88/89 සමයේ රට පුරා පැතිර ගිය කොටි ත්‍රස්තවාදයත් ජවිපෙ දෙවැනි කැරැල්ල ලෙස හැඳින් වූ දේශප්‍රේමී ව්‍යාපාරයත් නිසා හෝ වෙනත් බලවේගයන්ගේ අත පෙවීම් නිසා ද අනාගතයට අහිමි වූ ක්‍රියාශීලී විද්වතුන්ගේ ගණන අතිවිශාලය. කාගේ වුවමනාවකට කාගේ අණකට ක්‍රියාන්විත වූවා දැයි වටහා ගත නොහැකි එහෙත් නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්ක වූ මේ වටිනා ජීවිත අහිමි වීමෙන් රටේ දියුණුවට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ, කෝටි, මිලියන, ටි්‍රලියනවලින්ද ගණන් බලන්නට නොහැකිය.


එදා පැවැති වාතාවරණය ගැන පමණක් සිතා අන්තිම විසඳුම යැයි තීරණය කර ගිනිඅවියෙන් ඝාතනයට ලක් කළ විද්වතුන් හා ඔවුන්ගේ ශිෂ්‍යකාරකාදීන් මෙන්ම යැපෙන්නන්ද කාලයේ වැලිතලාවෙන් වැසීයන්නට ආසන්නය. “සැබැ වෙනසක් පතා අහිංසක ජීවිත දහස් ගණනකට වන්දි ගෙවීමට සිදුවූ මෙම යුගය ලක් ඉතිහාසයේ කළු අකුරින් ලියා තැබීම සුදුසුය.”


“උතුරු කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලය” නමින් එදාද “රාගම වෛද්‍ය පීඨය” නමින් පසුකාලීනව ද හැඳින්වුණු පෞද්ගලික විශ්වවිද්‍යාලයේ නාමයෙන් ද මෙරට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඝාතනයට ලක්විණ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවිය දැරූ ජනප්‍රිය එසේම කෘතහස්ත මහාචාර්යවරයකු වූ ස්ටැන්ලි විජේසුන්දර වියතාණන් තම කාර්යාලය තුළම ඝාතනය කෙරුණේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.


ස්ටැන්ලි විජේසුන්දර මහාචාර්යවරයා වනාහි රසායන විද්‍යා අංශයෙන් මෙරටට උරුම වූ මහා වියතෙකි. එම විෂයෙන් ප්‍රථම පශ්චාත් උපාධිය සමර්ථව කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස 1947 දී බැඳී එහි පීඨාධිපති තනතුරට 1978 දී පත් විය.


1983 දී ජීව රසායන විද්‍යාව :ඊසදජයැපසිඑරහ* පිළිබඳ මහාචාර්ය ධුරයට ද කොළඹ සරසවියේ උපකුලපති ධුරයට මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති පදවියට ද පත් විය.


මහාචර්යවරයා කිසි දිනක රජයට හෝ විරුද්ධවාදීන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළ කෙනකු බව හෙළි නොවුණ ද ඔහු අධ්‍යාපන ධවල පත්‍රිකාව සෑදීමට මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කිරීමට මුල් වී ක්‍රියාකළ බවට දේශප්‍රේමී සංවිධානය චෝදනා කර තිබිණ. එබැවින් මහාචාර්යවරයා නොදැනීම භීෂණයේ සෙවණැල්ල ඔහු මතද වැටී තිබුණා විය හැකිය.


එහෙත් එවැනි සතුරු බලවේගයක් තමන් වෙත එල්ල වේ යැයි මහාචාර්යවරයා මොහොතකුදු නොසිතීය.


“කාටත් එක විදියට සලකා කටයුතු කරනවා නම් මොනම හතුරෙක්වත් පස්සෙන්  එන්නෙ නෑ පුතා. තමන් ඉගෙන ගත්ත දේ අනුව රටට සේවයක් කරනවා නම් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?”


මහාචාර්යවරයා තමාගේ ශිෂ්‍ය ප්‍රජවට නිතර පැවැසූ වදන්ය. ඔහු සියලු සිසුන්ට “පුතා” යැයි ඇමතීය.


විශ්වවිද්‍යාල ප්‍රජාව මූලික කරගනිමින් රටම ත්‍රස්තවාදී ගින්නෙන් ඇවිළෙද්දී මහාචාර්යවරයා ආරක්ෂකයන් නොමැතිව හුදෙකලා වේ පාරිසරික සිරිවිඳිමින් සනාතන මන්දිරයේ රාජකාරිය සඳහා දිනපතා ආවේය.


මහාචාර්යවරයාගේ එකම සැනසීම වූයේ හෙට දවසේ සිදුකළ යුතු කාර්යභාරය පිළිබඳ හැදෑරීම පමණි.


මිය යන විටද ඔහුගේ සාක්කුවේ වූයේ උපැස් යුවළක්. අත්ඔරලෝසුවක් පසුදාට යොදාගත් වැඩ ලේඛනයක් පමණි.


දිනය 1989 මාර්තු 08 වැනිදාය. කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මැදුරු පරිශ්‍රයේ රුක්ගොමුව ඉහළින් හිරු රැස් ගලා එමින් තිබිණ. වෙලාව උදෑසන 10.25ට පමණ ඇත. 


නිසල පරිසරය මැදින් සුපුරුදු තැන්පත් විලාසයෙන් සනාතන මන්දිරයේ කන්තෝරු කාමරයට පිවිසි මහාචාර්යවරයාට එහි රැඳී ඉන්නට ලැබුණේ සුළු මොහොතක් පමණි. ඔහුගේ ඉදිරිපිට සිටගෙන සිටියේ විශ්වවිද්‍යාලයේදී ඔහුට මුණ ගැසී නැති තරුණයෙකි. ඔහු අත ලිපිගොනුවක්ද විය.


සුපුරුදු ලෙසම මහාචාර්යවරයා ඔහුට ඇමැතීය. “ඇයි පුතා මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ?” අමුත්තා මහාචාර්යවරයා හඳුනන්නේ නැති බව ඔහුගේ පිළිතුරෙන් කියැවිණ.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1980 මැයි මාසයේ ඍැ්ාසබට විශ්ව විද්‍යාලයේ සංචාරය කිරීම. වමේ සිට දකුණට: ඍැ්ාසබට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එවාන් පීඩි, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, ඍැ්ාසබට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය රොබට් කර්නෝව් සහ මහාචාර්ය වී. කේ. සමරනායක

 


“මේ ප්‍රොෆෙසර් විජේසුන්දර?” ඔහු ඇසීය. “ඔව් පුතා” යැයි කියත්ම තමා පිටුපසට කර සඟවාගත් ගිනිඅවිය වමතින් ගත් නාඳුනන තරුණයා එය මහාචාර්යවරයාගේ වම් කනට ආසන්නයෙන් ක්‍රියාත්මක කළේය. අනතුරුව තමා පැමිණි කෙටි මගින්ම පලා ගියේය. යතුරුපැදියක හඬක් ද ඒ සමගම ඇසිණ.


බාහිර පරිසරයේ ඝෝෂාව නිසා මාරක වෙඩි හඬ තුනේ රාවය සනාතන මන්දිරයේ අවට කාහටවත් ඇසී නොතිබිණ.


කාර්යාලයේ කිසිදු ලියැවිල්ලකට හෝ භාණ්ඩයකට අලාබ හානියක් නොතිබිණ. එකම පිළිගත හැකි සාධකය වූයේ පැරැණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිර්මාණය වූ කොරිඩෝරයේ ලණු පාපිස්ස මත ලේ ගංගාවක් මැද වැතිර තිබූ මහාචාර්යවරයාගේ දේහය පමණි.


“මරණයක් වෙලා. පරීක්ෂණයට එන්න.”


දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෝහාරික විද්‍යා අංශ මහාචාර්යවරයාට ඇරයුමක් ලැබිණ. එහෙත් මරණ බිය නිසා ඔහු එය භාර නොගත්තේය. අනතුරුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය එම්. එස්. එල්. සල්ගාදු මහතාට ඒ ඇරයුම ලැබිණ. පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් මහේෂි ගුණතිලක මහත්මියගේ නියෝගය ද ඔහු වෙත ලැබිණ. තම ළඟම මිතුරාගේ මරණ පරීක්ෂණය තමා වෙත පැවරෙතැයි වෛද්‍ය සල්ගාදු සිහිනෙන්වත් නොසිතුවේය.


ලේ විලක් මැද වැතිර තිබූ ස්ටැන්ලි විජේසුන්දර නම් තම සහෝදර විද්වතාගේ සිරුර දුටු වෛද්‍ය සල්ගාදුටද ජීවිත බිය දැනෙන්නට විය. ලේ විල මැදින් මාරක උණ්ඩය ද හමු විය. පලු දෙකේ විවෘත දොරේ සිට අඩි 04ක් දුරින් පොළොව මත තිබී උණ්ඩ දෙකක් සොයා ගැනුණි. වෙඩි තබා තිබුණේ මහාචාර්යවරයා ආසන්නයටම පැමිණ වම් කන දෙසටය. උණ්ඩය හිසේ අභ්‍යන්තරය බිඳගෙන අනිත් පසින් මතුව තිබිණ. පසුදා එනම් මාර්තු 09 වැනිදා කළ යුතු වැඩ රාජකාරි පිළිබඳ ඔහුගේම අතින් තබන ලද සටහනක් සාක්කුවේ තිබී සොයා ගැනිණ.

 

මෙය සිදුවූයේ ඇත්ත වශයෙන්ම වෙඩි වැදී සිදුවූ මාරක තුවාලවලින් ද නැතහොත් මිනීමරුම දැක සිදු වූ කම්පනයෙන් හෘදයාබාධයක් උත්සන්න වීමෙන් ද යන කරුණ මෙහිදී සැලකිල්ලට ගැනිණ. හදවත, මොළය, අක්මාව හො පෙණහලු වැනි වැදගත් ඉන්ද්‍රියන්ට සිදුවූ හානිය පිළිබඳවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අවධානයට යොමුවිණ.


සියුම් විශ්ලේෂණයකින් පසු කරුණු නිරාවරණය වුණේය. පළමු උණ්ඩය මහාචාර්යවරයාගේ වම් හනුවට වැදී තිබූ බව අස්ථිවලට වූ බරපතළ හානියෙන් පෙනී ගියේය. එය වමේ සිට දකුණට මොළය සිදුරු කරමින් ගොස් කම්මුලට යටින් අස්ථිය සිදුරු කර පිටව ගොස් තිබිණ.


දෙවැනි උණ්ඩය ද කන ඉහළ දාරයෙන් ඇතුළුව පළමු උණ්ඩය සේම කළු පැහැති පැල්මක් ඇති කර ඇළාකාරයට  මොළයට හානි කරමින් මුඛයේ උඩු තල්ලෙන් පිටවී තිබුණේය.


තුන්වැනි උණ්ඩය ද වම් කනට පිටුපසින් මරණීය තුවාල සිදුකරමින් කෙළින්ම මොළයට ඇතුළු වී තිබිණි. හිසට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වූ හානි හැර මහාචර්යවරයාගේ සිරුරේ කිසිදු ස්ථානයකට හානි නොවූ බව හෙළි විය.

 

 

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය පිළිබඳ සැකය කොටි ත්‍රස්තවාදයට මෙන්ම ජවිපෙ සන්නද්ධ කල්ලියට ද එල්ල විය. ඉතා කඩිනමින් සිදුවූ පොලිස් පරීක්ෂණවල නිගමනය වූයේ මෙය ද ජවිපෙ සන්නද්ධ කල්ලියේ ක්‍රියාවක් බවයි.


මෙසමයෙහි පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, විජය කුමාරතුංග, එජාපයේ නන්දලාල් ප්‍රනාන්දු වැනි නිල ක්‍රියාකාරීන් ඇතුළු 41ක් මරා දැමූ බවට චෝදනා එල්ල වූ ලයනල් රණසිංහ නැමත්තා මහාචාර්යවරයාගේද ඝාතකයා බව හෙළි විය.


1978 දී ජවිපෙට එක්වී පූර්ණකාලීනයකු වූ ලයනල් රණසිංහ යන අයට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1986 දෙසැම්බර් මසදී දින 05ක් බඹරකන්දේදී හා 1987 අප්‍රේල් මස 01 වැනිදා සමනල කන්දේදී ද යුද පුහුණුව ලබා දී තිබිණ.


හුන්නස්ගිරිය කන්දේදී සහ නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේදී ද පුහුණුව ලැබූ සාමාජිකයන් අතර ලයනල් රණසිංහ ද විය. ඔහුගේ සහයකයන් වූයේ බෙනට් සහ ජයන්තය. මිලිමීටර් 9 පිස්තෝලයක් හා රිවෝල්වරයක් ඒ සඳහා යොදා ගැනිණි. උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරට එල්ල වූ චෝදනා වූයේ අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීම සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මූලික වීම ලෙස සැලකේ.


විජේරාම හන්දියේ හෝටලයෙන් තේ බී ලිපිගොමුවක් බහාලු කවරයක් ද අතැතිව සනාතන මන්දිරයේ තරප්පුපෙළ දිගේ උඩුමහලට පිවිසි ඝාතකයා එහි සිටි අයකු ඉවත්වන තුරු සිට මෙම අපරාධය කර තිබේ.


ලයනල් අත්අඩංගුවට ගනු ලැබූයේ කොළඹ බෞද්ධාලෝක මාවතේදී අත්අඩංගුවට ගත් කැරලිකරුවකුගේ සාක්ෂියක් අනුවය. 1989 මාර්තු 14 වැනිදා පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැනුණු ඔහුට ද ඔක්තෝබර් 04 වැනිදා හංවැල්ලේදී අත්වූයේ ද රටක් වටිනා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දයන්ට සමාන ඉරණමකි.

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි


ඡායාරූප : අන්තර්ජාලයෙනි.