අතුරු මැතිවරණ පුරාණයෙන්

 

අංක 126 වැලිමඩ ආසනයේ උරුමක්කාරයා වූ කේ.ඇම්.පී. රාජරත්න මහතාට එරෙහිව පර්සි සමරවීර මහතා දේශපාලන පොර පිටියට අවතීර්ණ වන්නේ 1962-06-28 දින පැවැත්වූ අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමෙනි.
එජාප අපේක්ෂකයා ලෙස තරඟ කළ පර්සි සමරවීර මහතා ඡන්ද 5178 ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්ව ජාතික විමුක්ති පෙරමුණේ නායක කේ. ඇම්. පී. රාජරත්න (අහස් යානය - 8352) වෙතින් වැඩි ඡන්ද 3174 න් පරාජයට පත්විය. ඔහු ජයග්‍රාහී මාවතට පිවිසියේ ඉන් වර්ෂ දෙක හමාරකට පසුව, 1965 මාර්තු 22 දින පැවැත්වූ හයවැනි මහා මැතිවරණයේ දී නිදහස් අපේක්ෂකයෙකු වශයෙන් තරග කිරීමෙනි.


කේ. ඇම්. පී. රාජරත්න මහතාට පළමු වරට පරාජය උරුම කළ 1965 මහා මැතිවරණයේ වැලිමඩ ආසනයේ නිළ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. පර්සි සමරවීර (ස්වාධීන - ලාම්පුව) 8908, කේ. ඇම්. පී. රාජරත්න (ජාවිපෙ - අහස් යානය) 7919 වැඩි ඡන්ද සංඛ්‍යාව 989 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 158 ඡන්දය දුන් මුළු ගණන 10,985 ලියාපදිංචි ඡන්දදායකයන්ගේ මුළු ගණන 20,123 එහෙත් පර්සි සමරවීර මහතා වැලිමඩ ආසනයට තේරී පත්වීම අභියෝගයට ලක්කරමින් මැතිවරණ පෙත්සමක් 1965-04-08 දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර තිබුණේ වැලිමඩ, දිවිතොටවෙල කේ. ඇම්. ඇම්. ජයවර්ධන මහතාය.


පර්සි සමරවීර මහතා මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වීමට පෙර ගතවූ හත් අවුරුදු කාලය තුළ දොළොස් මසකට වැඩි සිර දඬුවමක් නියම කළ හැකි වරදකට තුන් මසකට වැඩි කාලයක සිර දඬුවමක් විඳීම නිසා ඔහු මහා මැතිවරණයේදී තේරී පත්වීමට සුදුසු නැති පුද්ගලයෙකු බව පෙත්සම්කරු ප්‍රකාශ කර සිටියේය. තවද, වැලිමඩ ආසනයට එම මැතිවරණයේදී තරග කළ කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ හැසිරීම සහ චරිතය පිළිබඳව සමරවීර මහතා විසින් හෝ ඔහුගේ නියෝජිතයන් විසින් අසත්‍ය ප්‍රකාශ කරන ලද බවටද සමරවීර මහතා හෝ ඔහුගේ නියෝජිතයන් මැතිවරණය ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීමට මෝටර් රථ භාවිත කිරීමෙන් මැතිවරණ නීති කඩකර ඇති බවද පෙත්සමේ තවදුරටත් සඳහන් විය. එච්. ඇන්. ජී. ප්‍රනාන්දු විනිසුරුතුමා ඉදිරියේ මෙම ඡන්ද පෙත්සම විභාගයට ගත් අතර දීර්ඝ නඩු විභාගයකින් පසු පර්සි සමරවීර මහතාගේ පත්වීම අවලංගු කර ඔහුට අසුන අහිමි කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


අභියාචනා දෙකක් අධිකරණයට


මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා දෙකක් ඉදිරිපත් කෙරිණ. පළමු අභියාචනා පෙත්සම ඉදිරිපත්කර තිබුණේ පර්සි සමරවීර මහතාය. ඔහුගේ ඉල්ලීම වූයේ තමාගේ මන්ත්‍රීධූරය අහිමි කරමින් දෙනු ලැබූ තීන්දුව අවලංගු කරන ලෙසය. දෙවැනි අභියාචනා පෙත්සම ගොනුකර තිබුණේ මුල් ඡන්ද පෙත්සම ඉදිරිපත් කළ කේ. ඇම්. ඇම්. ජයවර්ධන මහතාය. හෙතෙම ඉල්ලා සිටියේ පර්සි සමරවීර මහතා තේරී පත්වීම අවලංගු කරමින් දුන් තීන්දුවට අනුව පරාජයට පත් වූ කේ. ඇම්. පී. රාජරත්න මහතා වැලිමඩ ආසනයට තේරී පත්වූ නීත්‍යානුකූල මන්ත්‍රීවරයා හැටියට ප්‍රකාශයට පත්කරන ලෙසය. ඇපෑල විභාග කරනු ලැබූ රජ තුන්කට්ටුව ඇම්. සී. සන්සෝනි (අග විනිසුරු) රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. තම්බයියා සහ ඒ. එල්. එස්. සිරිමාන යන විනිසුරු තුමන්ලාගෙන් සැදුම්ලද්දේ විය. පළමු වන ඇපෑල විභාග කළ ඇපැල් උසාවිය තීන්දුව ප්‍රකාශ කිරීම කල්තබා වැඩිදුරටත් සාක්ෂි සටහන් කර එවීම සඳහා නඩු ගොනුව පෙත්සම විභාග කළ මුල් අධිකරණයට ආපසු යැවීමට තීරණය කළේය. මේ අයුරින් තීරණයකට එළඹුනේ මහා මැතිවරණයේ දී වැලිමඩ ආසනය ජයග්‍රහණය කළ පර්සි සමරවීර මහතා සිරෙන් නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව කරුණු දැන ගැනීමටය. 


තමා තුන් මාසයකට වැඩි කාලයක් සිර දඬුවම් ලබා ඇති බව මූලික නඩු විභාගයේ දී සමරවීර මහතා පිළිගෙන ඇති නමුත් එය උසාවිය විසින් සැලකිල්ලට ගතහැකි පිළිගැනීමක් නොවන බවටත් සමරවීර මහතා සිර දඬුවම සම්පූර්ණයෙන් විඳි බව පෙත්සම්කරු ඔප්පු කර නැති නිසා පෙත්සමේ සඳහන් චෝදනා ඔප්පු වී නැති බවටත් සමරවීර මහතා සිරෙන් නිදහස් වී ඇත්තේ සම්පූර්ණ සමාවක් ලබාගෙන නිසා ඒ හේතුවෙන් ඔහු නුසුදුස්සෙකු නොවන බවටත් රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා ඇපල් පෙත්සම් විභාගයේ දී කරුණු දැක්වීය. සමරවීර මහතා සිරෙන් නිදහස් වූයේ සමාවක් ලබා මිස කෙබඳු ආකාරයේ සමාවක් ලබා කවදා ද යන්න පෙත්සම් විභාගයේ දී හෙළිවී නැති බව ද රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඉක්බිතිව අභියාචනා අධිකරණයේ රජතුන් කට්ටුව කළ නියෝගය අනුව එච්. ඇන්. ජී. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා 1966-10-07 දින එවකට බන්ධනාගාර කොමසාරිස් එෆ්. ඩී. එල්. රත්නායක මහතාගේ සාක්ෂි සටහන් කරගත්තේය. බදුල්ල මහේස්ත්‍රාත් උසාවියේ පවරා තිබූ අංක 17,534 දරණ නඩුවෙන් සිර දඬුවම් නියම වූ පර්සි සමරවීර මහතා සිර දඬුවම් විඳීම සඳහා 1960 ජූනි මස 20 දින වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කරනු ලැබී යැයිද 1960 ඔක්තෝබර් 07 වැනිදා සිරෙන් නිදහස් වී යැයි ද බන්ධනාගාර කොමසාරිස්වරයා සිය සාක්ෂියේ දී අනාවරණය කළේය. සමරවීර මහතා නිදහස් වූයේ බණ්ඩාරනායක අනුස්මරණ දිනය නිමිත්තෙන් සිරකරුවන්ට පොදුවේ දුන් කොන්දේසි සහිත සමාවක් නිසා යැයි ද එසේ නොවන්නට ඔහු නිදහස් විය යුතුව තිබුණේ 1961 ජනවාරි මස 07 වැනිදා යැයි ද බන්ධනාගාර කොමසාරිස්වරයා සිය සාක්ෂියේ දී තවදුරටත් පැවසීය.


යහපත් හැසිරීම නිසා සිර දඬුවම් කාලයෙන් හතරෙන් පංගුවක් ද බණ්ඩාරනායක අනුස්මරණ දින සමාව නිසා තුන් මාසයක් ද සමරවීර මහතාගේ සිර දඬුවම් කාලයෙන් අඩුවී ඇතැයි ද හෙතෙම අධිකරණය ඉදිරියේ හෙළි කළේය. සාක්ෂි දෙන අතරවාරයේ දී බණ්ඩාරනායක අනුස්මරණ දිනය නිමිත්තෙන් සිරකරුවන්ට දුන් සමාව පිළිබඳ ලියවිලි සමග ඒ සමාවට අදාළ කොන්දේසි දැක්වෙන ලියවිලි ද අධිකරණයට ඉදිරිපත් කළේය. ඕනෑම සිරකරුවෙකුට කොන්දේසි සහිත සමාවක් දීමේ බලය ආණ්ඩු ක්‍රම නීතිය අනුව අග්‍රාණ්ඩුකාර උතුමාණන්ට තිබෙන බව තමා දන්නා නමුත් එවැනි සමාවක් දී ඇති අවස්ථා තමාට මතක නැතැයි ද විනිසුරුවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසීය. එවැනි සමාවක් දුන් අවස්ථා තිබුණේ නම්, ඒ පිළිබඳ ලියවිලි තම කාර්යාලයේ තිබිය යුතු බවද බන්ධනාගාර කොමසාරිස්වරයා අවසන් වශයෙන් සිය සාක්ෂියේ දී පැවසීය. (තොරතුරු මූලාශ්‍රය දිනමිණ 1966-10-08)


ඇපෑල නිෂ්ප්‍රභා කරයි


තුන් මාසයකට වැඩි කාලයක් සිර දඬුවම් විඳීමේ හේතුව මත වැලිමඩ අසුන අහිමි කරමින් එච්. ඇන්. ජී. ප්‍රනාන්දු විනිසුරුතුමා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ ඇපෑල විභාග කළ රජ තුන් කට්ටුව 1966-11-05 දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගාස්තුවටත් යටත් කොට එය නිෂ්ප්‍රභා කළේය. අග්‍රාණ්ඩුකාර උතුමාණන්ගේ සමාවක් ලැබීම නිසා සමරවීර මහතා උසාවියෙන් නියම කළ එක් අවුරුදු සිර දඬුවම සම්පූර්ණ නොකළ නමුත් එම සමාව ලැබෙන විට තුන් මාසයකට වැඩි කාලයක් සිර දඬුවම විඳ සිටි බවත් එම නිසා ඔහු නුසුදුස්සෙකු බවත් තීන්දුව ප්‍රකාශයට පත්කළ අග්‍රවිනිශ්චයකාර ඇම්. සී. සන්සෝනි මහතා පැවසීය. පර්සි සමරවීර මහතාගේ මන්ත්‍රී ධූරය අවලංගු වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අග්‍රාණ්ඩුකාරතුමා වෙත දැනුම් දෙනු ලැබීමෙන් පසු වැලිමඩ ආසනයේ තුන්වැනි අතුරු මැතිවරණය 1967-02-11 දින පවත්වන බව ප්‍රකාශයට පත් කෙරුණි. නාම යෝජනා පත්‍ර භාර ගැනීම 1966-12-30 දින බදුල්ල කච්චේරියේ දී සිදු කෙරුණ අතර එදින නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් මෙසේය. පර්සි සමරවීර (ස්වාධීන) කේ. එච්. ජේමිස් සිල්වා (ස්වාධීන) පුංචි බණ්ඩා රත්නායක (ශ්‍රීලනිප) නාම යෝජනා භාරදීමට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් වෙස් වලාගෙන වැලිමඩ ආසනයේ සංචාරය කරමින් අතුරු මැතිවරණයට ඉදිරිපත් කළ යුතු නියම සුදුස්සා තෝරා ගැනීමට මහජන මතය විමසූ බවද පුවත්පත් වාර්තා කර තිබුණි. ශ්‍රීලනිප සහකාර ලේකම් ටී. බී. තෙන්නකෝන් (දඹුල්ල) සහ පී. ඇම්. කේ. තෙන්නකෝන් (මිහින්තලේ) යන දෙදෙනා මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ බව ද වාර්තා විය. (1947 සිට 1960 ජූලි දක්වා ල.ස.ස.ප යේ සිටි පී. ඇම්. කේ. තෙන්නකෝන් මහතා 1965 මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප.යට එකතු විය)


වැලිමඩ අතුරු මැතිවරණය සඳහා පැවති තුන්කොන් සටන ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. පර්සි සමරවීර මහතා නිදහස් අපේක්ෂකයකු ලෙස තරග බිමට පිවිසිය ද එජාපයේ සහාය ඔහුට නොමදව ලැබුණේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ වේදිකාවලට පිවිසියේ නැති නමුදු, සමරවීර මහතාට සහාය පළ කරමින් ප්‍රචාරක කටයුතුවල යෙදුනේය. 

 


මීට අමතරව රටම පිළිගත් ව්‍යක්ත කථිකයෙකු මෙන්ම දේශප්‍රේමියෙකු සහ භාෂා ප්‍රේමියෙකු වශයෙන්ද ප්‍රකටව සිටි පූජ්‍ය දැවමොට්ටාවේ අමරවංශ හිමියන්ද විශ්වවිද්‍යාලය (පේරාදෙණිය) තුළින් දේශපාලනයට පිවිසි මහාචාර්ය ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න මහතාද පර්සි සමරවීර මහතාට සහාය දක්වමින් ජනතාව ආමන්ත්‍රණය කළේය. කේ. ජේමිස් සිල්වා මහතාද ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වී සිටියද හෙතෙම ජාතික විමුක්ති පෙරමුණේ උප සභාපතිවරයා මෙන්ම ප්‍රබල ක්‍රියාකාරිකයකු ද විය. ඔහු වැලිමඩ නගර සභාවේ නගරාධිපතිවරයා ද විය. 1962-06-28 දින පැවැත්වූ වැලිමඩ දෙවැනි අතුරු මැතිවරණයේදී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ නම යෝජනා කරනු ලැබුයේද කේ. ජේමිස් සිල්වා මහතා විසින්ය. ඔහුට ආධාර ලබා ගැනීම සඳහා වැලිමඩ නගර සභා පිටියේ පැවති අවසන් රැස්වීමේදී ප්‍රධාන කථිකයන් වූයේ කේ.ඇම්.පී. රාජරත්න මහතා සහ ඌව පරණගම මන්ත්‍රිනී කුසුමා රාජරත්න මහත්මියයි.


ඡන්ද මධ්‍යස්ථාන 26 දී ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා දී තිබුණි. ඡන්ද ගණන් කිරීම භාරව ක්‍රියා කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත එල්. පී. අබේරත්න මහතා නිකුත් කළ නිළ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ඩබ්ලිව්. පර්සි සමරවීර (ස්වාධීන) ලාම්පුව 7342 කේ. එච්. ජේමිස් සිල්වා (ස්වාධීන පුටුව) 6669 රත්නායක පුංචි බණ්ඩා (ශ්‍රීලනිප අත) 4237 වැඩි ඡන්ද සංඛ්‍යාව 673 නරක් වූ ඡන්ද පත්‍රිකා ගණන 134 ඡන්දය දුන් මුළු ගණන 18,382 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 21,562 ජයග්‍රාහී පර්සි සමරවීර මහතා 1967-02-21 දින කථානායක සර් ඇල්බට් ඇෆ් පීරිස් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

 

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර