1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


පක්ෂය මුහුණ දුන් අභියෝග රැසක් විය. ඉන් පළමුවැන්න වූයේ පක්‍ෂ නායකයින් ඇතුළු ප්‍රසිද්ධ දේශපාලනයේ නියැළුණු කාඩර්වරුන් ආරක්ෂාකර ගැනීමය. ඔවුන් අත්අඩංගුවට පත්වීමට ඉඩ නොතබා රැක ගැනීමය. විවිධ දුෂ්කරතා මැද වුවත් එය සාර්ථකව ඉටුකිරීමට පක්‍ෂය සමත්විය. ආරක්ෂක අංශ ඒ වන විට පක්‍ෂය සමඟ බරපතළ ප්‍රතිවිරෝධයක නොසිටීමත් ඒ නිසාම ඔවුන් කටයුතු කළ මන්දෝත්සාහී ස්වභාවයත් ජාතික තොරතුරු බියුරෝවේ නිලධාරීන් අතර ඇති වූ මතභේදත් මෙහිදී අමතර වාසියක්ද විය. ඒ අතර අනෙක් අභියෝගය වූයේ බිඳවැටුණු සංවිධාන යාන්ත්‍රණය යළි ගොඩනගා ගැනීමය. 

මෙහිදී දේශපාලන මණ්ඩලය නියෝජනය කළ ප්‍රසිද්ධ දේශපාලනයේ නොසිටි පියදාස රණසිංහ සහෝදරයාත් සුමිත් අතුකෝරල සහෝදරයාත් විශාල කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් කළ යුතුය. රටපුරා යමින් දිස්ත්‍රික් කමිටුවල සිටි හෙළිදරව් නොවූ සහෝදරවරුන් මුණගැසෙමින් ක්‍රමානුකූලව යළි සංවිධාන ජාලය මාස කිහිපයක් තුළ ගොඩනගා ගැනීමට ඒ සහෝදරවරුන් දෙදෙනා ඇතුළු හෙළිදරව් නොවී සිටි සහෝදරවරුන්ට හැකිවිය. ඉන්පසු ක්‍රමානුකූලව තහනමට ගැළපෙන සේ සංවිධාන ජාලයක් සකස් කරමින් එම සංවිධාන ජාලය ශක්තිමත්ව ගොඩනගමින් සංවිධාන කැඳවීමේ පවත්වාගෙන යාමේ රටාවක්ද ඇතිකරන ලදී. 


මේ අතර බලපෑම් කරන මට්ටමකින් නොවුණත් පක්‍ෂය ගතයුතු මඟ පිළිබඳ නිර්මාක්ස්වාද මතද ඉදිරිපත් වන්නන්ට විය එම මත නියෝජනය කළේ, ඉතාම සුළු පිරිසක් නිසා එවා පක්‍ෂයට විශාල බලපෑමක් කළේ නැත. එවැනි ප්‍රවණතාවන් දෙකක් තිබුණි.


සැබැවින්ම පක්‍ෂ තහනම, ආරම්භයේදී පක්‍ෂයට බරපතළ හානියක් කළේය. සංවිධාන බිඳවැටීම්, විසිරීයාම්, පක්‍ෂ ශ්‍රේණින්ට දැනුණේ පරාජයක් ලෙසය. ඒ අනුව ඕනෑම පරාජයකදී පසුබැසීමකදී විප්ලවවාදී ව්‍යපාරයක් තුළ මතුවන නිර්මාක්ස්වාදී මතවලට ඉන් ඉඩ ලැබුණි. මේ පිළිබඳව ලෙනින්ද වරක් මෙසේ සඳහන් කර තිබේ. “විප්ලවයක් ශීඝ්‍ර ජයග්‍රහණවල සිට බරපතළ පරාජයන් දක්වා හදිසි ලෙස හැරෙන කාලයක දී විප්ලවයේ සංවර්ධනයට අනිවාරණීය වශයෙන්ම බරපතළ හානි සිදුකරන ව්‍යාජ විප්ලවවාදී වදන් නිර්මාණය වීමේ කාලසීමාවක් නිතරම හා සෑම විප්ලවයකදීම ඇතිවන බව ඉතිහාසය අපට උගන්වයි (ලෙනින් - තෝරාගත් කෘති 08 වෙළුම 18 පිටුව)


ලෙනින්ගේ ඉහත ඉගැන්වීම් යළිත් සනාථ කරමින් 83 පක්‍ෂ තහනමෙන් පසු ජ.වි.පෙ ට සම්බන්ධ ඉතාම සුළුතරයක් තුළින්ද එක් අතකින් පක්‍ෂය දියකර හැරීමේ මතයක්ද අනෙක් අතින් පක්‍ෂය වහාම සන්නද්ධ කළ යුතුය යන වඩා රැඩිකල් මතයක්ද ප්‍රකාශ විය.


පක්‍ෂය දියකර හැරීමට දිරි දෙන මතයේ පෙරමුණ ගත්තේ, එවකට ප්‍රධාන ලේකම්ව සිටි ලයනල් බෝපගේය. අත්අඩංගුවට පත්ව මාස කිහිපයකට පසුව කිසිදු චෝදනාවක් නොවූයෙන් බෝපගේ නිදහස් විය. ඉන්පසු ඔහු සමඟ සංවිධාන ගනුදෙනුවක් සාදාගත් පක්‍ෂය ඉතාම සුපරික්ෂාකාරී ලෙස ඉදිරි කටයුතු සඳහා ඔහු පක්‍ෂ නායකත්වයට මුණගැස්වීමට තීරණය කළේය. විශේෂයෙන්ම රෝහණ සහෝදරයා මුණගැසීම සඳහා ඉතා ප්‍රවේශමෙන් හා ආරක්ෂිතව නිර්මාණය කළ අවස්ථාවන් බෝපගේ ඉතාම සූක්‍ෂ්ම ලෙස මඟහැරියේය. ඉන් නතර නොවූ ඔහු මධ්‍යම කමිටුවට ලිපියක් ලියා එවමින් පක්ෂයෙන් ඉවත් විය. ඒ අතරම එම ලිපිය අනියම් ලෙස පක්‍ෂයේ හතුරන් මගින් රට තුළ ප්‍රසිද්ධ කිරීමටද කටයුතු කළේය. ලයනල් බෝපගේ සිය ලිපියෙන් පක්‍ෂයේ ප්‍රසිද්ධ දේශපාලනයේ නිරතව සිටියදී කළ ප්‍රචාරක කටයුතු හා මැතිවරණවලට තරගවැදීම විවේචනය කර තිබූ අතර ජාතික ප්‍රශ්නයේදී කලින් සිටිතැනටත් එහාට ගොස් ඇති බව සඳහන් කොට තිබුණේය. එහෙත් තමන් කලින් සිටි තැන කුමක්දැයි හෙළි නොකිරීමටද ඔහු පරිස්සම් වී තිබුණි. ඔහු ලිපිය අවසන් කර තිබුණේ පක්‍ෂය යළිත් තහනම තුළ වෙනත් අන්තයකට තල්ලුවී විනාශ වීමේ අවදානමක් තිබෙන බවත් දැන් ජ.වි.පෙ කාර්යභාරය අවසන්ව ඇති බවත් සඳහන් කරමිනි. එය පැහැදිලිවම පක්‍ෂය පිළිබඳ දෙගිඩියාව නිර්මාණය කර දියකර හැරීමේ දේශපාලනය සහිත ලිපියක් විය. පක්‍ෂයේ හතුරන් මෙන්ම පක්‍ෂය හැරගිය සමහරු තම පලායාම සාධාරණය කිරීමට මෙම ලිපිය යොදාගත්හ.


මේ අතර පක්‍ෂයට සම්බන්ධව සිටි කීපදෙනෙක් පක්‍ෂයෙන් කලින් ඉවත්ව සිටි සමහර අය සමඟද සම්බන්ධකම් සහිතව පක්‍ෂය වහාම සන්නද්ධ විය යුතු බවටත් ආණ්ඩුවට පහරදීමට සූදානම් විය යුතු බවටත් වන වඩා රැඩිකල්වාදී ලෙස පෙනෙන මතයක්ද ඉදිරිපත් කළහ. මේ මතය සමඟ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය වමේ ව්‍යාපාරයක් ලෙස අර්ථකථනය කරමින් ලාංකේය විප්ලවය සඳහා සන්නද්ධ දෙමළ බෙදුම්වාදී සංවිධාන හා එක්ව සටන් කළ යුතු බව පවසමින් සිටි ඇතැම් අයද පෙළගැසී සිටියෝය. මෙම මතය දැරූවන්ට මතවාදී හා න්‍යායික ශක්තිය සපයනු ලැබූයේ ඒ වන විටත් අංක එකේ ප්‍රතිවිප්ලවවාදියෙක්ව සිටි දයාන් ජයතිලකය. පසුව මෙම සුළු පිරිස ජනතා සංගමයට සම්බන්ධ වූ පිරිසද එක් කරගෙන දයාන් ජයතිලකගේ නායකත්වයෙන් ජ.වි.පෙ නව ප්‍රවණතාව :භන්‍ඪඡ* පිහිටුවා ගත්හ. එහෙත් මේ කිසිදු අන්තයකට නොවැටුණු ජ.වි.පෙ ප්‍රකෝපවන්නේ නැතිව, බියට පත්වන්නේ නැතිව ලෙනින්වාදී ස්ථාවරයට අනුව රහසිගත දේශපාලන කටයුතු මෙන්ම ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ඒකාබද්ධ කරමින් තහනම සමඟ බිඳවැටුණු පක්‍ෂය යළි නගාසිටුවීමට කටයුතු කළේය.


තහනමෙන් පසුව ගෙවුණු පළමු වසරක කාලය තුළ පක්‍ෂය කටයුතු කළේ අලුත් දේශපාලන කටයුතු පටන් ගැනීමට නොව විසිරීගිය පක්‍ෂ සංවිධාන යළි ප්‍රතිසංවිධානය කරගැනීමටය. තහනම් හා මර්දනකාරී තත්ත්වයන් තුළ වුව පළමු වසර අවසන්වන විට පක්‍ෂ යන්ත්‍රය සැලකිය යුතු මට්ටමකින් ගොඩනගා ගැනීමටත් තහනම තුළ කටයුතු කිරීමේ මට්ටමකින් ගොඩනගා ගැනීමටත් තහනම තුළ කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීමටත් පක්‍ෂය සමත්විය. තහනමට වසරක් පිරෙනදා පක්‍ෂය රට පුරාම දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමෙන් පක්‍ෂයේ ශක්තිය යළි ප්‍රදර්ශනය කිරීමටද සමත් විය “තහනමට වසරයි, ජ.වි.පෙ තහනම වහා ඉවත් කරනු” යන පාඨය පොස්ටර් මගින් ප්‍රදර්ශනය කිරීම මෙන්ම ගල් කුළුවල ඇඳ ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාවගේ අවධානය දිනාගැනීමට පක්‍ෂය විසින් කටයුතු කරන ලදී.


එමෙන්ම තහනම් කිරීම නිසා නීති විරෝධී බවට පත්ව තිබූ පක්‍ෂ සංවිධානය එම තත්ත්වය තුළ ගොඩනැගූ අතරම හැකි සෑම ක්‍ෂේත්‍රයකම නීත්‍යනුකූල බහුජන සංවිධාන පවත්වාගෙන යාමටද පක්‍ෂය කටයුතු කළේය. පක්‍ෂ තහනම නිසා අත්අඩංගුවට ගැනීමට සොයන නායකයින්ට සංවර්ධන සභාවට සහභාගි වීමට නොහැකි වූ විට ඒ වෙනුවට ඊට සහභාගී විය හැකි අය සහභාගි කරවීමටද කටයුතු කෙරිණි. පක්‍ෂ තහනමෙන් පසු ඊට එරෙහිව අධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලද අතර එම පෙත්සම ගොනුකළේ, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ පියසෝම මල්ලිකාරච්චි සහෝදරයාය. පසුව පෙත්සම අධිකරණය විසින් ඉවත දමන ලදී.

 

ඊට අමතරව තහනම ඉවත් කරන ලෙස ඉල්ලා රෝහණ විජේවීර සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමාට ලිපියක්ද ලියන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල ආදියටද ලිපි ලියමින් තහනම ඉවත් කරවා ගැනීමට උත්සාහ කෙරිණි. සැඟවී සිටියදී රෝහණ සහෝදරයා පුවත්පත් කලාවේදියෙක් සමඟ සාකච්ඡාවක් කළ අතර ජනතාව අමතා කැසට්පට කිහිපයක්ද නිකුත් කළේය. එසේම පක්‍ෂ තහනම ඉවත්කර ගැනීමට තවත් විවිධ පියවරද ගන්නා ලදී. 1984 දී තම පක්‍ෂ තහනම ඉවත්කර ගැනීම සඳහා ලෝ ඒෂියා :ඛ්අ ්ිස්* සංවිධානයේ පැටී්‍රෂියා හයින්ඞ්මාන් :ඡ්එරසජස් ්‍යහබාප්බ* හමුවී සාකච්ඡා කළේය. එමෙන්ම 1984 දීම යුරෝපා සංගමයේ මන්ත්‍රීවරු පිරිසක් ලංකාවේදී හමුවී පක්‍ෂ තහනම ගැන දැනුවත්කර එය ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරන ලෙස ඉල්ලා සිටියේය.


83 දී එ.ජා.ප ආණ්ඩුව විසින් පක්‍ෂය තහනම් කළද පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනය හා සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනම් කළේ නැත. ඒ නිසා පසු කලක ඒවාද තහනම් කරන තුරු එම සංවිධාන යොදාගෙන පක්‍ෂය ක්‍රියාත්මක විය. විශේෂයෙන් සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය හා සංස්ථා සේවක සංගමය යන පක්‍ෂයේ වෘත්තීය සමිති මධ්‍යස්ථාන දෙක මේ සඳහා යොදාගන්නා ලදී. තහනමෙන් පසු පක්‍ෂයේ වෘත්තීය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ගාමිණි විජේගුණසේකරය. නියමුවා මුද්‍රණය කළ නොහැකි නිසා වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රකාශනයක් ලෙස මාලිමා මුද්‍රණය කර බෙදාහරින ලදී. එසේම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරයෙක් වූ ගාමිණී ජයලත් සහෝදරයා මැදිහත් වී විස මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය නම් බහුජන ව්‍යාපාරයක්ද ගොඩනැගූ අතර එහි දිස්ත්‍රික් ශාඛාද සමහර දිස්ත්‍රික්කවල ගොඩනගන ලදී. ඒවාට ආගමික නායකයෝ හා පොලිස් නිලධාරීහු පවා සහභාගි වූහ.

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්