ගිරාඹේ ආනන්ද නාහිමි-කතා පෙළ- 06

 

මහනුවර  දිස්ත්‍රික්කය පුරා 1965 මහ මැතිවරණයට කැප වූ පේරාදෙණිය සාරානන්ද මහ පිරිවෙණේ ගිරාඹේ ආනන්ද හිමියෝ 1970 දී එජාප පරාජයෙන් පසු මහනුවර දී මෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ දී ද ආණ්ඩු පක්ෂ හිතවාදීන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වූහ.

සාරානන්ද විහාරාධිපති නාහිමියන් යටතේ පැවැති විහාරස්ථාන අතර  නාරම්මල සීලවතී පිරිවෙණ ද විය. ඒ වන විට එය පාලනය කරනු ලැබුවේ දෙබත්ගම නාරද හිමියන්ය. එම ස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පුණ්‍ය මහෝත්සවයකට අතිවිශාල සැදැහැවත් පිරිසක් එකතු වෙති. එහි දී ජනතාවට පහසුකම් සැපයීම සඳහා තාවකාලික වෙළඳසල්ද ඉදි කෙරේ. මෙම අවස්ථාවේ දී එක්තරා ව්‍යාපාරිකයෙකුට අනිවාර්යෙන්ම වෙළඳසල සඳහා අවසරය ලබාදෙන ලෙස එම හිමියන්ගෙන් පිරිවෙණ සාදා පූජා කළ සීලවතී මහත්මිය ඉල්ලීමක් කළාය. එම වෙළෙන්දාගේ ස්වභාවය ඇය දැන නොසිටියාට ආනන්ද හිමියෝ සැබෑවටම දැන සිටියහ.


“හොඳයි මම කඬේට ඉඩ දෙන්නම්. හැබැයි කසිප්පු විකුණලා අහුවුණොත් පන්නලා දානවා” යැයි කියා කොන්දේසියක් මත නාරද හිමියෝ වෙළඳසලට ඉඩ දුන්හ. වෙළෙන්දා හොර අරක්කු විකුණා අහුවුණේය. ආනන්ද හිමියෝ බැණවැදී ඔහුව එළවා දැමීය. තම හිතවතා පන්නා දැමීම ගැන සීලවතී මහත්මිය ද හිමියන් හා අමනාපයකට පත්වූවාය. ඒ අමනාපය දුරදිග යාමෙන් සිව් වසරක්ම පිරිවෙණ වසා තැබීමට සිදුවිණි.


සාරානන්ද පරිවේණාධිපති සියඹලන්ගමුවේ ගුණරතන හිමියන් ගිරාඹේ ආනන්ද හිමියන් අමතා එම පිරිවෙණේ කටයුතු භාරගන්නැයි උපදෙස් දුන්හ. ආනන්ද හිමියෝ මුලින්ම දායක සභාව හමුවී සාකච්ඡා කර පිරිවෙණ නැවත ආරම්භ කළහ. ඒ වන විට එජාපයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවී සිටි පී. බී. වෑත්තෑව මහතා දඹදෙණියේ මහජන මන්ත්‍රී ලෙස කටයුතු කළේය. පිරිවෙණේ ඇති උස් පර්වතය මත අසූ අටරියන් බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමටත් ඒ සඳහා මුල්ගල තැබීමේ උත්සවයට දස දහසක පමණ ජනකායක් සහභාගී කරගැනීමටත් දායක සභාවෙන් යෝජනා කර තිබිණි. මේ බව වෑත්තෑව මන්ත්‍රී සමග ද කතා කර ස්ථිර කරගත් ආනන්ද හිමියෝ අදාළ අමුත්තනට හා ජනතාවට ආරාධනා පත් ද යවා සියලු කටයුතු සූදානම් කරමින් සිටියහ. ප්‍රදේශයට අයත් නගර සභා දෙකක හා ගම් සභා දෙකක අදාළ බලධාරින් ද ඒකරාශි කර කළ කථිකාවන්ට අනුව සියලු වැඩ කටයුතු භාරදීම් ද කරමින් සංවිධාන කටයුතු හොඳින් කෙරීගෙන ගියේය.


ඒ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිසක් මන්ත්‍රීවරයාට බලපෑම් කර කියා සිටියයේ ගිරාඹේ ආනන්ද හිමියන් යූඇන්පී කාරයෙකු බැවින් උපකාර නොකරන ලෙසයි. මන්ත්‍රීවරයා මේ බලපෑම හමුවේ සිය අදහස වෙනස්කරගෙන තමාට ජනතාවගේ දැඩි විරෝධයක් ඇති බව හිමියන්ට කීවේය.


“මන්ත්‍රී තුමා ඔබත් මමත් දෙදෙනාම 65 දී එකම පක්ෂයට වැඩ කළේ. ඔබතුමා එක්සත් ජාතික පක්ෂය අතහැරලා ශ්‍රී ලංකා එකට ගියා කියලා මමත් යන්න ද කියන්නේ? අනෙක මේ වැඬේ දේශපාලන වැඩක් නෙවෙයි, ආගමික කටයුත්තක්. තමුන්නාන්සෙව විශ්වාස කරලා හැට හැත්තෑ දහසක් මුදල් වියදම් කරලා ප්‍රචාරක කටයුතුත් කළා. ඔබතුමා මේ සිද්ධිය සහමුලින්ම දැනගෙන මාව අමාරුවේ දාන්න යන්නේ. ඒ නිසා මම වැඬේ නවත්වනවා. හැබැයි ඊළඟ මැතිවරණයේ දී මම ඔබතුමාට හොඳ පාඩමක් උගන්වනවා” යැයි හිමියෝ මන්ත්‍රීවරයාට කීහ.


අනතුරුව දඹදෙණිය ආසනයේ එජාප සංවිධායක යූ. බී. විජේකෝන් මහතා මුණගැසුණු උන්වහන්සේ ඊළඟ වතාවේ දී පාර්ලිමේන්තු යාමට සූදානම් වන ලෙස අනුශාසනා කළ සේක. විජේකෝන් මහතා උපදිසාපතිවරයෙක් විය. “මේ ආණ්ඩුව ඉතා ප්‍රබලයි. තව අවුරුදු එකහමාරක් තිබෙනවා. මේ වැඩෙන් මටත් හිරේ යන්න වෙයි” කියා විජේකෝන් මහතා බිය පළ කළේය. විජේකෝන් මහතාගේ හිත ශක්තිමත් කළ හිමියෝ පක්ෂ සංවිධාන තුන්සිය ගණනක් විහාරස්ථානයට රැස්කර හිටපු සියලු සංවිධායකවරු කැඳවූහ. හෙට සිට වැඬේ පටන් ගමුයි පිරිස එහි දී එකඟතාවකට ආහ. ඊට ආරම්භයක් ලෙස නාරම්මල  නගරයේ වූ එක්තරා දායකයෙකුට අයත් කඩ කාමරයක් කුලියට ලබාගන්නට ආනන්ද හිමි පෙරමුණ ගත්හ.


එහි හිමිකරුවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ බැවින් එය ලබාදීමට මැළි වූ නමුත් එයට අදාළ කඩ කුලිය වූ රුපියල් සීය වෙනුවට එකසිය විස්සක් දෙන බව කියා එම ස්ථානය ලබාගත් හිමි එහි පුවරුවක් සවිකර සංවිධායක කාර්යාලය ස්ථාපිත කළේය. එය රැස්වීමක් පවත්වා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. ඒ අතර ජේ. ආර්. ජයවර්ධන මහතා දිවයින පුරා එකම දිනයේ එක්සත් ජාතික පක්ෂ රැස්වීම් 150ක් පවත්වන ලෙස දැනුම්දීමක් කළේය. දඹදෙනිය විහාරස්ථානයේ රැස්වීමක් පැවැත්වීමට විජේකෝන් මහතා සූදානම් වුණේය. ඒත් පෙර දින රාත්‍රී බණ්ඩාරනායක මැතිනිය විශේෂ නියෝගයක් නිකුත් කරමින් රැස්වීම් පැවැත්වීම තහනම් කරන ලෙසත් එසේ රැස්වීම් පැවැත්වුවහොත් සහභාගී වන අයගේ දේපල රාජසන්තක කර ඔවුන්ද අත්අඩංගුවට ගන්නා ලෙසත් කියා සිටියාය. ආනන්ද හිමියන් විජේකෝන් මහතා ප්‍රමුඛ නායකයින් නම දෙනෙකුගේ මෙහෙයවීමෙන් හමුව ඇරඹිණි. හිමියෝ මුලින්ම පංසිල් දුන්හ. පිරිස කතා පැවැත්වීමට සූදානම් වූ විගසම පොලිස් ජීප් දෙකකින් පැමිණි පිරිස කඳුළු ගෑස් ගැසීමට පටන් ගත්හ. පොලිස් භටයෙක් විජේකෝන් මහතාට රයිෆල් බඳකින් පහර දී බිම වැට්ටුවේය. ඔහු හා තවත් කිහිප දෙනෙක් පටවාගත් පොලිසිය පිරිස කුලියාපිටියට ගෙන ගියහ. හිමියෝ නොසැලී අසුනේම වැඩ සිටියහ. පොලිසිය තිත්ත කුණුහරුපෙන් උන් වහන්සේට බැණ වැදුණහ. හිමියෝ ඊට ද ප්‍රතිචාර නොදැක්වූහ.


පසුදින ආර්. ප්‍රේමදාස මහතා හිමියන්ට පණිවුඩයක් එවා තිබුණේ තමා හා ජේ. ආර්. ජයවර්ධන මහතා විජේකෝන් මහතා බලන්ට එන බැවින් හිමියන්ට ද එහි වඩින්නැයි කියාය. හිමියෝ තරුණයෙක් සමග එහි වැඩම කළහ. ඒ වන විට නායකවරුන් එන ආරංචියට නාරම්මල නගරය දහස් ගණනක් දෙනාගෙන් පිරී තිබුණි. නගරයේ ගැවසෙන අය විසුරුවා හැරීමට පොලිසිය පියවර ගනිමින් සිටියේය. 


හිමියන්ට ද බැණ වැදුණු පොලිස් නිලධාරීහු යන්නේ කොහෙටදැයි සැරෙන් ඇසූහ. තමන් විහාරස්ථානයට යන බව හිමියෝ පැවැසූහ. ඒ අතර ජනතාව රහසින් හිමියන්ගෙන් අසන්නේ නායකතුමන්ලා පැමිණෙන්නේ පංසලට ද නැතහොත් නගරයට ද කියා ය. පිරිසට බෝධි පූජාවක් සඳහා බෝධිය අසලට එන්නැයි හිමියෝ කීහ. පිරිස පන්දහසක් පමණ පන්සලට එක්වූහ. පොලිසිය ශබ්ද විකාශන යොදවාගෙන ජනතාවට විසිර යන ලෙස නිවේදනයක් සිදුකළේය.


ඒත් දහවල් වන විට කොළපාට කොඩියක් ද වනාගෙන වාහන පෙළකින් නායකයෝ ආහ. ජේ. ආර්. හා ප්‍රේමදාස ආනන්ද හිමියන්ට වැඳ නමස්කාර කළෝය. මොකද පොඩි හාමුදුරුවනේ දැන් කරන්නෙ?” ඔවුහු ඇසූහ.
“යමු බෝධිය ළඟට” හිමියෝ යෝජනා කළෝය. පංසලට රැස් වූ පිරිස පන්නා දැමීමට සහකාර පොලිස් අධිකාරිවරයෙක් ද පැමිණ සිටියේය.

 

පන්සිල් සමග කෙටි අනුශාසනාවකින් උන්වහන්සේ කථාව අරඹා නායකතුමාට කෙටියෙන් වචන කීපයක් කතාකරන්නට ආරාධනා කළහ. ජේ. ආර්. එවිට කතා කරමින් මෙය විජේකෝන් මහතා බේරාගැනීමේ ජනසටන යැයි කිවේය. විජේකෝන් මහතා ඒ වෙද්දි හලාවත බන්ධනාගාරයට යවා තිබිණි. අනතුරුව පිරිස හලාවතට පිටත් වන විට බණ්ඩාරනායක මැතිනියගේ නියෝගයෙන් විජේකෝන් මහතාව බන්ධනාගාරයෙන් නිදහස් කර තිබිණි. ඒත් ජනතාව වීදි බැස පෙළපාළි ගියේය.


විජේකෝන් මහතා හමුවූ හිමියෝ පරාජය ජයග්‍රහණයේ මාවත යැයි කීහ. එමෙන්ම වෑත්තෑව මහතාට අභියෝග කළේ වැඩි ඡන්ද එකොළොස් දහකින් ඔහුව පරද්දවන බවට ය. ඉන් අනතරුව එළඹි 77 මහ මැතිවරණයේ දී හිමියන් ප්‍රමුඛ දඹදෙණියේ සංවිධායකයින් වෑත්තෑව මහතාව පැරැද්දුවේ වැඩි ඡන්ද 11,000 කින් නොව 16,000කිනි. වෑත්තෑව මහතාගේ බලකොටුව වූ නාරම්මල කොට්ඨාසයද ඔහුට බරපතළ සෝදාපාළුවකට ලක්විය. ඒ වන විට පීඩාවට ලක්වෙමින් සිටි එජාප පාක්ෂිකයෝ තමන්ට වද දුන් පොලිසිය අතුළු විරුද්ධවාදීන් සොයා පහර දෙන්නට සැරසුණහ. හිමියෝ ඒ සියල්ල වැළැක්වූහ. පොලිසියේ ගේට්ටුවට අගුල්ලාගෙන කිසිවෙකුට ඇතුල්වන්නට ඉඩ නොදී රැකගෙන හිටියේ ද ආනන්ද හිමියන්ය.

 

 

 

 

 

 


අනුරාධපුර - සරත් මනුල වික්‍රම