විජය කුමාරතුංගයන්ගේ ප්‍රධාන අරමුණ වූයේ මේ රට තුළ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය නතරකොට සාමය උදාකිරීමටයි. ඒ සඳහා ඔහු දිවි පරදුවට තබා ක්‍රියා කළේය. ඇතැමුන්ට මෙය ඉවසා දරා ගැනීමට නොහැකිව ඊට එරෙහිව නොයෙකුත් බාධක දැමුවද විජය ඒවා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. ඔහුගේ ගමන අවසන් වන තුරුත් නිමාවක් දකින තුරුත් යාම එකම අරමුණ විය.  විජය කුමාරතුංගයන්ගේ යාපනය සංචාරයේ මූලික අරමුණ වූයේද එයයි.


යාපනය සංචාරයේ අත්දැකීම් විස්තර කළ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා : 


විජයගේ යාපනය ගමනට හේතු වුණේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් පිරිසක් අපේ හමුදා සෙබළුන් තුන් දෙනෙකු රඳවා ගෙන සිටියා. ඔවුන්ගේ දෙමාපියන් මාව හමුවීමට ආවා. මම විජයත් එක්ක කතා කරලා යාපනය ගමන සැලසුම් කළා. මමයි, විජයයි, ඔසියි තමයි සංචාරයට එක්වුණේ. මොකද ඒ දවස්වල ඉඳලා හමුදාව සමග මගේ හොඳ සබඳතාවක් තිබෙනවා. හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව මම බාරගෙන සිටි නිසා. මම බොහෝම සම්බන්ධයි හමුදාව සමග. ඉතින් විජය මට කතා කරලා මේ ගමන සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියා. අපි ඒ හමුදා සෙබළුන්ගේ දෙමාපියන්ට පොරොන්දු වුණා අපි කොහොම හරි ඔවුන් මූණ ගැසී සාකච්ඡා කරනවා. අපට කළ හැකි උපරිම දේ කරලා ඔවුන් බේරා ගැනීමට කටයුතු කරනවා කියලා. 


මේ යාපනය ගමන හරි අවදානම්. මොකද මුළු යාපනයම පාලනය කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්. මෙහිදී මගේ හොඳ මිතුරෙකු වූ ඒ දවස්වල යාපනය ආඥාපතිව සිටි බි්‍රගේඩියර් ආනන්ද වීරසේකර මහතා මට දැනුම් දුන්නා ඔය ගොල්ලෝ යාපනයට එනවා නම් පෞද්ගලික ගුවන්යානයකින් නම් එන්න එපා කියලා. ඒ වෙනකොට අපි පෞද්ගලික ගුවන් යානයකට මුදල් ලබාදීලත් ඉවරයි. මම ආනන්ද වීරසේකර මහතාට දැනුම් දුන්නා. ඔහු තරයේ කියා සිටියේ එහෙනම් මේ ගමන කොහෙත්ම එන්න එපා. ගමනේ අවදානම නිසයි මම මෙහෙම කියන්නේ. කොහොම හරි අපි අපේ ගමන අත්හරින්න සූදානම් වුණේ නැහැ. අපේ අධිෂ්ඨානය වුණේ කොහොම හරි අපේ හමුදා සෙබළුන් තුන් දෙනා හමුවීමටයි. විජයත්, මමත්, ඔසිත් අපි මේ ගැන දිගින් දිගටම කතා කළා. 


කොහොම හරි විජය මැදිහත්වෙලා එවකට සිටිය ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට මේ බව දැන්වූවා. ඒ රජයේ කිසිම කෙනෙක් මෙම හමුදා සාමාජිකයන් මුදාගන්න උත්සාහ කළේ නැහැ. කොහොම හරි විජයගේ කීම අහලා ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහු සංචාරය කරන ගුවන් යානය ලබා දෙන්න පොරොන්දු වුණා. මම සිතා ගත්තා විජය ගත් ප්‍රථම උත්සාහයත් සාර්ථක වුණ නිසා අපේ ඉදිරි කටයුතුත් සාර්ථක වෙයි කියලා. කොහොම හරි අපි යාපනයට ගියා. එහිදී අපිව පිළිගත්තේ පලාලි ගුවන් තොටුපලේදී බි්‍රගෙඩියර් ආනන්ද වීරසේකර හා කර්නල් විජය විමලරත්නයි. අපි එතන ඉඳලා යාපනය කොටුවට හෙලිකොප්ටර් යානයකින් ගියා එල්.ටී.ටී.ඊ කඳවුරක් අසලට. ඒ වන විට යාපනයේ සිටින සියලු හමුදා සාමාජිකයන් කඳවුරුවලට සීමා කරලයි තිබුණේ. පාලනය කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින්. කොහොමහරි අපි හමුදාව මාර්ගයෙන් එම කඳවුරට පණිවිඩයක් යැව්වා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ දවස්වල හමුදා සෙබළුන් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතර හොඳ සංහිඳියාවක් තිබුණා. යාපනය කොටුව තුළ සිටින හමුදා සාමාජිකයන්ට දර ටික පවා සපයන්නේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්. අපි ආව විත්තිය දැනුම් දුන්නේත් ආරක්ෂක හමුදාව හරහායි.


කොහොම වුණත් අපිට ඒ දවසේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මුණ ගැසීමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මොකද ප්‍රභාකරන් අවසරය දීලා තිබුණේ නැහැ. ඒ නිසා අපි ආපසු හැරිලා ඒ හෙලිකොප්ටර් යානයෙන්ම පලාලි ගුවන් තොටුපළ වෙත ආවා. අපිට අඳින්න ඇඳුමක් වත් නැහැ. මොකද අපි එක දවසකින් ඔවුන් මුණ ගැසිලා එන්නයි බලාපොරොත්තු වුණේ. කොහොමහරි පලාලි කඳවුරේ හමුදා සාමාජිකයන් අපිට අවශ්‍ය සියලු දේවල් දීලා එදා අපි පලාලි කඳවුරේ නැවතුණා. පසුවදා අපට දැනගන්න ලැබුණා ප්‍රභාකරන් විසින් අපිව මුණගැසෙන්න කැමැත්ත ලබා දීලා කියලා. අපිට හරි සතුටුයි. පහුවැනිදා අපි නැවත පලාලි ගුවන් තොටුපළින් හෙලිකොප්ටර් යානයකින් යාපනය කොටුව ආසන්නයේ පිහිටි එල්.ටී.ටී.ඊ කඳවුරකට ගියා. එහිදී අපිව ඔවුන් ඉතා සුහද ශීලීව පිළිගත්තා. ඒ විතරක් නොවෙයි අපිත් සමග ගිය බි්‍රගේඩියර් ආනන්ද වීරසේකර වගේම කර්නල් විජය විමලරත්න වත් අතට අතදී පිළිගත්තා. ඊට පස්සේ තමයි අපි දෙගොල්ලෝ සාකච්ඡා කළේ.

 


ඒ සාකච්ඡාවට තමිල් චෙල්ලම් ඇතුළු ප්‍රධාන පෙළේ කොටි සාමාජිකයන් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ඒත් ප්‍රභාකරන් සහභාගි වුණේ නැහැ. අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ අපේ හමුදා සාමාජිකයන් තිදෙනා මුදා හරින ලෙසයි. එහිදී ඔහුන් අපට කීවේ අපේ 80 දෙනෙකු මුදා හරින්නේ නම් අපි ඒ 3 දෙනාව මුදාහරිනවා කියලා. නමුත් අපිට ඒක කරන්න ශක්තියක් නැහැ. අපි විපක්ෂයේ පුද්ගලයන්. බලය තිබෙන්නේ ආණ්ඩුවටයි. ඉතින් අපි මේ ගැන ඔවුන්ට දැනුම් දෙන්නම්. අපි උපරිම උත්සාහය ගන්නවා කියලා. අපි දෙගොල්ලෝ සාකච්ඡා කළා.

 

පස්සේ ඔවුන් අපිට සිරකර ගෙන සිටින අපේ හමුදා සාමාජිකයන් 3 දෙනා හමුවීමට  අවස්ථාව සලසා දුන්නා. ඔවුන්ටත් හරි සතුටුයි. අපි පැය කිහිපයක් පමණ සාකච්ඡා කරලා නැවත එන විට අපිව ඔවුන් යාපනය නල්ලූර් කෝවිලට එක්කගෙන ගියා. එහිදී යාපනය ජනතාවගෙන් අපට හොඳ පිළිගැනීමක් තිබුණා. ගොඩක් දෙනා විජයව දැකලා අතට අත දුන්නා. ඔවුන්ටත් හරි සතුටුයි. 


අපි.එල්.ටී.ටී.ඊ කඳවුරේදී ඔවුන් සමඟ සාකච්ඡා කරන අතර තුර ඔවුන් අපව එක්කගෙන ගියා ඔවුන්ගේ යුද පුහුණු කඳවුරකට. එතන තිබෙන්නේ තරුණියක් දූෂණය කරන ආකාරයේ චිත්‍රයක් මවලා. ඒ චිත්‍රයට තමයි වෙඩි තියන්න පුරුදු කරන්නේ. ඔවුන් අපිටත් කිව්වා වෙඩි තියන්න කියලා මොකද විජයත් මමත් තරුණ කාලේ වෙඩි තියන්න දක්ෂයි. අපි වායු රයිපල් අරගෙන දඬුගම ඔය දිගේ ගොස් මුහුදු වෙරළට ඇවිල්ලා තරඟෙට වෙඩි තියනවා. ඒ කාලේ අපි තරුණ කොල්ලෝ. සාමාන්‍ය ජීවිතයක් තමයි අපි දෙදෙනා ගත කළේ. කොහොම හරි අපි දක්ෂ ලෙස වෙඩි තැබුවා. ඒ කඳවුර පවත්වාගෙන ගියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ. කවුරුත් දැන සිටියේ නැහැ. මම සිතන්නේ දිසාපතිවරයාව බය කරලා කිසි කෙනෙකුට මෙය දැන ගැනීමට ඉඩ තියන්න එපා කියලා යන්න ඇති. ඊට පස්සේ අපි එක්කගෙන ගියා ළමා උද්‍යානයකට. එහි තිබෙන ඔංචිල්ලාව සකස් කරලා තිබෙන්නේ ටී - 56 වර්ගයේ තුවක්කු 2 ක් පැද්දෙන ආකාරයට.


ඒ තුවක්කු ලණු දෙකේ සවිකරලා තිබෙනවා. මොකද කුඩා කාලයේ ඉඳලම ඒ දරුවන්ට යුද පුහුණුවක්, යුද මානසිකත්වයක් නංවන්න තමයි මේ දේ කරන්නේ. අපි කොහොම හරි හොඳට ඔවුන් සමඟ ඉතා සුහදව කටයුතු කළා. පසුව අපි නැවත පලාලි ගුවන් තොටුපළින් කොළඹ බලා පිටත්වුණා.


ඔය අතරේ තමයි අපි කොළඹ පැමිණියාට පසු අපට එරෙහිව දැඩි විරෝධතාවක් එල්ල වුණේ. විජයගේ චිත්‍රපට පෝස්ටර් විකෘති කරලා තිබුණා. අපි රාජද්‍රෝහියෝ කියලා පෝස්ටර් පවා ගසා තිබුණා. අපි යාපනයේදී ආරක්ෂක හමුදාවට වෙඩි තැබුවා කියලා ලොකු විරුද්ධ ව්‍යාපාරයක් ගෙනගියා.


එක්සත් ජාතික පක්ෂයේ අයත් අප දෙස බැලුවේ වැරදි විදිහට. මම හිතන්නේ අපිට ගුවන් යානා පහසුකම් සැලසූ ජේ. ආර්. ජයවර්ධන මහතාටත් දෝෂා රෝපණයක් එල්ල වෙන්න ඇති. හුඟාක් දෙනෙකු අපි ගැන හිතුවේ රාජ්‍ය ද්‍රෝහීන් හැටියටයි.

 

 


මතු සම්බන්ධයි.

 


නිශාන්ත කුමාර බණ්ඩාර