කාලයක් කැලණිය රජමහා විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන් 1956 මහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය උදෙසා විශාල වශයෙන් මූල්‍යමය දායකත්වය සැපයූ  තෙරනමකි. බණ්ඩාරනායක අගමැතිතුමාද සමීපව ඇසුරු කළ උන්වහන්සේ එකල රටපුරා ප්‍රසිද්ධව සිටියේ ආණ්ඩුවේ මහ බලවතුන් අතරින් එක් අයකු වශයෙනි.


56 මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණට සහයෝගය දැක්වුවද උන්වහන්සේ උග්‍ර දක්‍ෂිණාංශිකයෙකු වූහ. එහෙයින් බණ්ඩාරනායක ආණ්ඩුවේ කුඹුරු පනත. ජනසතු සේවා වැඩසටහන වැනි සමාජවාදී ක්‍රියා මාර්ගවලට බුද්ධ රක්ඛිත හිමියෝ දැඩි ලෙස විරෝධය දැක්වූහ. විශේෂයෙන්ම කුඹුරු පනතේ නිර්මාතෘවරයා වූ පිලිප් ගුණවර්ධන වැනි සමාජවාදී කඳවුරට අයත් ඇමැතිවරුන් උන්වහන්සේට නයාට අඳුකොළ මෙන් විය.


“ඒවා හොඳයි රුසියාව, චීනය වාගේ අක්කර සියදහස් ගණන් විශාල ඉඩකඩම් තියෙන රටවලට. ඒත් අපේ රටේ ඉන්නවද ඒ විදියේ ධනකුවේරයෝ? අපේ රටේ ඉන්න අක්කර හතර පහක් තියන උදවියට ඔය කුඹුරු පනත්වලින් ඇති ඵලක් නෑ. එවායින් සිද්ධ වෙන්නේ ඒ මිනිස්සු තමන්ගේ කුඹුරු ඉඩම් ගොඩ කරල වෙන වෙන ව්‍යාපාර කරන්න පෙළඹෙන එක විතරයි. කියමින් කුඹුරු පනත ඇතුළු රජයේ ජනසතු ව්‍යාපාරවල ඇති නොගැළපීම ගැන නිරතුරුව කරුණු දැක්වූ බුද්ධරක්ඛිත හිමියෝ ආණ්ඩුවේ ඇමැති ධුර හෙබවූ පිලිප් ගුණවර්ධන, පී. එච්. විලියම් සිල්වා වැන්නවුන්ට පස්පඩන්ගුවේ බැණ වැදීමටද අමක නොකළහ. මෙරට සමාජවාදී කඳවුරට සම්බන්ධ පුද්ගලයන් ඇමති මණ්ඩලයට වැද්ද ගැනීම ගැන බණ්ඩාරනායක අගමැතිතුමා කෙරෙහිද උන්වහන්සේ තුළ පැවතුණේ නොපහන් හැඟීමකි. එම ප්‍රශ්නය ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලයක් බවට පත්වී තිබුණේ එවැනි දක්‍ෂිණාංශික අදහස් දැරූ ඇමැතිවරුන් කීප දෙනෙකුද කැබිනට් මණ්ඩලය තුළ සිටි බැවිනි.


කෙසේ වෙතත් ආණ්ඩුව තුළ පැවැති එම බල අරගලය කාලයක් යන තුරු පැවතුණේ අළුයට ගිනි පුපුරු මෙනි. මේ අතර ශ්‍රී.ල.නි.ප. යේ හත්වැනි මහ සමුළුව පැවැත්විය යුතු කාලය අත ළඟම පැමිණෙමින් තිබුණේය. බණ්ඩාරනායක අගමැතිතුමාට අවශ්‍ය වී තිබුණේ එම සමුළුව කොළඹින් දුර බැහැර පිහිටි මහනුවර හෝ මාතලේ වැනි ප්‍රදේශයක පැවැත්වීමටය. එහෙත් එම අදහස වෙනස් කර ගැනීමට සිදු වූයේ අගමැතිතුමා මෙදා සැරේ පක්‍ෂ සම්මේලනය කැලණියේ පවත්වන්න ඕනෑ.....!”යි බුද්ධරක්ඛිත හිමියන් ඉතා තදින්ම කියා සිටි බැවිනි. එම සමුළුව කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ හෝ කැලණිය ප්‍රදේශයට අයත් වෙනත් ස්ථානයක පවත්වනු ලබන්නේ නම් ඒ සඳහා යන බරපැන සම්පූර්ණයෙන්ම තමන් දරන බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණාහ.


අන්තිමේදී අගමැතිතුමාටද සිදුවූයේ බුද්ධරක්ඛිත හිමියන්ගේ එම අදහස පිලිගැනීමටය.


පසු කාලයකදී මෙරට අගමැති ධුරයට පවා පත්වූ දිමූ ජයරත්න මහතා ඒ වන විට ගම්පොළ දොළුව ගම්කාර්ය සභාවේ සභාපති ධුරය දැරීය. ඔහු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ පක්‍ෂයේ තරුණ ක්‍රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසකට අවශ්‍ය වූයේ එවර ශ්‍රී.ල.නි.ප. මහ සමුළුව මහනුවර නගරයේ හෝ මාතලේ නගරයේ පැවැත්වීමටය. එහෙත් දිමූලාට තමන්ගේ එම අදහස වෑයමින් යටපත් කර ගැනීමට සිදුවූයේ පක්‍ෂයේ ප්‍රබලයන් වැඩි දෙනෙකු උන්වහන්සේගේ අදහසට එකඟත්වය පළ කර තිබූ බැවිනි.


කෙසේ වෙතත් තම අදහස ක්‍රියාත්මක කිරීමට නොලැබුණද එයින් පසුබට නොවූ දිමූ ගම්පොල ප්‍රදේශයේ තරුණ තරුණියන් සිය දෙනකු පමණ කැඳවාගෙන එදින කැලණිය ධර්මාලෝකයට ගොස් තිබුණේය.


“මට මතක හැටියට එදා ඒ පක්‍ෂ සමුළුවට අටසියකට විතර සෙනගක් ඇවිත් හිටියා. මුලසුන දරුවේ බණ්ඩාරනායක අගමැතිතුමා. පක්‍ෂයේ ලේකම්තුමාගේ පිළිගැනීමේ කතාවෙන් පස්සේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ තමයි කතා කළේ.....!” යි කියන දිමූ වැඩිදුරටත් සඳහන් කරන්නේ එදින උන්වහන්සේගේ කතාවෙන් මුළුමනින්ම පහර ගසා තිබුණේ පිලිප් ගුණවර්ධන මහතාට බවය.


පිලිප් ගුණවර්ධන මහතා විසින් රට තුළ ක්‍රියාත්මක කරගෙන ගිය සමාජවාදී ක්‍රියාමර්ගවලට දිගින් දිගටම පහර ගසමින් කතා කළ බුද්ධරක්ඛිත හිමියන් තම කතාව අවසන් කළේ ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ක්‍රියාමාර්ග අනුගමනය කරන පිලිප් ගුණවර්ධන වැනි ඇමැතිවරුන් වහාම ඇමැති මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව කියමිනි. 


උන්වහන්සේ මෙලෙස පිලිප් ගුණවර්ධන මහතාගේ පතුරු ගලවමින් බැණ හඬ ගසද්දී අගමැතිතුමා මුලසුනේ සිටියද එතුමා බුද්ධ රක්ඛිත හිමියන්ගේ කතාව නිහඬව අසා සිටියේය. බණ්ඩාරනායක අගමැතිවරයා එලෙස නිහඬව සිටීම සමුළුවට සහභාගි වූ දිමූ වැනි තරුණයන් පිරිසට රිස්සුම් නොදුන් කරුණක් විය.


බුද්ධරක්ඛිත හිමියන්ගේ කතාවට රැස්ව සිටි පිරිස නොසන්සුන් වෙද්දී ගම්පොල ආසනය නියෝජනය කරමින් පැමිණි දි.මූ. නැගී සිටියේය.


“මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන්ගේ ඒ කතාවට අප දැඩි ලෙස විරුද්ධත්වය පළ කරනවා. උන්වහන්සේ වැනි බුද්ධ පුත්‍රයකු එලෙස කතා කිරීම කිසිසේත්ම යුක්තිසහගත නොවන බවයි අප කියන්නේ. අද මේ අවස්ථාවට සහභාගි නොවූ සහ ශ්‍රී.ල.නි.ප.යට අයත් නොවන ඇමැතිවරයකු පිළිබඳව විවේචනය කිරීම පිළිගත් ආචාර ධර්මවලට පවා පටහැණියි. අනෙක් අතට පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා ඇමැති මණ්ඩලයෙන් එළවා දැමීම වැනි අදහසක් ශ්‍රී.ල.නි.ප.යේ මහා සම්මේලනයකදී කියා සිටීම කිසිසේත්ම උචිත නොවන බවයි අප සිතන්නේ..........!” යි කියමින් බුද්ධ රක්ඛිත හිමියන්ගේ කතාව පතුරු ගැසූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය නම් පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාටද තමන්ට එරෙහිව ඇති චෝදනාවලට පිළිතුරු දිය හැකි පරිදි වෙනත් ස්ථානයකදී ඒ ගැන සාකච්ඡා කිරීම පිළිබඳ තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය. 


දි.මූ. උස් හඬින් එසේ කියද්දී සමුළුවට සහභාගි වී සිටි පිරිස අතර කසු කුසුවක් පැතිර ගිය අතර මුලසුන දැරූ අගමැතිවරයාටද සභාව පාලනය කර ගැනීම තරමක ප්‍රශ්නයක් විය.


මේ අතර තම කතාව අවසන් කර වේදිකාව මත තිබූ තමන්ට නියමිත අසුනේ වැඩ සිටි බුද්ධරක්ඛිත හිමියන් තම සිවුරුපොට ද වමතින් සකසා ගනිමින් වේදිකාවෙන් පහළට බැස දිමූ සිටි ස්ථානය වෙත පැමිණියේ හීයක වේගයෙනි.


“පරයා තෝ දන්නවද මම තමයි මාපිටිගම බුද්ධ රක්ඛිත. තොපි දැනගියව්. මට පුළුවන් තොපි සේරම මරල කැලණි ගඟට විසි කරන්න.....!”


දිමූගේ මුහුණට එබුණු උන්වහන්සේ පහත් හඬින් එසේ කියමින් ඔහු දෙස රුදුරු බැල්මක් හෙළීය. උන්වහන්සේ සිතුවේ තමන් කවුරුන් දැයි දැනගත් පසු මේ කෙසඟ තරුණයා නිහඬ වෙතැයි යනුවෙනි. ඒ සමඟම නැගී සිටි දි.මූ. බුද්ධරක්ඛිත හිමියන් දෙස බලා උස් හඬින් කෑගැසුවේය.


“මෙන්න මේ හාමුදුරුවෝ අපව මරල කැලණි ගඟට දමනවයි කියලා තර්ජනය කරනවා. හාමුදුරු කෙනෙකුට ඔබින කතාවක්ද ඒ ? අනෙක උන්නාන්සේ කොහොමද අපට එහෙම තර්ජනය කරන්නේ? ගරු අගමැතිතුමනි, මේකටද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂස ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ......? යි දි.මූ. උස්හඬින් අසද්දී ගම්පොල සහ හේවාහැට ප්‍රදේශවලින් පැමිණි සෙසු පිරිසද එම අසුන්වලින් නැගිට ඝෝෂා කරන්නට වූහ. මේ අතර සෙසු ප්‍රදේශවලින් පැමිණි පිරිස්ද ඔවුන් අනුගමනය කරද්දී බුද්ධරක්ඛිත හිමියන් යළි වේදිකාවට ගොඩවී තමන්ගේ සුපුරුදු අසුනෙහි හිඳගත්තේ තමන්ට එරෙහිව කෑමොර ගසමින් සිටි පිරිස දෙස රෞද්‍ර බැල්මක් හෙළමිනි. 
මේ අතර ප්‍රශ්නය දුරදිග යන බව දුටු මුලසුනේ සිටි බණ්ඩාරනායක අගමැතිතුමා තමන් අසල සිටි ඒ. පී. ජයසූරිය මහතාගේ කනට කර යමක් පවසා මයික්‍රෆෝනය අතට ගත්තේය.


“මිත්‍රවරුනි, මට දැන් ඉතාම අවශ්‍ය කරුණක් සඳහා මෙම ස්ථානයෙන් පිටවී යනවා හැබැයි තව පැය භාගයක් ඇතුළත මම ආපසු එනවා. එතෙක් සංසුන්ව සභාව පවත්වාගෙන යන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා....!”යි කී අගමැතිතුමා රැස්ව සිටි පිරිස දෙසට දෑත් එක්කොට ආචාර කරමින් එම ස්ථානයෙන් බැහැරව ගියේය. ඒ සමඟම බුද්ධරක්ඛිත හිමියන්ද වේදිකාවෙන් බැස යනු පෙනිණි.


බුද්ධරක්ඛිත හිමියන් එලෙස රැස්වීම් ශාලාවෙන් පිටවී යාම දිමූලාට තරමක ප්‍රශ්නයක් වූයේ උන්වහන්සේ විසින් ඊට මොහොතකට පෙර කරන ලද තර්ජනයද සුළුපටු එකක් නොවන බැවිනි. කැලණිය රජමහා විහාරාධිපති ධුරය ඉසිලූ බුද්ධරක්ඛිත හිමියන් ධන බලයෙන් මෙන්ම පිරිස් බලයෙන්ද පොහොසත්  බලසම්පන්න පුද්ගලයකු බව ඔවුහු දැන සිටියහ.


“දැන් මොකක්ද කරන්නේ. හාමුදුරුවෝ ගිය විදිය නං මට වැඩිය ඇල්ලුවේ නැහැ. ගෝල බාලයනුත් එක්ක ආපසු ඇවිත් අපට ගහන්නවත් ප්ලෑන් කරනවද කවුද දන්නේ?” යි දි.මු. තමන් සමඟ පැමිණි පිරිසට යෝජනා කළේ ඕනෑම දේකට සූදානමින් සිටීම ඇඟට ගුණදායක නිසාය.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර