දූෂණයෙන් මෙන්ම භීෂණයෙන් වෙළීගිය කාලීන දේශපාලන වාතාවරණය ගැන සිය පෑන් තුඩින් ලියූ අදහස් දෙබස් බවට පෙරළා ජනතාව දැනුම්වත් කිරීමට සිහින මැවූ මානව හිතවාදී මාධ්‍යකරුවකුගේ ඉරණම කුරිරු අයුරින් විසඳුණේ මින් වසර 18 කට පෙර කොරළවැල්ල මුහුදු වෙරළේදීය.


ඒ ප්‍රවීණ තරුණ රූපවාහිනී නිවේදකයකු පිටපත් රචකයකු නිවේදකයකු මෙන්ම ජනමාධ්‍ය වේදියකුවූ රිචඞ් ද සොයිසාගේ ඝාතනයයි. දිවංගත මාධ්‍යවේදී සෝමවීර සේනානායකයන්ගේ යශෝරාවයේ ඔහු කළ රංගනය තවමත් ප්‍රේක්ෂකයන්ගේ මනසින් බැහැරව නොමැත. ඉතාලියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ටර් ප්‍රෙස් සර්විසස් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කළ සමයේ රිචඞ් ද සොයිසා විසින් රට තුළ පවතින එල්.ටී.ටී.ඊ ජවිපෙ මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදී භීෂණය පිළිබඳ වාර්තා ලොවට සැපයිය.


එනිසාත් ඔහුගේ පැවැති පෙරළිකාර අදහස් නිසාත් රිචඞ් කෙරෙහි ත්‍රස්තවාදී බලවේග රැසක් වෛර බැඳ සිටියේය. කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් පෙරේරාගේ නිෂ්පාදන දායකත්වයෙන් වේදිකාගත වීමට නියමිතව තිබූ පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබූ මේ කවුද? මොනවද කරන්නේ? යන නාට්‍යයේ රචකයා වූයේ රිචඞ් ද සොයිසාය.


මෙම කතාව තුළ සැඟවී තිබූ අදහස් සමාජය විසින් වැලඳගන්නා බව දැනගෙන දෝ ඊට පෙර දිනවල මිනීමරු බලවේග ඔවුන් දෙදෙනා බිලිගත්තේය. ලක්ෂ්මන් පෙරේරා නාඳුනන කල්ලියක් විසින් පැහැරගත් බව ආරංචිවුවත් ඔවුන් මෙහෙය වූ බලවේග පිළිබඳව ඇතැම් දෙනාට රහසක් නොවීය. පෘතුගාලයේ මාධ්‍ය සංවිධානයකට සම්බන්ධවීමට සූදානම්ව සිටි රිචඞ් ද සොයිසා 1990 පෙබරවාරි 18 වැනිදා පාන්දර 2.30ට නිවසට කඩාවැදුණු සන්නද්ධ කල්ලියක් විසින් පැහැර ගැනිණි. ඒ රාජගිරියේ තම මවගේ නිවසේදීය.


නිවසේ දොරට කිසිවකු තට්ටු කරනු ඇසී රිචඞ් සහ මව අවදි වූහ. භීෂණයේ රකුසා තරුණ වියේ දරුවන් බිලිගන්නා බව අසා ඇතත් මෙතරම් ඉක්මනින් නිහඬව ජීවත්වන තම පවුල වෙත පැමිණෙු ඇතැයි රිචඞ්ගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය නොසිතන්නට ඇත.


“අපි පොලිසියෙන් අරිනවා දොර”, දෙවරක් නොසිතූ රිචඞ් දොරගුලු විවෘත කළේය. සාහසික පිරිස රිචඞ් පිටිතල හයා අල්ලාගත්ත.


අපි මෙයාගෙන් කටඋත්තරයක් අරන් ආපසු එවනවා. දොර වහගන්න. බියෙන් මුසපත් වූ මවට සාහසික පිරිස පැවසූහ. “අනේ මගේ පුතා වරදක් කරල නෑ.”


“ඇයි එයා ගෙනයන්නෙ කොහාටද?” මව ප්‍රශ්න වැලක් ඇසුවාය. ඒවා පස්සේ දැනගන්න ලැබෙයි. ඔවුහු රිචඞ් ඇදගෙන යන්නට වූහ.


‘දැන් එයා ගෙනියන්න එපා, මං පුතා අරන් උදේට පොලිසියට එන්නම්.’ ඇය වැලපෙමින් ඔවුන්ට පින්සෙන්ඩු වූ නමුත් තරුණයා රියට නංවාගත් සාහසිකයෝ විදුලි වේගයෙන් පලා ගියෝය. සිහිවිකල් බවට පත්වූ මව දන්නා අඳුනන හැමටමත් ආරක්ෂක අංශවලටත් දුරකථන ඇමතුම් දුන්න ද රැය පහන් වීත් රිචඞ් ගැන තොරතුරක් නොලැබිණි.


එදින මැදියම් රැයේ ගුවන් විදුලියේ රිචඞ් සමග සේවය කළ මාධ්‍යවේදිනියකගේ නිවසට ද අවිගත් පිරිසක් කඩා වැදී තිබිණ. තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් නිවසේ හිමිකරු වන මාධ්‍යවේදිනියගේ සැමියාට තර්ජනය කර රිචඞ්ගේ ලිපිනය ඉල්ලා තිබිණි. ඔවුන්ගේ පුතුගේ ගෙලට මුවහත් අවියක් තබා ලිපිනය නොදුන්නොත් මරා දමන බව පැවසූහ. බියට පත් හිමිකරු හිතවතුන්ගෙන් විමසා ලිපිනය ලබාදුන් අතර ඒ අනුව රිචඞ්ගේ නිවස සොයා ගිය බව කියති.


පොලිස් හා හමුදා කඳවුරු එසේ පැහැරගත් තරුණ තරුණියන්ගේ මව්පියන්ගෙන් පිරී තිබිණි.


‘අපි එහෙම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ.’


‘අපි එයාව අදාළ තැන්වලට භාරදුන්නා’


‘එයාගෙන් තාම ප්‍රශ්න කරනවා’


මෙවැනි පිළිතුරු මිස දරුවන් මව්පියන්ට පෙන්වීමට තරම්වත් ආරක්ෂක නිලධාරීහු සානුකම්පිත නොවූහ. මනෝරාණි සරවනමුත්තු මහත්මිය රට පිළිගත් වෛද්‍යවරියක වීමත් රිචඞ් ද සොයිසා ජාත්‍යන්තරය පිළිගත් මාධ්‍යවේදියකු වීමත් නිසා ඔවුන්ට පිහිටක් ලැබේවි යැයි සිතීම මිරිඟුවක්ම විය.


රිචඞ්  ද සොයිසා සොයා මාධ්‍ය ආයතන සහ ආරක්ෂක නිලධාරින් වෙහෙසෙද්දී පසුදා පෙරවරු 10ට පමණ දැනගන්නට ලැබූ පුවතකින් දකුණු පළාත ඇළලී ගියේය. ඒ මොරටුව කොරළවැල්ල මුහුදු තීරයට තරුණ මළ සිරුරක් ගොඩගසා ඇති බවය. කුරිරු ලෙස වධ හිංසා කර වෙඩි තබා ඝාතනය කර තිබූ රූමත් තරුණයකුගේ නිරුවත් මළ සිරුරක් එහි වූ අතර කළුබෝවිල මහ රෝහල වෙත රැගෙන ගොස් තැන්පත් කෙරිණි.
එදින රාත්‍රී 9.45 ට තම ආදරණීය පුත්‍රයාගේ නිසල සිරුර සරවනමුත්තු මහත්මිය හඳුනාගන්නේ එහිදීය. අනතුරුව රිචඞ්ද සොයිසාගේ සොහොයුරු මයිකල් ජෝන් සොයිසා විසින්ද සිරුර හඳුනා ගැනිණ. රිචඞ් පැහැරගත් මොහොතේ එය දුටු ඇල්පිටිය විදුහලක ගුරුවරයකු වූ කරුණාරත්න මහතා ඇසින් දුටු සාක්කිකරුවකු ලෙස මරණ පරීක්ෂණයට ඉදිරිපත් විය. ඊළඟ සාක්ෂිකරු වූයේ මාධ්‍යවේදිනියගේ සැමියා වන ආතර් හෙක්ටර්ය.
තම නිවෙසට කඩාවැදුණු සාහසිකයන් පොලිස් නිලධාරීන් බවට සැකකරන බවත් යළි දුටුවහොත් හඳුනාගත හැකි බවත් හෙක්ටර් පැවසීය. ඒ අනුව පොලිස් නිලධාරීන් 51 කගේ ඡායාරූප ඉදිරිපත් කරන ලදී. ඒ අතර පොලිස් අධිකාරීවරු හයදෙනෙක්, පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් හා සැරයන්වරු 11 ක් වූහ. ඉන් දෙදෙනෙකු හඳුනාගනු ලැබිණ. තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිණි.


රහස් පොලිස් අධිකාරි යසසිරි අමරතුංග මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙය වූ අතර රිචඞ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වූ සහකාර පොලිස් අධිකාරි ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි, රංචාගොඩ පොලිස් පරීක්ෂක එම්. ජී. ජී. දේවසුරේන්ද්‍ර සහ පොලිස් සැරයන් මහවෙඩික්කාරගේ සරච්චන්ද්‍ර යන අය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් පසු කොළඹ අලුත්කඬේ මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා මහත්මිය ඉදිරියේ නඩුව විභාග වූ අතර රජයේ නීතිඥ දමිත් තොටවත්ත පැමිණිල්ල වෙනුවෙන්ද, ජනාධිපති නීතිඥ දයා පෙරේරා, නීතිඥ කේ. තවරාසා සමග නීතිඥ අනිල් සිල්වා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. කොරළවැල්ල දුම්රියපොළ අද්දර මුහුදු තීරයේ රිචඞ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර වැතිරී තිබූ අතර එය එහි ආවේ ගොඩබිම හරහා ද ගුවනින් දැයි සොයා ගැනීම ද මෙම පරීක්ෂණවල දී විශේෂ අවධානයට ලක්විණ.


පැහැරගෙන ගොස් පැය 48ක් යන්නට මත්තෙන් හමුවූ සිරුර ඉදිමී තිබූ අතර හිසේ පසුපස තැළීම් තුවාල ද උගුරේ වෙඩි වැදුණු තුවාල ද විය. පහර දී මුවට පිස්තෝලය තබා වෙඩි තැබීම වැනි හේතු මත මෙම මාරාන්තික තුවාල සිදුවන්නට ඇත.


අතුරුදන්වූවන්ගේ මව්වරුන්ගේ සංගමයේ සභාපති පදවිය ගෞරවාන්විත ලෙස පිරිනැමුණේ මනෝරාණි සරවනමුත්තු මහත්මිය වෙතටය. වසර 15 ක් තිස්සේ මේ නඩුව ඇදි ඇදී ගිය ද ඇගේ පුතු පැහැරගෙන ගිය කණ්ඩායම පිළිබඳව නිගමනයකට පැමිණීමට නීතියේ දේවතාවියට ද නොහැකි විය.


දිනක් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි සරවනමුත්තු මහත්මියට එහි නිල ඇඳුම් ඇඳ උජාරුවට පෙනී සිටි උසස් පොලිස් නිලධාරියකුගේ රුව දක්නට ලැබිණ. ඒ අන්කිසිවෙකුත් නොව කොළඹ ප්‍රදේශයේ පොලිස් බලවතා මෙන්ම ප්‍රභූ දේශපාලනඥයාගේ රැකවලා ලෙස කූප්‍රකට නමක් ලැබූ පොලිස් අධිකාරි රොනි ගුණසිංහය.


වහාම ක්‍රියාත්මකවූ ඇය නීතිඥයන් මගින් ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූවාය. මහේස්ත්‍රාත්වරිය වහාම රොනි ගුණසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝග කළාය. එහෙත් දේශපාලන බලපෑම් නිසා එය සිදු නොවිණ. එවකට රාජ්‍ය ආරක්ෂක ඇමැති ධූරය දැරුවේ පසු කළෙක නාඳුනන බලවේගයක් විසින් ඝාතනය කළ රන්ජන් විජේරත්නය.


රිචඞ් ද සොයිසාගේ මළ සිරුර හමුවීම නිසා කලබලයට පත් රොනි ගුණසිංහ ඇතුළු පිරිසගෙන් පැමිණිලිකාර පාර්ශ්වයට තර්ජන එල්ල වූ බවද වාර්තා විය. මළ සිරුර බැලීමට කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදීන් වෙත ද බලපෑම් හා තර්ජන එල්ල විය. මෙවැනි බලපෑම් නිසාත්, සාක්ෂිදීම සඳහා ඉදිරිපත් නොවීම හා සාක්ෂි දුන් අයට එල්ලවූ මරණීය තර්ජන නිසා අඩපණවූ නඩුවේ සැකකරුවන්ට ඇප නියම වූ අතර 2005 අවසන් නඩු විභාගයේ දී නිදහස් වූහ.


ඉදිරිපත් වූ සාක්ෂි පරස්පරයි. සැකකරුවන්ට එරෙහිව චෝදනා මනා ලෙස ඔප්පු වී නැහැ. තීන්දුවේ සඳහන් විය. දෙවියන්ටවත් මේ දුක පෙනෙන්නේ නැද්ද? පැහැරගත් දරුවන්ගේ මව්පියෝ දේවකන්නලව් කරමින් තම ළසෝ ගින්න ප්‍රදර්ශනය කළහ. රිචඞ් ද සොයිසා මරා දැමුණ යුගයේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් මාධ්‍යවේදීන් හා නිර්මාණවේදීන් රැසකට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පාන්නට සිදුවිය.


ඒ අතර ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ සහ විජය කුමාරතුංග ප්‍රසිද්ධ චරිත ද විය. ඒ පිළිබඳ යුක්තිය පසිඳලීමද හරියාකාරව සිදුනොවූ බව බහුතරයකගේ  මතයයි.


කෙසේ වෙතත් 1993 මැයි මස 01 වැනිදා කොළඹ ආමර්වීදියේදී මැයි පෙළපාළියට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජනපති ආර්. ප්‍රේමදාස සමග රිචඞ් ද සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ ද මරුට බිලිවිය. අමාත්‍ය රංජන් විජේරත්න ඇතුළු දේශපාලන බලවතුන් රැසකට ද අත්වූයේ එවැනි ඉරණමකි.


අපරාධ වසන් කළ නොහැක. කවදා හෝ අපරාධකරු හෙළිවනු ඇත. අවිගත්තෝ අවියෙන්ම නසින්නෝය. මෙය සනාතන ධර්මයයි.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි