මැතිසබය රසවත් කළ කවට  කථිකයා-3 

 

 

නත්තලට දෙව් මැදුරට ගොස් දේව මෙහෙයට එක්වූ ආර්. එස්. වෙසක් පොහොය වැනි පුන් පොහෝ දිනවල කැලණි විහාරයට හා විද්‍යාලකාර පිරිවෙනට ගොස් පින්කම්වලට දායක විය. මහානායක හිමිවරුන් ඇසුරු කළේය.


පුරා 17ත් වසරක් ක්‍රියාකාරී දේශපාලනය කළත් ජයග්‍රහණයෙන් පසු විරුද්ධ පාක්ෂිකයාට හිරිහැර කළ ද බැණ වැදුණේය.


“වතාවක් ආර්. එස්. ගම් සභාවට තරග කරන කොට ස්වාධීනවත් කෙනෙක් දැම්මා. එයාගෙ නමත් ආර්. එෆ්. පෙරේරා විරුද්ධ කාරයෝ හිතුවෙ ජනතාවට නම් පටලැවෙයි කියලා. ඒ වුණාට ඡන්ද කැඩුණෙ නෑ” පැරැන්නෝ කියති.


ඒ. ඩබ්. ඒ. අබේගුණසේකර ආර්. එස්. සමග ඡන්ද සටනට දැමූ ප්‍රතිවාදියා විය. 1960 ජූලි මහ මැතිවරණයේ දී ඔහු ආර්. එස්. ට ඡන්ද 4448කින් පැරදුණේය. 1965දී අබේගුණසේකර, ආර්. එස්. ට පැරදුණේ වැඩි ඡන්ද 1879 කිනි. එදා ආර්. ඇස්. ඡන්ද 20147ක් ගත්තේ මුළු රටම එජාපය දිනද්දි කැලණිය ශ්‍රීලනිපයට රැක දෙමිනි. මහජන එක්සත් පෙරමුණෙන් එහි තරග වැදුණේ හිටපු ගම් කාර්ය සභාපති සරණපාල ගුණවර්ධනය.


1970 මහ මැතිවරණයේදී ආර්. ඇස්. ඡන්ද 29,331ක් ගෙන වැඩි ඡන්ද 8339කින් අබේගුණසේකර පැරද වූ අතර, අගමැතිනිය ඔහුට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍ය ධුරය පිරිනැමුවාය.


1972 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය පිහිටු වන විට අති විශාල කාර්ය භාරයක් ඉටු කරමින් ඊට උර දුන්නේ ආර්. එස්. පෙරේරා මහතාය. රජයේ මුද්‍රණාලය වැනි ආණ්ඩුවේ මර්මස්ථානවලට කැලණියේ තරුණ තරුණියන්ට රැකියා දොරටුව විවර කළේ ද එතුමාය.


ආර්. එස්. යනු රසගුලාවකි. මීගමුව ආසනය එජාපයෙන් නියෝජනය කළ කුවින්ටින් ප්‍රනාන්දු මහතා මිය ගියේය. අතුරු මැතිවරණය සඳහා එම පක්ෂයෙන් නම් කෙරුණේ ඩෙන්සිල් ප්‍රනාන්දුය.


ඩෙන්සිල්ගේ රැස්වීමකට ගැසූ පෝස්ටරයක සඳහන් වූ අපූරු දෙයක් ගැන එස්. කේ. කේ. සූරියාරච්චි හෙවත් මහර ශ්‍රීලනිප මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබිණ.
“කුවින්ටින් ප්‍රනාන්දු ඔබ අමතයි”


ඩෙන්සිල් ප්‍රනාන්දුගේ නම වෙනුවට මියගිය කුවින්ටින් ප්‍රනාන්දුගේ නම මාරු වී පළ කර තිබිණ.


සූරියආරච්චි වහාම මෙම පෝස්ටරය තම මිතුරා වන ආර්. එස්. ට යැව්වේ හොඳ කතාබහකට තේමාවක් ලෙසිනි. සිතූ ලෙසට ආර්. එස්. වේදිකාවේ එජාපය පතුරු ගැසුවේය.
මේ බලාපල්ලා මැරුණු කුවින්ටින් මහත්තයා නැගිටලා යූ.ඇන්.පී. වේදිකාවට ඇවිල්ලලු. යූ.ඇන්.පියට නම් ඡන්ද දෙන්න එපා කියලත් කියනවලු.


මීගමු ජනතාව මේ කතාව අසා සිනාසුණු නමුත් විරුද්ධවාදීහු භූමිතෙල් ගෑවුණු ගැරඬියන් සේ අපහසුතාවට පත්වූහ.


ආර්. එස්. ගේ පෞද්ගලික ලේකම්වරයා වූ සෝමරත්න ගුණතිලක මහතාට එදා සූරියාරච්චිගේ ලේකම් මහතා දුන් පෝස්ටරය ආර්. එස්. ට දුන් විට එතුමාගේ මුහුණේ ඇති වුණු ප්‍රබෝධය තවම සිහිකරයි.


“කුවින්ටින් ප්‍රනාන්දු මළවුන්ගෙන් නැගිට යූ.ඇන්.පිය පතුරු ගසයි” යනුවෙන් එදා පළ විය. 


ටයර් සංස්ථාව කැලණියට ගැනීමේ උත්සාහය ගැන ද අබේගුණසේකරයන් ආර්. එස්. ට දොස් කීවේය.


“කැලණියට ටයර් සංස්ථාවක් දානවට වඩා කිරිපට්ටියක් දැම්මනම් ප්‍රයෝජනයි.”


මෙය ඇසූ ආර්. එස්. රැස්වීම් මාලාවේදී අබේගුණසේකර පතුරු ගැසුවේ කිරිපට්ටියට හොඳ පට්ටි ගොනෙක් හම්බ වෙච්ච එක ලොකු දෙයක්” කියාය.


ආර්. එස්. ගේ ළඟින්ම සිටි මාධ්‍ය මිතුරෙකු වන්නේ නෝමන් පලිහවඩනය. ආර්. එස්. ගේ කියුම් කෙරුම් තත්කාලීනව ගළපා විවිධ පුවත්පත්වල පළ කළේය. එමෙන්ම කළු සුදු කැමරාකරුවකු වන නෝමන් පුවතක් නොමැති තැන කැමරාවෙන් පුවත් මවන්නකු ලෙස ප්‍රසිද්ධය. කතෝලික පවුලක උපත ලද හෙයින් ආර්. එස්. සමග ළඟින් ඇසුරු කිරීමට ඔහුට ඉඩ ලැබිණ.


නෝමන් ලියූ පොතක පළ වන අයුරින් ඇත්ත පුවත්පතේ කර්තෘවරයා ඔහු අමතා ආර්. එස්. ගේ කුමන පුවතක් හෝ පත්‍රයට ගැනීමට වාර්තා කරන ලෙස පැවසීය. ආර්. එස්. ගෙන් දේශපාලන රැස්වීමක් එදා සවස කිරිබත්ගොඩ මාකොළ පාරේ පැවැත්විණි. අඳුරු වැටෙන්නට ආසන්න නිසා රැස්වීම නිම වුවහොත් තම ප්ලෑෂරය නැති කැමරාවෙන් ඡායාරූප ගැනීමට බැරි වන බව දත් නෝමන් ආර්. එස්. ගේ නිකම් ඡායාරූපයක් ගත්තේය.


ඒ. ආර්. එස්. උඩ බලාගෙන ඉන්නා රුවකි. අනතුරුව වාර්තාව ද රැගෙන කාර්යාලයට ගිය ඔහු කර්තෘට දුන්නේ ඡායාරූපය ද සමගය.


පින්තූරය පසුදා ඇත්ත පත්‍රයේ පළ වූයේ අපූරු හෙඩිමක් සහිතවය. “ආර්. එස්. ට තරු පෙනෙයි” කියාය.


ආර්. එස්. එය දැක තමන්ට බැණවදින බව දත් නෝමන් දළුගම ශාන්ත ප්‍රැන්සිස් දෙව් මැදුරේ පූජාවට ගියේ බියේ ගැහෙමිනි. ආර්. එස්. හොඳට හොඳ වගේම නරකට නරක බව කවුරුත් දන්නා බැවිනි.


නෝමන්ගේ හැංගිමුත්තම් කෙළිය නතර වූයේ ආර්. එස්. දෙනෝදාහක් අතරේ ඔහු සොයාගත් බැවිනි. 


“කොල්ලෝ ඔහොම හිටපන්” යැයි ළංවූ ආර්. එස්. නෝමන්ගේ කරට අතදාගත්තේ මිනිසුන් විමතියෙන් බලා සිටියදීමය.


“කවදාවත් ඇත්ත පත්තරේ මගේ පින්තූරයක් ගියේ නෑ. උඹ ගමේ එකා. මට උදව් කළා” යැයි පැසසුම් කළේය.


නෝමන්ගේ පොතේ ආර්.එස්. ගැන තවත් අපූරු සටහනක් වෙයි.


දළුගම පැවැති රැස්වීමකදී ආර්. එස්. ම පැවසුවේ පාර්ලිමේන්තුවේදී තමාට කියන්නේ ටකරමා කියා බවය. ඒ දිනවල කොමියුනිස්ට් පක්ෂය හා ශ්‍රීලනිප පාලන අතර මතභේද තිබූ යුගයකි. ඇත්ත පත්‍රයේ කාර්ය භාරය වූයේ සභාග රජයට සම්බන්ධ වූවන් විවේචනය කිරීමයි. ඇමැති ආර්. එස්. ද එම විවේචනයේ ගොදුරක් විය.


එබැවින් නෝමන් ඇත්තට ලියූ වාර්තාවක් ඇත්ත පත්‍රයේ පළ කර තිබුණේ “කැලණියේ ටකරමා කට අරියි” යනුවෙනි.


දළුගම ශාන්ත ප්‍රැන්සිස් දෙව්මැදුරේ පාලකයා වූ ඉතාලි ජාතික ඊ රැන්ඩන් පියතුමා වරක් ඇමැති ආර්. එස්. ට බැණ එළවාගත් කතාව අපි පළ කළෙමු. එසේ වූයේ කිතුනු පාසල් රජයට පවරා ගැනීමේ පනතට එරෙහිව කිතුනු පූජකවරුන් පළ කළ විරෝධය නිසාය.


“තමුසේ මොටද පල්ලි ආවෙ. තමුන් සාතන් කෙනෙක්” යැයි ආර්. එස්. ට රැන්චන් පියතුමා බැණවැදී තිබිණ. එහෙත් ආර්. එස්. හිසනමා පැමිණියා මිස නිදහසට කරුණු කියන්නට නොගියේය.


එහෙත් එහි ප්‍රතිඵලය වූයේ රැන්චන් පියතුමා පැය 24ක් ඇතුළත රටින් පිටුවහල් කිරීමය. රැන්චන් පියතුමා යළි ඉතාලිය බලා ගියේය. අන්තිමට ඉතිරි වූයේ “දළුගම රැන්චන් මාවත” පුවරුව පමණි.


එදා ආර්. එස්. පල්ලියෙන් එළියට බැස්සෙ පල්ලියේ වළ නැතුවාට බෞද්ධයන්ගේ වළ මට ලැබේවි” යන අනාගත වාක්‍යය පවසමිනි. එතැන් පටන් පන්සල ඔහුගේ තෝතැන්න විය.
1977 මහ මැතිවරණයට ආර්. එස්. තරග කළේ නැත. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගිය බවක් පළවිය. ආර්. එස්. ගේ බිරිඳ හොරණ වැලිවිටය. ඔවුන්ට දරුවෝ සිව් දෙනෙක් වූහ. ඔවුන් කෙදිනකවත් දේශපාලනයට අවතීර්ණ නොවූ අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රයට නැඹුරු වූහ.


ආර්. එස්. ට තිබුණේ ජනතා රැකවරණය පමණි. තම පක්ෂයේ නායකකාරකාදීන් සමග නොයෙක් මත භේද ඇති කරගන්නට ඔහුට සිදුවූයේ ඔහුගේම අනන්‍යතාව නොපිළිගත් හෙයිනි.


එජාප පාලන යුගයේ දරුණු කහ හිඟයක් ඇති විය. ගෘහණියන්ට හොද්දට දමන්න කහ කඳුළක් නොමැති තරමට කහ හිඟය උග්‍ර වූ අතර පාලකයෝ දැඩි දෝෂ දර්ශනයට ලක් වූහ.
“මගෙ අම්ම මුත්ත කාලෙවත් මේ වගේ කහ කාපු කාලයක් මතක නෑ” ආර්. එස්. ගේ හඬ වතු රැස්වීම්වල පිළිරැව් දෙන්නට විය.


1977දී ආර්. එස්. නොමැතිව මහ මැතිවරණය පැවැත්විණ. එතෙක් කොලොන්න ආසනය නියෝජනය කළ එජාප ජාතික සේවක සංගමයේ සභාපති කළුවාදේවගේ සිරිල් මැතිව් කැලණියට ආවේය. ඔහු සමග ගැටුණේ වරක් කැලණිය අසුන දිනා කිර්ති නාමයක් සහිත ආර්. ජී. සේනානායකගේ බිරිඳ එරින්ය.


වාමාංශිකයන් පිල් හතර පහකට කැඩී ඉදිරිපත් වූ ඡන්දයෙන් සිරිල් මැතිව් දිනුවේ වැඩි ඡන්ද 6515 කිනි. ආර්. එස්. බැබළ වූ කැලණියේ ආලෝකය බිඳෙන් බිඳ නිවී ගියේ ඔහුගේ සෞඛ්‍යයට අනතුරු අඟවමිනි. පල්ලිය සමග අමනාප වූ ආර්. එස්. ගේ අන්තිම කැමැත්ත මෙපරිදි විය.


“මා මළ පසු මගේ දේහය අඹ ලෑලි පෙට්ටියක බහා කරත්තයක දමාගෙන විත් විද්‍යාලංකාර පිරිවෙනේ හාමුදුරුවන් ලවා පාංශූකූල පූජාව කර බොරැල්ල කනත්තේ ආදාහනය කරන්න.”


ඔහු පැතූ ලෙසටම මහජනතාව පිරිවරා රැගෙන යනු ලැබූ දේහය විද්‍යාලංකාර පිරිවෙන ඇතුළු මහා සංඝරත්නයේ පාංශූකූල පූජාව පවත්වා බොරැල්ලේ සුසාන භූමියේ තැනූ දර සොහොනක ආදාහනය කරන ලදී. අද සිටින බොහෝ දේශපාලනඥයන්ට පූර්වාදර්ශයක් දෙන ආර්. එස්. අනන්‍යතාව කැලණි ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත.

 

 


සටහන :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි