දේශපාලනඥයන්ගේ කනෙන් රිංගූ මාධ්‍ය රසවතා-02

 

“රජ දරුවෝ එක්කයි සර්පයෝ එක්කයි සෙල්ලම් කරන එක භයානකයි. කොයි වෙලේ බෙල්ල ගහල යයිද දන්නේ නෑ.” කුලී රියේ ගමන් ගන්නා අතරද මාධ්‍ය මිතුරා එච්. ඩී. විජේදාස බිය කිරිමට උත්සාහ කළේය.


තාක්ෂණය බිංදුවට තිබූ 1956 වකවානුවේ නව ආණ්ඩුව දිවුරුම් දීමේ උත්සවය වාර්තා කිරීම සඳහා ඔවුන් අතවූයේ පට්ට ගැසූ කුඩාටේප් රෙකෝඩරයක් පමණි.


මග දෙපස හා දළදා මාලිගා පරිශ්‍රයේ උතුරා යන තරම් ජන ගඟකි. කිසිවකු මේ දෙදෙනා ගණන් නොගත්හ. තද බදය කෙතරම් වීද යත් ආචාර්ය දහනායක පවා තෙරපි බිම ඇද වැටුණු අතර සෙනඟ ඔහු පාගාගෙන ගිය බවද අසන්නට ලැබිණ.


දැන් විජේදාස ටේප් රෙකෝඩරය කර තබාගෙන ඉදිරියෙන්ය. සමරේ කාර් බැටරිය හා ලිපිගොනුව ඔසවාගෙන පිටුපසින්ය. සෙනඟ පීරාගෙන ගිය විජේදාස මයික්‍රෆෝනය බණ්ඩාරනායක මහතාට දිගු කළේය. එතුමා ඔවුන්දෙස බලා සිටියේ විමතියෙනි.


“අපි ගුවන්විදුලියෙන් සර්”


අගමැති බණ්ඩාරනායක එය රැගෙන කතා කළ අයුරු එච්. ඩී. විජේදාස අපට විස්තර කළේය.


රාජකාරිය සාර්ථකව නිමාකර එළියට එනවිට විජේගෙත් සමරේගෙත් කමිස දහදියෙන් පෙගී තිබිණි. විජේදාසගේ කමිසය පැලී ඉරී තිබුණේ පොර බැදීම නිසාය.


එදින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය වූ අතර ලක්ෂ සංඛ්‍යාත ජනයා එය අසා සිටියේ උනන්දුවෙනි. මෙම මහ හාස්කම් කළ විජේදාස නම් නොඋස් කෙසඟ චාම් මිනිසායයි. එම්. ජේ. හැර කිසිවෙක් නොදත්තේය.


“තමුසේ ගැන මට සන්තෝෂයි. මින් පස්සේ සුමානෙකට දෙපාරක් වැඩසටහන කරනවාකෝ. දීමනාවත් දෙගුණයක් දෙන්නම්” එම්. ජේ. පොරොන්දු විය.


1960 දී අගමැති ධූරය දැරුවේ ඩඞ්ලි සේනානායකය. මහියංගණ චෛත්‍යයේ කොත පැලැඳවිමේ නිල උත්සවයේ ආරාධිකයා ඔහු විය. විජේදාස ඇතුළු පිරිස එහි ගියේ ප්‍රවෘත්ති සංදර්ශනය සඳහා වාර්තා කිරීමටය.
උත්සවයේ නිවේදකයා වූයේ කරුණාරත්න අබේසේකරය. කොත පැලඳවීමට දොඹකරයෙන් ඉහළ නැගීමට ඉඩකඩ තිබුණේ ඩඞ්ලිට පමණි. නිවේදකයාට අහසට නැඟීමට සිදුවූයේ දිග ලණු ඉණිමගේ එල්ලීගෙනය.
ලණු ඉණිමගේ මඳක් දුර ගිය කරුණාරත්න අබේසේකර “මට නම් බෑ” කියමින් යළි පහළට ආවේය. කවුරුත් අන්දමන්ද වී ඊළඟ පියවර ගැන කතිකා කරන මොහොතේ එච්. ඩී. විජේදාස පැමිණියේය.


ඔහු වෙහෙර අසලට ගොස් යට සිට උඩ බැලීය. යළි උඩසිට යටට බැලීය.


“හරි මං උඩට ගිහිං වැඬේ කරන්නම්”


විමතියට පත් පිරිස ඔහු දෙස බලා වුන්හ. ඊළඟ මොහොතේ මේ කුඩා මිනිසා ලණු ඉණිමගේ එල්ලී උපකරණ කට්ටලය කර මත හොවාගෙන කඩිනමින් ගියේය.


වික්‍රමය එය නොවේ. පළමු වතාවට නිවේදක කාර්යය ඉටු කිරීමටද ඔහු මැළි නොවීමය. ඒ සමඟ ඔහුට උසස්විම්ද ගලා ආවේය.


දේශපාලන ප්‍රහසන වලට අමතරව විහිළු තහළු තුළින් ‘අමාරිස් අයියා’, ‘බාල්දිය’, ‘වික්ටෝරියා උද්‍යාණයේ බංකුවක් කතා කරයි’, බස් එක, නම්බුනාම වෙන්දේසිය වැඩිහිටියන්ට ඉංග්‍රීසි ඉගැන්වීම වැනි වැඩසටහන් තුළින් විජේදාස ජනප්‍රිය විය.


විජේදාස විද්‍යාලංකාර පිරිවෙනේ සිසුවකු මෙන්ම දායකයකුද විය. අධිරාජ්‍යවාදී ගැති ධනවාදී බලවේග විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රගතිශීලී භික්ෂූන් මර්දනය කිරීමට නීතියෙන් හා අවනීතියෙන් කටයුතු කරද්දී විජේදාස ඇතුළු කොලු රෑන එහි ආරක්ෂාවට පියවර ගත්හ.


ඔහු ස්වභාෂා අධ්‍යාපනය විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ දිය යුතු යැයි උද්ඝෝසණය කළ බලවේගයේ කොටස්කරුවෙකි.


දේශපාලන භික්ෂූන්ට කැපයැයි විද්‍යාලංකාර භික්ෂූන් නැඟූ හඬට විජේදාස අත එසවූ අතර එයින් කිපුණු ප්‍රභූවරු පිරිවනට දානය සැපයීම නැවැත්වූ යුගයේ දානමාන කටයුතු පමණක් නොව භික්ෂු රැකවරණය සඳහාද ඔහු කැප වූයේය.


විද්‍යාලංකාර පිරිවෙනේ අනු ආයතනයක් වූ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සංවිධානය කළ දුරුතු මේලා සැණකෙළියේ ආදායම එම විද්‍යාලයේ දියුණුවට යෙදවිය යුතු යැයි හඬනැගූ සිසු කල්ලියේ නායකයා වූයේ විජේදාසය.


එයට එරෙහිවූ ප්‍රභූ පැලැන්තිය හා සිසුන් අතර ගැටුම් ඇතිවිය. එහිදී තම සුපුරුදු නිවුණුගති පසෙක ලා ශාරීරිකවද සටන් කළ බව විජේදාස බවසා ඇත.


ධර්ම සංගායනාවක් පැවැත්වීමට සහය ඉල්ලා බුරුම රජයෙන් විද්‍යාලංකාර පිරිවෙනට ඇරයුම් කෙරිණ. එම තුන්මසක චාරිකාව සඳහා ගිහියන් අතරින් තෝරා ගැනුණේ විජේදාසය. එය ඔහුගේ දිවියේ ප්‍රීතිමත්ම සහ වගකීම් සහිත අවස්ථාවයි.


සංගායනාව ගජරාමෙට පැවැත්වෙද්දී ඔහුට කොළඹින් ලිපියක් ලැබිණ. ඒ ඔහුගේ පාසල් මිතුරු සහ නළු සොහොයුරු ඇනස්ලි ඩයස් ගෙනි.


“හරි වැඬේනේ විජේ, අපි මේ පාර ප්‍රචාරය කරන්න හදපු විහිළු තහළු වැඩසටහනේ පටිය කවුද මකල දාලා. ලබන සතියේ යන වැඩසටහනත් ඒක ඇතුළේ. දැන් මොකද කරන්නේ?


නොසිතු වෙලාවක වැටුණු මෙම මරාලය ඔහුට ඇදහිය නොහැකි තරම්ය. නැවත ලිපිය කියවීය. කතාව ඇත්තය.


‘මේකත් අර දේශපාලන කේලම්කාරයන්ගේ ගිනිගෙඩියක්. මාව මැරුවත් වැඩසටහන මරන්න දෙන්නේ නෑ.’ විජේදාස පැවසුවේය.


කරන්න ගිය කාරිය අතරමග නතර කළ ඔහු ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය බලා ඉගිළුණේය. එදා රෑ එළිවන තුරු විහිළු තහළු ඔපරේෂන් එක සිදුකෙරුණේ සමකාලීන මිතුරන්ගේ සහයෙනි.
ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු, එචි. ඩී. වීරසිරි, බර්ටි ගුණතිලක, මහාචාර්ය එච්. ටී. බස්නායක සහ ස්වර්ණ ශ්‍රී සරත්වීර එම කණ්ඩායමයි.

 

මකා විනාශ කළ වැඩසටහනට සමාන ගුණයක් ඇති නිර්මාණයක් සජීවීව නිෂ්පාදනය කෙරිණි. සතුරන්ගේ ඔදතෙද බිඳලා ඊළඟ සතියේ නියමිත වෙලාවට විහිළු තහළු විකාශය විය.


1964 දී සියලු අමාත්‍යංශවලට බලපාන පරිදි ප්‍රවෘත්ති නිලධාරි ධුරයක් විජේදාසට පිරිනැමිණි. සමගි රජයේ ගැත්තෙකුයි මහතැන්වලට කේලාම් ගිය නිසා 1977 දී ජේ. ආර්. ගෙ ආණ්ඩුවේ නිලධාරීහු 55 අනිවාර්ය විශ්‍රාම යැවීමේ ක්‍රමය මත 1979 දී ඔහුට ගෙදරයාමට සිදුවිය. දිනෙන් දින තිරිහන් වන විජේදාසගේ නිර්මාණ ශක්තිය මේ නිසා පිරිහුණේ නැත. ජනමාධ්‍යවලින් ඇති කළ උනන්දුව මත නව නිර්මාණ රැසක් ඔහු ගුවන්විදුලියට දායාද කළේය. වගකීව යුත්තන්ට අමතක වුවද ජනතාව ඔහු අමතක නොකළහ.


1993 කැලණි පුත්‍ර සම්මානයෙන් අපි ඔහු පිදුවෙමු. ඒ සමඟම උන්ඩා සම්මානය ඔහුට පිරිනැමිණ. නව සියවසට උචිත පරිදි හාස්‍යොත්පාදක රංග කලාව නව පරපුරට හඳුන්වාදීමක් එතුළින් පක්ෂ දේශපාලනයෙන් හෙම්බත් වී සිටින ජනතාව යථාර්ථවාදී මගට යොමුකරවීමට විජේදාස මිය යනතුරුම උත්සාහ කළේය.


ඔහුගේ කලා දිවියට අඩසියවසරක් පිරීම නිමිත්තෙන් කැලණියේ තරුණ පිරිසක් උපහාර උළෙලක් සංවිධානය කළහ. මෙය ආරංචි වූ මෙතෙක් ඔහුගේ ගමනට අකුල්හෙළුෑ පිරිස් තරගයට මෙන් මහ පරිමාණයේ උපහාර උළෙලක් පැවැත්වීමට තීරණය කළේ වැරදි මකා ගැනීමට විය යුතුය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබෙමින් තිබිණ. මිලියනයක පමණ තෑග්ගක්ද නම්බුනාමයක්ද ඔහුට පිරිනමන බව සංවිධායකයෝ පැවසූහ.
එහෙත් විජේදාස කෙළින්ම එම ඇරයුම ප්‍රතික්ෂේප කළේය.


“මම නිර්මාණ කළේ ජනතාවටයි. මට උදව් කළේ තරුණ පරපුරයි. මට ඇහුම්කම් දුන්නේ ඔවුන් විතරයි. ඒ නිසා මං යන්නේ එම උත්සවයට පමණයි.”


පැරණි හිතවතුන්ගෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාව පිරී ඉතිරී තිබිණි. එම්. ජේ. පෙරේරා, ගුණදාස ලියනගේ, කරුණාරත්න අමරසිංහ ආදිහු විජේදාසගේ ගුණ වර්ණනා කළහ. කිසිදු දේශපාලනඥයකුට උත්සවය සඳහා ඇරයුම් නොකිරීමට විජේදාස ඉල්ලා තිබූ බැවින් දහසින් බැඳි පියලි නම් ඔහුට පිරිනොනැමිණ.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි