බැඳුම්කර වංචාව ගැන වැඩි හාවක් හූවක් නැත. සියල්ල සැමටම අමතකව ගියා සේය. දැන් කතා කරන්නේ අතුරු කතා ගැනය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය රට වූ සිංගප්පූරුවට පලා ගියේය. ඔහු බැඳුම්කර ගනුදෙනුව හරහා විනාශ කළ මුදල රුපියල් බිලියන 11 කට අධික බව එම කොමිසමේදී නිල වශයෙන් සඳහන් විය. ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන නිකුත් වූ බව කියැවුණි. මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අන්දමට ජනතාව වටහා ගත්තේ එම නිවේදනය අනුව ඔහු වහාම මෙරටට ලැබෙනු ඇතැයි කියාය. 


අහෝ ඛේදයකි! කිසිවක් සිදු නොවීය. මේ මහා පරිමාණ පාඩුව ගැන අද වගකිවයුත්තෙක් නැත. ඔවුහු බෝලය ඒ මේ අතට පාස් කරමින් වචන හරඹයේ යෙදෙති. සුර සැප විඳිති. මහ බැංකුවේ අධිපති ධූරය පිළිබඳව වුවත් ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්පයක් යැයි සිතිය නොහැක. එහෙත් අතීතයේදී ඉතා විශිෂ්ට ගණයේ මහත්වරු මෙම තනතුර දැරූහ. හොඳ පූර්වාදර්ශ ලබාදුන්හ. 1954 වසරේ මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ විවාද වෙද්දී එවකට සිටි ප්‍රවීණ දේශපාලකයෝ අනාගතය දකින සෘෂිවරු මෙන් වටිනා අදහස් පළ කළහ. ඒවා හැන්සාඞ්ගතව ඇති නිසා වර්තමානයට ගළපා ගත හැකිය. එවකට මුදල් ඇමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා 1949 නොවැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ප්‍රකාශ කළේය. ‘ලෝකයේ කිසිම රටක මහ බැංකුවේ අධිපති ධුරයට ස්ව ජාතිකයෙකු නොවන කෙනෙක් මෙතෙක් පත් කොට නැත. මෙම සම්ප්‍රදාය බිඳ දමන ප්‍රථම රට ශ්‍රී ලංකාව නොවනු ඇතැයි මම බලාපොරොත්තතු වෙමි’ වව්නියාව මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතා මෙසේ පැවසීය. ‘ඔබ මට කියන්නේ ව්‍යවහාර මුදල්, බැංකු කටයුතු හා බැංකුකරණය ගැන දැනුමෙන් යුත් ශ්‍රී ලාංකිකයෙකු නැතැයි කියා විශ්වාස කරන්නටද? එබඳු දැනුමෙන් යුත් කීප දෙනෙක්ම මම දනිමි. එමෙන්ම හඳුනමි. ඔවුන්ගේ නම් ජෝන් එක්ස්ටර් වාර්තාවේ පවා සඳහන් වේ. කතානායක තුමනි, මේ අපේ ඉතා හොඳ කෙනෙක් උපදේශක මට්ටමින් කැඳවා තිබෙනවා.’


ලංකාවේ මහ බැංකුවක් පිහිටු විය යුතු ආකාරය සොයා බැලීම සඳහා පත් කරන ලද ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාගේ වාර්තාව මෙම කටයුත්තේදී මහෝපකාරී විය. ඔහුගේ කාර්යභාරය ගැනද මොහොතක් අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්ය. මෙරට නිදහස ලබා ගන්නා විට මෙහි මූල්‍ය කටයුතුවල ක්‍රියාකාරිත්වය පැවතුණේ මුළුමනින්ම බි්‍රතාන්‍ය පාලකය යටතේය. 1815 සිටම එම තත්ත්වය පැවති බව සිහියට නැගිය යුතුය. එනිසා ඔවුන්ගේ බලපෑමෙන් තොරව ලංකාවේ මහ බැංකුව ක්‍රියාත්මක විය යුතු යැයි නිදහස් ලංකාවේ ප්‍රථම මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අදහස වූ බව කියනු ලැබේ. එනිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය කටයුතු පිළිබඳ විද්‍යාඥයෙකුගේ සහාය හා උපදෙස් ලබා ගැනීමට මුදල් ඇමැතිවරයාගේ යෝජනාව මෙරට රජය පිළිගත්තේය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ ලංකා තානාපති කාර්යාලය හරහා එරට ආණ්ඩුවට මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. එය පිළිගත් ඇමරිකානු රජය ජෝන් එක්ස්ටර් නමැති ආර්ථික කටයුතු පිළිබඳ විශේෂඥයා මෙරටට එවුයේය. ඔහු ඒ සඳහා අතිශය සුදුස්සෙකුව සිටියේය. ඇමෙරිකා ෆෙඩරල් රිසර්ච් බැංකුවේ (මහ බැංකුවේ) පර්යේෂණ හා සංඛ්‍යා ලේඛන අංශයට අනුබද්ධව ඈත පෙරදිග කලාපය භාරව ක්‍රියා කළ ප්‍රධානියා විය. මෙරටට පැමිණීමට ඇමෙරිකානු රජයෙන් උපදෙස් ලැබෙන විට එක්ස්ටර් සිටියේ මැනිලා නුවරය. ඒ පිලිපීනයට මහ බැංකුවක් පිහිටුවා ගැනීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමිනි. එහි සිට කොළඹට පැමිණි ඔහු තමාට පැවරුණු ක්‍රියාපටිපාටිය නොවලහා ඉටු කළේය. එය කොතරම් දක්ෂ ලෙස සහ සිත්ගන්නා ලෙස ඉටු කළේදයත් විදේශිකයෙකු මහ බැංකුවේ අධිපති ධූරයට පත් කර ගන්නා ප්‍රථම රට ශ්‍රී ලංකාව නොවිය යුතු යැයි මුලදී ප්‍රකාශ කළ ජේ. ආර්. ජයවර්ධන මහතාම මෙම ඇමෙරිකානු ජාතිකයා එම තනතුරට පත් කරගත්තේය.


ලංකා මහ බැංකුව ස්ථාපිත කිරීමට පදනම් වූ එක්ස්ටර් වාර්තාව පිළියෙල කිරීමේදී එයට සහාය වීම සඳහා දක්ෂ නිලධාරීන් දෙදෙනෙකු රජය විසින් ලබාදී තිබුණි. එවකට ලංකාවේ විනිමය පාලකවරයා වූ ඇන්. යූ. ජයවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර විනිමය පාලකවරයා වූ ඩී. සී. ගුණසේකර මහතා ඒ දෙදෙනාය. ගුණසේකර මහතා කටයුතු කළේ ජෝන් එක්ස්ටර් මහතාගේ ලේකම්වරයා වශයෙනි. ඇන්. යූ. ජයවර්ධන මහතා ප්‍රධාන සහයක නිලධාරියා හෙවත් මෙම භාරදූර කටයුත්තේ දෙවැන්න විය. මහ බැංකු අධිපති පදවියට පත් ජෝන් එක්ස්ටර් මහතා දිගු කලක් එම තනතුරේ රැඳී සිටියේ නැත. ඔහුගේ සේවා කාලය වසර දෙකකුත් මාස එකොළහකට සීමා වූවේය. මෙරටින් පිටත්ව ආපසු තම රටට ගිය ජෝන් එක්ස්ටර් එහිදී කොතරම් ගෞරවයකට පාත්‍ර වීදයත් ඇමෙරිකා ෆෙඩරල් රිසර්ච් බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට පත් විය.


ලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කර ගැනීමේ අසීරු අවස්ථාවට මුහුණදීමට ලංකාණ්ඩුවට සිදුවිය. ලංකාවේ බොහෝ කටයුතුවලදී සිදුවන්නාක් මෙන්ම ඒ ඈත අතීතයේදීද මෙම සම්භාවනීය තනතුර සඳහා පුද්ගලයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු ඇති කරගෙන සිටියහ. ඒ අය අතරින් සමහර දෙනෙක්  ප්‍රචාරක කටයුතු ආරම්භ කර සිටියහ. අවසානයේ එම තනතුරට පත් කරනු ලැබුවේ ජෝන් එක්ස්ටර් යටතේ නියෝජ්‍ය මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ ඇන්. යූ. ජයවර්ධන මහතාය. සමාජයේ ඉතා පහළ ස්ථරයක සිට ස්ව උත්සාහයෙන් ලබන ලද අධ්‍යාපනයක් සහ රාජකාරිය පිළිබඳව දක්වන ලද ඇප කැපවීම නිසාම මෙම ගරු කටයුතු තනතුරට පැමිණීමට මෙම කීර්තිමත් ශ්‍රී ලාංකිකයාට හැකි විය. මෙම තනතුර අත්කර ගැනීම සඳහා තරගයක් පැවති බව මුලද සඳහන් කළෙමි. එය නිරාකරණය කරගැනීමට රජයට පහසුවක් වූවේ එම ධූරය සඳහා සුදුසුම අනුප්‍රාප්තියකයා වන්නේ ඇන්.යූ. ජයවර්ධනයන් බව ඉවත්ව යන අධිපති ජෝන් එක්ස්ටර්ගේ නිර්දේශය බවද ලේඛනගතව තිබේ. වර්තමානයේ තරමටම නැතත් යම් යම් දේශපාලන ඇඟිලි ගැසීම්, අනිසි අත පෙවීම් එදත් නොපැවතියාම නොවේ. එහෙත් මෙම උගත්, සෘජු ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිලධාරියා කිසිවිටෙකත් එවැනි බලපෑම්වලට යටත්වූවේ නැත. තමාගේ සීමා මායිම් හොඳින් වටහාගෙන ඔහු අවංකව රාජ්‍යයට පක්ෂපාතව සිය කටයුතු කරගෙන ගියේය.


ඇන්. යූ. ජයවර්ධන මහතා තමා ගැනම ආවර්ජනයක යෙදෙමින් මෙසේ සටහන් කර ඇත. ‘මා පැවත ආවේ ධනයෙන් හෝ කුලයෙන් හෝ වරප්‍රසාද නොලත් සාමාන්‍ය පවුලකිනි. අධ්‍යාපනය පිළිබඳ දැඩි අභිරුචියක් මා තුළ විය. අධ්‍යාපනය විසින් විශිෂ්ටත්වය වෙත ළඟාවීමේ නව දොරටු විවර වනු ඇතැයි ළමා වියේදීම මම විශ්වාස කළෙමි. වයසින් වැඩීමත් සමගම තරුණ පරපුරට සිය සිහින සැබෑ කර ගැනීමේ අවස්ථාවන් කිසිත් නැති, එක තැන රැඳී ඇති ගම්මානයක දිගටම ජීවත්වීමේ කිසිදු අදහසක් මා තුළ නොවීය.’ යනුවෙනි. ඔහු තවදුරටත් මෙසේ සටහන් කළේය. සාමාන්‍ය පවුලක ජන්ම ලාභය ලැබීම පිළිබඳව මම ආඩම්බර වෙමි. මගේ ජීවිතයේ මට හිසිපත් කර ගත හැකි මුල්ම මතකයන් වනුයේ මගේ නිහතමානී දෙමාපියන්ය. ඔවුහු ඉතා සාමාන්‍ය පුද්ගලයෝ වූහ. මගේ පියා හම්බන්තොට තානායමේ භාරකරු වශයෙන් රැකියාව කළ අතර එම තනතුර සමඟ ආරච්චි නාමයක්ද පටබැඳුණි. පසු කාලයකදී ඔහු විශාල කුඹුරු යායක් වගා කළද එයින් සැලකිය යුතු අස්වැන්නක් නොලැබුණි.

 

 

හම්බන්තොට තානායමේ භාරකරු වූ යූ.ජේ. දියෝනිස් හා ඔහුගේ පතිනිය වූ ගජවීරගේ පොඩි නෝනා යන යුවළගේ පුත්‍රයෙකු වශයෙන් ඇන්.යූ. ජයවර්ධනයන් උපත ලද්දේය. එම යුගයේ දුප්පත් ගැමි දරුවකුට ලැබෙන සියලු දුක්පීඩා මැඩගෙන ධෛර්යසම්පන්නව තව ඉදිරියට යාමට සිදුවිය. එම යටත් විජිත යුගයේ ග්‍රාමීය දුක්ඛ දෝමනස්සයන් ඔහු මනාව අවබෝධ කරගෙන සිටියේය. තම රැකියාව හේතුකොට ගෙන සමාජය පිළිබඳව දැනීමක් ඇතිව සිටි පියා, දියෝනිස් මහතා මෙම පරිහානියෙන් අත්මිදී සමාජයේ තැනකට ඒමට නම් තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවක් බව එම දරුවාට වටහා දෙන්නට ඇතිවා නිසැකය. එනිසා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයටත් පසුව මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයටත් ජයවර්ධන දරුවා ඇතුළත් කිරීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඉගෙනීමෙහි දක්ෂ මෙම සිසුවා තම උසස් අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහලෙනි.


දීප්තිමත් අනාගතයකට පෙර ලකුණු දක්වමින් වේගයෙන් ඉගෙනීමේ කටයුතු කරගෙන යමින් සිටියා වුවද තම පවුලේ යැපීම සඳහා උපකාර කිරීමේ වගකීමද ඇන්.යූ.ගේ උරමත තිබුණි. එනිසා ඔහු මධ්‍ය ලිපිකාර විභාගයට පෙනී සිට සමත්වූයෙන් මහාමාර්ග සංවර්ධන අංශයේ ලිපිකරු රැකියාවක් ලබා ගැනීමට හැකි විය. ඔහුට හිමිවුන මාසික වැටුප රුපියල් විසිහතකි. එහෙත් එක්දහස් නවසිය විස්ස දශකයේදී එය සෑහෙන වැටුපක් වූ බව කියනු ලැබේ. එහෙත් ඔහු එම වැටුපට සේවයට පැමිණියේ සිය පාසල වූ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් රුපියල් හතළිහක මාසික වැටුප මත ලැබී තිබුණු ගුරුපත්වීම අතහරිමිණි.


කෙසේ වුවත් ලිපිකරු රැකියාව ඇන්.යූගේ සිත් ගත්තේ නැත. ඔහු ආපසු ගුරුපත්වීම භාරගත්තේ ඉහළ වැටුප් තලය ගැන උනන්දුවෙන් නොව වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඇති ආශාව නිසාය. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක්ව විශිෂ්ට ගුරුවරයෙකු ලෙස රාජකාරී කරන අතරම ලන්ඩන් මැටි්‍රක්‍යුලේෂන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් විය. අනතුරුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි වොල්සි හෝල් ආයතනයෙන් ආර්ථික විද්‍යා බී.ඇස්.සී. උපාධිය ලබාගත්තේය. එමෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික් ආයතනයට බැඳී එම්.එස්.බී. ආර්ථික විද්‍යා උපාධිය දිනා ගන්නා ලදී.

 

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ