මනමාලියක බැලීම සඳහා ප්‍රථම වරට ඇයගේ නිවසට යන විවාහාපේක්‍ෂකයෙකු කැවුම්, කොකිස්, මුං අලුවා වැනි රසකැවිලි කදමල්ලක් පුරවා රැගෙනයාම පුරාණ සිංහල චාරිත්‍රයකි. පසු කාලයකදී එවැනි පෞරාණික චාරිත්‍ර තරමක් යටපත්වී තිබුණද අඩුම වශයෙන් රසැති කේක් ගෙඩියක් හෝ රැගෙන යාමට මෙකලද බොහෝ මනමාල මහත්වරු අමතක නොකරති.

එසේ වූවද වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා තමන්ගේ 107 වැනි මනාලිය බැලීමට ඇයගේ නිවසට ගොස් ඇත්තේ පතුරම් වැලක්ද සහිත ස්වයංක්‍රීය ගිනි අවියක් තම වාහනයේ අත ළඟම තබාගෙනය. ඊට අමතරව උණ්ඩ හයක් දැමූ පිස්තෝලයක් ද ඔහුගේ සාක්කුවේ තිබුණේය. 


“මට අවුරුදු විස්ස ලබන කොටම අපේ අම්මලා මට මංගල යෝජනා ගෙනාවා. හරියටම කියනවා නං මම විවාහ වෙන්න තීරණය කරන කොට මනාලියන් එකසිය හත්දෙනෙක් බලන්න ගිහින් තිබුණා. ඒ අතරින් එකසිය හත්වැනියා තමයි මම කසාද බැන්ඳේ.”


කතානායක කරු ජයසූරිය මහතා එලෙස සඳහන් කරන්නේ තමන් දොස්තර වසන්තා ජයසූරිය මහත්මිය සමඟ විවාහවූ ආකාරය ගැනය. ඇය තමන් බැලීමට ගිය 107 වැනි මනාලිය බව හෙතෙම පවසයි. 


එකල ඔහු සේවය කළේ කොළඹ නගරයේ පිහිටි යුරෝපීයයන් සතු ආනයන අපනයන සමාගමකය. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ස්වේච්ඡා බළකායේ දෙවැනි ලුතිනන්වරයෙකු වශයෙන්ද හෙතෙම කටයුතු කළේය. ස්වේච්ඡා බළකායට අයත් නිලධාරීන් ඇතුළු සියලුම භට පිරිස් සේවයට කැඳවනු ලැබුවේ අවශ්‍යතා අනුව වුවද 1971 අප්‍රේල් මාසයේ ඇතිවූ තරුණ අරගලයත් සමග මාස 6 කටත් වැඩි කාලයක් එක දිගට ක්‍රියාන්විත රාජකාරියේ යෙදීමට කරූට සිදුවී තිබුණේය. එහෙයින් එම කාලය තුළ ඔහු මීරිගම කණ්ඩලමේ පිහිටි තම නිවසට යාමට ඉඩ ලැබුණේද කලාතුරකිනි. 


“හැබැයි ඊට කලින් මම හැම සෙනසුරාදාවකම ගෙදර ගියා. ආපසු බෝඩිමට ආවේ ඉරිදා සවස හෝ සඳුදා උදේ. මම ඒ විදියට ගෙදර එන හැම සතියකම අම්මලත් එක්ක මනමාලියන් බලන්න යන්න මට සිද්ධ වෙලා තිබුණේ වයස අවුරුදු විස්ස ලැබුණු දා ඉඳලා. හැබැයි ඉතින් ඒ එක මනමාලියෙක්වත් මගේ හිතට ඇල්ලුවේ නෑ. සමහර අය අපේ අම්මගෙ හිතට ඇල්ලුවෙ නෑ. කොහොමින් කොහොම හරි අවුරුදු කීපයක්ම ඔය විදිය මනමාලියන් බලන්න ගිහින් ඉවරයක් තිබුණෙම නෑ...”


කරු ජයසූරිය සඳහන් කරන අන්දමට 1971 අප්‍රේල් මාසයේ සිට මාස කීපයක් යනතුරු සතිපතා මනාලියන් බැලීමට යන රාජකාරියටද තිත වැටී තිබුණේය. එසේ වූයේ දුර බැහැර පළාත්වල ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටි තමන්ට එම කාලය තුළ නිවසට යාමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණු බැවිනි. 


“අපේ අම්මා මට හරි ආදරෙයි. මමත් එහෙමයි. මට අම්මාව නොදැක ඉන්න බැරිවුණත් ඒ කාලය තුළ මට ගෙදර ගිහින් එන්නවත් නිවාඩුවක් ගන්න බැරිවුණා. හැබැයි දවසක් මට රාජකාරියක් පැවරුණා නුවරඑළියෙ ඉඳන් කොළඹට එන්න. මට තිබුණෙ අපි අත්අඩංගුවට ගත්ත උපාධිධාරී තරුණයෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මණ්ඩපයේ පනත්වාගෙන ගිය පුනරුත්ථාපන කඳවුරට ගිහින් බාර දෙන්නයි. ඒ සැරේ මම ඒ ළමයා පුනරුත්ථාපන කඳවුරට බාර දීලා ඒ වාහනේම ගෙදර ගියා.”


ඒ අනුව එදින සවස් කාලයේ මීරිගම කණ්ඩලමේ පිහිටි තම නිවසට ගිය ඔහු බලාපොරොත්තු වූයේ ඊට පසුවදා යළි නුවරඑළියට යාමටය. මේ අතර ඔහුගේ මවට කරුගේ හඳහනට ගැළපෙන මනාලියකගේ වංහුං ලැබී තිබුණෙත් “අනේ පුතේ හෙට අපි මේ ළමය බලන්න යමු” යි ඇය තම පුතුට තරයේම කියා සිටියාය. 


“අනේ අම්මෙ මම හෙට හවස නුවරඑළියෙ ඉන්න ඕනෑ. අපි වෙන දවසක යමු ඔය ගෑනු ළමය බලන්න!” ඔහු කියා සිටියද මවගේ පෙරැත්ත කිරීමේ කෙළවරක් නොතිබිණි. මේ අතර අම්මාගේ සිත රිදවීමටද හෙතෙම අකමැති විය. 


“හරි අම්මෙ මම හෙට උදේ ඒ ළමයත් බලාගෙනම නුවරඑළි යන්නම්. හැබැයි මට ආපහු එන්න නම් බෑ. ඒ නිසා මාත් එක්ක අම්මල එන්න ඕන නෑ. මම කපු මහත්තයත් එක්ක යන්නම්!”


මවගේ පෙරැත්ත කිරීමෙන් බේරෙන්නට බැරි තැන ඔහු එසේ කී විට මදක් සංසුන්වූ ඇය ඒ මොහොතේම මඟුල් කපුවාගේ නිවසට සේවකයෙක් යවා පසුදා උදෑසනින්ම තම නිවසට පැමිණෙන්නැයි දැනුම් දුන්නාය. එහෙත් මනාලියගේ නිවසට තමන් පැමිණෙන බව දැනුම් නොදෙන ලෙස කරු විශේෂයෙන්ම කියා සිටියේ එමගින් ඔවුන්ට අනවශ්‍ය කරදරයක් සිදු නොවනු පිණිසය.


මේ අතර ළඟපාතක විසූ අප්පුහාමි නැමැති මඟුල් කපු මහතාද පාන්දරින්ම ඔවුන්ගේ නිවසට පැමිණ තිබුණේය. ඒ වනවිටත් තමන් යා යුතු ඉසව්ව පිළිබඳව කරුට වැටහීමක් නොතිබිණි. 


“අප්පුහාමි ඔය කියන ගෙදර ගොඩක් දුරද?” යි කපු මහතාගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ වැඩි ඈතක නොවන බවය. මේ අතර තවත් ප්‍රශ්නයකට මුහුණ දීමටද ඔහුට සිදුවී තිබුණේය.

 

මවගේ පෙරැත්ත කිරීමෙන් බේරෙන්නට බැරි තැන ඔහු එසේ කී විට මදක් සංසුන්වූ ඇය ඒ මොහොතේම මඟුල් කපුවාගේ නිවසට සේවකයෙක් යවා පසුදා උදෑසනින්ම තම නිවසට පැමිණෙන්නැයි දැනුම් දුන්නාය. එහෙත් මනාලියගේ නිවසට තමන් පැමිණෙන බව දැනුම් නොදෙන ලෙස කරු විශේෂයෙන්ම කියා සිටියේ එමගින් ඔවුන්ට අනවශ්‍ය කරදරයක් සිදු නොවනු පිණිසය.


“මම ආවෙ රාජකාරී ගමනක් නිසා මගේ ළඟ මැෂින්ගන් එකකුයි, නිල පිස්තෝලයයි තිබුණා. මම ආපහු ගෙදර නෑවිත් නුවරඑළි යන නිසා ඒ දෙකම ගෙදර තියල යන්නත් බෑ. මනමාලියක් බලන්න යන නිසා අරගෙන යන්නත් බෑ. ඊළඟට හමුදා නිලධාරියෙක් නිසා මට ආරක්‍ෂාව ගැන ප්‍රශ්නෙකුත් තිබුණා. අම්මට පොරොන්දු වෙච්ච නිසා මනමාලි බලන්න නොගිහින් ඉන්නත් බෑ. 


කරු එසේ කියන්නේ තමන් එදින මුහුණ පෑ උභතෝකෝටික ප්‍රශ්නය ගැනය. කෙසේ වෙතත් අන්තිමේදී ඔහු තීරණය කළේ තමන් සතු නිල ගිනි අවි දෙකත් රැගෙන මනාලියගේ නිවසට යාමටය. ඒ අනුව තම මැෂින් තුවක්කුව රියේ පසුපස අසුන යට සඟවා උණ්ඩ පුරවා තිබූ නිල පිස්තෝලය සාක්කුවේ දමාගෙන හෙතෙම තම වාහනයට නැගුණේය.


“අප්පුහාමි අපි මේ බලන්න යන ළමය රස්සාවක් කරන කෙනෙක්ද?”


කරු ඉදිරි අසුනේ සිටි මඟුල් කපුවාගෙන් එසේ විමසන ලද්දේ මනාලිය ගැන වංහුං දැන ගැනීමේ අදහසිනි. ඊට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ ඇය ගම්පහ මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක බවය. 
කඩවත රම්මුතුගල පාරේ මඳ දුරක් ගිය විට තරමක කඳු ගැටයක් මත තිබූ දෙමහල් ගෙයක් දෙසට අත දිග කර පෙන්වූ මඟුල් කපුලා “ඒක තමයි මහත්තයෝ ගේ...” යි කියමින් බුලත් කහටින් දුර්වර්ණවූ තම දසන් දක්වා සිනාසුණේය. 


එම නිවස දෙස බැලූ ඔහුගේ සිත කිළිපොළා ගියේ නිමේෂයකිනි. එසේ වූයේ ඊට හත් අට වසරකට ඉහත තමන් මෝටර් බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී තමන් කෙදිනක හෝ විවාහ වන්නේ එම නිවසේ වෙසෙන තරුණියක සමග යැයි නිකමට මෙන් සිතුණ බව මතකයට නැගීමෙනි. එසේ වුවද එම නිවසේ විවාහ විය යුතු වයසේ තරුණියක සිටින බවවත් ඔහු එදා නොදැන සිටියේය. 


“අපි උදේ පාන්දර කලින් දැනුම් දීමක්වත් නොකර ආපු එක ගැන පුදුම වුණත් ඒ උදවිය ඉතා හොඳින් අපිව පිළිගත්තා. කොහොම හරි මම ඒ ළමයා දැක්කෙත් එදාමයි. හැබැයි දකින කොටම මට හිතුණා මෙයා තමයි මම කසාද බඳින්නේ කියලා...”


කරු ජයසූරිය එසේ කියන්නේ වසර ගණනාවක් තිස්සේ මනාලියන් 107 දෙනෙකු බැලීමට ගිය තමන් එම 107 වැනි යුවතිය තම අනාගත සහකාරිය ලෙස තෝරාගත් බව සිහිපත් කරමිනි. කෙසේ වෙතත් තමන් එදා තම අනාගත සහකාරිය බැලීමට පැමිණියේ උණ්ඩ පිරවූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්ද රැගෙන යයි” ඇය කාලයක් යනතුරුම නොදැන සිටි බව ඔහු පැවසුවේය.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර