ජූලියා අල්වාරෙස් (Julia Alrarez)  නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද  In the time of butterfies  කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින්  In time of Butterfies  කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසි හතර වැනි කොටස

 


සැහැල්ලු හැසිරීමෙන් යුතු පවුලේ පෙරළිකාරිය මෙන්ම නොහික්මුණු දඟකාරිය ද වූ මා වෙනස් වී ඇති බව පළමුව වටහා ගත්තේ අම්මාය. ඇය මගේ මුහුණෙහි දැඩි බව නිරීක්ෂණය කොට තිබිණ. මා පෙලු හිසරදය හා විටින් විට මා ඇදුම රෝගයට ගොදුරු වීම ද ඈ කනගාටුවට පත් කර තිබිණ. ඔයා ටිකක් විවේක ගන්න. එක් සවස් යාමයක ඈ එසේ කියා මා නිවසේ සිහිල්ම තැන වූ තාත්තාගේ කාමරයට යැව්වාය. ඔහු සිය ෆෝඞ් රියෙන් ගොවිපොළේ සවස වැඩ කටයුතු සොයා බැලීමට නික්ම ගොස් සිටියේය. 

මා එම මැහෝගනි සයනයෙහි වැතිර එහා මෙහා පෙරළෙමින් සිටියේ නින්දට යා නොහැකිවය. අනතුරුව නොසිතා නොබලා යමක් සිදු විය. මම නැගිට අල්මාරිය විවර කළෙමි. නමුත් එය තිබුණේ අගුල යොදාය. ඇඳුමෙන් ගලවා ගත් ඇල්පෙනෙත්තක් යොදා ගත් මම එහි දුන්න තද කළ විට එහි දොර පුළුල්ව විවර වුණි. මම තාත්තාගේ ඇඳුම් ඇවිස්සුවේ ඔහුගේ සුවඳ කාමරය පුරා විහිදුවමනි.


ඔහුගේ අලුත් විලවුන් බෝතලය දෙස නෙත් යොමා සිටි මම නවීන පන්නයේ ගුයෙබරා කබාය ගෙන එහි සාක්කු පිරික්සුවෙමි. එහි ඇතුළු සාක්කුවක කඩදාසි පිරවූ කවරයක් තිබෙනු දැක මම එය පිටත ඇද්දෙමි. වෛද්‍ය නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුවක් මෑතදී ඔහුට නවතම පෙනුමක් ගෙනදුන් පැතුමා තොප්පිය මිල දී ගත් බිලක් ගැහැනු ළමුන්ගේ ඇඳුම් මැසීමට ගන්නා හිත් ගෑම් නම් කපු කොටු රෙදි යාර පතක් මිලදී ගත් බිලක් එහි තිබුණි. එසේම අගනුවර ජාතික මාළිගයේ උත්සවයක් සඳහා ඇරයුම් පතක් ද විය. අනතුරුව ලියුම් හතරක් ඒවා ලියෝ විසින් මවෙත එවන ලද ඒවාය. 


මා ඒවා කියවා ගෙන ගියේ දැඩි ලෙසය. එහි සඳහන් වූ අන්දමට ඔහු රට හැර යාමට කළ යෝජනාවට මා ප්‍රතිචාර දක්වා නොතිබුණි. ඒ කවර යෝජනාවක් ද? ඔහු මට කොලොම්බියානු තානාපති කාර්යාලයට යාමට කටයුතු සූදානම් කර තිබුණි. මා ඔහුගේ ඥාති සොයුරා මාරියෝ මගින් දැනුම් දීමක් කළ යුතු වුණි. ඔහු මගේ පිළිතුර අපේක්ෂාවෙන් පසු වී තිබිණ. තව දුරටත් පිළිතුරක් නැතැයි තෙවැනි ලිපියෙන් පැමිණිලි කර තිබිණ. අවසන් ලිපියෙහි ඔහු එදින රැයේ කුඩා රාජ්‍ය දුත යානයකින් රට හැර යන බවය. ඒ මොහොතේ මට එය අපහසු දායක පියවරක් වනු ඇතැයි ඔහු අනුමාන කර තිබිණ. අනාගතයේ දිනක එය කළ හැකි වනු අතැයි ඔහු බලාපොරොත්තුවක් පමණක් සිතේ රඳවාගෙන තිබිණ. 


මට විශාල යමක් මඟ හැරී ඇතැයි එකවර අවබෝධ වුණි. මා ලියෝ සමගින් නික්ම ගියේ නම් එයින් මගේ දිවියට වැඩි වැදගත්කමක් ලැබෙනු ඇත. නමුත් ඒ ගැන දැන ගැනීමට හෝ නොලැබුණ විට මා කුමක් කරන්න ද? 
මම මගේ පෙර පරස්පර අදහස් සහිත වීම අමතක කර දමා හැම දෙයක තාත්තාගේ වරදින් සිදු වු බවට නිගමනය කළෙමි. ඔහුගේ තරුණ ගැහැනිය, ඔහු අම්මාට කළ රිදවීම්, නිවසේ සිටිය දී ඔහු මා සිරකළ අන්දම, මේ සියල්ල ඔහුගේ වැරදිය. 


මගේ දෑත් වෙව්ලන්නට වු බැවින් මට ලියුම් සියල්ල නිසි පරිදි තමා කවරයේ දැමීම අපහසු වුණි. මම ඒවා සාක්කුවේ තබාගෙන බිල්පත් හා ඔහුගේ දේවල් පමණක් ආපසු තැබුවෙමි. මා අල්මාරියේ දොරවල් එලෙසම තිබෙන්නට හැරියේ මා ඒවා සොයා ගත් බව ඔහුට දැන ගැනීමට ඉඩ හරිනු පිණිසය. 


මිනිත්තුවක් ගත වන්නට පෙර මා ජීප් රිය ගුගුරවමින් පාරට බැස්සේ අම්මාට වචනයක් හෝ නොකියාය. මා කුමක් කියන්නද? මා යමින් සිටියේ කිසිදු යහපතක් දැකිය නොහැකි මගේ පියා සොයා ඔහු ආපසු ඇදගෙන ඒමටය. 


ඔහු සිටිනු ඇත්තේ කොහි දැයි මම දැන සිටියෙමි. දැන් පියාගේ වැඩ කටයුතු බෙහෙවින් දියුණු වී තිබු බැවින් ඔහු ජීප් රියක් ද මිලදී ගෙන තිබුණි. ජීප් රියේ නොව ෆෝඞ් රථයෙන් යන විට ඔහු ගියේ කුඹුරු වැඩ සෙවීමට නොවන බව මම හොඳින්ම දැන සිටියෙමි. මම එක එල්ලේම එම කහ පාට නිවස බලා ගියෙමි. 


මා එහි යන විට මෙම කෙල්ලන් සිව් දෙනා මා දෙස බැලුවේ තැති ගත් ලෙසය. සියල්ලටම පසුව ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි තැනැත්තා එහි සිටි අතර ඔහුගේ මෝටර් රථය පාරට නොපෙනෙන සේ නිවස පිටුපස නතර කොට තිබිණ. මා මඩ පාරට හරවා ජීප් රිය ෆෝඞ් රථයේ හප්පා දැමුවේ එහි බම්පරය හැකිලී පිටුපස වීදුරුව කුඩු වී වැටී යන ලෙසිනි. අනතුරුව මම පහළට විත් තාත්තා කමිසයක් ද රහිතව දොරකඩින් මතු වන තුරු ජීප් රියේ නලාව නාද කළෙමි. 


ඔහු මා දෙස බැලු එක බැල්මෙන්ම ඕලිව් පාට සමක් සහිත මිනිසෙකුට සුදු මැලි පාට හැරීමට හැකි උපරිමයට සුදු මැලි වුණි. දිගු වේලාවක් ගත වන තුරු ඔහු කිසිවක් නොකීවේය. ඔබට මොනවද උවමනා ? ඔහු අන්තිමේ දී ඇසුවේය. 


කුඩා දැරියෙක් හඬන හඬ මට ඇසිණ. මගේ මුහුණත් කඳුළින් තෙමී යනු මට දැනිණ. තාත්තා ඉදිරියට එත්ම මම අවවාදාත්මකව නළාව හඬවා වැලි පාරේ පසුපසට රිය ධාවනය කර එය පාරට හරවා ගතිමි. වංගුවෙන් ඉවතට පැන ගත් ජීප් රිය බැඩ වැටි දිගේ ගියේ කෙසෙල් ගස් දොඩම් අඹ හෝ යුක්කා පාරට විසුරුවමිනි. එයින් මා නතර නොවීය. කෙමෙන් කෙමෙන් කුඩා වී යන ඔහුගේ රුව මම නෙත් කොනින් දුටුවෙමි. 


මා නිවසට යන වට අම්මා දොරකඩ බලා සිටියාය. මා දෙස නෙත් යොමා සිටිය දී ඈ එය දැන ගන්නට ඇත. 


“මින්මතු යන තැනක් තියන්නේ නැතුව ඔයාට මේ ගෙදරින් එළියට අඩිය තියන්න බැහැ”යි ඈ කියා සිටියාය. ඇගේ බැණුම්වල ඵල රහිත බව අපි දෙදෙනාම දැන සිටියෙමු. මා ගියේ කොහිද කියා අම්මා නොවිමසුවාය. 
එදින රැයේ තාත්තා ආපසු ආවේ කේන්තියෙන් හැකිළී ගිය මුහුණින් යුතුවය. ඔහු නිහඬවම රාත්‍රී ආහාර ගත්තේ ගොවිපොළ හි යම් කිසිවක් නිසා කලකිරීමට පත් බව අඟවමිනි. අම්මාට සැකයක් ඇති නොවන පරිදි මම නිදහසට කරුණක් කිවුවෙමි. මට ඉවසා ගත නොහැකි තරමට හිස රිදෙන බව කියා මම කාමරයට ගියෙමි. 


ස්වල්ප වෙලාවකට පසුව තාත්තා දොරට තට්ටු කරනු මට ඇසිණ. අපි එළියට ගිහින් කතා කරමු. ඔහුගේ හඬ දොර අතරින් ඇදී ආවේ නියෝගයක් විලසිනි. මම මුහුණට වතුර ඉසගෙන කොණ්ඩය අතින් සකසා ගෙන තාත්තා සොයා මිදුලට ගියෙමි. 


ඔහු මා කැටුව අඳුරු ගෙවත්තේ නතර කොට තිබු තැළුණු ෆෝඞ් රථය පසු කර ඉදිරියට ගියේය. සිහින් වූ දිළිසෙන සඳවත වලා තීරයක් අතරින් එබිකම් කරනු පෙනිණ. තාත්තා නතර වී මවෙත හැරෙන අන්දම මට සඳ එළියෙන් පෙනිණ. ඔහුගේ හැකිළී යාමත්, මාගේ උසත් නිසා මේ වේලාවෙ අප සිටියේ ඇසට ඇසක් හමුවන පරිදිය. එය ළඟා වූයේ අවවාදයක් ලෙසින් නොවීය. ඔහුගේ අතක් මගේ මුහුණෙහි පැත්තක වැදුණේ එය මින් පෙර කිසිදාක මගේ සිරුරැති කිසිදු තැනක නොවැදුණ තරම් වේගයෙනි. 


මා පසුපසට විසිව ගිය නමුත් ගල් ගැසුණු ලෙස නතර වූයේ මගේ හිස පුපුරණ වේදනාවට වැඩි දෙයක් ඔහුගේ පහරින් ලද බැවිනි. 


උඹ දැන්වත් මතක තියා ගනින් උඹේ තාත්තාට යම්තාක් දුරකටවත් ගෞරව කරන්න ඕනෑ බව. 


“මගෙ කිසිම දෙයක් ඉතිරිවෙලා නැහැ”යි මම කීවෙමි. මගේ හඬ ද ඔහුගේ විධානාත්මක හඬ පරදවන සුලු විය. ඔබ මගේ ගෞරවය අහිමි කර ගත්තා. 


ඔහුගේ උර හිස් හැකිළී යනු මට පෙනිණ. එවිට එය මට ඔහුගේ කම්මුල් පාරටත් වඩා රිදුමක් ඇති කළේය. මම පියා ට වැඩියෙන් සවිමත්ය. අම්මා ඊටත් වඩා සවිමත් වූවාය. තාත්තා හැමටම වඩා දුබල මනසින් යුතු වුණි. ඔහු තෝරා ගත් අපිළිවෙළ ජීවිතය නිසා වඩාත් පීඩාවට පත් වන්නට ඇත්තේ ඔහුමය. ඔහුට අපේ සෙනෙහස ඇවැසි විය. මං ඒවා හැංගුවේ ඔයාගේ ආරක්ෂාවට යි තාත්තා කීවේය. ඔහු කියන්නේ මොනවා දැයි මුල දී මට නොවැටහුණි සිය කබා සාක්කුවෙන් ලියුම් නැති වී ඇතැයි ඔහු දැනගෙන බව මට පසුව අවබෝධ විය. 


මම දන්න තරමින් වර්ජිලියෝගේ මිතුරන් තුන් දෙනෙක් විතර අතුරුදහන් වෙලා. 


මගේ ලිපි හැංගීම ගැන මගේ කෝපය නිවී ගිය පසුව සියල්ල සංසුන් වනු ඇතැයි තාත්තා සිතූ බව පෙනිණ.

 

 

 

 

 

 

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර