ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට පවා වාසනාවන්ත වූ දි. මු. ජයරත්න මැතිතුමා ශ්‍රී ලාංකේය දේශපාලනයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන චරිතයකි. නිරතුරුවම වාමාංශික දේශපාලන අදහස් උදහස්වලින් පෝෂණය වූ එතුමා විප්ලවවාදී අදහස්වලින්ද යුක්ත විය. අයුක්තිය, අසාධාරණය පිටු දැකීමට නිරතුරුව ක්‍රියා කළ එතුමා පාර්ලිමේන්තුවේ මෙන්ම දේශපාලන වේදිකාවේ වේගවත් කථා පවත්වමින් හඬ නැගූ අතර ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ සියලු මැති ඇමැතිවරුන් සමග ඉතා සුහදව කටයුතු කිරීමේ හැකියාවක් ද පෙන්නුම් කළේය. 


සටන්කාමී හැඟීම්වලින් කටයුතු කළ ඔහු පාර්ලිමේන්තුවේ දී කිසිදු පැකිළීමකින් තොරව අභීතව සෑම විවාදයකටම වාගේ සහභාගීවෙමින් කරුණු කාරණා ඉදිරිපත් කළ බව මාගේ මතකයට නැගේ.


1988 සිට 1994 දක්වා රාජ්‍ය ඇමැතිවරයෙකු වශයෙන්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ අවධානයකින් ක්‍රියා කළ මාහට එකල ආණ්ඩු පක්‍ෂයේ හා ප්‍රතිපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව ඇති මතකයන් ගෙන හැර පෑම තුළින් යම් අදහසක් වත්මන් පරපුරටද ලබාගත හැකි වනු ඇත. ඒ ආකාරයේ නිදසුන් ඕනෑ තරම් ඇති අතර එක් අවස්ථාවක දී මතු වූ උණුසුම්කාරී වාතාවරණයක් මෙහිලා ගෙන හැර පෑමට අදහස් කරමි.


1994 අප්‍රේල් 19 වැනි දින පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් විෂයයක් විධියට සාකච්ඡා වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතට ගැනෙන ජාතික කෘෂිකාර්මික පර්යේෂණ ආයතන නම් වශයෙන් වෙන් කොට හඳුනාගැනීමේ යෝජනාවයි. එම යෝජනාව මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි උපලේඛනයේ ෂ වැනි ලැයිස්තුවේ 9.3 ඡේදයේ කාර්යන් සඳහා ජාතික කෘෂිකර්ම ආයතන ලෙස නම් විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ අතර එය ඉදිරිපත් කළේ එවක කෘෂිකර්ම අමාත්‍යව සිටි ආර්. එම්. ධර්මදාස බණ්ඩා මැතිතුමායි.


මේ පිළිබඳ විවාදය ආරම්භ කිරීමට පෙර සිටම මෙම යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ ගැටලු කීපයක් සාකච්ඡා කෙරිණි. විරුද්ධ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ ප්‍රධාන තර්කයක් වූයේ පළාත් සභාවලට අයත්ව තිබූ ආයතන රැසක් මධ්‍යම රජය යටතට එසේත් නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතට ගැනීමට ගන්නා උත්සාහයක් බවයි. කෙසේ වෙතත් එය එවැන්නක් නොවන බව කෘෂිකර්ම ඇමතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් උදේ වරුවේ වැඩි වේලාවක් ගත වූයේ ඉහත කරුණ පිළිබඳව රීති ප්‍රශ්න හා එය ඉදිරිපත් කිරීමෙන් මතුවන ගැටලු ගැන සාකච්ඡා කිරීමටයි. ඒ අනුව ලක්‍ෂ්මන් ජයකොඩි, රිචර්ඞ් පතිරණ, ආචාර්ය විමල් වික්‍රමසිංහ, අතාවුද සෙනෙවිරත්න, ධර්මදාස බණ්ඩා, විජමු ලොකුබණ්ඩාර යන මැති ඇමැතිවරු කරුණු ඉදිරිපත් කළහ. ඉහත යෝජනාව පිළිබඳ රීති ප්‍රශ්න ඉදිරිපත් කිරීමටම පැය 2ක් පමණ ගත විය. ඉන්පසුව දවල් 11.45 ට පමණ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉහත යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සෑහෙන වේලාවක් රීති ප්‍රශ්න මතු කරමින් කථා කිරීම නිසා කථිකයන්ගේ කථා කාලසීමාවන් අඩුකිරීමටද සිදු විය. කෙසේ වෙතත් යෝජනාව ගැන කෘෂිකර්ම ඇමැතිතුමා කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු විපක්‍ෂය වෙනුවෙන් මුලින්ම කථා කළේ කෘෂිකර්ම ප්‍රදේශයකින් පාර්ලිමේන්තුවට පැමිණ සිටි වර්තමාන ජනාධිපති පදවිය දරන එවකට විපක්‍ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරයෙකු වූ ගරු මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතුමා මෙම යෝජනාව ඉතා කාලෝචිත බව ප්‍රකාශ කළ අතර ඒ වන විට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ ඇති වී තිබූ කඩා වැටීම් හා පොළොන්නරුවේ සමහර ගොවින් දිවි නසා ගන්නා තත්ත්වයට පත් වී ඇති බවද ප්‍රකාශ කළේය. එතුමාගෙන් පසුව ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතාය. ඔහු මෙම යෝජනාවේ වැදගත්කමත්, කෘෂි ක්‍ෂේත්‍රයේ ප්‍රගතියත් විදහා දක්වමින් කථා කළේය. ඔහුගෙන් පසුව තවත් මැති ඇමැතිවරු කිහිප පලක් කතා කළ අතර සවස 3.30 ට පමණ යෝජනාව සම්මත කර ගැනීමට නියමිතව තිබුණි. ඒ අනුව අවසාන වශයෙන් පිළිතුරු කථාව පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය ධර්මදාස බණ්ඩා මහතා සූදානම් විය. එවිට වහාම නැගී සිටි දි. මු. ජයරත්න මහතා තමාට කතා කිරීමට කාලය අවශ්‍ය බව හඬ නගා කීවේය. ඒ සමගම මූලාසනයෙන් කීවේ “ඔබතුමාට කාලය දෙන්න බැහැ” යනුවෙනි. ඒත් එක්කම නැගී සිටි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රීති ප්‍රශ්න ගැන සෑහෙන වේලාවක් ගත වූ බැවින් සමහර කථා සීමා කිරීමෙන් අඩු කිරීමටත් සිදුවූ බවයි. එයින් නොනැවතුණු දි. මු. ජයරත්න මන්ත්‍රීතුමා කීවේ විනාඩි 15ක් තමාට වෙන්කර දී තිබුණ නිසා එයින් විනාඩි 10ක් ලබා දීමට පොරොන්දු වූ බවයි. නැවතත් මේ ගැන මූලාසනයත් දි. මු. ජයරත්න මහතාත් වාද වූ අතර මුලසුන අණ නොතකා දි. මු. ජයරත්න මහතා ප්‍රස්තුත කරුණ පිළිබඳව කථා කරන්නට පටන් ගත්තේය. යෝජනාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පවා විරුද්ධ බව ප්‍රකාශ කරමින් ඔහු කතා කිරීමට පටන් ගත් නමුත් නැවතත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හා දි. මු. ජයරත්න මහතා වාදයක පැටලුණි. නැවතත් මූලාසනයත් දි. මු. ජයරත්න මහතා අතරත් වචන හුවමාරුවක් වූ අතර මූලාසනයෙන් කීවේ ‘කිසිසේත්ම කාලය ලබා දිය නොහැකි බවයි. ඒ සමග නැගී සිටි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ආචාර්ය රිචඞ් පතිරණ මහතා මූලාසනයට කීවේ “ඔබතුමා මෙතුමාට විශාල අසාධාරණයක් කර ඇති” බවයි. එවිට දි. මු. ජයරත්න මහතා මහ හයියෙන් හඬ නගා කීවේ තමන්ට සම්පූර්ණයෙන්ම අසාධාරණයක් වී ඇති බවයි. ඉන් පසුව රිචඞ් පතිරණ මහතා දි. මු. ජයරත්න මහතා විමල් වික්‍රමසිංහ මහතා හා මූලාසනය අතර වචන හුවමාරුවන්නට පටන් ගත්හ. දි. මු. ජයරත්න මහතා නවතන්නේ නැතිව කථා කරන්නට පටන් ගත් අතර කෘෂිකර්ම ඇමැති ධර්මදාස බණ්ඩා මහතා බාධා මධ්‍යයේ විවාදය අවසන් කිරීමේ කථාව ආරම්භ කළේය. එහෙත් ඔහුට කථාව කරන්නට නොහැකි විය. දි. මු. ජයරත්න මහතා නැවතත් කීවේ විනාඩි 10ක් වත් දෙන ලෙසයි. විනාඩි 10ක් නොව එක් විනාඩියක් වත් දිය නොහැකි බව මූලාසනයෙන් පැවසුණි. එහෙත් දි. මු. ජයරත්න මහතා නැවතත් කථා කරන්නට උත්සාහ ගත් අතර මූලාසනයත්  ජයරත්න මහතාත් වික්‍රමසිංහ මහතාත් නැවත වාදයක පැටලුණි. නැවතත් මූලාසනයෙන් “කරුණාකර ඉඳගන්න” යයි කීවද දි. මු. ජයරත්න මහතා කීවේ “අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා එසේ ඉඩ දිය නොහැකි” බවයි. නැවත මූලාසනය හා ආණ්ඩු පක්‍ෂයේ සංවිධායක කථාව පවත්වා පිළිතුරු කථාවට ඉඩ දෙන ලෙස දි. මු. ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටියත් එයට ඉඩ නොලැබුණු අතර ඒ වන විටත් දි. මු. ජයරත්න මහතා විනාඩි 10කටත් වැඩිය කථා කරන්නට අරගෙන තිබෙන බව ආණ්ඩු පක්‍ෂ සංවිධායක තුමා කීවේය. කෙසේ වෙතත් දිමු ජයරත්න මහතා නැවත කථා කරන්නට වූයෙන් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කීවේ මූලසුනේ නියෝග පිළිගන්නේ නැතිනම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. එහෙත් දි. මු. එයිනුත් නතර නොවීය. වික්‍රමසිංහ මහතාත් මූලාසනයත්, දි. මු. ජයරත්න මහතාත් නැවත වාදයට පැටලුණි. ඒ සමගම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීතුමාත් රේණුකා හේරත් ඇමැතිතුමියත් වෙන වෙනත් සිද්ධීන් හුවා දක්වමින් වාදයට පැටලුණි.


මෙසේ වාදය දිග්ගැස්සෙද්දී නියෝජ්‍ය කථානායක ගාමිණී ෆොන්සේකා මහතා මූලාසනයට ආ අතර ඒ සමගම දිමු ජයරත්න මහතා කීවේ “ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමයි දැන් කථා කරමින් හිටියේ” යනුවෙනි. 


ඒ සමගම ආණ්ඩු පක්‍ෂයෙන් රීති ප්‍රශ්නයක් මතු කළ අතර මූලාසනයේ නියෝජ්‍ය කතානායකතුමා දි. මු. ජයරත්න මහතාට කීවේ කලින් සිදුවූ කටයුතු කෙසේ වෙතත් විනාඩි 2ක් කථා කර කථාව නවත්තන ලෙසයි. එයින් සෑහීමකට පත් වූ දි. මු. ජයරත්න මහතා කෘෂිකර්ම ආයතන සම්බන්ධ එම යෝජනාවට විරුද්ධව අදහස් රැසක් ඉදිරිපත් කොට කථාව අවසන් කළේ “ජනතාවගේ අදහස් උදහස් මේ සභාවේ ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන තමුන්නාසේලාටත් වැඩි කාලයක් යන්න කලින් වහ බොන්න වෙනවා” යයි කියමිනි. ඔහුගේ කථාවෙන් ඉඟි කළ පරිදි ඊට මාස 2කට පමණ පසු එජාප රජයට 1994 මහ මැතිවරණයෙන් විශාල පරාජයකට මුහුණදීමට සිදුවූ අතර, දි. මු. ජයරත්න මහතාගේ ක්‍රියාකලාපය තුළින් පැහැදිලි වන්නේ එතුමා අදහස් කළ දේ ජයගන්නා තුරු ඒ සඳහා විප්ලවකාරීව අදහස් ප්‍රකාශ කිරීම සටන් කිරීම හා හැසිරීම අත් නොහරින බවයි.