1954 ජූලි මස 17 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් දිනයක් විය. එනම් මෙතෙක් අධිරාජ්‍යවාදී නියෝජිතයකු හෙබවූ ලංකා අග්‍රාණ්ඩුකාර තනතුර ශ්‍රී ලාංකිකයකුට හිමි වූ දිනය බැවිනි. එම යුග පුරුෂයා ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලකයන්ය.

ත්‍රිකුණාමලය, බදුල්ල, නුවරඑළිය සහ දෙහිවල ප්‍රදේශයන්හි කුලී ගෙවල්වල විසූ මගේ පියා මාත් සමඟ රජගෙදර පදිංචියට එන්න ලැබේ යැයි සිහිනෙත්වත් සිතන්න නැතුව ඇති.” සර් ඔලිවර් තම දින පොතේ එසේ ලියා ඇත. ඔහුගේ පියාගේ වයස 90 වී තිබිණ.


සර් ඔලිවර්ගේ උපන්ගම ත්‍රිකුණාමලයයි. වැඩිමහල් සොයුරියන් පස් දෙනකු සිටි පවුලේ එකම පිරිමි දරුවා ඔහු විය. සර් ඔලිවර්ගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඒ හැර ඔවුන්ට ආදායමක් නොවිණ.


මෙරටේ බොහෝ දේශපාලනඥයන් උපතින්ම වලව් පරපුරෙන් පැවත එන ගේදොර ඉඩම් හිමි මහාපරිමාණයේ ව්‍යාපාරිකයන් හා විදෙස් පුරවැසිභාවය හිමි දෙස් විදෙස් බැංකු ගිණුම් හිමි අයවලුන් වුව ද සර් ඔලිවර්ගේ පරපුර මධ්‍යම පන්තිය නියෝජනය කිරීම සුවිශේෂී කරුණකි.


පියා රාජගිරියේ තැපැල් ස්ථානාධිපති ලෙස මෙම බරපතළ පවුල නඩත්තු කළ අතර එකම පුතාවන ඔලිවර් රාජගිරියේ ගෙදර සිට පා ගමනින් බොරැල්ලේ වෙස්ලි විදුහලට දිනපතා ආවේය. මව සහ සොහොයුරියෝ ගෙවත්තේ එළවළු වවා ආර්ථිකයට මුහුණ දුන් බව කියැවේ.


සර් ඔලිවර්ගේ නෙත ගැටෙන අපූරු දසුනක් බොරැල්ල මං සන්ධියේ විය. එනම් රථවාහන හසුරුවන රාලහාමිලාගේ ඉරියව්ය. “කවදා හෝ මං ට්‍රැපික් රාලහාමි කෙනෙක් වෙනවාමයි” කුඩා ඔලිවර් සිතුවේය.


කෙමෙන් සිරුර වැඩෙත්ම ඉගෙනීමට සිත යොමුකළ ඔලිවර් වඩාත් කැපී පෙනුණේ ගණිතය විෂයෙනි. ඔහුගේ ගණිත ගුරුවරයා වූයේ වෙස්ලි විදුහලේ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් ය. පසුව නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලි ලැබූ අමාත්‍යවරයාය.


ධනය බලය ඇතත් ඉගෙනීමට දුර්වල හිතවත් සිසුන්ට පාඩම් කියා දීමට ඔලිවර්ට ඇරයුම් ලැබිණි. ඒ සඳහා ඔහුට මුදල් පරිත්‍යාගයක්ද හිමිවිය. ධනවත් සිසුන්ගෙන් ලද ගාස්තු වැය වූයේ පවුලේ නඩත්තුව සඳහා පමණි.
පාසල් අධ්‍යාපනය නිමවා ලන්ඩන් බී. ඒ. විභාගය සමත් වූ ඔහු පාසල් ගුරු තනතුරක් දැරූ අතර අනතුරුව බැංකු සේවයට එක්විය. එතැනින් ලේක් හවුසියටය. ඒ කළමනාකරු ලෙසිනි. එයින්ද ඉවත්ව රාජ්‍ය අංශයේ සහකාර ගණකාධිකාරීවරයකු විය.


සර් ඔලිවර් පළමුවැනි ලාංකික ගණකාධිකාරිවරයා වූ අතර මෙරට පළමු විගණකාධිපතිවරයා බවට ද පත්විණ. දෙවන ලෝක යුද්ධ කාලයේ ඔහු මෙරට ආහාර කොමසාරිස්වරයාය. යුද බිය නිසා මෙරට ආහාර හිඟයක් නොවන ලෙසට මනාව විධි විධාන යෙදුවේ ඔහුය එය මෙරට සමුපකාර සේවය විධිමත් වූ යුගයයි.


ඊට අමතරව මෙරට යුද හමුදාවේ ආරක්‍ෂක කොමසාරිස් පදවිය ද ඔහුට පැවරිණි. කුමන තනතුරු පැවරුණත් සර් ඔලිවර් ඊට සාධාරණය ඉටු කළේ ගලිවර් කෙනෙකු මෙනි.


සර් ඔලිවර්ගේ දස්කම් දුටු සුදු ආණ්ඩුකාරයා මුදල් ලේකම් ධූරය ඉංග්‍රීසි පරතෙරටම උගත් මොහුට පැවරුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිලලත් මන්ත්‍රී ධූරයක්ද සමගිනි. තීක්‍ෂණ දෙනෙතක් ඇති ඩී. ඇස්. සේනානායකයෝ මෙම අංකුර දේශපාලනඥයාගේ හැකියාවන් දැක විමතියට පත්වූහ. නිදහස ලබාගැනීමෙහිලා සුදු පාලකයන්ගේ සිත් ගැනීමට උපක්‍රමශීලී පියවර රැසක් ගැනීම සඳහා සර් ඔලිවර්ගේ ඥානය ලබාගැනීම සුදුසු බව ඩී. ඇස්. තීරණය කළේය. සැබැවින්ම ඩොනමෝර් කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නිසා හිස්වූ පාර්ලිමේන්තු ක්‍රමයට සර් ඔලිවර්ගේ උපාය ඥානය ගැළපුණි.


1946 දී එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ගත් ඩී. ඇස්. සර් ඔලිවර් ද ළංකර ගත්තේය. එහෙත් ඔහු කිසිදාක එම පක්‍ෂයෙන් ගම්සභාවක් හෝ පාර්ලිමේන්තු අසුනක් තරග නොකළේය. 1947දී මෙරට පළමු පාර්ලිමේන්තුවේදී සෙනෙට් මන්ත්‍රී පදවියක් සර් ඔලිවර්ට පිදිණ. සභානායක මෙන්ම ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැතිවරයා වූයේද එතුමාය.


සිංහලයන් වනාහී ඉංග්‍රීසීන් සිතන තරම් නූගත්, බොළඳ නිවට ජාතියක් නොව බටහිර භාෂා පවා දන්නා පිරිසක් බව නිදහස ප්‍රදානය කිරීමට මැළි වූ සුදු පාලකයන්ට උපක්‍රමශීලීව පෙන්වා දුන්නේ සර් ඔලිවර්ය.
වරක් දේශ සංචාරය සඳහා පැමිණි ඩොනඩෝර් සාමි ඇතුළු සුදු නිලධාරීන් හමුවට ගොවි ඇඳුමින් සැරසුණු ඉංග්‍රීසි උගත් සරසවි සිසු සිසුවියන් ගෙන්වා ඔවුන් හා කතාබස් කරවීමෙන් සිංහලයන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව සුද්දන් මවිත කළේ සර් ඔලිවර් ය. මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික උපායන් නිසා අපේ රටට නිදහස ප්‍රදානය කිරීම ඉක්මන් විය.


නිදහස ලැබූ විගසින් සර් ඔලිවර් එංගලන්තයට ගියේ මෙරට මහ කොමසාරිස් පදවිය භාරගෙනය. වසර ගණනාවකින් පැමිණ ගොවිකම් හා ආහාර ඇමැති ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළේය.


1954 දී එංගලන්ත මහරැජිණ මෙරටට පැමිණි විට අගමැති සර් ජෝන් කොතලාවල ඇයට ගෞරව පිණිස ඇගේ පරිවාර ඇමැති ලෙස සර් ඔලිවර් යැවීය. ඒතරමට මහ රැජින හා ඔහු කුලුපගව සිටියේය.


මෙහි තවත් රහසක් විය. අගමැති ඩී. ඇස්. ගේ අභාවයෙන් පසු අගමැති තනතුරට මාන බැලූ සර් ජෝන්ට එම වරප්‍රසාදය අහිමි කළේ එකල ලංකාණ්ඩුකාර පදවිය දැරූ සෝල්බරි සාමි විසිනැයි සැකකිරීමය. එනිසා සෝල්බරි සාමි වෙනුවට ඔලිවර් පත්කිරීමට රැජින පොලඹවා ගැනීමට සර් ජෝන් මෙම උපක්‍රමය කළ බව පෙනේ. කෙසේ වෙතත් එය එසේම සිදුවිණ.

 


එහෙත් පක්‍ෂ විපක්‍ෂ නායකයෝ ඔලිවර් වැන්නෙක් අග්‍රාණ්ඩුකාරයා වනවාට විරෝධය දැක් වූහ. තමා වෙනුවට වෙන අයකු පත්කරන ලෙස ඔලිවර් අගමැතිගෙන් ඉල්ලා සිටියේය. සර් ජෝන්ගේ බසින්ම පිළිතුර වූයේ.
“මේ අහපන් යකෝ උඹ කැමැති වුණත් නැතත් මොකා විරුද්ධ වුණත් මං උඹව ආණ්ඩුකාරයාට පත් කරනවා. උඹ රජ ගෙදරට එන එක වළක්වන්න මොකාටවත් බෑ.”


සර් ජෝන් මිතුරාගේ ආරක්‍ෂාව භාර ගත්තේය. එසමයෙහි පමණක් නොව 1960 අගමැතිනි බණ්ඩාරනායක රජයේද අග්‍රාණ්ඩුකාරධූරය ඔහුට හිමිවිය.


1962 දී මැතිනියගේ ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ චෝදනාවට සර් ඔලිවර්ට ද ඇඟිල්ල දිගුවිය. අගමැතිවරුන් පස් දෙනෙකුගේ පාලනයට නායකත්වය දුන් සර් ඔලිවර්ගේ වසර අටක යුගය නිමවිණ. ලංකාණ්ඩුකාර පදවිය ලබා රජගෙදර ගත කළ පළමු රැය සර් ඔලිවර් මෙසේ සටහන් කරයි.


“රජගෙදර ගතකළ පළමු රැයේදී නිදි දෙව්දුව මා වෙත නොපැමිණි බැවින් ප්‍රධාන නිදන කාමරයේ විසල් ඇඳේ වැතිර අතීතය මෙනෙහි කළෙමි.


මගේ දුක්බර අතීතය, දුෂ්කර පාසල් ගමන, වෙස්ලි විදුහල් සේවයේදී අත හිතදුන් සැවොමත් අකාලයේ මිය ගිය මගේ සොඳුරියත් සිහිවී කදුළු සැලුවෙමි.


ලන්ඩන් බී.ඒ විභාගයට මුද්දර ගාස්තු නැතිව පොහොසත් ඥාතියකු වෙත ගිය අවස්ථාවේ ඔහු මා පන්නා ගත් අයුරුත් පසුව ඔහු අසරණවී මගෙන් රුපියල් පහක් ඉල්ලාගෙන ගෙදරට ආ කල උපකාර කළ අයුරුත් සිහිවිය.” 
වාසනා ගුණයත් අසීරු අභියෝගකාරී දේශපාලන ගමනත් සිහිකළ සර් ඔලිවර් කාහටවත් සාප නොකළේය.


ඒ 1952 මාර්තු 21 දාය. අගමැති ඩී. ඇස්. හදිසියේ අසුපිටින් ඇද වැටී පසුවදා අභාවප්‍රාප්ත විය. බොරැල්ල වුඞ්ලන්ඞ් මැදුරේ සිට දේහය ගාලුමුවදොර පාර්ලිමේන්තුව කරා ගෙන යමින් තිබිණ.


මෙම මොහොතේ පැමිණි සර් ඔලිවර්ගේ නිලරථය බොරැල්ල මං සන්ධියේදී වාහන තදබදයට ලක්විණ. සිව් දෙසින් එන වාහන කන්දරාව හසුරුවාලීමට බොරැල්ල හන්දියේ බීට්ටුව මත සිටි පොලිස් නිලධාරියා අපොහොසත් විය. 


මෙම අසීරු තත්ත්වය දුටු සර් ඔලිවර් වහාම රියෙන් බැස එතැනට ගොස් පොලිස් නිලධාරියාට බීට්ටුවෙන් බසින ලෙස කීය.


රියැදුරන් හා පොලිස් නිලධාරීන් තුෂ්ණිම්භූතව සිටියදී බීට්ටුවට නැඟ වාහන ගංගාව මනාලෙස සංඥා දෙමින් හැසිරවීය. ටික වේලාවකින් තදබදය තුනිවී ගියේය. ජයග්‍රාහී ලීලාවෙන් තමා වටා රොක් වූ ආරක්ෂකයන්ට හා පොලිස් නිලධාරීන්ට සර් ඔලිවර් මෙසේ කීය.


“බලන්න,මං වෙස්ලි කොලිජියට යනකොට පොලිස් රාලහාමිලා මේ රාජකාරිය කරනවා දැකලා තියෙනවා. මටත් එහෙම ඉන්න ඇත්නම් කියලා හිතුණා. ඒත් මේ දක්වා ඒක ඉෂ්ට වුණේ නෑ. ඒ හීනෙ අද විනාඩියකට හරි ඉෂ්ට කර ගන්න ලැබුණු එක මගේ වාසනාවක්”


තනතුර අහිමිවූ පසු මුළු ජීවිත කාලයම විදෙස්හි ගත කළ ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලකයෝ 1978 දෙසැම්බර් 17 වැනිදා දිවංගත වූහ. තනතුරුවලින් තමා බැබළෙන්නට එකිනෙකා කාකොටා ගන්නා මේ යුගයත් තරග කාරිත්වයකින් තොරව තමා සොයා එන තනතුරුවලින් සමාජයට ගෞරවාන්විත සේවයක් කළ එදා යුගයත් අතර වෙනසට කදිම උදාහරණය සර් ඔලිවර් නමැති මෙම යුග පුරුෂයාය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.