ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 23 වැනි විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එන ලදී. එය වැඩි ඡන්ද 27කින් ජයගැනීමට ආණ්ඩුවට හැකිවිය.


එහෙත් මැතිවරණ 30කට ආසන්න ගණනක් පිටපිට පරාජයවූ එක්සත් ජාතික පක්ෂය 2014 දී එක්සත් ජනතා සන්ධාන ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කළ අන්දම ජනතාවට තවම මතකය.


මෙම යෝජනාවට සහය දුන්නේ දෙමළ ජාතික සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පමණි. මෙහිදී දෙමළ ජාතික සන්ධානය ද දෙකඩව ඡන්දය දීම විශේෂයකි. ඒ අනුව විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්ද 151ක්ද ඊට පක්ෂව ඡන්ද 51ක්ද ලැබිණ. එය තුනෙන් දෙකක බහුතරයකි.


2014 දක්වා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනා ගණන 22 කි. ඉන් 15ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලටත් 07 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවලටත් එල්ල විය.


පාලකයන්ට විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේදී ඊට අදාළ කරුණු කෙරෙහි විපක්ෂයේ පක්ෂ අතර පුළුල් කතිකාවතක් ඇතිවී පක්ෂ නායකයන් අතර එකඟතාවක් තිබිය යුතුය. විපක්ෂ සන්ධානය තුළ පක්ෂ සමගද සාකච්ඡා කළ යුතුව ඇත.


2014දී ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එවැනි කතිකාවතකින් බිහිවූවක් නොවන අතර විපක්ෂ නායක මෙන්ම එජාප නායක ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ හෝ ජවිපෙ ඇතුළු විපක්ෂ පක්ෂද අත්සන් කර නොමැතිවීම විමතියට කරුණක් විය.


“මේ ආණ්ඩුව මහා පර්වතයක්” යැයි මුලින් පැවසූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවා මෙම පරාජයෙන් පසු විශ්වාසභංගයේ පැවති දුර්වලකම ගැන පාර්ලිමේන්තුවේදී අපූරු ප්‍රකාශයක් කළේය.


මෙවැනි යෝජනාවක් ගේනකොට මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මේ යෝජනාවෙන් ආණ්ඩුව තුළ බෙදීමක් ඇතිවෙනවා වෙනුවට ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා.
වෙන එකක් තබා එජාප නායක රනිල් විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබූ අතර කරු ජයසූරිය හා මංගල සමරවීර යන මහත්වරු විවාදයට හෝ ඡන්දය පාවිච්චි

කිරීමටත් නොපැමිණියහ. ඒ අනුව විශ්වාසභංග වූයේ එය ඉදිරිපත් කළ එජාපයේම බව විද්වතුන්ගේ අදහස විය.


ඔවුන් ගෙනආ ප්‍රධාන චෝදනාව වූයේ මත්කුඩු හා කැසිනෝ නිසා නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු බවයි. එහෙත් මෙම දෙකම රටට හඳුන්වාදී ඇත්තේ විවෘත ආර්ථිකය ගෙන ආ එජාපයේ විධායක ක්‍රමයයි. එසේනම් මත්ද්‍රව්‍ය හෝ කැසිනෝ රට තුළට ගෙන ඒම ගැන සන්ධාන ආණ්ඩුවට ඇඟිලි දිගු කිරීම සදාචාර විරෝධී යැයි දේශපාලන විචාරකයෝ එදා පෙන්වා දුන්හ.


මත්ද්‍රව්‍ය මෙරටට පමණක් නොව මුළු ලොවටම බලපා ඇති අතර ගෝලීය ත්‍රස්තවාදය පාතාලය, අවි වෙළෙඳාම වැනි දෑද ඒ සමානව ලොවටම විනකරයි. බටහිර රටවල පවා මත්රකුසන් දරු දැරියන් තරුණ තරුණියන්ගේ ජීවිත කෙලෙසා විනාශ කරන තැනට පත්ව තිබේ. රාජ්‍යානුග්‍රහයක් නොලැබ මත්කුඩු කන්ටේනර් පිටින් රට තුළට පැමිණීම පිටුපස ඇත්තේ නූතන ආණ්ඩුව නොව විවෘත ආර්ථිකයට උඩගෙඩි දුන් පෙර පාලකයන් හා ඔවුන්ගේ පාතාල සගයන් බව එජාපය සිහිපත් කළ යුතු බව පිළිතුරු කතාව කරමින් ආණ්ඩුව පැවසීය.


සජිත් ප්‍රේමදාස මහතාද විවාදයේදී අපූරු කතාවක් කළේය. අද මතට තිත වෙනුවට තිතට කුඩු තියෙන බවය. කැසිනෝ සහ මත්කුඩු නැති කිරීමට ක්‍රියා කළේ මගේ පියාවූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයි.


එහෙත් ආණ්ඩු පක්ෂය ප්‍රේමදාස පවුල සබඳකම් පැවැත්වූ මහ මොළකරුවන් පිළිබඳව චෝදනා එල්ල කරමින් සජිත් ප්‍රේමදාස මහතාට විහාරස්ථානවලට බෙදීමට මුදල් ලැබීම පිළිබඳව ද සැක මතු කළේය.


1991 - 1992 වකවානුවේ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන මහත්වරුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ අවස්ථාවේ ප්‍රේමදාස මහතා අපූරු ප්‍රකාශයක් කළේය.


“ඔබ කාටහරි ඇඟිල්ලක් දිගු කරන විට ඉතිරි ඇඟිලි තමා වෙතටම හැරී ඇති බව අමතක නොකරන්න” කියාය.


මාධ්‍ය මගින් ජනප්‍රියවීමට අනෙකාට මඩ ගැසීම සත්‍යය වසන් කිරීමක් බවත් එජාප ආණ්ඩු සමයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට පවා මත්කුඩු ජාවාරම්කාරයන් ඇතුළත් වූ බවත් ආණ්ඩු පක්ෂය චෝදනා කළේ සොත්ති උපාලි, ගෝනවල සුනිල් ඇතුළු පිරිසකගේ නම්ද සිහිගන්වමිනි.


ගෝනවල සුනිල් නමැති පාතාලයා මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස පත් කිරීමට නිර්දේශ කළ එජාප නායකත්වය තම පාලන කාලය මත්කුඩු රජකරවූ ස්වර්ණමය යුගය බව අමතක කරයි.


කැසිනෝ ක්‍රීඩාව බටහිර රටවල ශීඝ්‍රයෙන් ජනප්‍රියවී ඇති බැවින් මෙරටට එන බටහිර සංචාරකයන් උදෙසා එම ක්‍රීඩාව ස්ථාපිත කළ යුතුයැයි කීවේ එජාප නායකත්වය වන අතර රණසිංහ ප්‍රේමදාස යුගයේදී ජෝකිම් නමැති කැසිනෝ රජා ගෞරවනීය ලෙස මෙරටට ගෙන්වනු ලැබීය.


අවසානයේදී ඔහු පාලනය කරගැනීමට අසීරු වූයෙන් යළිත් පිටුවහල් කිරීමට කටයුතු කළේද එම යුගයේදී බව ආණ්ඩු පක්ෂය විපක්ෂයට සිහිපත් කළේය.


ශ්‍රීලනිපය ඇතුළු සන්ධාන ආණ්ඩුව දේශීය පාතාලයට හෝ ජාත්‍යන්තර පාතාලයට හෝ රාජ්‍ය අනුග්‍රහය මෙන්ම තනතුරු නොදුන් අතර මෙරට ඉතිහාසයේ පළමුවරට දෝෂාභියෝගයක් එල්ල වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට බවද පෙන්වා දෙනු ලැබිණ.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වූ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුළත්මුදලි වැනි චරිත ජනාධිපති ආර්. ප්‍රේමදාසයන් වෙත එල්ල කළ චෝදනා අතර 1990 දී කොටි ත්‍රස්තවාදීන් සමග හිල්ටන් හෝටලයේදී සාම සාකච්ඡා පැවැත්වීම හා කොටින්ට අවිආයුධ මිලදී ගැනීමට හා බංකර් ඉදිකිරීමට සිමෙන්ති දුන් බව හෙළි කෙරිණ.


එම දෝෂාභියෝගය ගැන බලන විට ශ්‍රීලනිපය ඇතුළු සන්ධාන ආණ්ඩුවට එල්ලවී ඇති දෝෂ දර්ශනය පුස්සක් බවට එදා ආණ්ඩු පක්ෂය මැති සබයේදී තර්ක විතර්ක කළහ.
1977 දී දැහැමි සමාජයක් බිහිකිරීමේ අරමුණින් බලයට අවුත් විවෘත ආර්ථිකය හඳුන්වාදී සමාජය දූෂණය කර විකෘති කළ එජාප පාලනය තුළ මනාප ක්‍රමය හඳුන්වාදීමත් සමග මත් ජාවාරම් කාරයන් පළාත් සභාවට හා පාර්ලිමේන්තුවට තරඟ කරන්නන් උදෙසා දිගට හරහට මුදල් වැය කරන බව ආණ්ඩු පක්ෂය පෙන්වාදුන් සේය.


තිස් වසරක යුද සමයේදී උතුරු - නැගෙනහිර අවි ජාවාරම වගේම මත් උවදුරද ව්‍යාප්ත වූ බැවින් නිදහසේ මත්ද්‍රව්‍ය අලෙවි කර ගැනීමට හැකිවූ අතර දේශපාලන බලලෝභීන්ටද එය රුකුලක් වූ බව එදා දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ. ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් පවත්නා විට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට තමන්ගේ වැඩ නිදහසේ කරගෙන යාමට බාධාවක් නොවූ බව මත්කුඩු ව්‍යාපාරය ත්‍රස්තවාදයේම කොටසක් බවත් විචාරකයෝ පෙන්වා දුන්හ.


2014 දී මහින්ද පාලනයට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනඑන විටදී පවා කොටි ත්‍රස්තවාදය මෙන්ම මත්කුඩු භීතිකාවද තුරන් කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් බුද්ධි අංශ මගින් වැඩසටහනක් දියත් කර තිබිණ.


එසේම මත්කුඩු බහුලව භාවිතා වෙන කොළඹ නගරයේ අඩු ආදායම් ලාභී නිවාසවල පීඩාකාරී වාතාවරණය අහෝසි කර නව මහල් නිවාස පද්ධතියක් ඇරඹීමට සැලසුම් කරමින් තිබිණ. මත්කුඩු ස්ථාපිත වන නාගරික වාතාවරණය වෙනස් කිරීමට සැරසෙන සමයක විශ්වාසභංග යෝජනාව ගෙනඒම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරු විවාදයේදී අප්‍රසාදය පළකළහ.
2014දී විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට මහින්ද පාලනය සමත් වුවද 2015 ජනවාරියේ ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ නියෝජිත මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමග දේශපාලන වාතාවරණය උඩුයටිකුරු විය.


2014 දී ගෙන ආ විශ්වාසභංගයේ දී විපක්ෂ අන්දමන්ද කර ආණ්ඩු පක්ෂය තම ගෞරවය රැකගත් අයුරින්ම 2019 දී ගෙන ආ විශ්වාසභංගයේදී ද විපක්ෂයට හිස ඔසවන්නට ඉඩනොදෙමින්ද ආණ්ඩු පක්ෂය තුළ හිස ඔසවන මත ගැටුම් පාලනය කරමින්ද ඡන්ද 27ක ජයක් ලැබීමට යහපාලනය සමත්විය.


මෙම සිද්ධි දෙකෙන්ම පැවසෙන්නේ එක් දෙයකි. එනම් ආණ්ඩු පෙරළියක අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුව නොව මැතිවරණයක් පැමිණෙන තුරු පුලපුලා බලාසිටින ඡන්ද දායකයන් විසින් බවය.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි