මැතිනියටත් මෙල්ල නොවූ කතානායක හියූ ප්‍රනාන්දු - 02

 

 

අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු විජයානන්ද දහනායක අගමැති වුවත් ඔහු ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසට 1960 මාර්තු මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවූයේ සී. පී. ද සිල්වාය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඞ්ලි සේනානායක සමග මාර්තුවේ තරග වැදුණු ඔහු ආසන 04 ක් පමණක් ලබා පසුබා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු එකී පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා විය.


පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායකට හිමිවීමෙන් පසු දින 33 කට පමණක් සීමාවී රාජාසන කතාවෙන් එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත්වීමෙන් අනතුරුව ජූලි මාසයේ පැවති මහා මැතිවරණයෙන් ජයගත් ඇය ලෝකයේ ප්‍රථම අගමැතිවරිය වශයෙන් ලෝක වාර්තාවක්ද පිහිටු වූවාය. එයින් පසු නොනිල නියෝජ්‍ය නායකයා වශයෙන් පෙනී සිටීමට සිදුවූයේ  මෛත්‍රීපාල සේනානායකටය.


මෛත්‍රීපාල සේනානායකගේ වැඩකිඩ ගැනද ලියූ හියු ඔහුගේ පොදු කර්මාන්ත ප්‍රතිපත්තිය, උළු හා රෙදිපිළි පිටරටින් ගෙන්වීම්, වහල තහඩු ආදී සෙවිලි භාණ්ඩ පිටරටින් ගෙන්වීම් එක්තරා තීන්ත කර්මාන්තයකට අමුතු විදියේ අනුමැතියක් ලබාදීම්, උප්පැන්න මරණ ලියාපදිංචි කරනු ලබන නිලධාරීන් පත් කිරීමේ ක්‍රමය, ග්‍රාම සේවකයන් පත්කිරීමාදිය, රජයේ හා දේශපාලන තනතුරු උසුලන තම නෑදෑයින්ගේ මැදිහත් වීම මත තීරණය කිරීම ගැනත්, රක්ෂා දීමේදී නෑදෑයින් පිළිබඳ දක්වන ලද පක්ෂපාතකම් ගැනත් ලියූ ඇනුම්පද සහිත ලිපි තමා මෛත්‍රීපාල සේනානායක වෙත යවා ඇති බවද කියා සිටී.


එසේම චීනයට යවන ලද නියෝජිතයන් තේරීම පිළිබඳව සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය කැමැත්තක් නොදැක්වූ නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ඇයගේ යෝජනා ප්‍රතික්ෂේප කොට සෙසු පක්ෂ නායකයින්ගේ යෝජනා තමා පිළිගත් බවද හියු ප්‍රකාශ කර ඇත.


පුවත්පත් පනත මැති සබයට ගෙන ඒමට පෙර ඒ සම්බන්ධයෙන් අගමැතිනිය තමාව දඩමීමා කරගෙන තම අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීමට ගත් උත්සාහයක්ද මෙසේ විස්තර කරයි.


අරලියගහ වලව්වේ ආරක්ෂක විධිවිධාන ගැන දවස පත්‍රය පළ කළ තියුණු විවේචන නිසා පුවත්පත්වලට විරුද්ධව මා ලවා ක්‍රියා කරවීමට මා කතානායක ලෙස තෝරා පත්කර ගැනීමෙන් පසු අගමැතිනියට අවශ්‍ය විය. එංගලන්තයේ රැජින හා බකිංහැම් මාලිගය පවා දරුණු විවේචනයට භාජනය වූ බව මා සිනාසී කියා සිටීම ගැනද ඇය එතරම් සතුටට පත්වූයේ නැත.


පුවත්පත් පනත සම්බන්ධයෙන් මැති සබයේදී මා විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා ප්‍රශ්න පිළිබඳ නියෝගයන් ගැන සැලකිය යුතු අන්දමින් මහජනයාගේ අවධානය යොමු විය. අංක 77 දරන ස්ථාවර ආඥාව යටතේ මෙම පනත උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සිට මැති සබයට ඉදිරිපත් කළ යුතු විය. මෙම පනත නීත්‍යානුකූල නොවන අන්දමින් ඉදිරිපත් කළහොත් නැගිය හැකි නීති ප්‍රශ්නයක් ගැන මැති සබයේ මහලේකම් රැල්ප් දැරණියගලට අසන්නට ලැබී ඇත. දැරණියගල විසින් මැති සබයේ ප්‍රධාන සංවිධායක වූ මයිකල් සිරිවර්ධන ඇමතිවරයාට අනතුරු ඇඟවීමක් කරමින් පනත ඉදිරිපත් කළ යුතු නිවැරදි පිළිවෙළ ගැන කියා දුන්නේය. හදිසියේම වාගේ මෙම පනත ඉදිරිපත් කළ යුතු අන්දම ගැන මමද සිරිවර්ධනට කීවෙමි. එහෙත් අපගේ අනතුරු ඇඟවීම නොතකා පනත ඉදිරිපත් කිරීමට ගිය සිරිවර්ධන අමාත්‍යවරයා එය අවුල් ජාලයකට පත් කළේය.


ඔහු විරුද්ධ පක්ෂයේ සිටි ජේ. ආර්. ජයවර්ධනගේ නුවණක්කාරකමට යටවී, විපතට පත්විය. කතානායක ආසනයේ සිට එය හරිගස්සන්නට මා කළ හැම උත්සාහයක් මධ්‍යයේම සිරිවර්ධන නැවත නැවතත් වැරැද්දුවේය. එදා විරුද්ධ පක්ෂයට වාසි වනසේ මා දුන් තීන්දු නිසා විරුද්ධ පක්ෂය ජයග්‍රහණය ලැබීය. රජයේ සමහර මන්ත්‍රීන් මගේ නියෝගය නිසා කෝපයට පත්වූ බව ඇසීමෙන්, නිදහස් නිරීක්ෂකයන් කුතුහලයට පත්වී ඇත. එහෙත් ඔවුන්ගේ කෝපය එල්ල විය යුත්තේ මට නොව වරද කළවුන්ටය.


1977 ජේ. ආර්. පාලන යුගයේදී රටට හඳුන්වා දුන් රූපවාහිනී විද්‍යුත් මාධ්‍යයට පෙර ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රමුඛතාව ගෙන තිබුණේ ලංකා ගුවන් විදුලි සේවයයි. එය බොහෝවිට රජයේ මාධ්‍යයක් වී විරුද්ධ පාක්ෂිකයන් විසින් හඳුන්වනු ලැබූ රජයේ හොරණෑවක් බවට පත්වී 1960 ජූලි මාසයෙන් පසු සිරිමා බණ්ඩාරනායක පාලන යුගයේදී එය අගමැති යටතේ පැවති අතර ඒ පිළිබඳවද හියු තම සටහනෙන් මෙසේ කියා සිටී.


කතානායක ලෙස සේවය කරද්දී අසාධාරණ මෙන්ම චෝදනා ලැබීමට සුදුසු අන්දමේ මැති සබයේ කතා වාර්තා කිරීම ගැන ලංකා ගුවන් විදුලි සේවයට බරපතළ චෝදනා එල්ල කිරීමට මට සිදුවිය. ඒවාට මුහුණ දීමට සිදුවූයේ ගුවන් විදුලි ප්‍රචාරය පිළිබඳ ප්‍රධාන අධ්‍යක්ෂකටය. එහෙත් ගුවන් විදුලි ප්‍රචාරය පිළිබඳ ඇමතිවරිය අගමැති සිරිමා බණ්ඩාරනායක වීම සාමාන්‍ය සිද්ධියකට වඩා වැදගත් කාරණයක් විය.


හිටපු කතානායකවරයෙකුවූ හියු ප්‍රනාන්දු, අගමැති සිරිමා බණ්ඩාරනායක විසින් තම අවශ්‍යතාවත් මුදුන්පත් කරගැනීම සඳහා තම ඉත්තෙකු ලෙස භාවිත කර ගැනීමට, ගැහැනියකට ඇතැයි කියන මායම් ප්‍රමාණයෙන් කීයක් උපයෝගී කරගත්තේ දැයි හියු සඳහන් නොකළත් ඇය සටකපට ප්‍රයෝගකාරී ප්‍රතිපත්තියකලා කටයුතු කර ඇති බව නම් පැහැදිලිය.

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි