නව දේශපාලන යුගයක් ඇරඹීම සඳහා පියවර තබමින් වසර 1951 අගෝස්තු 21 වැනිදා ලංකාදීපයේ මෙවන් දැන්වීමක් පළවිය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය : මේ පක්ෂය පිහිටුවීම සඳහා අනුකූලතාව දක්වන්නවුන්ගේ මහා සභා රැස්වීමක් වසර 1951 සැප්තැම්බර් දෙවැනි ඉරිදා සවස 2.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර ශාලාවේ දී පවත්වනු ලැබේ. මීට සහයෝගය දක්වන සැමට මෙම රැස්වීමට පැමිණෙන ලෙස කරුණාවෙන් ආරාධනය කරනු ලැබේ. -- මීට කැදවන්නෝ
 
බර්නාඞ් එච්. අළුවිහාරේ, බද්යුදින් මොහොමඞ්, සී. ආර්. බෙලිගම්මන, හජ්ජි, ඒ. ටී. කරීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ආර් ද සිල්වා, සී. පී. ද සිල්වා ඇන්තනී, ජේ. ඇම්. ද සිල්වා, පී. ද. ඇස් කුලරත්න, ස්ටැන්ලි සොයිසා, පී. බී. දිසානායක, පී. දොලපිහිල්ල, පී. එම්. ප්‍රනාන්දු, ඩී. එම්. පණ්ඩිත ගුණවර්ධන, ටී. බී. ඇස්. ගොඩමුන්නේ, ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන, වර්නන් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තමරා කුමාරී ඉලංගරත්න, ජේ. පී. ඇම්. ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. පී. ජයසූරිය, එෆ්. ආර්. ජයසූරිය, එල්. බී. කොලුගල, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර කුරුප්පු, ඒ. එච්. මාකර්, සී. ඒ. ඇස්. මරික්කාර්, සී. ඒ. සී. මරික්කාර්, ජේ. සී. ඩබ්. මුණසිංහ, රාජ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක, ඒ. සී. නඩරාජා, ඇල්බට් පෙරේරා. ඩබ්ලිව්, ඇෆ්. බී. පෙරේරා, වෝල්ටර් පෙරේරා, ඩැරල් පීරිස්, සෙනට් මන්ත්‍රී බාන්ස් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඒ. රාජපක්ෂ, එච්. බී. ඩබ්ලිව්. රඹුක්වැල්ල, සී. වී. රණවක, ඩබ්ලිව්. ඒ. ඩී රාමනායක, සී. ඒ. සමරසිංහ, එච්. ස්වාමිනාදන්, කේ. සෙනෙවිරත්න, ඇස්. තංගරාජා, ටී. වී තෙන්නකෝන් යන අය 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එච්. ශ්‍රී නිශ්ශංක විසිනි. එය ස්ථිර කළේ බද්යුදින් මොහොමඞ් ය. නිදහස් පක්ෂයේ සලකුණ ලෙස “අත” සහ වර්ණය ලෙස “නිල්” යෝජනා කළේ ද නිශ්ශංකය. නිල් වර්ණය බෞද්ධ කොඩියේ මුල් වර්ණය වීම මෙම තෝරා ගැනීමට හේතු පාදක විය. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ වසර 1952 වර්ෂයේදීය. එහිදී එම පක්ෂයට ආසන 09ක් දිනා ගත හැකි වූ අතර බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක තනතුරට පත්වූයේය. 
 
1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ නම් සන්ධානයක් පිහිටුවා ගන්නා ලදි. එහි සෙසු සාමාජිකයන් වූයේ සිංහල භාෂා පෙරමුණ සහ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයයි. මෙම පෙරමුණෙහි එක් සටන් පාඨයක් වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමයි. මහජන එක්සත් පෙරමුණ, එවකට රටේ පැවති ප්‍රධානතම වාමාංශික පක්ෂය ලංකා සම සමාජ පක්ෂය සමග නිතරග ගිවිසුමකට එළඹියේය. 
 
මහ මැතිවරණයේ දී, මහජන එක්සත් පෙරමුණ ආසන 51ක් දිනා විශිෂ්ට ජයක් ලැබීය. ලංකා සමසමාජ පක්ෂය ආසන 14ක් ලබා දෙවැනි තැනට පත්විය. බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 08ක් පමණක් දිනාගෙන සතරවෙනි තැනට පත්විය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර නව රජයේ ඉතා වැදගත් ඇමති පදවි රැසක් වාමාංශික නායකයන්ට හිමිවිය.  
 
වරප්‍රසාද ලත් සුළුතරයක ප්‍රභූ ඒකාධිකාරය විසින් නොතකා හරින ලද පොදු ජනතාව නව දැක්මකින්, නව චින්තනයකින් අවදිකර දේශීයත්වය, ජාතිකවාදය පුබුදුවාලීම මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් හැඳින්වූයේ බමුණු කුලයේ බිදවැටීම ලෙසිනි. 
 
වසර 1956 වන විට මෙරට ආර්ථික ප්‍රශ්න කියා දෙයක් නොතිබුණි. එහෙත් මිනිසුන්ට විශාල ප්‍රශ්නයක් විය. ඒ සංස්කෘතික ප්‍රශ්නයයි. නිදහස ලැබී අවුරුදු නවයක් ගත වුණත් ස්වදේශීය භාෂාවන්ට රටේ පිළිගැනීමක් නොතිබුණි. ස්වදේශීය බසින් උගත් අයට හිමි වූ එකම වෘත්තිය ගුරු වෘත්තියයි. බුද්ධාගමට උසස් පන්තියේ පිළිගැනීමක් නොවීය.
 
ජාතික ඇඳුම, ඔසරිය, රෙද්ද හැට්ටේ කිසිවිටෙක පිළිගැනීමකට ලක් නොවීය. භික්ෂූන් වහන්සේ ඉස්කෝල මහත්තයා, වෙද මහත්තයා, ගොවියා, කම්කරුවා විශාල ආවේගයකින් එකල ජීවත් වූයේ මෙම සංස්කෘතික අර්බුදය නිසාය. කොයි මොහොතේ පුපුරා යාවිද නොදන්නා මේ පීඩනයෙන් හා අතෘප්තිමත් ජීවන රටාවෙන් පිරි මිනිසුන්ට බණ්ඩාරනායක නායකත්වය දුන්නේය. 
 
මූලාශ්‍රය - අමර සමර -6 අමර මද්දුමහේවා
 
ආර්ථිකය තුළ රාජ්‍ය අංශයේ පාලනය පුළුල් කිරීමට රජය විසින් පියවර ගැනීම. 
 
1957 රාජ්‍ය කාර්මික සංස්ථා පනත හඳුන්වාදීමත් සමග රාජ්‍ය අංශය මුල් වූ කාර්මික සංවර්ධන ක්‍රියාදාමයකට පියවර ගනු ලැබීම. කොළඹ වරායේ භාණ්ඩ හැසිරවීම සහ බස් සේවාව ජනසතු කිරීම.
1958 දී කුඹුරු පනත අඳගොවීන් සඳහා සුරක්ෂිතභාවය ලබාදීම. 
 
සිංහල, රාජ්‍ය භාෂාව ලෙස 1956 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කළ අතර, විරෝධතාවයන්ගෙන් පසුව 1958 දී ද්‍රවිඩ භාෂාව භාවිත කිරීම සඳහා ද අවස්ථාව සලසා දීම.
 
රජය විසින් ත්‍රිකුණාමලයේ ප්‍රධාන නාවික හමුදා කඳවුර සහ කටුනායක ගුවන් හමුදා කඳවුර බි්‍රතාන්‍ය පාලනයෙන් පවරා ගනු ලැබීම.
 
විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීම. 
 
බලවත් විරෝධතා හේතුවෙන් බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම පදනම් කරගෙන උතුරු - නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ට යම් ආකාරයක ස්වයං පාලනයක් ලබාදීමෙන් ජාතිවාදි ප්‍රශ්නය විසඳීමට බණ්ඩාරනායක මහතා දැරූ ප්‍රයන්තය අත්හැර දමන්ට සිදුවිය. 
 
වාමාංශික පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිතිද දිගින් දිගටම ගෙන ගිය වැඩවර්ජන මගින් සිය ශක්තිය පෙන්වූ අතර, එම වැඩවර්ජන සමථයකට පත්කරලුයේ විශාල වැටුප් වැඩිකිරීම් ලබාදීමෙනි. අඩු වෙමින් පැවති විදේශීය සම්පත් තත්ත්වය නිසා දුෂ්කරතාවන්ට මුහුණ දුන් ආර්ථිකය වැඩවර්ජන නිසා තවත් දුර්වල විය. පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම ප්‍රතිලාභ ලබාදීම සඳහා සේවක අර්ථසාධක අරමුදල ඇති කරනු ලැබීය. 
 
කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දෙමින් දස අවුරුදු සැලැස්මක් පිළියෙල කරන ලදී. එහෙත් අපනයන ඉපැයීම් අඩුවීම නිසා ඇති වූ සම්පත් හිඟය පිළිබඳ ප්‍රශ්නය නිසා ඒ වෙනුවට තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කෙරුණි.
 
1956-59 කාලච්ජේදයේදී වාරිමාර්ග ක්‍රමය යටතේ ගොවි ජනපද පිහිටුවීමේ කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක විය. වලවේ ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කෙරිණ. කෙසේ වුව ද කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා ද ප්‍රබල පියවර කිහිපයක්ම ගනු ලැබිණ.
 
විවිධ දේශපාලන මතවාද අනුගමනය කරන රටවල් සමග සම්බන්ධතා ගොඩ නැගීමෙන් හා නව නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්ති වලින් සමන්විත, සමාජවාදී නැඹුරුවක් සහිත රටවල් සමග විදේශ සම්බන්ධතා ගොඩනැංවීමෙන් විදේශ ප්‍රතිපත්තියෙහි දැඩි වෙනසක් ඇති කරන ලදී. ඉන්දියාව සමඟ පැවති සම්බන්ධතාවන් තව දුරටත් ශක්තිමත් විය. 
 
කෙසේ වුවද සභාග රජයේ දේශපාලන මතවාද හා ගැටුම් නොකඩවා වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ වසර 1959 සැප්තැම්බර් මස 26 වැනිදා අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කොළඹ දී ඝාතනය කරනු ලැබීමෙනි.
 
 
කොල්ලුටියේ දී උපත ලද පී. බී. අල්විස් පෙරේරා කොළඹ යුගයේ දෙවෙනි පරපුර නියෝජනය කළ කීර්තිමත් කවියෙකි.
 
 
බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව පී. බී. අල්විස් පෙරේරාගේ කවි සටහන මෙසේය.
ජනතා සටන් බිම නව යුගයක බාර
ජයගෙන බමුණු කුලයෙන් බිද හැර මාර
මහ වීරයා ලද පපුවට වෙඩි පාර
සමරමි දෙනෙත බැඳ කඳුළැලි උපහාර
එතුමා එදා වෙඩි පහරින් වැටුණු දිනේ
ඇඳ සිටි ඇඳුම දැන් මා ඉදිරියෙහි පෙනේ 
ලේ පැල්ලමින් යුත් මේ පිළිවළට අනේ 
නමදිමි දෙදණ ඇන වැතිරී හතර කොනේ
රට - දැය සමය රැක ජනයා සමග කුඩා 
එක පොදු පිලක සිට සේවය ගැනම දොඩා 
වැගුරූ ලෙයක් ඇති පිළිකඩ කියමි හඩා 
මට නම් අගෙයි අරහත් සිවුරකට වඩා
හිස පිට ඔටුනු නොපළන් උතුමෙකුගේ ළයේ 
වැගුරුණු රුහිරු පැල්ලම් මා කෙරෙහි තියේ 
එතුමා ගමන් ගත් මග ගොස් තෙපිද බියේ 
නොසැලී පුදව් දිවි දියුණුව පිණිස දැයේ
මේ බැනියමේ ඇත්තේ උතුමෙකුගෙ ලෙයයි 
ඒ ලේ ලකුණු යා යුතු මග අපට කියයි 
මුළු තුන් සිංහලේ මේ ලේ වලට ණයයි 
අද සිට සටන් බිම ජාතික කොඩිය මෙයයි 
ළය මත වැදුනු වෙඩි පහරින් සැදුනු හිල 
ඇත බැනියමේ පියවිය හැකි ඇගිලි මුල 
උර තල වැදුණු වෙඩි පහරින් රුහිරු වැල 
විසිරුණු අයුර පව් කළ නෙත් යුවළ බල 
පිටුපා දුවන විට වෙඩි එක දිගට වැදී 
තැබූ වෙඩි පහර වියරුව ඉදිරියට ඇදී
තුනටිය පසෙක දිස්වෙයි බැනියමෙහි රැදී
පිටිපස තිබේ බෝසත් ලේ කැටිය මිදී
අත් ඔරලෝසුවද පණ දෙන ඇණය බිදී
දහයයි එකට නැවතී දුක් මුසුව ඉදී 
පොඩි ලේ තිතක් වට රාමුව අසල මිදී
ඉදිකටු දහක් මිටි බැඳ මගෙ හිසට විදී
පොදු ජනයාගේ ගරු අගමැති පහන් රුක 
සෙවණෙහි රැදී විද නිදහස් ගමන් දැක 
වෙඩි කෑ දිනෙහි ලේ රැදි පාවහන් දෙක 
කවදා නමුදු ගෙන යයි හිස මතින් ලක
පොදු ජන යුගයේ වීරය වෙඩි මුර මාර 
පිළිගෙන ළයෙන් ඔබ වැගුරූ උණු රීර 
මෙරටේ අනාගත ගමනෙදි සරු සාර 
පැහැදිලි කරයි තෝරා ගත යුතු පාර 
දළදා සමිඳු වැජඹෙන මහනුවර දෙස 
එඩිතර වීරවර කැප්පෙටිපොළගෙ හිස 
බැනියම රුහිරු ගැවසුණු මේ ඉදිරි පස 
මම මල් පුදමි මා සතු තුන් රුවන ලෙස
 
 
මූලාශ්‍රය - වෛද්‍ය කේ. ඇම්. තිලකරත්න - බෝසත් අගමැතිතුමා
 
 
 
 
 
 
 
නිරෝෂණ පීරිස්