ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 1947 මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ කිසිම ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු දැනට ජීවතුන් අතර නැත. ජයගත් ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ පරපුරට අයත් කිහිප දෙනෙක් අදත් දේශපාලන තලයේ ක්‍රියාකාරී මෙහෙවරක නියුක්තව සිටිති. 1952 මහා මැතිවරණයෙන් ජයගත් ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයෙකු අදත් ජීවතුන් අතර නැත. අදාළ පරපුරේ ඥාතීහු අදත් ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්තව සිටිති.


එහෙත් 1956 මහා මැතිවරණයට ඉදිරිපත්ව ප්‍රබල දේශපාලනඥයන් කීප දෙනෙකු පරාජය කර මැද කොළඹ බහු මන්ත්‍රී ආසනයේ තුන්වැනි මන්ත්‍රීධූරය හිමිකර ගත් ඇම්. ඇස්. තේමිස් මහතා මිය ගියේ ඉතා මෑතකදීය.
ඒ සමගම 1960 මාර්තු මහ මැතිවරණයට ම.එ.පෙ අපේක්‍ෂක වශයෙන් හබරාදුව ඡන්ද කොට්ඨාසයට තරග කර ජයග්‍රහණය ලැබූ ඉන් පසු 1960 ජූලි, 65 මාර්තු, 1970 මහ මැතිවරණවල විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජයග්‍රහණය හිමිකර ගෙන 87 - 90 රාජ්‍ය භිෂණයේදී ජීවිතය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ලන්ඩන් නුවරට ගිය අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර අද අධිකරණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තියක නිරතව සිටී.


අපි පළමුව මැද කොළඹ හිටපු මන්ත්‍රී ඇම්. ඇස්. තේමිස් මහතා ගැන මතකයට පිවිසෙමු.


වෘත්තියෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇම්. ඇස්. තේමිස් වෘත්තිය සමිති නායකයෙකි. චතුර කථිකත්වයකින් හෙබි ඇම්. ඇස්. තේමිස් මැද කොළඹ බහු මන්ත්‍රී ආසනයට ම.එ.පෙ අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විය. ඇම්. ඇස්. තේමිස් තුන්වැනි මන්ත්‍රී වශයෙන් ජයග්‍රහණය කළේ එජාප රජයේ හිටපු කම්කරු ඇමති ඇම්. සී. ඇම් කලීල් පමණක් නොව 1927 පටන් කොළඹ නගරයේ කම්කරු නායකයෙකුව සිටි ඒ. ඊ. ගුණසිංහද පරාජය කරමිනි. ඒ පමණක් නොවේ. උතුරු කොළඹ ප්‍රදේශයේ එජාපයේ පතාක යෝධයෙකු වූ වී. ඒ. සුගතදාසද පරාජය කරමිනි.


ඡන්ද ප්‍රතිඵල මෙසේය-


පීටර් කෙනමන් කො.ප. 45,296
ශ්‍රීමත් රසීක් පරීඞ් එ.ජා.ප 26,512
ඇම්. ඇස් තේමිස් ම.එ.පෙ 20,378
ඇම්. සී. ඇම් කලීල් එ.ජා.ප. 20,338
වී. ඒ සුගතදාස එ.ජා.ප 18,243
ඒ. ඊ ගුණසිංහ ක.ප. 16,678
ඒ. අලි මොහමඞ් ස්වාධීන 501


හිටපු කම්කරු ඇමති ඇම්. සී. ඇම්. කලීල් සහ තැපැල් සේවක ඇම්. එස්. තේමිස් අතර පැවතුණේ තියුණු තරඟයකි. ඇම්. ඇස්. තේමිස් මහතා ලබා ගන්නා ලද්දේ වැඩි ඡන්ද 40කි. පාර්ලිමේන්තුව තුළ මහත් ආන්දෝලාත්මක චරිතයක් වූ ඇම්. ඇස්. තේමිස් ඉතා සුළු කාලයකින් මහත් ජනාදරයට පත් වූයේය. 


1960 මාර්තු මහා මැතිවරණයට හිටපු ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ම.එ.පෙ න් මැද කොළඹ ආසනයට තරග කළේය. ඒ අවස්ථාවේදී ඇම්. ඇස්. තේමිස් මහතා පරාජයට පත් විය. 1960 ජූලි මහා මැතිවරණයේදීත් ඇම්. ඇස්. තේමිස් (ම.එ.පෙ) නියෝජනය කරමින් මැද කොළඹට තරග කළේය. ඒ වාරයේද ඔහු පරාජයට පත් විය.


1965 මහා මැතිවරණයේදී ඔහු මහා මැතිවරණයට තරග කළේය. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණට සහයෝගය ලබා දෙමින් බස්නාහිර පළාත තුළ ඡන්ද ව්‍යාපාරයට සිය චතුර කථිකත්වයෙන් උපරිම සහාය ලබාදුන්නේය. එ.ජා.පය බලයට පත් වීමෙන් පසු ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේය.


1970 මහ මැතිවරණය 1970 මැයි 27 වැනිදා පැවැත්විණි. කොළඹ නගරයෙන් බොහෝ ඈත සබරගමුව පළාතේ දෙහිඕවිට ඡන්ද කොට්ඨාසයට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ඇම්. ඇස්. තේමිස් මහතා තරඟ කළේය. හිටපු මන්ත්‍රී ධනපාල වීරසේකර මහතා ජයග්‍රහණය කළේය. හිටපු මන්ත්‍රී ඇම්. ඇස්. තේමිස් මහතා ඉන්පසු ඡන්ද සටනට ඉදිරිපත් නොවීය.


1956 මැතිවරණයේදී ලංකාදීප පත්‍රයේ කර්තෘ මණ්ඩලයට අයත්ව සිටි ප්‍රින්ස් ගුණසේකර ප්‍රධාන කර්තෘ ඩී. බී. ධනපාලයන්ගේ මෙහෙයවීම යටතේ ඉතා සූක්‍ෂම ආකාරයෙන් මහජන එක්සත් පෙමුණට විජයග්‍රහණය ලබාදීම සඳහා අනෙක් සහෝදර පත්‍ර කලාවේදීන් සමඟ පෙරමුණ ගත්තේය.


ධර්මසිරි ජයකොඩි, රත්නදේශප්‍රිය, කරුණාසේන ජයලත්, පෙරමුණේ තිලක, ආරියවංශ පතිරාජ ආදී සහෝදර පත්‍ර කලාවේදීන් සමඟ ප්‍රින්ස් ලංකාදීපයෙන් මහා විජයග්‍රහණයට මුල පිරුවේය. ඒ අතර සති අන්තයේ දකුණේ හබරාදූව ගම් ප්‍රදේශයේ ක්‍රියාකාරී දේශපාලනයෙහිද නියුක්ත වූයේය. 


1960 මහ මැතිවරණයට නාමයෝජනා පත්‍ර භාරදීමේදී ප්‍රින්ස් ගුණසේකර මහතා පිලිප් ගුණවර්ධනයන්ගේ නායකත්වයෙන් යුත් ම.එ.පෙ. නියෝජනය කරමින් හබරාදුවට තරග කළේය. දකුණේ ගුණසේකර පරපුරේ නිජබිමක් වූ හබරාදුවට ගුණසේකර පෙළපතේ ළඟම ඥාතීහු තිදෙනෙක් පක්‍ෂ තුනකින් ඉදිරිපත් වූහ. හිටපු මන්ත්‍රී ඩී. ඇස්. ගුණසේකර ශ්‍රී.ල.නි.පයෙන් තරග කළේය. ඩී. ඒ. බී. ගුණසේකර (එ.ජා.ප) එම්. ඩී. ගුණසේකර (ල.ප්‍ර.ප) අනෙක් දෙදෙනා වේ. අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ සමාජවාදී මහජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රවීණ කිවියර පී. මලල්ගොඩ ද තරග කළේය.


ගුණසේකරල හතර දෙනා අතර පැවැති තියුණු තරගයෙන් වැඩි ඡන්ද 117ක් ලබා අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතා ජයග්‍රහණය කළේය.


60 මැතිවරණයෙන් අඩු ආසන ගණනක් හිමිවූ එ.ජා.ප නායක ඩබ්ලි සේනානායක මහතා පිහිට වූ ආණ්ඩුවේ රාජාසන විවාදයේදී සිදුවූ අර්බුදයේදී විරුද්ධ පක්‍ෂයේ අතුරු යෝජනාවට පිලිප් ගුණවර්ධන මහතා සමඟ එම පෙරමුණේ හය දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එම කණ්ඩායමට ප්‍රින්ස් ගුණසේකර මහතාද අයත් විය.


1960 ජුලි මස 20 වැනිදා යළිත් මහා මැතිවරණයක් පැවැත්විණි. ප්‍රින්ස් ගුණසේකර ම.එ.පෙ නියෝජනය කරමින් ඉදිරිපත් විය. එවර ගුණසේකරලා තිදෙනෙකි. ශ්‍රී.ල.නි.ප අපේක්‍ෂක ඩී. ඇස්. ගුණසේකර ජයග්‍රහණය කළේය. ප්‍රින්ස් ඡන්ද 2404ක් ලබා තුන්වැනි ස්ථානයට පත් විය.

 

දඹරාවේ රතනසාර හිමියන්ගේ ලේ තැවරුණු සිවුර මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරමින් ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී වේගවත් කතාවක් පැවැත් වූයේ හබරාදුව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතාය.


1965 මැතිවරණයේදී ප්‍රින්ස් ගුණසේකරට හබරාදුව ලබා දෙන්න යැයි විශාල බලපෑමක් ශ්‍රී.ල.නි.ප නායකත්වයට ඉදිරිපත් විය. එම ඉල්ලීම ඉටු නොවිණ. එ.ජා.ප යෙන් ගුණසේකර කෙනෙකු තරග නොකළ අතර ජී. වී. ඇස්. සිල්වා එජාපයෙන් ඉදිරිපත් විය. ප්‍රින්ස් ගුණසේකරට වාමාංශික නායකයෝ පූර්ණ සහාය ලබා දුන්හ සිය හිත මිතුරු පුවත්පත් කලාවේදී වජිර පැල්පිට ප්‍රින්ස් වෙනුවෙන් මහා කැප කිරීමක් කළේය. තියුණු තරඟයකින් පසු ස්වාධීන අපේක්‍ෂක (ප්‍රින්ස් ගුණසේකර) වැඩි ඡන්ද 93ක් ලබා හබරාදුව ජයග්‍රහණය කළේය.


දෙමළ භාෂා, විශේෂ විධි විධාන පනත බලයට පත්ව සිටි එජාප. පෙඩරල් සභාග රජයේ සභානායක ජේ. ආර්. ජයවර්ධන මහතා 1966 ජනවාරි 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පනතට විරුද්ධව විපක්‍ෂය මගින් මෙහෙයවූ විරෝධතා ව්‍යාපාරයට පොලිස් බැටන් ප්‍රහාර එල්ල වුණි. ගාලු පාරේ අයිනේ බිම වැතිර සිටි විරෝධතාකරුවන් හප්පාගෙන වේගයෙන් ගමන් ගත් වාහනයක ගැටී දඹරාවේ රතනසාර හිමි බරපතළ තුවාල ලබා අපවත් වූහ.


දඹරාවේ රතනසාර හිමියන්ගේ ලේ තැවරුණු සිවුර මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරමින් ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී වේගවත් කතාවක් පැවැත් වූයේ හබරාදුව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතාය.
1970 මහ මැතිවරණයේදී ප්‍රින්ස් ගුණසේකර මහතා හබරාදුව අසුනට තරග කළේ ශ්‍රී.ල.නි.ප නියෝජනය කරමින්. එ.ජා.පයේ. ජී. වී. ඇස්. සිල්වා ප්‍රින්ස් ගුණසේකර මහතා අතින් පරාජය වූයේ වැඩි ඡන්ද 9672ක් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.


අප්‍රේල් කැරැල්ලේදී රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් ගැන නොසතුටට පත් ප්‍රින්ස් ගුණසේකර මහතා 1971 ඔක්තෝබර් මාසයේදී පෙරමුණ හැරදා ගියේය.


1977 මහා මැතිවරණයට අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතා ඉදිරිපත් නොවීය. 1987 ජුලි 27 වැනිදා අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය පුළුල් වීමෙන් දේශප්‍රේමී ජනතා සන්නද්ධ බළකාය ගොඩ නැගුණි. ඊට පිළිතුරු වශයෙන් රජය මගින් රාජ්‍ය මර්දනයක් ගොඩ නගන ලදී.


මෙම රාජ්‍ය මර්දනය හමුවේ අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතාද තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීම උදෙසා එංගලන්තයට ගියේය. අද එංගලන්තයේ පදිංචි වී සිටින ප්‍රින්ස් ගුණසේකර මහතා නීති උපදේශකයෙකු වශයෙන් සිය ජීවිතයේ සන්ධ්‍යා කාලය ගත කරමින් සිටී.

 

 

 

 

 

බන්ධුල ආර්. ගුලවත්ත