සවස හය පමණ වන විට බොරැල්ල කනත්තට සෙනඟ ඇඳෙන්නට පටන් ගත්හ. කෙමෙන් වැඩි විය. රාත්‍රී අට පමණ වන විට මුළු කනත්ත මහ සෙනෙගින් වැසී ගියේය. අතුරු සිදුරු නැති විය. ලක්ෂ මෙතෙකැයි ගණනය කළ නොහැකි විය. ඒ 1983 ජූලි 24 වැනිදාය. 


කනත්තේ එක පෙළට හාරා තිබූ වළවල් 13ක් මිනිසුන් පහුරු ගෑ දෑත්වලින් වැසී ගියේය. ඒ සමග සෙනඟ පීරාගෙන එතැනට පැමිණි යෝධයකු බඳු පුද්ගලයෙකි. ඒ කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. සී. ඒ. ගෆුර් මහතා බව හඳුනා ගත්තා නම් අතළොස්සක් පමණ විය හැකියි. ඒ සමග ඔහුට පිටු පසින් දෙතුන් වරක් අහසේ කැරකුණ ලෑල්ලක් වේගයෙන් පතිත වූයේ ගෙල මතය. ඒ පහරින් මේ සද්දන්ත යෝධ සිරුර බිමට පාත් වී මුහුණ බිම නොවැදී බේරුණේ අසීරුවෙනි. මිනී තබන්නට හදා තිබූ මැස්සක ඒ දැවැන්ත ලෑල්ලෙන් පහර වැදුණ ඔහු එතැනින් පලා ගියේ හූ හඬ මධ්‍යයේය. 


නයාට ගහලා පොල්ල වරද්දා ගත්තා යි බොහෝ දෙනෙකු කියනු ඇසුණේ ගෆුර් නම් පොලිස් නිලධාරියා ගැන දන්නා අය විය හැකිය. 


කනත්තේ මේ මහා ජන අරගලය මැද්දේ තවත් විනාඩි විසි පහක් තිහකට වඩා ගත නොවුණි. රාත්‍රී නවයට පමණ වන්නට ඇත. හෙල්මට් දමා ගත් කුලු පොලු රැගත් මහා පොලිස් හමුදාවක් කනත්තට ඇතුළු වූයේ කනත්තේ ගේට්ටු ද වසා ගෙනය. වයස්ගත පුද්ගලයා කුඩා ළමයා කාන්තාව නොතකා අසුවන අසුවන කෙනාට පොලිස් බැටන් ප්‍රහාර එල්ල වන්නට විය. සොහොන් කොත්වල හැපෙමින් වැටෙන පෙරළෙන සෙනඟ මෙතෙකැයි නොවූහ. ඒ පිටම එක පිට එක කඳුළු ගෑස් වෙඩි පුපරන්නට විය. 


ගේට්ටු වසාගෙන කඳුළු ගෑස් ගසද්දී කර ගත හැකි දෙයක් නැති මහජනකාය කනත්තේ යකඩ වැටවල් පෙරළාගෙන එළියට විසීවන්නට වූහ. එසේ ජනතාව විසී වූ තැනේ සිට බොරැල්ලෙන් ඇරඹුණ කළු ජූලිය කොළඹ එක රැයකදී ගිනි ගත්තේය. ඒ ගින්න දෙතුන් දවසක් තුළ රට පුරා පැතිර ගියේය. 


කළු ජූලිය ආරම්භ වුයේ බොරැල්ල කනත්තේ ඒ අරගලයෙනි. කනත්තේ අරගලයේ මුල තිබුණේ තින්නවේලියේය. එදා ජූලි 23 වැනිදාය. 


වෙලාව හරියටම රාත්‍රී 11.28ය. ගුරුනගර් සංඥා මැදිරියෙන් උප ලුතිනන් වාස් ගුණවර්ධනට ඇමතුමක් ආවේය. සංකේත හරහා ඇමතූ ඔහු අපි දැන් උරුම්පිරායි හන්දිය පසු කරමින් සිටිනවා. ප්‍රදේශයේ විශේෂ සිදුවීමක් නැහැයි පිළිතුරු දුන්නේය. 


උරුම්පිරායි පසු කර තින්නවේලියට ආවා පමණි. ඒ වන විට රථ දෙක අතර පරතරය මීටර් හැටක් පමණ විය. ගොවිපොළ පසු කර විශ්වවිද්‍යාලය ආසන්නයේදී විදුලි රැහැන් ඇදීමට කළ කැණීම්වලින් මාර්ගය අබලන් වීම නිසා රථ දෙකේ වේගය අඩු විය. එකවරම හෙණ හඬක් නගමින් ඉදිරියෙන් ගිය ජීප් රථය පුපුරා ගියේය. ඒ හඬ සමගම පිටුපසින් ආ ට්‍රක් රථය එකවරම තිරිංග තද කර නැවතත් වේගයෙන් ඉදිරියට යන්නට රියැදුරා උත්සාහ කළ නිසා එහි පිටු පස සිටි සෙබළුන් එකා මත එකා වැටෙන්නට විය. ඔවුන් අත තිබූ අවි සී සී කඩ විසි විය. ඒ නිසා සතුරු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දීමේ කාලය සහ වේගය බාල විය. සතුරා ඊට කලින් ක්‍රියාත්මක විය. 
ට්‍රක් රථය එක තැන නතර කර ගත් රියැදුරු පී. ආර්. පෙරේරා එයින් එළියට පැන ගත්තේය. නමුත් ඔහු බිමට වැටුණේ එක පිට වැදුණ වෙඩි පහරවලින් පෙනේරයක් වෙමිනි. 


පුපුරා ගිය බෝම්බයෙන් ලද බරපතළ තුවාල සමග ලුතිනන් වාස් ජීප් රථයෙන් ඉවතට පැන ගත්තේය. තමා සතුව තිබූ අත්බෝම්බයෙන් දමා ගැසීමට සූදානම් වුවා පමණි. සතුරු වෙඩි පහරකින් බෝම්බය අතැතිවම ඔහු බිම පතිත විය. රියැදුරු වනතුංගත් රියැදුරු අසුනේම මිය ගොස්ය. කරුණාරත්න, අමරසිංහ සහ රාජතිලක තුවාල ලබා සිටියදීම සතුරාට බෝම්බ දමා ගසන්නට වූහ. එයින් සතුරාට ද බරපතළ හානි සිදුවිය. තත්පර කීපයකින් සියල්ල අවසන්ය. 


කෝප්‍රල් ජී. ඩී. පෙරේරා අවසන් මොහොත වනතුරුම සටන් කළ ද පිට පිට ආ වෙඩි පහරවල් ඔහුගේ මුළු සිරුරම කිඳා ගත්තේය. අවට තාප්ප සහ බිත්තිවලට මුවා වෙමින් සතුරු වෙඩි දිගට හරහට එල්ල වුණි. ඒ සමගම කෝප්‍රල් උපාලිගේ වම් පයට වෙඩි පහරක් වැදුණි. ලාන්ස් කෝප්‍රල් සුමතිගේ පපුවට ද වෙඩි පහරක් වැදුණි. දෙදෙනාම බිම වැටී ට්‍රක් රථය යටට ඇදී ගොස් මිය ගියාක් මෙන් නිසොලමන් වූහ. 


තම සගයන් මිය ගොස් සමහරු පණ අදිද්දී උපාලිට කළ හැකිව තිබුණේ නිසොල්මන්ව සිටීම පමණි. සුමති ද එසේ සිටින බව උපාලි දැන සිටියේ නැත. 


දෙපස සැඟවී සිටි සතුරන් මේ දෙදෙනාව නොදැක්කේ ට්‍රක් රථයට යටින් සිටි නිසාය. බිම වැටී සිටි සෙබළුන් වෙත පැමිණි සතුරා මිය ගොස් හෝ නොගොස් සිටි සෙබළුන්ට නැවතත් වෙඩි තියන්නට වූහ. එම සෙබළු සතු වූ තිබූ ආයුධ සහ පතරොම් අර ගත්හ. අනතුරුව දෙමළ බසින් ලැබුණු අණක් අනුව පලා ගියහ. 


අවට නිවෙස් කිහිපයේ සිටිය වුන් සිද්ධිය සොරෙන් බලා සිටියද සතුරා පලා ගිය පසු හෝ එළියට විත් බැලුවේවත් නැත. අවට පැතිර තිබූ දුමාරයත් සමග උපාලි හෙමින් සීරුවේ හිස ඔසවා බැලුවේ නිහඬතාව නිසා සතුරා පලා යන්නට ඇතැයි සිතාය. තමා අසල සිටි සුමති ද නැගිටින්නට උත්සාහ කරන බව ඔහු දුටුවේය. 


තම සඟයන් මිය ගොස් සමහරු පණ අදිද්දී උපාලිට කළ හැකිව තිබුණේ ළඟම සිටි සුමතිපාලත් වත්තන් කර ගෙන අඳුරේම සැඟවීම පමණි. 


තම අවියද සුරතට ගත් ඔහු සුමතිපාල කරට ගෙන අසල වසා තිබූ කුඩා කඩය ඉදිරිපිට තාප්පයට ඔසවා තබා ඔහු තාප්පයෙන් පැන සුමති ද පහළට ගත්තේය. තම කකුල කොතරම් අපහසු තත්ත්වයෙන් හෝ ඇදගෙන යමින් අසල වූ වහලයකට නැග ගත්තේය. 


පැය භාගයක් පමණ කාලයක් වහල මත සිට අවට සෝදිසියෙන් ඔහු සිටියේ සතුරා නැවතත් ඒවිද යන සැකය හැර ගැනීමටය. 


වහලයෙන් බැස ගත් උපාලි සුමති එතැන සිටියදී යළි සහෝදර සෙබළු මැරි වැටී සිටි තැනට ගියේය. ඒ සියලු දෙනාම මැරිලාය. සමහරුන්ගේ සිරුරු තිබුණේ කෑලි කෑලිය. ඔහුට දැන් කළ යුතු එකම දෙය වූයේ ආධාරයක් සොයා ගෙන යාමය. ඔවුන් සතුට තිබූ සෙට් ගැන සොයා බැලුවත් ඒවාද සියල්ලම විනාශ වෙලාය. 


උපාලි තුවක්කුවත් රැගෙන තුවාල කකුල ඇද ගෙන තනි කකුලෙන් පිටත් වූයේ කොණ්ඩාවිල් බස් ඩිපෝව වෙත යාමටය. යාපනය වටේ හැම පාරක් තොටක් දැන ගෙන සිටි ඔහුට කැලෑ පාරවල් ඔස්සේ ඒ ගමන යා හැකි විය. 


සැතපුම් දෙකක පමණ දුරකින් එම ගමන යාමට ඔහුට හැකි විය. 


ඔහු යද්දී ඩිපෝවේ ගේට්ටු වසා තිබුණි. මුරකරුට කතා කළේය. එහෙත් ඔහු ගේට්ටුව ඇරියේ නැත. පසුව තුවක්කුව එල්ල කර මුරකරු බිය වද්දා ගේට්ටුව අරවා ගත්තේය. ඔහුට විස්තරය කියා ගුරු නගර් හමුදා කඳවුරට කෝල් එකක් දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඒ වෙලාවේ කඳවුරේ සෙට් වැඩ කළේ නැත.


මේ වෙලාවේ බෝම්බයේ ශබ්දය ඇසී කඳවුරේ සිටි හමුදා කණ්ඩායමක් ඒ දෙසට එමින් තිබුණි. ලුතිනන් රජීව් විජේසිංහගේ ප්‍රධානත්වයෙන් වූ කණ්ඩායමකි. කොණ්ඩාවිල් ඩිපෝව ළඟදී ඔවුහු උපාලි හඳුනා ගත්හ. ඔහුද රැගෙන සිද්ධිය වූ ස්ථානයට ගියහ. සහෝදර සෙබළු මැරී වැටී සිටි අයුරු දුටු සෙබළ කණ්ඩායම හිසේ අතගසා ගත්හ.

 

 

 


හේම ශ්‍රී අමරසිංහ ලියූ 
“83 ජුලි පොත” ඇසුරෙණි.

 

 


වදාකඩ නවරත්න
ඡායාරූප : අන්තර්ජාලයෙනි.