1818 සිංහලේ පළමු නිදහස් සටන අපේම ජනතාවගේ පාවාදීම් නිසා ජීවිත සිය ගණනක් විනාශ කර ගනිමින් පරාජිතව අවසන් වූ අතර රටට අහිමි වූ වීරෝදාර සෙන්පතියන් අතර මොනරවිල කැප්පෙටිපොල මහා අදිකාරම්තුමා, පිළිමතලාවේ හා මඩුගල්ලේ නිලමේ, කිවුලේගෙදර මොහොට්ටාල, බූටාවේ රටේ රාල ඉහගම ස්ථවිරයෝ ආදී මෙකී නොකී නායක කාරකාදීහූ රැසකගෙන් සමන්විත වූහ. එම සටන් 1818 න් පසු අවසන් වූ අතර ඊට වසර 30 කට පසු නිදහස් සටනේ දෙවැනි ඉනිම 1848 දී මාතලෙන් ආරම්භ විය. එය පසුව කුරුණෑගල හා මහනුවර දක්වා ව්‍යාප්ත විය. මෙකල අපේ රටේ ආණ්ඩුකාර තැන්පත් ටොරින්ටන් සාමිතුමාගේ නව බදු ප්‍රතිපත්තියට විරුද්ධව විමුක්ති සටන වෙනුවට බදු විරෝධී සටන් ආරම්භ විය.


1848 ජූලි මාසයේදී අලුතින් බදු වර්ග කීපයක් හඳුන්වා දෙන ලදී. බලු බද්ද, ඇඟ බද්ද, තුවක්කු බද්ද ජනතාව මත පැටවීම ජනතාවට දරාගත නොහැකි විය. ගිහියන්ට අමතරව ස්වාමීන් වහන්සේලාගෙනුත් ඇඟ බද්ද අය කිරීම නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍ර විය. මෙයට විරුද්ධ වූ සිංහලේ සටන්කාමීන් ඔවුන්ගේ බළකොටුවලට පහරදීමට තරම් යුද ශක්තියක් නැති නිසා කෝපි වතුවල සිටි යුරෝපීයන්ට පහර දෙන ලදී. වාරියපොල වත්තට මුලින්ම පහර දුන් අතර මෙය මැඩපැවැත්වීමට මහනුවරින් සේනාංකයක් යවන ලදී. මෙම සටනින් සිංහලේ සටන්කාමීන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. මෙහිදී මැලේ ජාතික සොල්දාදුවෝ කිණිස්සෙන් ඇන සිංහලයින් මරා දැමූහ. මෙම සටන මෙහෙය වූයේ දකුණින් පැමිණි පුරන්අප්පු නම් සටන්කාමියෙකි. ශ්‍රී ලාංකිකයන්ට රජෙක් නොමැතිව කල් ගෙවිය හැකි ජාතියක් නොවේ. එම නිසා 1848.07.30 වැනිදා දඹුල්ල විහාරයේදී ගොන්ගාලේගොඩ බණ්ඩා ට සිහසුන භාරකරන ලද්දේ ගිරන්නේගම ඉන්ද්‍රජෝති හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති රාජාභිෂේකයේදීය. මෙහිදී යුවරජ තනතුරට වීදි පැලැල්ලේ බණ්ඩාත් මහ ඇමති තනතුරට පුරන් අප්පුත්, දිනිස් හා කරෝ අප්පු සේනාධිනායක තනතුරුවලට පත් කරගන්නා ලදහ. මේ සියලු තොරතුරුම ඉංග්‍රීසීන්ට පවසන ලද්දේ වෑබැද්දේ නිලමේ විසිනි. මේ රාජාභිෂේකයට සහභාගි වූ සියලු දෙනා අත්අඩංගුවට ගෙන මරා දැමීමට ඉංග්‍රීසීහු නියෝග කළහ. මේ අනුව කඳපොල බස්නායක නිලමේත් දුල්ලෑවේ මහනිලමේත් හැවන්පොල කෝරලේත් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදී.


1848 අගෝස්තු 01 වැනිදා දීනිස් හා කාරෝ අප්පු කුරුණෑගලට පහරදී ඉංග්‍රීසීන් පලවා හැර කච්චේරියේ තිබූ පවුම් 1500 කුත් සිංහලේ සිරකරුවනුත් මුදා ගන්නා ලදී. මින් කුපිත වූ ඉංග්‍රීසිහු සිංහලේ ගම්වැසියන්ගේ ගේදොර සහ විහාරස්ථාන ගිනිබත් කළහ. කුරුණෑගල සිදු කළ ප්‍රහාරයෙන් පසුව සිංහලේ නායකයින් බඹාවේ පන්සලේ සිටිනා බව සිංහලේ ඔත්තුකරුවන් ඉංග්‍රීසීන්ට දැනුම් දෙන ලදී. එම ප්‍රදේශය භාරව සිටි කපිතාන් මැක්ඩොනල්ඞ් සිංහලයින්ට සිංහලයින් ලවාම පහර දීමට දරමිටිවැවේ රටේ මහත්තයා යොදා ගන්නා ලදී. බඹාවේ පන්සලේ සිට සිංහල හමුදාව එතනින් ලුණුකඩ වැල්ල බලා පිටත් වූ අතර මෙම පිරිස 5000 කින් පමණ සමන්විත වූහ.


ලුණුකඩ වැල්ලේදී සිංහලේ හමුදාවට තවත් අතිරේක පිරිසක් එකතු වූහ. ඔවුන් නම් දරමිටිපොළ රටේ මහත්තයාගේ බත් බැලයන්ය. මැදියම් රැය පමණ වන විට මේ නරුමයා යුව රජතුමා නිදා සිටි කාමරයට ඔහුගේ පිරිස සමග පැන යුවරජතුමා අල්ලා ගත්තේය. ඒ සමගම සිටි තවත් නායකයින් 20 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන පිටිතලහයා බැඳ ඉංග්‍රීසීන්ට භාරදෙන ලදී. ඉංග්‍රීසීන් වඩාත් සතුටු වූයේ 5000ක පමණ පිරිසක් මැද සිට යුව රජතුමා ඉංග්‍රීසි හමුදාවේ එක ලේ බිඳක් වත් නොසොල්වා අල්ලා ගැනීමට හැකිවීමයි. අල්ලා ගත් පිරිසට නඩු අසා ඒ අවස්ථවේම මරණ දඬුවම පමුණු වන ලදී. හඟුරන්කෙත ඩිංගිරාල හෙවත් විදි පැල්ලේ බණ්ඩා යුව රජතුමාට විරුද්ධව තිබූ චෝදනාව කියවා ඉන් පසු යුව රජතුමාගෙන් මේ පිළිබඳ විමසීය. ඔහු ප්‍රකාශ කළේ චෝදනා පිළිබඳ කිසිම දෙයක් මට කීමට නෑ යනුවෙනි. ඉන් පසු යුද්ධාධිකරණය ප්‍රකාශ කළේ උතුම් වූ ඉංග්‍රීසි අග රැජිණිගේ සාධාරණ ආණ්ඩුවට ද්‍රෝහීව කැරලි ගැසීමෙන් හා කුමන්ත්‍රණ කිරීමෙන් මූලිකව කටයුතු කළ යුෂ්මතා තව මොහොතකින් මෙහිදී වෙඩි තබා මරා දැමිය යුතු යැයි අපි තීරණය කරමු. යුෂ්මතාගේ සිරුර නැගෙනහිර කඩවතේ ප්‍රසිද්ධ ස්ථානයක දින 04ක් එල්ලා තැබීමට අපි නියෝග කරමු. මෙම දේශප්‍රේමී ජාතිමාමක රණවිරුවා 1848 අගෝස්තු 05 වැනි දින මෙසේ සිංහලයින්ගේ පාවාදීම නිසා ජාතියට අහිමි විය. නඩු තීන්දුවෙන් නියෝග කළ පරිදි මළ සිරුර දින 04ක් ගසක එල්ලා තිබුණි. 


ඉංග්‍රීසීන්ට විශාල අභියෝගයක් එල්ල කළ මාතලේ නිදහස් සටන මෙහෙය වූ පුරන් අප්පුත් සිංහලේ රජ කම දරා සිටින ගොන්ගාලේගොඩ බණ්ඩාත් අල්ලා ගත හොත් සිංහලේ නිදහස් සටන කෙළවර කිරීමට හැකි බව තේරුම් ගත් ඉංග්‍රීසීහු සිංහල මිනිසුන්ට වරදාන දී මේ දෙදෙනා අල්ලා ගැනීමට තීරණය කළහ. දිසාපති බුලර් මහතා දිස්ත්‍රික්කයේ සියලුම සිංහල නිලමේවරුන් දිසාපති මැදුරට කැඳවුවත් දුම්බර රටේ මහත්වරුන් වූ මඩුගල්ලේ හා හල්පේ ඊට සහභාගි නොවූ නිසා එදිනම ඔවුන් ධුරයෙන් නෙරපන ලදී. මේ බව දැනගත් පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේ ඉංග්‍රීසින් වෙත ගොස් එම තනතුරු දෙක තමාටත් තම පුතාටත් ලබා දෙන්නේ නම් සිංහලේ රජු අල්ලා දෙන බවට ප්‍රතිඥා දුන්නේය. පල්ලමේ කුඹුරේ බස්නායකගේ දැනුම් දීම මත සතුරු රජුගේ තොරතුරු දන්නා කාහල්ලේ ගල්ලෙනක සැඟවී සිටි භික්ෂූන් වහන්සේ නමක් අල්ලා ගන්නා ලදී. මේ හිමි නමට විරුද්ධව සාක්ෂි දීමට එම බස් නායක නිලමේත් ඔහුගේ පුතාත් වීදිය පැල්ලේ නිලමේත් ඉදිරිපත් වූහ. නඩු අසා උන්වහන්සේ මරා දමන ලදී. එසේ මරණයට පත් කළේ කුඩා පොළ හිමියන්වයි. මේ අසෝබන සිදුවීමට ඉංග්‍රීසි නීතීඥවරු ද විරුද්ධ වූහ. පසු කලෙක ටොරින්ටන් සාමිට සිය ධුරය පවා අහිමි වූයේ මේ සිදුවීමයි. සිංහලේ ද්‍රෝහීන්ගේ ක්‍රියා නිසා කැරැල්ල දවසින් දවසම අඩාළ විය. මේ පොදු සටන පාවා දී ඉංග්‍රීසීන්ගේ තාන්න මාන්න ලැබූ බත් බැලයින්ගෙන් උඩරට පිරී පැවතුණි. 


සිංහලේ සටනට පක්ෂ බවක් පෙන්වා පුහු අනුරාගයකින් සටන් බිමට එන සිංහලේ ද්‍රෝහීන් ගැන පුරන් අප්පු විමසිල්ලෙන් පසු විය. සටන් බිම ආරම්භ වූ දා සිට පුරන් අප්පු සමග සිටි හේවා හකුරුගේ හා බැද්දගේ අල්ලීස් යන දෙදෙනා 1848.08.06 වැනිදා ඉංග්‍රීසි හමුදාවට පහර දී පැමිණියා යැයි පුරන් අප්පුට පවසා ඔවුන් සමග පැමිණි පුංචි අප්පු, ඇල්ලේපොල, හොදිගේ, වීරනෙත්ති, රුප්පු කුට්ටි, ආරුමුගම්, කාරියවසම් යන 7 දෙනාත් එදින පුරන් අප්පු සමග රාත්‍රිය ගත කළහ. අල්ලීස් හා හේවා හකුරුගේ සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි සේනාධිනායක තෙමේ ගල් ගෙය තුළ නින්දට ගියේය.

 


මධ්‍යම රාත්‍රිය ඉකුත් වී ටික වේලාවකින් ගල් ගෙය තුළට කඩා වැදුණු මේ අමුත්තතෝ 09 දෙනා සිංහලේ සේනාධිනායකයාගේ දෑතත් දෙපාත් බැඳ දමා 1848 අගෝස්තු 07 වැනිදා ඉංග්‍රීසීන්ගේ සිරකරුවෙකු වශයෙන් මාතලේ කඳවුරට ගෙන ආහ. ඉංග්‍රීසීන්ගේ රහස් පොරොන්දුවක් අනුව සිංහලේ සේනාධිනායක පුරන් අප්පු සිරකරුවෙකු වශයෙන් අල්ලා ගෙන වුත් ඉංග්‍රීසීන්ට බාර කළ සිංහල ද්‍රෝහීන් 09 දෙනාත් සිරකරුවන් වශයෙන් මහනුවරට පිටත් කර හැරීම කාගේත් විමතියට හේතුවක් විය. 


සිය දේශයේ නිදහස තකා සටන් කළ ජාතික වීරවරයකු ප්‍රසිද්ධියේම විදේශිකයින්ට පාවා දීමට තරම් ද්‍රෝහිකමක් කළ පිරිසකගෙන් කිසිදු පක්ෂපාතී බවක් බලාපොරොත්තු විය නොහැකි බව ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රකාශ කරන ලදී. පසුව යුද්ධාධිකරණයේ නඩු අසා පුරන්අප්පු වැරදිකරුවකු බවට පත්කොට 1849 අගෝස්තු 08 වැනිදා සවස 2.30 ට සිංහලේ සේනාධිනායකයාව සිටි පුරන් අප්පු දෑතේත් දෙපයේත් විලංගු සහිතව ඝාතක සේනාංකය ඉදිරියේ පෙනී සිටියේය. 


පොදු ජනතාව වෙනුවෙන් ජාතික සටනක් මෙහෙයවීමේ ගෞරවය ලැබූ සිංහලේ සේනාධිනායක පුරන් අප්පු ඉංග්‍රීසි ඝාතක හමුදාවෙන් නිකුත් කළ වෙඩි උණ්ඩ හමුවේ ළය පෑවේය. ද්‍රෝහීන්ගේ මරු උගුලක බැඳි ඉංග්‍රීසින් වෙත පැමිණි ජාතියේත් දේශයේත් අනාගත විමුක්තිය සලකා සිය මව්බිම වැලඳ ගෙන අවසන් සුසුම් පොද හෙළීය.


සිංහලේ නිදහස් සටනේ රජතුමා ලෙස සිටි උඩුනුවර ගොන්ගාලේගොඩ මැණික්රාල හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා ද ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් විය. 1848.11.14 වන දින නඩු අසා 1849.01.06 වැනිදා බෝගම්බර හිරගෙදර තුළදී එල්ලා මරා දමන ලදී. 2 වැනි නිදහස් අරගලයේදී සිරභාරයට ගත් පිරිස 380ක් වූහ. 126 දෙනෙකු නඩු අසා මරා දමන ලදී. 
දවස් 79ක් තිස්සේ මාතලේ, කුරුණෑගල, මහනුවර යන ප්‍රදේශ පුරා ගෙන ගිය දේශමාමක දේශානුරාගයෙන් ඔද වැඩුණු සිංහලේ සටන්කාමීන් විවිධ අන්දමින් 1000 කට ආසන්න පිරිසක් මරණයට පත් වුව ද එකම ඉංග්‍රීසි භටයෙක්වත් මෙහිදී ජීවිතක්ෂයට පත් නොවීම සුවිශේෂී තත්ත්වයකි. මෙම ලිපියෙන් පෙන්වා දීමට අදහස් කළේ මීට වසර 170 කට පමණ පෙර දිනා ගැනීමට තිබූ රට දිනා ගැනීමට නොහැකි වූයේ රට ගැන නොව බඩ ගැන සිතූ පාපතරයින් නිසාවෙනි.

 

 


උපාලි උඩුගමසූරිය
ඡායාරූප : අන්තර්ජාලයෙනි