1915 මැයි මස 28 වැනි දිනට යෙදී තිබුණු වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනයේ සිංහල මුස්ලිම් දෙපක්ෂය අතර මහනුවරදී ඇතිවුණු සුළු ආරවුලක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ මංකොල්ලකාරයන් හා කට කථා පතුරුවන්නන් නිසාත්, සුදු පාලකයන්ගේ කූට උපක්‍රම නිසාත් දුර දිග ගොස් මහජාතිවාදී ගිනි ජාලාවක් බවට පත්විය. මීට කලකට ප්‍රථම ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වීමට අවහිර කිරීම සම්බන්ධව දෙපාර්ශවය අතර පැවති මතභේදයක්ද මෙයට මූලික ලෙස බලපෑ බව කියනු ලැබේ.

 

 

 


කෙසේ හෝ මෙම අර්බුදය රට පුරා ව්‍යාප්තව ගියේ අදහාගත නොහැකි කඩිනමිනි. මේ වන විට පළමු ලෝක සංග්‍රාමය ද ආරම්භව පැවති නිසා ආණ්ඩුකාර සර් රොබට් චාමස්ද අදහස් කළේ මෙය රටට ඇතුළුවූ ජර්මන් ඔත්තුකරුවන් ශ්‍රී ලංකාවේ පාලනය අවුල් කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් ලෙසය. මේ වැරදි අවබෝධය සහ ඒ මත පදනම් වූ කවර පළිගැනීමේ චේතනාව ද නිසා 1915 ජූනි මස 02 වැනිදා යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කර ඉන්දියාවෙන් පවා ආරක්ෂක හමුදා ගෙන්වීය. එවකට මෙහි සිටි මහ ලේකම් ස්ටබ්ස් සහ පොලිස්පති චව්බිගින්ගේ දැඩි පිළිවෙත් මගින් මෙම තත්ත්වය තවත් උග්‍ර කරන ලදී. මෙහිදී සිංහලයන් මර්දනය කිරීමත්, ඔවුන්ගේ නායකයන් සිරභාරයට ගැනීමත් දිගටම පැතිර ගියේය. මෙම අරගල රජයට එරෙහිව සිදුවන්නකැයි වරදවා අවබෝධ කර ගැනීම මර්දනය අතිශයින්ම දරුණු වීමට හේතු විය. ඇෆ්. ආර්. සේනානායක, දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වා, දොස්තර සී. ඒ. හේවාවිතාරණ, ආතර් වී දියෙස් සර් ඩී. බී. ජයතිලක, පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා, රිචඞ් සල්ගාදු, පී. සී. එච්. දියෙස්, ආදී බෞද්ධ නායකයෝ මුල් දින කීපය ඇතුළත අත්අඩංගුවට පත්වූහ. තවත් ප්‍රාදේශීය නායකයන් බොහෝ දෙනෙකු සිරභාරයට ගන්නා ලද අතර 1915 ජූලි 07 වැනිදා හෙන්රි ප්‍රේද්‍රිස් තරුණයාට වෙඩි තබා මරා දමන ලදී. ඕනෑම පුද්ගලයෙකුට දුටු තැන වෙඩි තැබීමට ආණ්ඩුකාරවරයා නියෝග කර තිබුණි. එම නීතිවිරෝධී නියෝගයේ පිටපතක්ද රැගෙන රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එංගලන්තයට ගොස් මව් රජයට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනීමරු ආණ්ඩුකාර රොබට් චාමස් ආපසු එංගලන්තයට කැඳවන ලද අතර සර් ජෝන් ඇන්ඩර්සන් නම්වූ යහපත් මහතෙක් ආණ්ඩුකාර ධූරයට පත්කර එවන ලදී.


ඊජිප්තුවේ නිදහස් සටනේ නායකයාවූ ඔරාබි පාෂා එවකට බි්‍රතාන්‍යයේ යටත් විජිතවාදයට එරෙහිව විවෘතවම ආයුධ සන්නද්ධ සටනක යෙදුණු බව ඊජිප්තු ඉතිහාසයේ සඳහන් වේ. ඔරාබි පාෂා සහ ඔහුගේ සටන් සගයන් හතර දෙනෙකුද මෙරටට පිටුවහල් කර එවීම මෙරට මුස්ලිම් ජනතාවගේ භාග්‍යයක් විය. 1833 දී සිදුවූ මෙම පිටුවහල් කිරීමත් ඔහුගේ මෙරට ජීවත් වූ 1910 දක්වා ජීවිත කාලයත් මෙහි සිටිමින් මෙරට සහෝදර මුස්ලිම් ජනතාවට උපදේශක මට්ටමේ සේවයක් සැලසූ බව කියනු ලැබේ.


මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය සඳහා කොළඹ සහිරා විද්‍යාලය ඇති කිරීමට නායකත්වය දුන්නේ මෙහි සඳහන් ඔරාබි පාෂාය. එකල මුස්ලිම් නායකයන් වූ වාපිච්ච මරික්කාර්, සිද්දිලෙබ්බෙ ආදී නායකයෝ ඔහුට සහාය දුන්හ. මුස්ලිම් ප්‍රජාවේ උන්නතිය සඳහා විශාල ධනයක් කැප කළ වාපිච්චෙ මරික්කාර් ව්‍යාපාරිකයෙකු වශයෙන් විශාල ධනයක හිමිකාරයෙක් වූවේය. එකල පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මුස්ලිම් ජනතාවට නියෝජනයක් පැවතියේ නැත. එකල ඔවුන් ද ඇතුළත්වූවේ දෙමළ කථා කරන ජනතාව වශයෙනි. එක් දහස් අටසිය අසූව දශකයේදී එම වරප්‍රසාදය හිමිවීමෙන් පසු ප්‍රථම වරට මැති සබයට පත්වූවේ වාපිච්චෙ මරික්කාර් මහතාගේ පුත්‍ර අබ්දුල් රහුමාන් මහතාය.


ජාතිවාදී අරගල නිසා අන්ත දුකට පත් රාජ්‍යයක් වශයෙන් අසල්වැසි ඉන්දියාව හොඳම උදාහරණයකි. එය හින්දු මුස්ලිම් ආරවුලක් වශයෙන් කරළියට පැමිණියේය. මෙයින් සිදුවූ හානිය කෙතරම් ද යත් එම අරගලය නිසා භාරත මාතාවගේ දූ පුතුන්ගෙන් ගලා ගිය රුධිර ප්‍රවාහය ගංගා යමුනා යන මහා නදී දෙකෙහිම ජල ප්‍රමාණයට වැඩි යයි මහත්මා ගාන්ධි වරෙක ප්‍රකාශ කළේය. එසේ නම් වැනසුණු ජීවිත ගණන කොතෙක් විය යුතුද? ජාතිවාදය හා ආගම්වාදය මිනිසාගේ හැඟීම් කුපිත කරවයි. එය හලාහල විෂක් මෙන් ප්‍රතික්ෂේප කළ යුතුය. එනිසා මිනිස් හැඟීමෙන් යුතු නුවණැති ජනී ජනයාගේ වගකීම වනුයේ සියලුදෙනා වෙත සම වෙතින් බලා යුක්ති ගරුකව හැසිරීම බව අවධාරණය කරනු රිසියෙමි.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ