නවරයින් පුවත්පත නිර්ධන පංති ලක්ෂණයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඝෝෂාව නැගුවේය. තනි නොබෙදුණු ප්‍රජාතන්ත්‍රවාදී ජර්මන් සමුහාණ්ඩුවක් පිණිස සටන් කිරීම හා රුසියාවට විරුද්ධව යුද්ධයක් ආරම්භ කරවීම, පෝලන්තය රුසියාවෙන් ස්වාධීන වී කලින් තිබුණු තත්ත්වයට නැවත පත්කිරීම යන අරමුණු ඇතිව දේශපාලනික වැඩසටහනක් මගින් පුවත්පතෙහි අන්තර්ගතය ගොඩනැගි තිබුණි ‘පාර්ලිමේන්තු මුග්ධෝත්වාදය” මාක්ස් විසින් පළමුවෙන් හෙළා දක්නා ලද්දේ ද නවරයින් පුවත්පත මගින්ය.


නවරයින් පුවත්පතෙහි නිර්ධන පංති විප්ලවවාදී ලක්ෂණය ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශයට පත්වූයේ පැරීසියේ ජුනි විප්ලවයේදීය. මාක්ස් පැරිසියේ ජුනි විප්ලවයට දුන් අනුබලය නිසා තැතිගත් ධනේෂ්වර හා මධ්‍යම පාංතික කොටස් හිමියෝ පුවත්පතට තමන් ආයෝජනය කර තිබූ කොටස් මුදල් කොටස් නැවත ලබාගෙන ඉන් ඉවත් වූහ. ඒ සියලුම මිල ගෙවීමට මාක්ස්ට සිදුවිය. පුවත්පත පවත්වාගෙන යාමටත්, මුද්‍රණාලය පුළුල් කිරීමටත් මාක්ස්ට මුදල් අවශ්‍ය විය. තම පවුලේ දේපොල වලින් තමා සතු කොටස අන්සතු කොට මුදල් ලබා ගැනීමෙන්ද, පුද්ගලයන්ගෙන් මුදල් ණයට ලබාගැනීමෙන්ද පුවත්පත පවත්වාගෙන යාමට සිදුවිය.


නවරයින් පුවත්පතේ මෙහෙයවීමෙන් 1848 සැප්තැම්බර් 13 වැනිදා කොලොන්නුවර ප්‍රාන්කෙන්ප්ලාට්ස්හි මහජන රැස්වීමක් කැඳවන ලදි. මෙහි දී තිස්දෙනෙකුගෙන් යුත්  ආරක්ෂක කමිටුවක් සාදනු ලැබීය. එහි සාමාජිකයන් අතර මාක්ස් සහ එංගල්ස් ද වූහ. මෙහිදී ජර්මනියෙහි කොමියුනිස්ට් පක්‍ෂයේ ඉල්ලීම් පුළුල් ලෙස බෙදා හරින ලදි. සැප්තැම්බර් 17 දා කොලොන් නුවර අසල වොරින්ජන් හිදි තවත් මහජන රැස්වීමක් පවත්වන ලද අතර ඊට කොලොන් ජනතාව පමණක් නොව අවට ගම් වලින් හා නගර කිහිපයකින් දහස් ගණනක් වූ ජනතා නියෝජිතයෝ පැමිණියහ. ප්‍රැන්ක්පර්ට් නුවර ජාතික ඇසැම්බ්ලිය විසින් සම්මත කළ රිච් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් නගරයේ කැරැල්ලක් ඇතිවිය. එම කැරැල්ලට අනුබල දීමක් වශයෙන් කොලොන් නුවර මහජන ආරක්ෂක කොමිටිය සැප්තැම්බර් 20 වැනිදා තවත් මහජන රැස්වීමක් පවත්වන ලදි. මේ තුළින් නවරයින් පුවත්පත බහුජනතාවගේ පුවත්පත වශයෙන් තව තවත් ජනප්‍රිය විය.


ප්‍රැන්ක්පර්ට් නගරයේ ඇති වූ හුදෙකලා කැරැල්ල මර්දනය කිරීමෙන් ඉක්බිතිව කොලොන්හි කම්කරු හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායකයන්ට විරුද්ධව ආණ්ඩුව මර්දනකාරි කටයුතු ඇරඹීය. ඒ අනුව ආණ්ඩුව සැප්තැම්බර් 25 දින කැරැල්ලේ නායකයන් සිරභාරයට ගත්තේය. සැප්තැම්බර් 26 දින කොලොන්නුවර යුද්ධ නීතිය (මාෂල්ලෝ) ප්‍රකාශ කළේය. රටවැසි සේනාංක විසුරුවා හරින ලදි. නවරයින් පුවත්පත සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත් තහනම් කරන ලදි. 


එංගල්ස් ඇතුළු පුවත්පතෙහි කතෘමණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදි. නමුත් ධනේෂ්වර ආණ්ඩුවේ මෙම මර්දන වැඩපිළිවෙළ කම්කරු පංතියත්, ප්‍රගතිශීලි මහජනයාත්, ඉවසා සිටියේ නැත. මාක්ස්ගේද මගපෙන්වීම යටතේ කොමියුනිස්ට්වාදි දෙ එස්තෙර්  සහ වෙනත් වාමාංශික මහජන මන්ත්‍රීවරු බර්ලින් මැතිසබයේ දී කොලොන් හි හදිසි තත්ත්වයට විරුද්ධව කතා කළහ. ඔවුන්ගේ මෙම ක්‍රියාවට රටපුරා පුළුල් සහයෝගය ලැබිණි. ඔක්තෝබර් 2 වැනිදා හදිසි නීතිය ඉවත් කර ගැනීමට රජයට සිදුවිය. ඉක්මනින් මුද්‍රණය කිරීමෙහි සමත් මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීම නිසාත් එහි විපාක ඵලයක් වශයෙන් පුවත්පත මුද්‍රණය කිරීම හිඟයකට මුහුණ පෑමට සිදුවිය. මාක්ස්ට තම පියාගෙන් ලැබුණු මුළු මහත් ධනයෙන් ඉතිරි වූ කොටස වියදම් කිරීමට සිදුවිය “පෞද්ගලික අනතුරුවලට මුහුණ පෑමෙන් සහ විශාල වශයෙන් කරන ලද මුදල් පරිත්‍යාග වලින් ඉක්බිතිව පමණක් මට පුවත්පත බේරාගත හැකිවිය” යැයි පසු කලෙක මාක්ස් ලියුවේය.


1848 ජුලි මස 5 වැනි දින “සිරභාරයට ගැනීම්” නැමැති ලිපිය මගින් ආණ්ඩුවට අපහාස කරන ලද්දේය යන චෝදනාව යටතේ 1849 පෙබරවාරි 7 වැනි දින මාක්ස්ට සහ එංගල්ස්ට විරුද්ධව නඩු පවරන ලදි. එහෙත් නඩු විභාගයේදී විත්තිකරුවෝ චෝදකයන් බවට පත් වූහ. උසාවිය මහජනයාගෙන් පිරි තිබුණි. රජයේ බලධරයාත්, ඇටෝර්නිවරුත්, චෝදනාව වෙනුවෙන් කථා කළහ. ඊට පසු මාක්ස් පිළිතුරු කතාව කළේය.


මාක්ස් සිය කතාවේ දී ‘නවරයින්’ පුවත්පතට පමණක් නොව, 1848 මාර්තු මාසයේ දී දිනාගත් පුවත්පත් නිදහසට විරුද්ධව එල්ලවූ මෙම නඩු විභාගයේ පොදු දේශපාලනමය වැදගත්කම ගැන අවධාරණය කළේය. මාක්ස්ගේ කර්තෘත්වයෙන් පවත්වාගෙන යන පුවත්පතෙහි එහි ප්‍රධාන කාර්යයක් ලෙස ඔහු දුටුවේ පැරණි ආණ්ඩුබලයේ සංයුක්ත නියෝජිතයන් විවේචනය කිරීමය. මන්දයත්, මාර්තු විප්ලවය “දේශපාලනයේ උඩ කොටස පමණක් ප්‍රතිසංවිධානය කළ අතර පැරණි නිලධාරිවාදයේද, පැරණි යුද්ධ හමුදාවේද, පැරණි අධිකරණ අංශයේද, පරමවාදයට සේවය කරමින් පැරණි මහලු නඩුකාරයන්ද, ජරාවට පත් සේවා ක්‍රමය ද ඒවායේ පදනම් ද වෙනස් නොකර එසේම පැවති බැවිනි. පුවත්පත්වල ප්‍රථම යුතුකම වන්නේ ‘පවතින දේශපාලන ක්‍රමයේ සියලු පදනම් සිඳ බිඳ දැමීමය” යි මාක්ස් කියා සිටියේය. “සිරභාරයට ගැනීම්” නැමැති ලිපිය මගින් එහි පළ කර ඇති දේශපාලන අනාවැකි සියල්ල සම්පූර්ණයෙන්ම සනාථ වී තිබෙන සැටි එංගල්ස් සිය කතාවේ දී පෙන්වා දුන්නේය. තවද ඊළඟ දිනයේ දී මාක්ස්ට සහ එංගල්ස්ට විරුද්ධව දෙවැනි නඩුවක් ද විභාගයට ගනු ලැබීය. අයබදු ගෙවීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ රයින් පළාත්බද කමිටුවේ දෙවැනි ආයාචනය මගින් කැරලි ගැසීමට පෙලඹවූ බවට වන චෝදනාව ඔවුනට විරුද්ධව ඉදිරිපත් කර තිබුණි. පෙර දිනයේ මෙන්ම මාක්ස් උසාවිය ඇමතුවේ චුදිතයෙකු වශයෙන් නොව චෝදකයකු වශයෙනි. රාජාණ්ඩුව සහ මැති සබය අතර ගැටීමට හේතු වූ කරුණු ගැන ගැඹුරු විශ්ලේෂණයක් කළේය. ජාතික මැති සබය බර්ලිනයේ සිට බ්‍රැන්ඩන්බර්ග් නගරයට ගෙනැවිත් අනතුරුව එය විසුරුවා හැරීමෙන් නීති ගොරහැඩි ලෙස උල්ලංඝණය කළේ චුදිතයන් නොව රාජාණ්ඩුව බව හේ ඔප්පු කොට පෙන්වීය.


මාක්ස්ගේ කතාව කෙතරම් බලගතු හැඟීමක් ඇති කළේද යත් ජුරි සභාවේ ප්‍රධානියා හෙවත් ජ්‍යෙෂ්ඨයා වැදගත් උපදෙස් සහිත විස්තරයක් කිරීම ගැන කාල්මාක්ස්ට ස්තූති කළේය. මේ නඩු දෙකේදීම මාක්ස්, එංගල්ස් සහ අනික් පිරිස නිදහස් කරමින් තීන්දුව දෙන්නට, අකමැත්තෙන් වුවද ධනපති උසාවියට සිදුවිය. 


ආණ්ඩුවේ අභිප්‍රායට පටහැනිව නඩු විභාගය විසින් මාක්ස්ගේ සහ නවරයින් පුවත්පතේ ජනප්‍රියතාව තවත් වැඩිවිය. කාල්මාක්ස් සහ ඔහුගේ පුවත්පත් ජනප්‍රිය වූයේ කම්කරුවන් සහ ශ්‍රමික ජනතාව අතර පමණක් නොවේ. කෙයාලෙන් බළකොටුවේ සෙබළුන් අතර ද එමෙන්ම ජනප්‍රිය විය. 34 වැනි පාබළ සේනාංකයේ සෙබළුන් විසින් 1700 කගේ අත්සන් ඇතිව “නවරයින් පුවත්පතට” එවන ලද ලිපිය එයට කදිම සාක්ෂියකි.

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්