කොළඹ යුද බිමක් කළ අගෝස්තු හර්තාලය - 03

 

 

රැස්වීම කඩාකප්පල් කරන්න. යු.ඇන්.පී. කාරයින්ට ඉඩ දෙන්න එපා. පොලිසියට ගල් ගසා මහජනයා කුලප්පු කරවන්නට යු.ඇන්.පීය මෙහි සහචරයින් යොදවා තිබේ. කඳුළු ගෑස් බැටන් පොලුවලට මේ රැස්වීම කඩාකප්පල් කරන්න බැහැ. මිනිසුන්ට අවශ්‍ය ආහාර නැහැ. නමුත් කඳුළු ගෑස් නම් නොමිලේ ඕනෑ තරම් තිබේ.


එක්දින සමස්ත වගා වැඩ නැවැත්වීමත් කරන්න තීරණය කර තිබේ. එය ජාතික වර්ජනයක් ලෙස පැවැත්විය යුතුයි. 


එන්. එම්. පෙරේරා බස් ව්‍යාපාර වතු යාය වල් ජන සතු කර මේ ආර්ථික දුෂ්කරතාවෙන් මිදීමට පුළුවන් යැයි කීවේය. මහජනයාගේ ඕනෑ එපා කම් විසඳන අන්දමට නොව ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිපත්ති උඩ ආණ්ඩුව කරගෙන යයි. මේ ප්‍රශ්නය ගැන රට පුරා හැඟීමක් තිබේ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම එළවා දැමිය යුතුයි. 


පිලිප් ගුණවර්ධන මහතා කතා කිරීමට වේදිකාවට එත්ම නැවැත්වීමට අපහසු තරමේ ප්‍රීති ඝෝෂාවක් ඇති විය. ඒ සමගම එක්සත් වන්න යැයි කියමින් මහ හඬින් ඝෝෂා කළහ. 


වමේ මත ගැටුම් යු.එන්.පිය කියන තරම් දරුණු නැහැ. අපට ඇත්තේ එකම රතු කොඩියයි. අපට ඇත්තේ එකම ප්‍රශ්නයයි. ධනපති ක්‍රමයට එරෙහිව කරන සටනයි. අපි රතු කොඩිය සෙවණේ එක්සත්ව ඇමරිකන් ගැති අධිරාජ්‍යවාදී ධනපති නියෝජිතයා මේ ආණ්ඩුව පලවා හැරිය යුතුයි. ආණ්ඩුවේ මර්දනයට කම්කරු පංතිය බියසුල්ලන් නොවන බව අද පෙන්නුම් කළා. පිලිප් පැවසීය. 


නැවතත් රැලියට සහභාගි වූවෝ වහාම එක්සත් වෙන්න ආණ්ඩු බලය බිඳින්න එක්සත් වන්න යනුවෙන් ඝෝෂා කරන්න වූහ. 


මුලසුන බණ්ඩාරනායක මහතා: කඳුළු ගෑස් ටිකත් මට වැදුණත් කඳුළු හලන්නට සිදු නොවන බව කීවේය. තමුනාන්සේලාගේ දුක් ගැනයි අපි කඳුළු සලන්නේ. වසරක් යාමට පෙර මහජන ආණ්ඩුවක් පිහිටුවීමට ස්ථිර වශයෙන් පුළුවන්. 


රැලිය අමතා එස්. ජේ. වී. චෙල්වනායගම්, කේ. රාමලිංගම් මහත්වරු ද කතා කළහ. මෙහිදී හර්තාල් යෝජනාව ප්‍රිති ඝෝෂා මැද සම්මත කර ගත්හ. 


රැස්වීම් අවසන් වීමෙන් පසු ද ගෝල් ෆේස් පිටිය ද එකම යුද බිමක සිරිය දැරීය. පිටිය වටකරගෙන සිටි පොලිසිය විසිරෙන පිරිසට පහර දෙන්නට විය. පොලිස් පහරදීම් වලින් කෝප වූ ජනතාව පෙරළා පහර දෙන්නට වූහ. පොලිස් අශ්වාරෝහකයන් ද තම අසුන් මෙහෙයවමින් නිරායුධ ජනතාව මැදට පැමිණීම නිසා දෙපක්ෂය අතර ගැටුම් ඇවිළුණි. බොහෝ දෙනෙකුට තුවාල සිදු විය. රැලියේ සාර්ථකත්වය හා ජනතාවගේ සටන්කාමි බව ඉවසා ගත නුහුණු පාලකයන් මෙම පහරදීම පිටුපස සිට මෙහෙය වූ බවට ද රටේ මතයක් ගොඩ නැගුණි. මෙහිදී සර් ජෝන් කොතලාවලගේ නම ද සමහරුන්ට සිහිපත් විය. රැස්වීම අවසන්ව පැයක් පමණ මෙම ගැටුම පැවති බව පැවසෙයි. 


පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල ඇති වූ කලබලකාරි සිදුවීම් පිළිබඳව නිවේදනයක් නිකුත් කළ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති සී. සී. දිසානායක මහතා පිරිස හසුරුවා ගත නොහැකි වූ තැන බැටන් පහර දී විසුරුවා හැරීමට සිදු වු බව සඳහන් කළේය. 

 


පාර්ලිමේන්තුව රැස්වෙමින් තිබිය දී විශාල පිරිසක් මන්ත්‍රී මණ්ඩලයට කඩා වැදීමට උත්සාහ ගත්තා. ඔවුන් ගල් හා බෝතල් වලින් ගැසීය. මේ නිසා පොලිස් කණ්ඩායමක් බැටන් පහර දී මේ පිරිස විසුරුවා හැරියා. පොලිස් භටයන්ට හා පාරේ ගිය රථවාහනවලටත් ලේක් හවුස් පාරේ සිටි පිරිසක් ගල් ගැසූහ. මහජනයා හා දේපොළ ආරක්ෂා කිරීම පිණිස මේ අවස්ථාවේ දී පොලිසිය විසින් කඳුළු වගුරවන ගෑස් බෝම්බ පුපුරවන ලදි. 
ගෝල් ෆේස් පිටියේ පිරිසක් පොලිසිය වටලා ආයුධ උදුරා ගැනීමට උත්සාහ කළා. පොලිස් භටයන් කිහිප දෙනෙකුටත් තුවාල සිදු වුණා. රාත්‍රී 7.10 වන විට ගැටුම් අවසන්ව ස්ථානය නිශ්චල තත්ත්වයට පත් වූ බව සී. සී. දිසානායක මහතා නිකුත් කළ පණිවිඩයේ සඳහන්ය. 


වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති සී. සී. දිසානායක මහතාගේ තවත් නිවේදනයකින් කියැවුණේ ගාලු මුවදොර පිටියේ මින් මතු මහජන රැස්වීම් පැවැත්වීම තහනම් විය හැකි බවයි. කලහකාරි සිදුවීම් යළිත් ඇති නොවනු සඳහා මේ තීරණය ගත් බව පවසා ඇත. කොළඹ නගර සීමාව තුළ ආගමික පෙරහැර මිස අන් කිසිවක් පැවැත්වීමට තහනම් කිරීමට ද රථ වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ප්‍රචාරක කටයුතු කිරීමට මින් පසු නොහැකි වනු ඇත. රථ වාහන පදවන්නන්ට නිදහසේ පැදවීමට නොහැකි වීම, නිදහසේ ගාලු මුවදොරට ගොස් මුහුදු සුළං විඳීමට අවහිර වීම ඉහත තීරණ ගැනීමට හේතුවයි. කොළඹ පොලිස් මුර සංචාරක පුළුල් කෙරෙන බව ද එම නිවේදනයෙන් කියැවිණ. 


(පුවත් පත් ඇසුරිනි)


23 දින සිදුවීමේ ප්‍රතිඵලය ලෙස ගාලු මුවදොර වටේට තිබු ලාම්පු කණු සමහරකට අලාභ හානි කිරීම සමහර ලාම්පු කණු උගුල්ලා (ගලවා) දැමීම නිසා නගර සභාවේ අලාභය දහස් ගණනක් විය හැකි බව නගර සභාවේ උසස් නිලධාරියෙක් පවසයි. කොම්පඤ්ඤවීදියේ දී බස් රථවලට ගල් ගසන ලදැයි හැඳල ඩී. පී. අලහකෝන් කොල්ලුපිටියේ එස්. සුප්පයියා, කළුතර ඩී. ඩී. එඩිව්න් තිදෙනො අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ. වෛද්‍යලිංගම් මහතා වෙත ඉදිරිපත් කරන ලදි. 


මහා හර්තාලයේ පෙරහුරුවක් වූ ගෝල්ෆේස් රැලිය හා රැලිය දක්වා රට තුළ මෝරා පැමිණි සටන් මාර්ග එලෙසින් දිග හැරේ. 


අගෝස්තු 12 මහා හර්තාලය පිළිබඳව මෙම ලිපියෙන් නොකිය වුණත් අවසානය මෙසේ සටහන් කළ හැක. 


මහා හර්තාලයේ පොලිස් වෙඩි පහරින් සටන් කාමීන් නව දෙනෙක් මිය ගියහ. කැබිනට් මණ්ඩලය පවා රැස්වුණේ මහ සයුරේ නවතා තිබු නෞකාවක් තුළය. මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන විසි විය. සර් ඔලිවර් ගුණතිලක මුදල් ඇමති විය. අගමැති ඩඞ්ලි සේනානායක මහතා සෞඛ්‍ය හේතූන් පෙන්වමින් අගමැති තනතුරෙන් ඉල්ලා අස් විය. සර් ජෝන් කොතලාවල අගමැති විය. 


එහෙත් විශේෂය වූයේ ගෝල් ෆේස් රැලියේ මුලසුන ගත්තා මිස හර්තාලයට පක්ෂයක් වශයෙන් සහයක් නොදැක් වූ බණ්ඩාරනායක මහතා හර්තාලයේ පිහිටෙන් 1956 දී රටේ අගමැතිවරයා හා මෙහෙවන්නා බවට පත් වීමය.

 

 

 

 

 

ගණේමුල්ල බුද්ධි බොල්ලත 
සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික