මෙරට තදින්ම භීෂණය පැතිර ගිය යුගයක් ලෙස 1988-1989 වකවානුව ඉතිහාසයේ සටහන් වෙයි. එය ජනතා  විමුක්ති පෙරමුණ ඇරඹූ 1971 අප්‍රේල්  කැරැල්ල තරමටම දරුණු වූ භීෂණකාරි යුගයක් විය.
ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය යැයි කියාගත් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය පළාත් සභා මැතිවරණවලට විරුද්ධව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට පමණක් නොව මැතිවරණ දිනයේ පළමුව ඡන්දය දමන්නට යන පස් දෙනාත් මරණයට පත් කරන බවට ප්‍රචාරය කළේය.


ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංගයන්ද නාරාහේන්පිට ඔහුගේ නිවස ඉදිරිපිටදීම තුවක්කුකරුවන්ගේ එල්ලයක් බවට පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ජනතා විමුක්ති පෙරමුණද මැතිවරණයට ඉදිරිපත් නොවී මැතිවරණය වර්ජනය කළහ.


තරගයේ සිටියේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත්  සමාජවාදි පෙරමුණ පමණි. එක්සත්  ජාතික පක්‍ෂයට ආණ්ඩු බලය තිබීම හේතුකොට ගෙන ප්‍රචාරක ව්‍යාපාරයක් කරගෙන යාමට අවස්ථාව තිබුණත් එක්සත් සමාජවාදී පෙරමුණට භීෂණ තත්ත්වය තුළ ප්‍රචාරක කටයුතු කරගෙන යාම ගැටලුවක් විය. 


දේශපාලනයෙන් ඉවත් වන ලෙස බොහෝ ක්‍රියාකාරින්ට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මගින් තර්ජනාත්මක ලිපි ඒවා  තිබුණේ තමන් දේශපාලනය අත්හළ බවට බැනරයක් දමා ප්‍රසිද්ධ කරන ලෙසද දැනුම් දෙමිනි. එසේ නොකළහොත් උරුමය මරණය බවද කියා තිබිණි.


මැතිවරණ දැන්වීම් පත්‍රිකා පෝස්ටර් මුද්‍රණය නොකරන ලෙස මුද්‍රණාලවලටද දැනුම් දී තිබිණි. එවකට මම ශ්‍රී ලංකා මහජන පක්‍ෂය මගින් නිකුත් කරන ලද ‘ඇස’ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයේ සේවය කළෙමි.
පුවත්පතේ කටයුතු නවත්වන ලෙස මටද එය මුද්‍රණය කළ මරදාන මාලිගාවත්තේ ජුම්මා මස්ජිඞ් පාරේ මුද්‍රාණාලයේ අයිතිකරුවන්ට ලිපි එවා තිබිණි. මුද්‍රණාල හිමිකරු පුවත්පත මුද්‍රණයට බියවීම  නිසා  පුවත්පත මුද්‍රණය අත්හිටුවීමට සිදුවිය. 


මේ අවදියේ මහජන පක්ෂයට පමණක් නොව එක්සත්  සමාජවාදී පෙරමුණේ සියලු පක්‍ෂවල අපේක්‍ෂකයන්ටත් තිබුණු ලොකුම ප්‍රශ්නය පෝස්ටරයක් මුද්‍රණය කර ගැනීමය. 


තර්ජනය කිරීම් කිහිපයකට ලක්ව තිබූ නිසා මේ අවධියේ මා ද කොළඹට පැමිණියේ උපක්‍රමශීලි ලෙසිනි. පරණ පා පැදියක් ගෙන තරමක කිලිටි ඇඳුමකින් සැරසී හොර පාරවල් ඔස්සේ කොළඹ පැමිණ ප්‍රචාරක කටයුතුවලට සහාය වෙද්දී දිනක් මරදාන ශ්‍රී වජිරඥාන මාවතේ මහජන පක්ෂ මූලස්ථානයට නුදුරේදී අහම්බෙන් මෙන් අලුතින් මුද්‍රණාලයක් ආරම්භ කිරීම සඳහා වෙළෙඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ ලේඛනයක පිටපතක් බිම වැටී තිබී අහුලා ගතිමි.


මැතිවරණ අපේක්ෂකයන්ට පෝස්ටර් මුද්‍රණය කරදීමට මෙය හොඳ අවස්ථාවක් යැයි මට සිතිණි. ජුම්මා මස්ජිඞ් මාවතේ මුද්‍රණාලය හිමි හිතවතා මුණගැසී ඔහු හා කතා කොට කඩවතට නුදුරු නිවසක මුද්‍රණ යන්ත්‍රයක රහසේ පෝස්ටර්  මුද්‍රණය කරදීමට සැලසුම් කළෙමි. ඒ මා විසින් අහුලන ලද ලියාපදිංචි කරන ලද මුද්‍රණාලයේ නමිනි. මෙම මුද්‍රණාලය ලියා පදිංචි කරන්නට ඇත්තේ කෙතරම් බලාපොරොත්තු සහගතවද? විජයගේ මරණයත් සමග ඒ සියල්ල කැඩී බිඳී ගියේය.


භාරත ලක්‍ෂ්මන්, ටියුඩර් දයාරත්න, මොනරාගල ප්‍රේමරත්න, දයාරත්න රණේපුර වැනි කිහිප දෙනෙකුට කඩවත මුද්‍රණ යන්ත්‍රයෙන් පෝස්ටර් මුද්‍රණය කර දුනිමි.


පෝස්ටරයේ යටින් විමුක්ති ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලදි යනුවෙන් සඳහන් කළෙමු.

 

 

මේ මුද්‍රණාලය කාගේද? 1987 ජුනි 23 දින අංක 925505 යටතේ විමුක්ති ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් - මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ ලෙස සඳහන් කරමින් ලියාපදිංචි කරන ලද මෙම මුද්‍රණාලයේ අයිතිකරුවන් ලෙස සඳහන් කර ඇත්තේ නම කී පමණින් රටම දන්නා තිදෙනෙකි.


එහි අයිතිකරුවන් ලෙස ප්‍රථමයෙන් නම සඳහන් වන්නේ විජය කුමාරතුංග චිත්‍රපට නළු, 22/4 පොල්හේන්ගොඩ පාර කොළඹ 5 ලෙසය.


දෙවැන්නා ගොඬේවත්ත ආරච්චිගේ බන්දුල පද්මකුමාර ප්‍රවෘත්ති ලේඛක, 219/8ඒ, කොළඹ පාර දිවුල්පිටිය බොරලැස්ගමුවයි.


අනෙක් අයිතිකරු වන්නේ නම්බුකාර හෙළම්බගේ රංජිත් හරිස්චන්ද්‍ර සේනාරත්න දන්ත වෛද්‍ය 25, නොරිස් කැනල් පාර, කොළඹ 10 වෙයි.


මෙම මුද්‍රණාලය ලියාපදිචි කළ ලියැවිල්ල අනාගතයේදී ඉතා  වටිනා ලේඛනයක් විය හැකි යැයි එය සුරැකිව තබා ගතිමි.


අද විජය කුමාරතුංගයන් අප අතර නැත. බන්දුල පද්මකුමාර තවමත් මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටී. මෙයින් හරිස්චන්ද්‍ර සේනාරත්න හෙවත් රාජිත සේනාරත්න වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකි.


කෙසේ වෙතත් විමුක්ති ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් යනුවෙන් දෙතුන් දෙනෙකුට පමණක් පෝස්ටර් මුද්‍රණය කර දුන් අතර එතැන් සිට මැතිවරණ අපේක්ෂකයෝ තම තමන් විසින් වෙනත් මුද්‍රණාලවල විමුක්ති ප්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් නමින් පෝස්ටර් මුද්‍රණය කර එළිදක්වන්නට වූහ.

 

 

 

 

 

දයා සෝමසිරි