චිරාත් කාලයක් සිංහල රාජධානියක්ව පැවැති රජරට අනුරාධපුරය, හෙළ වංශ කතාවේ අගනුවරක්ව, අමරණීය නාමයක පැවති නමුත්, එය 1815 ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසු ඝණ වනාන්තරයකින් වටවූ නෂ්ටාවශේෂයක් බඳු, නොසැලකිලි තත්ත්වයට පත් වූයේ, කොළොම්පුරය හෙවත් කොළඹ ආර්ථික හා සමාජයීය වශයෙනුත් රටේ කේන්ද්‍රස්ථානයට පත්වූ හේතුවෙනි.


සිංහල රජ දරුවන් රාජ්‍ය ශ්‍රීයට පැමිණ, ත්‍රී සිංහලය එක්සේසත් කොට වැඩි කලක් රට පාලනයෙහි යෙදුණු අනුරාධපුරය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, ස්වර්ණමාලී සෑ රදුන් ප්‍රමුඛ පූජනීය ස්ථාන බහුලව ගොඩනැගී තිබීම නිසා බෞද්ධ සිත් තුළ නිරායාසයෙන් නිරන්තරව බුදුරැස් විහිදුවන, බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිදුම් ලබන පුද බිමක් ද විය.


සිංහලයේ සදානුස්මරණීය නරපතියකු වශයෙන් මෙදෙස පමණක් නොව විදෙස් පවා ඓතිහාසිකව අනුස්මරණය කෙරෙන මහා වීර දුටුගැමුණු මහ රජතුමත්, තම එකම ව්‍යායාමය සිංහල ජාතිය හා බුදු දහම ආරක්ෂා කිරීම යැයි හඬ නගා උතුරේ ද්‍රවිඩ එළාර නිරිඳුන් සමග තනිව යුද වදිමින්, නිකරුණේ පර පණ නොනැසෙන්නට සලස්වා, තුමූම කළ ඇරයුමෙන් පැවති දුටුගැමුණු - එළාර ද්වන්ද සටනින් ජය ගෙන, රට එක්සේසත් කළේ අනුරාධපුර රාජධානිය තුළදීය. අගනුවර තත්ත්වයෙන් ඉවත් කළ ද, අනුරාධපුරය, ඉංග්‍රීසි පාලන තන්ත්‍රය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කෙරෙන එක් ඡන්ද කොට්ඨාසයක් ද විය.
1931 පටන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු තෝරා පත් කර එවූ අනුරාධපුරය, සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් ස්ථාපිත කරනු ලැබූ ඩොමිනීයන් ආණ්ඩුක්‍රමය යටතේ ද, උතුරුමැද පළාතේ ප්‍රධාන ඡන්ද කොට්ඨාසයකි.


වසර 133ක පමණ විදේශීය පාලනයට නතුව, ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් ලැබෙන ස්වාධීනත්වය පෙනි පෙනී 1947 පැවති මහ මැතිවරණයේ පටන්ම, දේශපාලන පක්ෂ ක්‍රමය යටතේ පසුගිය 2015 මහ මැතිවරණය දක්වාම මන්ත්‍රීන් තෝරා පත් කර එවීම, අනුරාධපුර මැතිවරණ කොට්ඨාසයෙන් ද සිදු කෙරිණ.


මෙම මැතිවරණයන් සඳහා ස්වදේශිකයන්ම අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වුවද, ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී මෙවැනි භාරදූර තනතුරකට ඉදිරිපත්වීමේ සුදුසුකම අල්ප වීම නිසා හෝ ඉංග්‍රීසින් සමඟ කරට කර හැප්පීමේ බිය ගතිය නිසා හෝ ඡන්ද අපේක්ෂකත්වය ලබා ගැනීමට ස්වදේශිකයන් ඉදිරිපත්වීම ඉතා මඳ විය.


ඉංග්‍රීසි ආධිපත්‍යය තුළ රට පුරා රාජ්‍ය පරිපාලනයේ මුදුන් දැති රෝදය වන දිසාපති නොහොත් ඒජන්තකම හෙබවූයේ ද ඉංග්‍රීසි ජාතිකයන්ය.


වන සතුන්ට බියේ වුවද, වැඩි වශයෙන් හේන් ගොවිතැනින් පණ කෙන්ද ගැට ගසා ගත් ගැමියන් මෙම ඉංග්‍රීසි ජාතික ඒජන්තවරුන් ආමන්ත්‍රණය කළේ “හාමුදුරුවන්” නමිනි. ඉණට පහළින් වස්ත්‍රයට පමණක් හිමිකම් කියූ පිටිසරබද ජනතාව, තමාට ඉහළින් වැජඹෙන මේ පිදිය යුත්තන්ට ඉහළින්ම ගරු සරුකමින් පිදීමට අමතක නොකළහ. තමා කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කර ගැනීම, එම අසරණ ගොවි ජනතාවගේ එකම අභිප්‍රාය වූවා විය හැක.


මෙම ඒජන්තවරුන්ගෙන් සමහරුන් අහිංසකයන් පෙළන කෲර ගති පැවතුම් ඇති හිස උදුම්මවා ගත්තවුන් වූ අතර, ඉතා අතළොස්සක් පමණක් ගැමි දුක තේරුම් ගත් නිහතමානි, කරුණාභරිත, ඔවුන්ට ඇහුම්කම් දෙන සැබෑ පාලකයෝ ද වූහ.


අනුරාධපුර ඒජන්ත වශයෙන් කටයුතු කළ ඉංග්‍රීසි ජාතික එච්. ආර්. ෆ්‍රීමන් ද එවන් සැබෑ මිනිසුන් අතර එක් අයෙක් විය.


ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුව වුවද, මේ අහිංසක ජනතාව මැද ජීවත් වීමට තීරණය කළ අතර, විශ්‍රාම යෑමෙන් පසුව සමාජ සේවයට කැපවීම ඔහු තම ජීවිතයටත් වඩා අගය කළේය.


1931 පැවති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් තරග කිරීමට තීරණය කළ මෙම සුදු ජාතික එච්. ආර්. ෆ්‍රීමන්ට විරුද්ධව ඉහතින් සඳහන් කළ පරිදි එක්තරා කොටසකගේ ඉල්ලීම මත සිංහලයකු වූ එස්. ඩී. ක්‍රිෂ්ණරත්න නම් පුද්ගලයකු ද එම ඡන්ද කොට්ඨාසය සඳහා තරග කිරීමට ඉදිරිපත් වූයේය. ක්‍රිෂ්ණරත්නට රතු පාට ඡන්ද පෙට්ටිය හිමිවූ අතර, ෆ්‍රීමන්ට නිල් පාට ඡන්ද පෙට්ටිය හිමි විය.


ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී හැරමිටිය කර ගත් කුඩය, දකුණු අතැතිව ආවේණික තොප්පිය හිස ලා ගෙන ගමකට සේන්දු වන ෆ්‍රීමන්, කොතැනක හෝ හරිබරි ගැසී හිඳ ගනිද්දී ඔහු දකින ගැමියන් කුමන වැඩක යෙදී සිටියත් එක්වරම නවතා, වහා පැමිණ ඔහු වටා රොක් වෙති. ඡන්ද ක්‍රමය හා ඡන්දය දෙන අන්දම පිළිබඳව පමණක් දන්නා සිංහලෙන් කැඩි කැඩී වුවත් විස්තර කරන ඔහු, තමාට ඡන්දය දෙන ලෙසට කෙළින් ඉල්ලීමක් නොකරන අතර, ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා ගැනද කිසිවක් සඳහන් නොකරයි. තමා මෙවර ඡන්දයට ඉදිරිපත් වන බව පමණක් සඳහන් කරන ඔහු, රැස්වීම අවසන් කරන්නේ කෙළින්ම කටින් නොකියූ ඉල්ලීම වක්‍රාකාරයෙන් ගැමියන්ට හඟවමිනි.


“උඹලාට සුදු කොළේ දෙනවා. උඹලා ඒක නිල් පෙට්ටියට දානවා. මම කවුන්සලේට යනවා.”


රැස්ව සිටින ගැමියෝ “සාදු... සාදු... හාමුදුරුවනේ” කියමින් තම සතුට පළ කරති.


“උඹලාට සුදු කොළේ දෙනවා... උඹලා ඒක රතු පෙට්ටියට දානවා. මම එංගලන්තයට යනවා.”


එපා හාමුදුරුවනේ යන්න එපා” කියමින් රැස්ව හුන් ගැමියෝ බැගෑපත්ව ඉල්ලා සිටිමින් කඳුළු සලති.


සමහරු කරේ රැඳි අමුඩ ලේන්සුව බිම එළා වැඳ වැටෙමින් නොයන ලෙසට ඉල්ලමින් කන්නලව් කරති. තව සමහරු ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට දෙස් පවරති.


මේ සියල්ල උප්ක්ෂාවෙන් බලා සිටින අපේක්ෂක එච්. ආර්. ෆ්‍රීමන්, මද සිනහවකින් යුක්තව හිස නමා තම සුහද ප්‍රතිචාරය දක්වමින් කුඩය අතට ගෙන, හිස් වැසුම පැලඳ නැගිට ගත්තේ, තවත් ගමකට ගොස් තමා ආදරය කරන ගැමි හිතවතුන් ඇමතීමටය.


1931 පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුරාධපුරය ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵල මෙසේ විය.


එච්. ආර්. ෆ්‍රීමන් ඡන්ද - 8311

එස්. ඩී. ක්‍රිෂ්ණරත්න ඡන්ද 388

වැඩි ඡන්ද ගණන - 7923


මේ අනුව නිල් පෙට්ටිය ඡන්ද කන්දරාවකින් පුරවා, හිතවත් ගැමියෝ ඒජන්ත හාමුදුරුවන් එංගලන්තයට නොයවා තමන් ළඟම තබා ගත්හ.

 

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර