ඒ 1990 ජුනි මස 11 වැනිදාය. හරියටම උදේ 8.05 ට කොටි ත්‍රස්තවාදීහු මඩකළපුව පොලිස් ස්ථානය සන්නද්ධ කොටි 200 ක් පමණ වැටලූහ. ඊට කලින්ම පණ බේරා ගැනීම සඳහා සිංහල පොලිස් නිලධාරීන් රැසක් තම අඹුදරුවන්ද රැගෙන ගුවන්තොටුපොළට ගොස් තිබිණ. ඉතිරිව සිටි වැඩබලන පොලිස් ස්ථානාධිපති හා නිලධාරීන් කොටින්ගේ අත්අඩංගුවට පත්විණ.


මඩකළපු පොලිසිය භාරව තිබූ රුපියල් මිලියන 45 ක රන් අබරණද ටී 56 ගිනි අවි 109 ක්ද ටී 84 ගිනි අවි 77 ක්ද සාමාන්‍ය මැෂින් තුවක්කු 29 ක්ද උණ්ඩ දැමූ ගිනි අවි 28 ක්ද එස්.ඒ.ආර්. අවි 78 ක්ද කොටින් අතට පත්විණ.


නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් ඉවත්ව නොගියහොත් මෙවැනි දරුණු ඉරණමකට එදා මුහුණදීමට සිදුවන බව කොටි සංවිධානය රජයට දැනුම් දුන්නේය.


මෙම තත්ත්වය මත පොලිස් නිලධාරීන්ට අවි බාරදී යටත්වන ලෙස එවකට පොලිස්පතිව සිටි අර්නස්ට් පෙරේරා නියෝග කළේය. එම අණ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිළිගත් නමුත් එවකට කල්මුණේ පොලිසිය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු එකහෙළාම එම තීරණයට විරුද්ධ විය.


පොලිසිය යටත් වුණොත් අනිවාර්යයෙන්ම උන් අපිව සමූලඝාතනය කරාවි. නැගෙනහිර පොලිස් ස්ථාන බේරගන්නට නම් ගුවන් යානා හා කාලතුවක්කු අපට ලබාදෙන්න. ඔහු කොළඹ ආරක්ෂක මූලස්ථානයට දැන්වීය. එයට පිළිතුර නිහඬතාවයි.


මෙම යුගයේ ජනපතිවරයා වූයේ ආර්. ප්‍රේමදාසය. විදේශ ඇමතිවරයා වූයේ ඒ. සී. එස්. හමීඞ්ය. ඔහු එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගෙන් ඒ ගැන විමසීය.


“අයියෝ බයවෙන්න එපා. ඒගොල්ලො පොලිස් නිලධාරීන් සතියක් විතර තියාගෙන නිදහස් කරාවි.” මේ දිනවල කොටි සංවිධානය සමග ශ්‍රී ලංකා රජය සාම සාකච්ඡා අරඹා තිබිණ. එම සාකච්ඡා සඳහා ඇන්ටන් බාලසිංහම් හෙවත් ස්ටැනිස්ලාවූස් කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගි සමඟ සන්නිවේදන අංශයේ ජූඞ් ඇතුළු පිරිසක් කොළඹ ගලධාරී හෝටලයේ අංක 429 හා අංක 430 යන රහස් කාමරවල සැප විහරණ මැද ලැගුම්ගෙන සිටියහ.


මෙම වාතාවරණය මැද ඇන්ටන් බාලසිංහම්ගේ වදන් විශ්වාස කිරීමට මේ රටේ දේශපාලන හා ආරක්ෂක අධිකාරිවල බලවතුන්ට සිදුව තිබිණ. කොටින්ට යටත්වන ලෙස නියෝග කෙරුණේ ඒ නිසාය. 


තම ස්වාමීන්ගේ කීම අනුව යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ කොටි ත්‍රස්තවාදීන්ගේ ඇනුම් බැණුම් පහරදීම් මැද දෑත් පිටිතල හයා බැඳ තිරුක්කෝවිල් මහ වනයට ගෙනයනු ලැබිණ. ඊළඟ මොහොතේ ඔවුන් පේළියට තබා මැෂින් තුවක්කු ප්‍රහාර එල්ලකර අමුඅමුවේ මරාදමනු ලැබිණ.


කලින් දින රාත්‍රියේ කොටි හමුදාව කලවංචිකුඩි පොලිසිය වටලා ඇති බව එහි කොටුවී සිටි බම්බලපිටියේ රාජකාරි කළ පොලිස් පරික්ෂකවරයකු බියමුසු හඬින් මූලස්ථානයට දැනුම් දුන් අතර කෙසේ හෝ තමන් බේරාගන්නා ලෙස ආයාචනා කළේය. ඒ සමගම කොටි, පොලිස් පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය විනාශ කිරීම නිසා සම්බන්ධීකරණය නැතිව ගියේය.


නිහඬ අඳුරු මූසල රැය පහන්වනතුරු වෙඩිහඬ හා මරළතෝනි, තිරුක්කෝවිල් ප්‍රදේශය දෙදුරුම් කෑවේය. මෙම අපරාධයේ තොරතුරු සංගමන්කන්ද විශේෂ කාර්ය බළකායේ ජනෙත් විමල ඇතුළු කණ්ඩායමක් විසින් රූපස්කුලම් වන ගැබේ කළ ගවේෂණයකදී දැකබලා ගැනීමට මාධ්‍යයට හැකි විය. ඒ ඝාතනය සිදුවී සතියකට පසුවය.


හරිහැටි ගැඹුරට නොසෑරූ සමූහ මිනී වළෙන් මළ සිරුරුවල අත්පා හිස් ඇටකටු හා මස් වැදලි මතුවී තිබූ අතර හැඳුනුම්පතක්ද හමුවිය. මෙම මළ සිරුරු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුවනු ඇතැයි සියල්ලෝම සිතූහ. එහෙත් සිරුරු ඥාතීන්ට භාරදීමට තරම් වත් කෘතඥ නොවූ බලධාරීහු අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක් ගෙන්වා මිනී වළ ඩෝසර්කර මළවුන්ගේ සාක්ෂි වසා දමනු ලැබිණි.


රූපස්කුලම වනයේ සමූහ මිනීවළ ගැන රහස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් බව සදාකාලික රහසක් වූයේ ඔවුන් තුළද මරණයට වූ බිය නිසාය. කිසිදු දේශපාලන වාදවිවාදයක් පාර්ලිමේන්තුව තුළද සිදු නොවුණේය. එය සාමයට බාධාවක් විය හැකි බැවිනි.


සාමසාකච්ඡා මැද කොටි සන්නිවේදක ජූඞ් ඇතුළු කොටි කණ්ඩායමට විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවරණය මැද කළුතර හමුදා කඳවුරටත් අනතුරුව රත්මලාන ගුවන්තොටුපොළින් පලාලි බලා යාමටත් පහසුකම් සැලසිණ.


කොටි කණ්ඩායම ගෙදර ගියේ හිස් අතින් නොවේ. එදා රජය පිරිනැමූ මුදල් සහිත පෙට්ටි තොගය සමගය. අතරමගදී නැගෙනහිර පොලිස් භටයන් ඝාතනය පිළිබඳව අසා ඔවුහු ඉතා සතුටට පත්වූහ.


පලාලි ගුවන්තොටට ගොඩබෑ පෙට්ටි තොගය ගැන සැකසිතූ හමුදා භටයෙක් ඊට වෙඩි තැබූ අතර ඔවුන්ට මුදල් නෝට්ටු දැක ගැනීමට ලැබුණු බව මාධ්‍යවල පළවිය. කොටින්ට සන්තෝසම් දුන් පුවත ඉන් ඔබ්බට නොගියේය.


2012 දී යටපත්ව තිබූ තිරුක්කෝවිල් පොලිස් ඝාතන සිද්ධිය යළි ඉස්මතුවිය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 18 දෙනෙක් පෙබරවාරි 08 වැනිදා පොලිස්පති නලින් ඉලංගකෝන් වෙත ලිපියක් යවමින් කියා සිටියේ සමූල ඝාතනය ගැන විමර්ශනයක් කරන ලෙසය.


අඩුම තරමින් “මියගිය පොලිස් කණ්ඩායම සිහිපත් කර රූපස්කුලම වනය තුළ ස්මාරකයක් හදන්න.” මෙම ඉල්ලීමද සුළඟට අසුවූ පුළුන් රොදක් සේ පාවී ගියේය. හිටපු පොලිස්පති ඇන්ටන් ජෙයනාදන් සහ හිටපු නියෝජ්‍ය පොලිස් අධිකාරි ටාසිස් සෙනවිරත්නද මැදිහත්ව එම නිලධාරීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ගත් පියවර සියල්ල අසාර්ථක විය. ඊට පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිසමද නිහඬ විය. 


1990 ජුනි 19 වැනිදා ලන්ඩන් ටයිම්ස් පත්‍රයේ බ්‍රෝඞ් ඩ්‍රෝජන් නම් මාධ්‍යවේදියාට දිවිගලවාගත් පොලිස් නිලධාරීන් පිරිසක් හමුවී ඇත. උපපොලිස් පරීක්ෂක පියරත්න රණවීර හා ලතිෆ් පැවසුවේ අපූරු කතාවකි. 


කොටි ත්‍රස්තවාදීන් පොලිස් භටයන්ට වෙඩි තබපු කොටි කෙල්ලන් බලා හිටියේ සිනාසෙමින් අත්පුඩි ගහමින්. අපේ පණ බේරුණේ උන් පෙරළාගෙන දුවලයි. අපි 11 දෙනෙක් රාහුලගලට පැන ගිහින් බේරුණා.


මෙම සිද්ධිය වනවිට අම්පාර සහකාර පොලිස් අධිකාරිවරයා වූයේ එම්. නූර්දීන්ය. ඔහු ගුවන් හමුදා සහාය හා කාලතුවක්කු ලබාගැනීමට උත්සාහ දරද්දී මඩකළපුවට පැමිණි පොලිස්පති අර්නස්ට් පෙරේරා වෙඩි තැබීම නතර කිරීමට පොලිසියට නියෝග දී අවසන්ය.


තිරුක්කෝවිල් ඝාතනය ගැන කිසිදු ආණ්ඩුවක් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර නොමැත. එහෙත් 2017 ජූලි 15 වැනිදා විශේෂ කාර්ය බළකායේ ජනෙත් විමල මානව හිමිකම් කවුන්සලයට මෙම තොරතුරු සජීවීව හෙළිකරද්දී කොටි හිතෛෂී පෝල්නියුමන් පිළිගත්තේය.


තිරුක්කෝවිල් සමූල ඝාතනය ගැන චෝදනා එල්ලවූ තිදෙනකු පිළිබඳ සඳහන් වේ. එනම් විනයාගමූර්ති කරුණාම්, පොට්ටු අම්මාන් සහ සිවමූර්ති කනපතිපිල්ලේ හෙවත් නගුලන්ය. කරුණා අම්මන් කියා සිටියේ එය පොට්ටු අම්මාන්ගේ ක්‍රියාවක් බවයි. ජනෙත් විමල පැවසුවේ නැගෙනහිර කොටි නායකයකු වූ නගුලන්ගේ ක්‍රියාවක් බවයි.


එහෙත් 2016 දී අත්අඩංගුවට ගත් නගුලන් වෙත චෝදනා එල්ල නොවිණ. කාලයේ වැලිතලාවෙන් යටවූ තිරුක්කෝවිල් සමූල ඝාතන සිද්ධිය සිනමාපටයක් ලෙසටවත් සමාජයට ගෙන ඒමට කොටි පක්ෂ හා විපක්ෂ සිනමාකරුවන් පවා මෙතෙක් උත්සාහ ගෙන නොමැත.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි