............“උඹ ලොකු මිනිහෙක් වුණදාට උඹට වැටහෙයි උඹේ නමේ තියෙන තේරුම. විමුක්ති කියන්නේ දුකින් මිඳිම. නමුත් තමන් විතරක් දුකින් මිඳී ජීවත් වීම කිසිම පලක් නැති දෙයක්. උඹට විමුක්ති කියලා නම් දැම්මේ උඹට කිසි දුකක් නැතිව ඉන්න ලැබෙනවා කියලා බලාපොරොත්තුවෙන් නෙවෙයි. උඹ කවදාහරි දවසක දැනගනීවි මේ පුංචි රටේ පරම්පරා ගණනාවක් තිස්සේ කිසිම කෙනෙකුගේ සරණක් නැතිව සදාකාලිකව දුක් විඳින ලක්ෂ ගණන් දුප්පත් ජනතාව ඉන්න බව. උන් ඔක්කොම එකම පන්තියක මිනිස්සු. උඹේ තාත්තත් අන්න ඒ පන්තියේ මිනිහෙක්. ඒක මතක කියා ගනින් පුතේ. කිසිම දවසක අමතක කරන්න එපා උඹේ ඇඟේ දුවන්නේ ඒ තාත්තගේ ලේ බව. දුක් වේදනා කරදර, අමාරුකම් නැති බැරිකම්වලින් පිරිච්ච ජීවිතයක් ගත කරපු මිනිහෙක් උඹේ තාත්තා. උඹ ඒ ගැන ලජ්ජා වෙන්න එපා. ආඩම්බර වෙයන්. කවදාහරි දවසක උඹට මේ ලෝකයටම කියන්න ඉතිරි වන එකම සුදුසුකම අන්න ඒකයි. 


මගේ ලෙයින් උඹ ලැබූ අයිතිය රැක ගනින් පුතේ. කවදාහරි දවසක මේ නිර්ධන පන්තිය දුකෙන් මුදවා ගන්නට කරන මහා අරගලයේදී මගේ ලේ උරුමයෙන් උඹ ලැබූ ඒ අයිතිය බලවත් ආයුධයක් කර ගනින්. හදවතට එකඟව කරන කිසිම දෙයක් කවදාවත් වරදින්නෙ නැහැ. උඹේ තාත්තා ජීවිතයේ දෙතුන් වතාවක් පැරදිලා තියෙනවා. නමුත් වැරදිලා නැහැ. අද මම මේ හිර කූඩුවෙ ඉන්නේ වැරදිලා නොවේ, පැරදුණ නිසා. මේ හිර බත් කන එක මට මදිකමක් නොවේ. ලජ්ජාවක් නොවේ. මට නම්බුවක්. මම මෙතන හිරේ ඉන්නේ ලක්ෂ ගණනක් මගේ පංතියේ මිනිස්සු වෙනුවෙන්. ආයේ මම මේ හිර ගෙරින් පාරට බහින්නේත් ඒ අතරමං වෙලා ඉන්න පීඩිත ජනතාව වෙනුවෙන්. මේක මට ලොකු අත්දැකීමක්. ලොකු ධෛර්යයක්. මේ හිර ගෙවල් හදලා තියෙන්නේ උඹ අපි ඔක්කොටමයි. මම මේ හිර ගෙදරට එන්න ඉස්සර වෙලා මේ රට පර සුද්දන්ගෙන් බේරා ගන්න සටන් කරලා හිරේ වැටුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ හිටියා. ඒ උදවිය එදා ආඩම්බරයෙන් කරපු අරගලයේ කොටසක් තමයි අද අප ඉදිරිපිට තියෙන්නේ. කවදාහරි දවසක උඹත් ඒ අරගලයට පංගුකාරයෙක් වෙයන්. එදාට උඹටත් මේ හිරගෙදරට එන්න සිදු වුණොත් අන්න එදාට උඹට මේ හිර ගෙදර ඇතුළෙ මම උන්න සුවඳ දැනේවි. උඹව බලන්න එන්න මම ජීවතුන් අතර නොහිටින්න පුළුවන්. ඒත් කමක් නැහැ. උඹේ තාත්තා මතක් කරගෙන ඒ තාත්තා නියෝජනය කළ පීඩිත පංතිය දුකින් මුදවා ගන්න සටන් කරපන්. මම උඹෙත් ඉල්ලන එකම ඉල්ලීම එපමණයි.”


මේ සිරගතව සිටින පියෙකු විසින් ළදරු වියේ පසුවන සිය පුත්‍රයා වෙත මතු අනාගතයේදී දැන ගැනීම සඳහා ලියන ලද ලිපියකි. මෙම පියා නම් මෙයට හරියටම වසර තිහකට පෙර ඝාතකයකුගේ වෙඩි උණඩයකට ගොදුරුව මෙලොවින් සමුගත් විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදියාය. ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තිය මෙන්ම දැරූ චින්තනය ද මෙම ලිපිය මගින් සුරතල් පුතුට පෙන්වා දී ඇත.


එක් දහස් නවසිය අසූ දෙක වන විට මෙරටේ දේශපාලන ක්ෂේත්‍රය පැවතියේ දරුණු අර්බුදයකට මුහුණ දෙමිනි. 1977 ජූලි මාසයේදී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා තම පක්ෂය සතු හයෙන් පහේ වැඩි ඡන්දයේ ගල් රෝලෙන් ප්‍රතිවාදී පක්ෂ මට්ටු කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන යමින් තිබුණි. එහි එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර පාර්ලිමේන්තුවේ ඇය දැරූ අත්තනගල්ල ආසනයෙන් ද නෙරපා දමනු ලැබුවාය. ඒ ජනාධිපති කොමිෂන් සභාවක නිර්දේශ වාර්තාවක් උපයෝගි කරගනිමිනි. මෙම හේතුව නිසා බණ්ඩාරනායක මැතිනියට පක්ෂයේ නායකත්වය දැරීමට ඉඩක් නැතැයි පක්ෂයේම බලවත් කණ්ඩායමක් කියා සිටි අතර ඇයට එම ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස ඔවුහු බල කළහ.


මෙම පිරිසට නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායක, මැදකොළඹ මන්ත්‍රී හලීම් ඉෂාක්, හාරිස්පත්තුව මන්ත්‍රී ආර්. පී. විජේසිරි, ජේ. ආර්. පී. කාරියප්පෙරුම, පක්ෂ ලේකම් ඇස්. කේ. කේ. සූරියආරච්චි යන මහත්වරු ආදි ඉතා බලගතු කණ්ඩායමක් සිටියහ. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතරය සිටියේ මෙම කණ්ඩායමේය. ටී. බී. ඉලංගරත්න, හෙක්ටර් කොබ්බෑකඩුව, වී. ඩබ්. කුලරත්න යන ජ්‍යෙෂ්ඨයෝ මැතිනියට පක්ෂ වූහ. මෙම පිල් බෙදීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද විජය කුමාරතුංග මහතාද සමග මැතිනිය ආරක්ෂා කරන ප්‍රතිපත්තියක රැඳී සිටියාය. මෙය දීර්ඝකාලීන අරගලයක් වූ බව අපට මතකය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය නායකයකු වශයෙන් නැගී එමින් සිටි රෙජී රණතුංග මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වශයෙන් එවකට ක්‍රියා කළ මම නිතිපතා පක්ෂ මූලස්ථානයට යමින් එමින් මෙම ක්‍රියාමාර්ගයට සක්‍රීය දායකත්වය ලබාදුනිමි. එනිසා ඍජුවම මේවාට සහභාගි වීමි. මැතිනියට පූර්ණ සහාය දුන් විජය කුමාරතුංග මහතාගේ කැපවීම මම එදා දටුවෙමි. අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු කණ්ඩායමට ජේ. ආර්. ජයවර්ධන රජයේ සහාය හිමිවන බවට ද චෝදනා නගනු අසන්නට ලැබිණි. ශ්‍රීලනිප මූලස්ථානය අනුර බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් අල්ලා ගැනීමෙන් පසු එයට රජය මගින් සීල් තබනු ලැබීය. ඉන් පසු කැම්බල් පෙදෙසේ නිවසක කාර්යාලය පවත්වාගෙන යමින් පක්ෂයේ කටයුතු ආරම්භ කර පවත්වාගෙන යනු ලැබීය. එම කටයුතුවලදී මැතිනියගේ පාර්ශ්වයේ ශක්තිය වූවේ විජය බව කවුරුත් කීහ.


දේශපාලනයේදී ස්ථිර සතුරන් හෝ මිතුරන් නොමැති බව කියවෙන අතර, මේ අතරවාරයේ අනුර ආපසු මැතිනිය වෙත පැමිණියේය. 1982 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අපේක්ෂකයා වශයෙන් අනුර බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කිරීම සිරිමාවෝ මැතිනියගේ අපේක්ෂාව බව කියවුනි. එහෙත් ටී. බී. ඉලංගරත්න මහතා නියෝජ්‍ය නායක වශයෙන් රැස්වී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පක්ෂ අපේක්ෂකයා බවට ප්‍රකාශයට පත් කළ අතර, ප්‍රබල අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධන මහතාට විශාල අභියෝගයක් එල්ල කිරීමට සමත්විය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සහයෝගය කොබ්බෑකඩුව මහතාට විධිමත් ආකාරයෙන් නොලැබුණු බව ප්‍රසිද්ධ රහසක් විය. මෙම සටනේ සියලු බර දැරුවේ විජය කුමාරතුංග මහතාය. ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයකු නොවූ කොබ්බෑකඩුව මහතාට සම්පූර්ණ වැය බර සපයා දුන්නේ විජය මහතාය. බොහෝ දෙනා මෙම සටන මගහැර සිටි අතර, සංවිධාන කටයුතු, ආරක්ෂාව වැනි බොහෝ අංශ විජයගේ උර මත විය. එම සටන පරාජය වූ අතර, මැතිවරණ වේදිකාවේ විජය විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චෝදනා කර අත්අඩංගුවට ගන්නා ලදුව රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙරුණි. ඉහත සඳහන් ලිපිය සිය පුතණුවන් වන ළදරු විමුක්ති වෙත ලියන ලද්දේ එසේ සිරබත් කමින්සිටියදීය. ආයුධ බලයෙන් රාජ්‍ය බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූයේ යැයි ද ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මරා දැමීමට සූදානම් වූවේ යැයි ද ප්‍රචාරය කරමින් ඔහු අත්අඩංගුවේ රඳවා තැබිණි. එය ප්‍රසිද්ධියට පත්වුයේ නැක්සලයිට් කුමන්ත්‍රණය වශයෙනි. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ නක්සල් බාරි ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත කල්ලියකට සමාන කර මෙම නම ලබා දෙන ලදී.


දිගු කලක් රිමාන්ඞ් භාරයේ පසුවූ විජය නිදහස් කර එවන ලද නමුදු දඬුවම් කළ බවක් අපට මතක නැත. ශ්‍රීලනිපය සමග මෙවැනි සිදුවීම් නිසා ඇති කර ගත් මතභේදයන් අවසන් වූයේ විජය සහ චන්ද්‍රිකා ඇතුළු හිතවතුන් සමූහයක් එක්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා ගැනීමෙනි. එවකට ශක්තියෙන් හීනව පැවැති ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ද යන සම්ප්‍රදායික වමේ පක්ෂ ද එක් කරගෙන පෙරමුණක් වශයෙන් සංවිධානය කරගෙන එක්සත් ජාතික පක්ෂයටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අභියෝග කරමින් ඉදිරි මැතිවරණයට මුහුණ දීමට බලවේගයක් ගොඩනැගීම විජයගේ අරමුණ විය. 


සමකාලීන දේශපාලන ක්ෂේත්‍රයේ විජය කුමාරතුංගයන් තරම් බැට කෑ දේශපාලනඥයකු නොවූතරම්ය. එයට හොඳම නිදසුන වන්නේ මහර අතුරු මැතිවරණයයි. 1982 දෙසැම්බර් මාසයේදී පවත්වන ලද ජනමත විචාරණයේදී රජය තම මන්ත්‍රීවරුන්ට නියෝගයක් කරමින් කියා සිටියේ තම ආසනය පරාජය වන මන්ත්‍රීවරුන්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි. ව්‍යංගාර්ථයෙන් එයින් කියවුණේ හොඳින් හෝ නරකින් එම ආසන දිනිය යුතු බවයි. එවැනි සිදුවීම් කොතෙකුත් වාර්තා වූ බව ද සත්‍යයකි. මෙහිදී රජය සතු ආසන 13ක් පරාජයට පත්ව තිබුණි. රජය ගත් පියවර වූයේ ඒ වන විටත් ලබාගෙන තිබුණු ඉල්ලා අස්වීමේ ලිපිවලට දින දමා සක්‍රීය කර ආසන පරාජය වූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් ක්‍රියාත්මක කරවීමයි. මෙහිදී විජයට තරග කිරීමට සිදුවූයේ මහර ආසනයටය. ගාල්ල දිසාවේ අත්තනගල්ල යැයි එදා හැඳින් වූ හබරාදුව ආසනය තරග කිරීමට ඔහු බලාපොරොත්තු වුවද, එවකට ඔහු නියෝජනය කළ ශ්‍රීලනිප නායකයෝ එය අනුමත නොකළහ. මහර තරගය ආරම්භයේ සිටම ජනාධිපතිතුමාගේ අභිමතය පරිදිම පක්ෂග්‍රාහීව කටයුතු සිදු වන බව පෙනී ගිය සත්‍යය වූයේය. දාමරික ක්‍රියා නිමක් නොවීය. ඡන්දය දින උදයේ සිදුවූ වෙඩි තැබීමකින් විජයගේ ප්‍රබල ආධාරකරුවකු මරා දැම්මේය. ඡන්ද ගණින විට යම්කිසි “ජිල්මාට්” සිදුවීමක් ඇතිවූ බව රටටම පැහැදිලි විය. විජය පරාජය වී ඇති බව ප්‍රකාශයට පත්විය. ඒ ආසනයේ ඡන්ද ප්‍රතිඵල අනුව විජය පරාජය වූවේ ඡන්ද 45කිනි.


පසුකලෙක මින්නේරිය ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් විජය තරග වැදුණේය. ඒ 1984 ඔක්තෝබර් විසි පස් වැනිදාය. මෙම අතුරු මැතිවරණයේ තවත් සුවිශේෂී කාරණයක් නිසා තවදුරටත් වැදගත්වේ. 1931දී මේ රටට සර්වජන ඡන්ද අයිතිය ලැබුණ දා සිට මහා මැතිවරණ සහ අතුරු මැතිවරණ කොතෙකුත් පවත්වා තිබුණි. ඒ අතරින් එක් ආසනයක් සඳහා වාර්තාගත වැඩිම අපේක්ෂක සංඛ්‍යාව නාමයෝජනා දුන්නේ මින්නේරිය ආසනය සඳහාය. ඒ පනස් එක් දෙනෙකි. එය විජයගේ උපක්‍රමයක් විය. එම යුගයේ “කෙසේ හෝ දිනන” න්‍යාය ක්‍රියාත්මක වූ සමය විය. මැර බලයයොදා ඡන්ද පෙට්ටි පිරවීම, ගණන් කරන ස්ථානවලදී “ජිල්මාට් දැමීම” වැනි අක්‍රමිකතා සුලභ විය. මෙයට මුහුණදීම සඳහා විශ්වාසවන්ත පුද්ගලයන් රැසක් ලවා නාමයෝජනා ඉදිරිපත් කරවා තිබුණි. මින්නේරිය තරගය තිබුණේ තිදෙනකු අතර පමණි. යූඇන්පී අපේක්ෂකයා ඇස්. බී. විජේකෝන්, ශ්‍රීලනිප අපේක්ෂක රත්න දේශප්‍රිය සේනානායක සහ මහජන පක්ෂයේ විජය යන තිදෙනා අතරය. නාමයෝජනා දිනයේ රථ පෙළපාළියකින් ඔහු මින්නේරිය ආසනය පුරා සංචාරයක යෙදුණි. එය පිළිගැනීම් මාලාවකි. එවකට පැවැති “දේශපාලන උණ” හේතුකොට ගෙන මට ද එම පෙළපාලියට එක්වීමට අවස්ථාව ලැබුණි. මින්නේරිය ආසනයේ දකුණු කෙළවර වූ බකමූණ කිරිඔය දී සිසිල් බීම පානයක් අතරතුර දී මම විජය කුමාරතුංගයන් වෙත පැනයක් යොමු කළෙමි. ඒ මෙම අසාමාන්‍ය අපේක්ෂක සංඛ්‍යාව ගැනය. ඔහු පිළිතුරු දුන්නේ මෙසේය. “මල්ලි තේරෙන්නෙ නැද්ද? මේ හතළිස් නව දෙනෙක් මගෙ කොල්ලෝ. ඡන්ද පොළ ඇතුළට මේ එක අපේක්ෂකයකුට නියෝජිතයො දෙන්නෙක් දාන්න පුළුවන්. ගණින තැනටත් පස් දෙනා ගානෙ දාන්න පුළුවනි. ඡන්ද මංකොල්ලකෑම එහෙමටත් නතර කළ හැකි දැයි බලමු. ඒ ඔහුගේ විකල්ප සොයා ගැනීමකි. මැතිවරණයේ දී ඔහුට සහාය දීමට ද මට අවස්ථාව ලැබුණි. සරත් මුත්තෙට්ටුවගම, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, වික්‍රමබාහු කරුණාරත්න, දේවබණ්ඩාර සේනාරත්න ආදීන් මෙන්ම ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, විවියන් ගුණවර්ධන, බර්නාඞ් සොයිසා, පිටර් කෙනමන්, ටී. බී. ඉලංගරත්න, ආදී බොහෝ නායකයෝ නොයෙක් පෙදෙස්වල පදිංචි වී සිටිමින් විජයට උදව් කරනු මම දුටුවෙමි. ගිරිතලේ, සී. පී. පුර, දියබෙදුම, ඉහකුළුවැව, ඇලහැර, බකමූණ, කිරිඔය වැනි ප්‍රදේශ ඔහුගේ බලකොටු ලෙස පෙනී ගියේය. මේ ප්‍රදේශවල බහුලව සිටි මගේ ඥාතීහු ද ඒ බව සනාථ කළහ. එහෙත් ඡන්දය ගැනීමේ දී මේ හැම ප්‍රදේශයක්ම පරාජයවී තිබුණි. එහෙත් විජයට අඩු සහයෝගයක් තිබුණු මින්නේරිය නගර ප්‍රදේශය රජඇළ, ඔහු දිනා ගත් බව සංඛ්‍යා ලේඛනවල දැක්වුණි. පසුව දැනගන්නට ලැබුණේ රජය මගින් යම් යම් බලපෑම් කර තිබුණේ විජයට වාසි ප්‍රදේශවල බවයි. ඔහුගේ නව සොයා ගැනීම (විකල්පය) වූ අපේක්ෂක හමුදාවක් රැඳවීමේ ප්‍රයත්නය ද අසාර්ථකව තිබුණි. ඔවුන් පලවා හැරි මැරයෝ තම සුපුරුදු කාර්යයේ යෙදුණෝය. පසු කලෙක මෙම ඡන්ද ප්‍රතිඵලය ගැන කුමාරතුංග මහතාගෙන් විමසීමි. “සල්ලි ටිකක් නම් වියදම් වුණා තමයි. ඒත් මම පැරදුණේ නැහැ මල්ලි. පැරදුණේ ජනතාවයි” කී ඔහු සුපුරුදු පරිදි සිනාසුණේ මගේ පිටටද තට්ටු කරමිනි.
විජය කුමාරතුංගයන් රැඩිකල් දේශපාලනඥයකු බව කියනු බොහෝ විට මම අසා ඇත්තෙමි. රැඩිකල් යන්නෙහි ආසන්න අර්ථය උඩුගම් බලා පිහිනීම වැනි ප්‍රතිපත්තියක් බව කියනු ලැබේ. ඇත්තෙන්ම උඩුගම් බලා පිහිනීම අපහසු දෙයකි. ජනප්‍රිය වන්නේ පහළට පිහිනීමයි. රටේ උග්‍රව පැවති යුද්දය පිළිබඳව විජයට තිබුණේ විවෘත මානසිකත්වයකි. මෙම අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකියි විජය අවංකවම විශ්වාස කළේය. රජය සහ සමහර විපක්ෂ කණ්ඩායම් ද විශ්වාස කළේ යුද්ධයම විනා අන් විසඳුමක් නැති බවය.


මේ වන විට ඊළාම් යුද්ධයේ යෙදී සිටි කොටි සංවිධානය හමුදා සෙබළුන් දෙදෙනකු පැහැරගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියේය. එම භයානක අවස්ථාවේදී මෙම සෙබළුන් දෙදෙනා බේරා ගැනීම සඳහා කොටින් සමග සාකච්ඡා කිරීමට යාපනය බලා ගියේය. පසුව මදුරාසියට ගොස් ත්‍රස්තවාදී නායකයන් මුණගැසී මෙම යුද්ධය නවතා සාමකාමී විසඳුමකට ඔවුන් පොළඹවා ගැනීමට උත්සාහ කළේය. මෙම ප්‍රයත්නය සාර්ථක නොවුණා වුවත් විජයගේ අවංක කැපවීම ප්‍රශංසනීය විය. එහෙත් බහුතරය මෙය වටහා ගත්තේ දේශද්‍රෝහී වීමක් ලෙසය. ඔහුගේ ඉරණම තීන්දු වූවේ ඒ අනුවය.


විජය කුමාරතුංගයන් වු කලී අග්‍රගණ්‍ය රංගධරයෙකි. ඒ ගැන විවාදයක් නැත. සිනමා රසිකයන් ලක්ෂ ගණනින් ඔහුට ආදරය කළාක් මෙන්ම ඔහු වටා රොද බැඳ සිටියහ. සිනමාවේදී ලද අතිමහත් ජනප්‍රිය බව විජයගේ දේශපාලනයටද මහත් රුකුලක් වූයේය. චිත්‍රපට 122ක් තරම් වූ විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය දැක්වූ ඔහු ලබා ගත් සම්මාන ද විශාල සංඛ්‍යාවකි. 1982 සිට 1987 දක්වා වසරේ ජනප්‍රියම නළුවා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේය. කීප වරක්ම හොඳම නළුවා සම්මානය ද විජයට හිමිවිය. එපමණක් නොව හොඳ පසුබිම් ගායකයා ලෙස ද හොඳම ගායකයා වශයෙන් ද සම්මාන ලැබීය. 1988 වසරේ කෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන රණතිසර සම්මානයෙන් පිදුම් ලැබුවේ ද විජයයි.


මිනිසුන් සමග ජීවත් වූ ඔවුන්ට බොහෝ සේ ආදරය කළ විජය කුමාරතුංගයන් 1988 පෙබරවාරි 16 වැනිදා දේශපාලන විරුද්ධවාදියකුගේ ටී-56 උණ්ඩයකට ගොදුරු වී මරණයට පත්විය. සමස්ත ලංකාවම කම්පනයටපත් කළ මෙම කනගාටුදායක ආරංචියෙන් දහස් ගණන් ජනී ජනයා කොළඹට ඇදී එන්නට පටන් ගත්හ. ජන හදවත් පැහැර ගැනීමට සමත් වූ එම ආකර්ෂණීය මුහුණ සුනු විසුනු වී ගොස් තිබුණි. මෙරට දේශපාලනයට, සිනමාවට, කලා ක්ෂේත්‍රයට ආලෝකයක් වූ සුන්දර මිනිසෙකුගේ කතාවක් එසේ නිමාවට පත්විය.


ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයන්ගෙන් මෙන්ම සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගත හැකියයි අවංකවම විශ්වාස කළ යහපත් මිනිසෙකුගේ අවසානය එසේ වූයේ ඇයි ද යන පැනය අදටත් දුරු වී නැති බව කියනු මම අසා ඇත්තෙමි.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ