1931 සර්වජන ඡන්ද බලය ලබාගත් දින සිට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ දින දක්වා ශ්‍රී ලංකාව තුළ පැවතුණේ කේවළ ඡන්ද  (කොට්ඨාස) ක්‍රමයයි. එනම් යම් ප්‍රදේශයක් ඡන්ද කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත්ව එම කොට්ඨාසයේ ඡන්දදායිකයින් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් තැනැත්තා මන්ත්‍රීවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.


මුල් වකවානුවේ පුද්ගලයන් තනි තනිව එසේ මැතිවරණයට ඉදිරිපත් වුවද දේශපාලන පක්ෂ බිහිවීමත් සමඟ 1947 සිට දේශපාලන පක්ෂවලින් තරග කිරීම ආරම්භ විය. ඒ අනුව 1947, 1952, 1956, 1960 මාර්තු, 1960 ජූලි, 1965, 1970, 1977 යන වසරවල මෙරට ජාතික මැතිවරණ පැවැත්වුණි. 1977න් පසුව පවත්වන ලද්දේ සමානුපාතය පදනම් කරගත් ඡන්ද ක්‍රමයකි. ඒ අනුව මැතිවරණ කොට්ඨාසයක් යනු දිස්ත්‍රික්කයක් වූ අතර එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් ඡන්දය දුන් ප්‍රමාණය මත දිස්ත්‍රික්කයට තේරෙන මන්ත්‍රීවරු අනුපාතයෙන් තෝරා ගත්හ.


මෙසේ කේවල ඡන්ද කොට්ඨාසවල අපේක්ෂකයින් අතරින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා 1947 මැතිවරණයේ දී ජයගත් අපේක්ෂකයා වූයේ එ.ජා. පක්ෂයෙන් අත්තනගල්ල ආසනයට තරග කළ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහු එම මැතිවරණයේදී ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ලංකා සමසමාජ පක්ෂයේ චන්ද්‍රා ගුණසේකර ඡන්ද 4609ක් ලබද්දී ඡන්ද 31,463ක් ලබා වැඩි ඡන්ද 26,854කින් ජය ගත්තේය. එම මැතිවරණයේදී ඊළඟට වැඩි ඡන්ද ලැබුවෝ වැඩි ඡන්ද 16,089 ලබා මීරිගම ආසනය ජයගත් එ.ජා. පක්ෂ නායක ඩී. ඇස්. සේනානායක හා වැඩි ඡන්ද 15,285 ලබා දොඩම්ගස්ලන්ද ආසනය ජයගත් සර් ජෝන් කොතලාවලය.


1952 මහ මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයගත්තේ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. එවර ඔහු නව පක්ෂයක් එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා එහි නායකයා ලෙස තරග කළේය. බණ්ඩාරනායක මහතා එවර අත්තනගල්ල ආසනයෙන් ඡන්ද 38,475 ලබද්දී එ.ජා.ප අපේක්ෂක ඒ. ඩබ්. ජී. සෙනවිරත්න මහතා ලබාගත්තේ ඡන්ද 5934කි. ඒ අනුව එවර ඔහු වැඩි ඡන්ද 32,541 ලබා වාර්තාවක් පිහිටුවීය. එම මැතිවරණයේදී දොඩම්ගස්ලන්ද ආසනය වැඩි ඡන්ද 15,468කින් සර් ජෝන් කොතලාවල මහතා ජයගත් අතර දඹදෙණිය ආසනය ආර්. ජී. සේනානායක මහතා වැඩි ඡන්ද 15,563කින් ජයගත්තේය. දෙදෙනාම තරග කරන ලද්දේ එ.ජා. පක්ෂයෙනි.


කේවළ ඡන්ද ක්‍රමය යටතේ දේශපාලන ඉතිහාසය තුළ වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ආසනයක් ජයගත් මැතිවරණය 1956 මැතිවරණයයි. එහිදී අත්තනගල්ල ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වැඩි ඡන්ද 41,997කින් ශ්‍රීලනි පක්ෂ නායකයා වශයෙන් ජයගෙන තිබුණි. එම අත්තනගල්ල ඡන්ද කොට්ඨාසයේ ප්‍රතිඵලය මෙසේ විය.


ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ම.එ.පෙ. -  45,016
ඒ. ඩබ්. ජී. සෙනවිරත්න එ.ජා.ප. - 3019
අයි. ටින්සි - ස්වාධීන 621
වැඩි ඡන්ද - 41,997


එම මැතිවරණයේදී දඹදෙණිය ආසනය හා කැලණිය යන ආසන දෙකම ස්වාධීනව තරග කළ ආර්. ජී. සේනානායක මහතා දඹදෙණිය වැඩි ඡන්ද 24,907කින්ද කැලණිය වැඩි ඡන්ද 22,836කින්ද ජය ලබා වාර්තාවක් තැබීය. එම මැතිවරණයේදී ම.එ. පෙරමුණෙන් ගම්පහ ආසනයට තරග කළ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ඡන්ද 34,898ක් ලබා එ.ජා.ප. යේ ජේ. පී. ඩී. පෙරේරා ලැබූ ඡන්ද 5096 හා සසඳන විට වැඩි ඡන්ද 29,802ක් ලබා තිබුණි. මීරිගම ආසනය විමලා විජේවර්ධන මැතිණිය ජය ගනු ලැබුවේ වැඩි ඡන්ද 25,297කිනි. අවිස්සාවේල්ල පිලිප් ගුණවර්ධන මහතා විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙක් ලෙස තමුන් ම.එ. පෙරමුණෙන් තරගකර වැඩි ඡන්ද 22,252 කින් ජයගෙන තිබුණි.


නමුත් 1960 මාර්තු මහ මැතිවරණයේදී වාර්තාවක් තැබුවේ අත්තනගල්ලට තරග කළ ශ්‍රීලනි පක්ෂයේ ජේ. පී. ඔබේසේකර මහතාය. ඔහු වැඩි ඡන්ද 14,617කින් අත්තනගල්ල ජයගත්තේ එ.ජා. පක්ෂයේ අපේක්ෂක ඒ. ඩබ්. ජී. සෙනෙවිරත්න ඡන්ද 5668ක් ලබා ගනිද්දීය. එවර දොම්පේ ආසනය ශ්‍රීලනි පක්ෂයෙන් තරග කළ ෆීලික්ස් ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එ.ජා පක්ෂය ඡන්ද 4196ක් ලබද්දී ඡන්ද 16,227ක් ලබා වැඩි ඡන්ද 12,031කින් ජයගත්තේ දෙවැනි වැඩිම වැඩි ඡන්දලාභියා ලෙසය.


1960 ජූලි මහ මැතිවරණයේදී අත්තනගල්ල ජේ. පී. ඔබේසේකර මහතා ඡන්ද 22,491ක් ලබා එ.ජා. පක්ෂයේ ඒ. ඩබ්. ජී. සෙනෙවිරත්න ලබාගත් ඡන්ද 4879 හා සසඳන විට වැඩි ඡන්ද 17,612ක් ලබා එම මැතිවරණයේ දී වාර්තා තැබීය.


1965 මහ මැතිවරණයේදී වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තා කළේ අත්තනගල්ල ආසනයේ ශ්‍රීලනි පක්ෂ අපේක්ෂක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එම ආසනයේ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  ශ්‍රීලනිප - 26,150
ඒ. ඩබ්. ජී. සෙනෙවිරත්න - එ.ජා.ප. - 9615
ජේ. කස්තුරි ආරච්චි ම.එ.පෙ. - 288
යූ. එස්. ඩී. ඇස්. විජේතුංග ස්වාධීන - 185
වැඩි ඡන්ද - 16,535


එම 1965 මහ මැතිවරණයේදී ඊළඟ වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තාවන්නේ දොම්පේ ආසනයෙනි. එහිදී එ.ජා. පක්ෂ අපේක්ෂක අයි.එන්.පී. සූරියප්පෙරුම ඡන්ද 9838 ලබා ගනිද්දී ශ්‍රීලනි පක්ෂයේ ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ඡන්ද 26,051 ලබා වැඩි ඡන්ද 16,213 ලබා ගත්තේය.


1970 මහ මැතිවරණයේදී වැඩිම වැඩි ඡන්ද වාර්තාව තබන ලද්දේ දොම්පේ ආසනයයි. සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනි පක්ෂ නායිකාව වශයෙන් අත්තනගල්ලේදී ඡන්ද 31,612ක් ලබද්දී එ.ජා. පක්ෂයේ ජේ. ආර්. පී. සූරියප්පෙරුම ලබාගත්තේ ඡන්ද 9889කි. ඒ අනුව වැඩි ඡන්ද 21,723කින් එවර අත්තනගල්ල ආසනය මැතිනිය ජයග්‍රහණය කළාය. නමුත් එවර වැඩිම වැඩි ඡන්ද වාර්තාව දොම්පේ ආසනයට හිමිවිය.

ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ශ්‍රීලනිප  - 31,515
ජී. බී. පෙරේරා එ.ජා.ප. - 9142
වැඩි ඡන්ද - 22,373


කේවළ ඡන්ද ක්‍රමයේ අවසාන මැතිවරණය 1977 දී පවත්වන ලදී. එහිදී වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයන් වාර්තා කරන ලද්දේ උතුරු ප්‍රදේශයෙනි. නල්ලූර් ආසනයට එම්. සිවසිත්තම්පරම් මහතා පත්වූයේ වැඩි ඡන්ද 28,137කින් වූ අතර කන්කසන්තුරේ ඒ. අමිර්තලිංගම් මහතා පත් වූයේ වැඩි ඡන්ද 25,833ක් ලබාගෙනය. මනිපායි ආසනයට වී. ධර්මලිංගම් මහතා වැඩි ඡන්ද 24,250ක් ලබා පත්වන විට කෝපායි ආසනයට වැඩි ඡන්ද 22,353ක් ලබා එස්. කතිරවේලුපිල්ලේ පත්විය. එම මැතිවරණයේදී දකුණු ප්‍රදේශයෙන් වැඩිම වැඩි ඡන්ද ලබා ගත්තේ බටහිර කොළඹ අසුනට තරග කළ එක්සත් ජාතික පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාය. ඔහු ශ්‍රීලනි පක්ෂ අපේක්ෂක චන්ද්‍රලාල් සල්ගාදු ඡන්ද 3769ක් ලබා ගනිද්දී ඡන්ද 21,707ක් ලබා වැඩි ඡන්ද 17,938 ලැබී මන්ත්‍රීවරයා විය. 1977න් පසු කේවළ ආසන ක්‍රමය අහෝසි වූයෙන් මනාප ක්‍රමයෙන් වැඩිම ඡන්ද ලැබුවෝ වෙනත් පදනමක සිට සොයා බැලිය යුතුය.