තොප්පිය නොහොත් හිස් වැස්ම, ආදීම මිනිසාගේ පටන් ආභරණයක් ලෙසත් ආරක්‍ෂක මෙවලමක් ලෙසත්, පසුකාලීනව  පැලැන්තියේ ගෞරවය ප්‍රෞඪත්වය පිළිබිඹු කෙරෙන ගරු ගාම්භීර පලඳනාවක් ලෙසත් ඊට පරිබාහිරව නිලය පදවිය හඳුන්වන නිල සලකුණක් ලෙසත්, පරිහරණය විය.


මෙය නිර්මාණය කර ගැනීම රට රටවලට ආවේණික වූ ක්‍රම මත සිදුවේ. රටක් පාලනය කරන රජුගේ ඔටුන්න රාජකීය හිස්වැස්මක් වන අතර ඨානාන්තරයට සරිලන පරිදි ශිෂ්ටසම්පන්න මෙන්ම ම්ලේච්ඡ ජාතීහූ විවිධ හැඩයෙන් යුක්තව මෙය නිෂ්පාදනය කර ගනිති.


පොලිස් හමුදා ආදී ආරක්‍ෂක අංශවලත්, පෞද්ගලික ආරක්‍ෂක සේවාවන්වලත් විවිධ රැකියාවලත් නිල තත්ත්වය හැඳින්වීමට ඒ ඒ අංශවලට අදාළ වන පරිදි හිස් වැස්මේ හැඩයද වෙනස් වේ.


එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ද විශ්වවිද්‍යාල වැනි උසස් ආයතනයන්හි අවසාන සාර්ථක ප්‍රතිඵලය අනුව පිරිනැමෙන උපාධි ලෝගුවට අමතරව, හතරැස් හැඩයට සැකසුණු අධ්‍යාපනයේ පූර්ණත්වය විදහාපාන හිස් වැස්මක් ද බොහෝ රටවල අදත් භාවිතා කෙරේ.


ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව පැවති ලංකාවේද, පාලන ව්‍යුහය එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට අවතීර්ණ වීමෙන් පසු ඒ ඒ නිලයන් හඳුන්වන නිල හිස්වැස්මක් භාවිතා වීමට පටන් ගැනුණි.


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයා වන ආණ්ඩුකාරයාගේ හිස්වැස්ම සුදු පැහැයෙන් යුක්ත තරමක් උස්වූ කැපී පෙනෙන ස්වරූපයක් ගත් අතර රජයේත් කැබිනට්ටුවේත් නායකයා වූ අගමැතිටද විශේෂ අවස්ථාවන්හිදී පැලඳවෙන කළු පැහැති තොප්පියක් මුල් කාලයේ භාවිතා විය. එය ද බි්‍රතාන්‍ය සම්ප්‍රදායට අනුකුලව සැකසුණු තොප්පි විශේෂයක් විය. අද එය භාවිතා නොවෙතත්. අගමැතිකම හා ඈඳුනු නිල ලකුණක් සේ නාමිකව හෝ සලකති. හේතුව මෙම ‘අගමැති තොප්පිය’ අගමැති තනතුරේ ලාංඡනය සේ සැලකෙන හෙයින් එය පැලඳ ගැනීම බොහෝ නායකයන්ගේ එකම කැමැත්ත වී ඇති බැවිනි.


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී නිල නාමය අගමැති නොවූවත් එහි සභා නායක, ඇමතිවරුන්ගේ නායකයාද වන බැවින් ඔහු නාමික අගමැති තත්ත්වයෙන් සැලකේ. මේ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභා අවසාන කාලය වන විට සභානායක ධුරය දැරූ ඩී. බී. ජයතිලක ‘නාමික අගමැති’ වශයෙන් ද සලකනු ලැබීය. 


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ඡන්ද කොට්ටාස 50 කට සීමා වුවත්, සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්ද කොට්ඨාස 95කටත් පත්කළ මන්ත්‍රීන් 06 කටත් පුළුල් කෙරුණු අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය 1947 දී පැවැත්විණ.


අවසාන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභා නායක ධුරය දැරූ සර්. ඩී. බී. ජයතිලක නිදහස් ලංකාවේ පළමුවැනි අගමැතිවරයා වශයෙන් පත්වන බවට ඉඟි පහළ කෙරෙද්දී එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි ඩී. ඇස්. සේනානායක ද මුල්වෙමින් ඔහු 1947 දී ඉන්දියාවේ ලංකා මහ කොමසාරිස් පදවියට පත්කර ඩී. එස්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක විය.


මේ නිසා 1944 දී නව තනතුර භාර ගැනීමට සර් ඩී. බී. ට රටින් පිටවීමට සිදුවූයේ මුල්ම කුමන්ත්‍රණය මත අගමැති තොප්පිය පෙනි පෙනීය.


මේ අනුව සර් ඩී. බී. ගෙන් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක පදවිය ලත් ඩී. ඇස්. සේනානායක 1947 පැවැති මහ මැතිවරණයෙන් ජයගෙන පළමු වන පාර්ලිමේන්තුවේත් රටේත් ප්‍රථම අගමැති පදවියට පත් විය.
සභානායක ධුරය හිමිවූයේ ඇමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකටය. බි්‍රතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශිෂ්‍යයකු වශයෙන් බණ්ඩාරනායක සරසවි භූමිය ඔස්සේ ගමන් කරද්දී බි්‍රතාන්‍ය සමකාලීන ශිෂ්‍ය (පසුව බි්‍රතාන්‍ය අගමැති) වූ ඇත්තනි ඊඞ්න්, පසෙක සිටි සගයෙකුට බණ්ඩාරනායක පෙන්වමින් ‘අර යන්නේ ලංකා අගමැතිවරයෙකැයි කී අනාවැකිය සඵල වන අන්දමින් ලංකාවේදී හැඩගැහුණු බණ්ඩාරනායක සිංහල මහ සභාව ඇති කොට සම්පූර්ණ විපර්යාසයක් වෙමින් ජාතික ඇඳුමටද පරිවර්තනය විය. මහත්මා ගාන්ධි අනුව යමින් දේශීය පේෂකර්මයටද තැනක් දුන් ඔහු තම මංගල දිවියේදී පවා සැරසී සිටියේ දේශීය සළුපිළිවලිනි. 


ඔහුගේ මෙම සෑම පරිවර්තනයකම මුඛ්‍ය පරමාර්ථය වූයේ, ලංකාවේ අගමැතිවීමය.


එහෙත් පාර්ලිමේන්තුවේ සභානායක පදවිය දරමින් සිටිද්දී වුවද, ඩඞ්ලි සේනානායක පුතාට, තමාගේ ඇවෑමෙන් අගමැතිධුරය හිමිවන අන්දමට ආණ්ඩුකාර සෝල්බරි සාමි සමඟ ඩී. ඇස්. කළ කුමන්ත්‍රණය හෙළිදරව් වීමෙන් බණ්ඩාරනායක එයට කලින් 1951 දී එක්සත් ජාතික පක්ෂ රජයෙන් සභානායක හා ඇමති පදවියෙන් ද ඉල්ලා අස්වූයේ, අගමැති තොප්පිය පෙනි පෙනීය.


අනතුරුව සභානායක වූයේ සර් ජෝන් කොතලාවලය.

 


බණ්ඩාරනායක සභා නායක ධුරය දැරූ වකවානුවේ සෝල්බරි සාමි හා කළ කුමන්ත්‍රණයයේ ප්‍රතිඵලය ඩී. ඇස්. ගේ හදිසි අභාවයෙන් පසු ඩඞ්ලි අගමැති වීම හෙයින් බලාපොරොත්තුකඩවූ සර් ජෝන් ‘අගමැති පොරය’ක් රටට හෙළි කළේ අගමැති තොප්පිය පෙනි පෙනීය.


1953 මහා හර්තාලයෙන් අගමැති ඩඞ්ලි සේනානායක අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ‘අච්චාබෝලේ’ යැයි උදම් අනමින් අගමැති සර් ජෝන් 1956 දී මහ මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වීමෙන් ඔහුගේ දේශපාලන දිවිය නිමාවට පත් විය.


අන්තඅසරණ වූ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට යළි තාවකාලිකව දේශපාලනයෙන් ඉවත්ව සිටි ඩඞ්ලි සේනානායක නැවත කැඳවීමෙන් පසු පක්‍ෂයට යම්කිසි පුනර්ජීවයක් ලැබුණු අතර එහි නායකත්වය ලබා අගමැතිකම අපේක්ෂාවෙන් සිටි ජේ. ආර්. ජයවර්ධනට හූල්ලන්නට සිදුවූයේ අගමැති තොප්පිය පෙනි පෙනීය.


1959 දී අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සභා නායක සී. පී. ද සිල්වාට අගමැති පදවිය දෙන ලෙසට පක්‍ෂයෙන් ඉදිරිපත් කළ යෝජනාව එවකට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක යම්කිසි සමාජ ‘පිළිගැනීමක්’ තුළ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සී. පී. ද සිල්වාට පසුබසින්නට සිදු වූයේ අගමැති තොප්පිය පෙනි පෙනීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ඇමැති ආර්. ජී. සේනානායකට හිමි කර දෙන ලෙසට පක්‍ෂයේ ප්‍රබල කොටසක් අර ඇදී අවස්ථාවේදී තව කොටසක් මහාචාර්ය ජී. පී. මලලසේකරගේ නම යෝජනා කළෙන් ආර්. ජී. සේනානායකද කැපී ගියේ අගමැති තොප්පිය පෙනි පෙනීය.


අනතුරුව සී. පී. ද සිල්වාගේම නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1960 මාර්තු මහ මැතිවරණයට තරග කළද පරාජය වීම නිසා සී. පී. ට දෙවන වරටත් පසුතැවිලි වීමට සිදුවූයේ අගමැති තොප්පිය පෙනි පෙනීය.
1977 බලයට පත් ජේ. ආර්. ගේ අනුප්‍රාප්තියකයා වීමට ඇමති ලලිත් ඇතුළත්මුදලි හා ඇමති ගාමිණි දිසානායක එකිනෙකාට හොරෙන් ඔළුව දැමීමක් සිදු වෙමින් පැවතියද නිවාස ඇමති වශයෙන් රටට දැනෙන සේවයක් කරමින් සිටි ඇමති ආර්. ප්‍රේමදාස කැපී පෙනෙන චරිතයක් වී ජේ. ආර්. ජයවර්ධනගේ දෙවැනියා වීම නිසා ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණි දිසානායක පියවර දෙක තුනක් පස්සට තල්ලු වූයේ අගමැති තොප්පිය පෙනි පෙනීය.
1994 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිය වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය හා පොදුජන එක්සත් පෙරමුණ රජයේ අගමැතිකමට රත්නසිරි වික්‍රමනායක පත්වීම නිසා ජ්‍යෙෂ්ඨයෙකු වූ තමන් ඒ සඳහා කැඳවතැයි ඊට සරිලන ඇඳුම් කට්ලයක්ද අලුතින් මසා ගත් ඇමති දි. මූ. ජයරත්නට බලාපොරොත්තු කඩකර ගැනීමට සිදු වූයේ. අගමැති තොප්පිය පෙනි පෙනීය.


සටනක් දිය හැකි හැම දේශපාලන පක්‍ෂ නායකයෙකුගේම එකම අරමුණ වන්නේ අගමැතිකමය.


අගමැති තොප්පිය නායකයන් අතර දෝලනය වන්නේ අතේ ගෑවී නොගෑවී අන්දමට වුවත් හිසට වැටෙන්නේ කීයෙන් කී දෙනාගේද?

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි.