ප්‍රගතිශීලී කඳවුරේ කන්නන්ගර සලකුණ -03

 

 

1944දී ජේ. ආර්. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ විට වඩාත්ම සතුටට පත්වූ මන්ත්‍රීවරයකු වූයේ ආචාර්ය කන්නන්ගරය. නිදහස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔහු තුළ වූ සිහිනය සැබෑ කරලීමේ සුබ ලකුණු ඒ තුළින් ඔහුට පෙනෙන්නට ඇත.


එම යෝජනාවලියේ කරුණු 05ක් අඩංගු විය. සියලු පාසල්වල උගන්වීමේ මාධ්‍ය සිංහල විය යුතු අතර, ප්‍රසිද්ධ විභාගවල දී අනිවාර්ය විය යුතුය. එසේම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු සිංහලෙන් කළ යුතු අතර, වෙනත් භාෂාවලින් පළවූ පොත්පත් සිංහලට පරිවර්තනය කිරීම සඳහා කොමිසමක් පිහිටුවිය යුතු බව එහි සඳහන්ය.


නමුත් නොයෙකුත් සංශෝධන ගෙන එනු ලැබූ අතර, වී නල්ලයියා “සිංහල සහ දෙමළ” යන භාෂා දෙකම මීට අදාළ විය යුතු බවට ගෙන ආ සංශෝධනය ඇතුළුව යෝජනාව සම්මත කෙරිණ.


මෙතෙක් භාවිත වූ ඉංග්‍රීසියෙන් සිංහල හා දෙමළ භාෂාවලට පරිවර්තනය කිරීමට අදාළ නිර්දේශ ඉල්ලා බණ්ඩාරනායක මැතිදා කමිටුවක් පත් කළේය. ඊට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ටී. බී. ජයා, ජේ. ආර්. ජයවර්ධන, ඒ. රත්නායක, ඒ. නඬේසන් යන මන්ත්‍රීවරුන් සහ නීති ලේකම් ඇතුළත් වූහ.


කමිටුවේ නිර්දේශය වූයේ වසර 10කින් එනම් 1959 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය පරිපාලන භාෂාව ලෙස ඉංග්‍රීසිය වෙනුවට සිංහල සහ දෙමළ භාෂා යොදා ගත යුතු බවය. එය කන්නන්ගරයන් ලැබූ දීර්ඝකාලීන ජයග්‍රහණයකි. මෙසේ එකින් එක කඩඉම් ජයග්‍රහණය කළ කන්නන්ගරයන් ඩී. එස්. රටින් බැහැර වූ වහාම නිදහස් අධ්‍යාපන පනත කියවා සම්මත කරගත්තේය.


මෙහිලා ජේ. ආර්., ඒ. රත්නායක හා ඊ. ඒ. නුගවෙලගේ සහය එතුමාට ලැබුණු අතර නම් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සොයා දුන්නේ එකල මුදල් ලේකම්ව සිටි කන්නංගර මැතිඳුගේම ගෝලයකු වන ඔලිවර් ගුණතිලකයන් විසිනි.


කෙසේ වෙතත් 1947 මැතිවරණයේදී එතුමාට පරාජය උරුම විය. 1947 ජනවාරියේ ඉන්දියාවේ විශ්ව භාරතී සරසවියේ දී කල්කටාවේ මහාබෝධි සංගමයේද දෙසුම් සඳහා ආචාර්ය කන්නන්ගරයන්ට ඇරයුම් ලැබිණ. තම යුග මෙහෙවර ගැන ඔහු රවින්ද්‍රනාත් තාගෝර් ප්‍රමුඛ විශ්වභාරති සරසවි සිසුන් ඉදිරියේ මෙසේ උදම් ඇනීය.


“නිදහස් අධ්‍යාපනය සඳහා සෑම දරුවකුටම තම මව්පියන්ගේ වත්පොහොසත්කම් හෝ බලපුළුවන්කාරකම් නොසලකා උරුමව ඇති අයිතිය ආරක්ෂා කර දීමටත්, ජාතික භාෂාවලට නිසි තැන ලබාදීමටත් මෙම පනත තුළින් මට හැකි වුණා. මා අපකීර්තියට හා අවමානයට පත් කළ සැමගේ උපක්‍රම පරදවා මා ජය ලැබුවා.”


කන්නන්ගර සූරීහු රෝමයේ ඔගස්ටස් රජු ගැන ද සිහි කළේය. “තමා එන විට රෝමයේ තිබුණේ ගඩොලින් බැඳි ගොඩනැගිලියි. නමුත් තමා යන විට යන්නේ කිරිගරුඬින් රැඳි මන්දිරයන්ගෙනි යැයි ඔගස්ටස් රජු කීය. අද මට තියෙන්නේ ඒ වගේ සතුටක්.


ප්‍රගතිශීලී යෝජනා රැසකට උර දුන් කන්නන්ගර මැතිඳුන්ට අධ්‍යාපන පනත මල්ඵල ගැන්වෙන තුරු එම තනතුරේ සිටීමට නොහැකි විය. වතු පාසල් ජාතික අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කර ගැනීම සඳහා ඔහු කළ සටන අඩපණවීම ගැන පී. ඒ. ඥානමුත්තු (ෑාමජ්එසදබ ්බා ඔයැ ෂබාස්බ ඡක්බඒඑසදබ උදරනැර සබ ීරසක්බන් - 1977) දුක් විය.


“බකමුහුණු දහවල් - නොදකී කවුඩු රෑකල් නුනුවණ දන සියල් - දොසින් නොදකී දිවා රෑකල්


උදාවන අධ්‍යාපන ප්‍රබෝධය ගැන නොදන්නා මිනිසුන් ගැන අනුකම්පා කරනු විනා අත්කළ හැකි දෙයක් නැතැයි අමාත්‍ය කන්නන්ගර පවසා ඇත. අධ්‍යාපනය ලබාදීමේ දී දරු පරපුරට වන අසාධාරණකම් ගැන කම්පා වූ ඔහු කම්කරු අයිතිවාසිකම් පිළිබඳව ද කතා කළේ මහත් උද්වේගයකිනි.


1930 දී පමණ මුල්ඔය වත්තේ කම්කරු අරගලයේ දී ගෝවීන්දන් නමැති කම්කරුවා පොලිස් වෙඩි පහරින් මිය ගියේය. මෙම ආන්දෝලනාත්මක සිද්ධිය ගැන කොමිසන් සභාවක් ද පත් කෙරිණි. ස්වදේශ ඇමැතිවරයාගේ නියෝග නොපිළිපැදීම ගැන කන්නන්ගර ඇමැතිවරයා පොලිසියට දොස් පැවරු අතර සර් ඩී. බී. ජයතිලක ප්‍රධාන අමාත්‍යවරයා ද ඔහු හා එක්විය.


“ස්වෛරී බලයක් නැති රාජ්‍ය මන්ත්‍රණ සභාවක් මොකටද? කෝ යුක්තිය? කෝ සාධාරණය.”


80%කට වැඩි පිරිසක් බෞද්ධයන් වන රටේ වෙසක් පෝ දිනය සඳහා අතිරේක නිවාඩුවක්ද පොසොන් පෝය සඳහා නිවාඩුවක් ද ලබා දෙන ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීත් ඉන් පිටත් ඔහු උද්ඝෝෂණය කළේය. කොතරම් කෙණෙහිලිකම්වලට ලක්වුවද කන්නන්ගර සූරීන්ගේ අගය උගත් පරපුර හොඳින් වටහා ගෙන තිබිණි. 1942 දී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේදී එතුමාට ආචාර්ය උපාධිය පිරිනමන ලදී.
“එතුමා” දෙපාර්තමේන්තු පරිපාලනයේදී දැක්වූ ප්‍රඥා සම්පන්න භාවය හා විචක්ෂණ බුද්ධිය ඉක්මවා යන්නට හැකි කිසිදු ඇමැතිවරයකුමට හමුවී නැතැයි” ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති මහාචාර්ය ආර්. මාර්ස් ආචාර්ය ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගරයන් පිළිබඳ මතකය සටහන් කළේය.


මේ අතර ප්‍රතිගාමී අදහස් දරන්නෝ තවත් චෝදනාවක් නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ කන්නන්ගර සූරීන්ට එල්ල කළහ. එනම් නව පනත නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය අඩපණ වූ බවය. එහෙත් කන්නන්ගරයන් යෝජනා කළ පරිදි ගුරු විදුහල් ක්‍රමයත් දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාවට නිසි තැන දීමක් සිදුවූයේ නම් එම චෝදනාව නොඑනු ඇත. එසේ වූවා නම් අද දිවයින පුරා මතුවන ප්‍රමිතියකින් තොර ජාත්‍යන්තර පාසල් ක්‍රමය ද සීමා වනු ඇතැයි සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක සාමාජික සවිමත් ඌරුගොඩවත්ත සූරීන් කන්නන්ගර අනුස්මරණ “අරුණලු” කලාපයේ සඳහන් කර ඇත.


නිදහස් අධ්‍යාපන පනතේ කොන්දේසි අනුව අවුරුදු 5 සිට 14 දක්වා සියලු දරුවන්ට අධ්‍යාපනය දීම රජයේ වගකීමය. රජයට හැර කිසිවකුට ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසල් ඇරඹිය නොහැකිය. ජාත්‍යන්තර පාසල්, සමාගම් දෙපාර්තමේන්තුවේ හෝ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කළ ද, නීතියට සපුරා පටහැණිවේ. අද සිදුවන්නේ කන්නන්ගරයන් ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රාර්ථනා කළ අධ්‍යාපන පෙරළිය නොවන බව විද්වතුන්ගේ මතයයි.


ව්‍යවස්ථාදායක සභාවේ මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සෑම ලොකු කුඩා රැස්වීමකටම ආරම්භයේ සිට අවසන් වන තුරුම රැඳී සිටි එකම වගකිවයුත්තා කන්නන්ගර සූරීන් බව පැරැන්නෝ කියති. එතරම්ම උනන්දුවක් හා කැපවීමක් එතුමාට තිබිණ. අකාලයේ ඔහුගේ දේශපාලන ගමන නතර වුවද, ඔහු පැතූ අධ්‍යාපනික ප්‍රබෝධයේ මල්ඵල පරම්පරාගතව දරුවෝ නෙළාගනිති. දිවි ගමනේ 77 වන කඩයිමේදී එනම් 1961 ඔක්තෝබර් මස 26 දාතමින් එතුමා එවකට කතානායක ධුරයේ සිටි ආර්. ඇස්. පැල්පොළ වෙත තරමක් දිගු ලිපියක් එවීය.


“පෞද්ගලික ආයෝජන, නිවාස හෝ වෙනත් කිසිම ආදායමක් නොමැතිව මම ජීවත්වන්නේ හිතවතුන්ගේ ත්‍යාගශීලිත්වය මතයි. මගේ අසනීප සඳහා බේත් හේත් සඳහා ගෙවිය යුතු බිල්පත් ගොඩගැසී ඇත. මට යළි යළිත් ඥාති මිත්‍රාදීන්ගේ පිහිට අවශ්‍යව ඇත. ශතවර්ෂ තුනෙන් එකක පමණ කාලයක් ඇමති පදවිය දරා රටට සේවය කළ මගේ අද තත්ත්වය ගැන සලකා ක්ෂණිකව සහනයක් සලසන ලෙස ආයාචනය කරමි. මුළු මහත් දරු පරපුරේම නෙත් පාදන්නට මුළු දිවියම පරදුවට තබා සටන් කළ වයෝවෘද්ධ මානව හිතවාදී අධ්‍යාපන නියමුවාගේ වත්මන් ඉරණම ගැන කාගෙත් නෙත් සිත් යොමුවිණ.


සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය විසින් පාර්ලිමේන්තුව හා මාධ්‍ය ආයතන දැනුම්වත් කෙරිණි. පාර්ලිමේන්තුවෙන් රුපියල් දස දහසක් ද මාසික රුපියල් 500ක දීමනාවක්ද අනුමත කෙරුණ අතර, මිය යන තුරු කන්නන්ගර විද්වතුන් ජීවත්වූයේ එයිනි. මෙරට පාර්ලිමේන්තුව හිටපු මන්ත්‍රීවරයකුට ගෙවන ලද ප්‍රථම දීමනාව ලෙස මෙය ඉතිහාස ගත වෙයි.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි