1818 සිංහලේ පළමු නිදහස් සටන අපේම ජනතාවගේ පාවාදීම් නිසා ජීවිත සිය ගණනක් විනාශ කර ගනිමින් පරාජිතව අවසන් වූ අතර රටට අහිමි වූ වීරෝදාර සෙන්පතියන් අතර මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම්තුමා, පිළිමතලාවේ හා මඩුගල්ලේ නිලමේ, කිවුලේගෙදර මොහොට්ටාල, බූටාවේ රටේ රාල, ඉහගම හාමුදුරුවෝ ආදී මෙකී නොකී නායකකාරකාදීන් රැසකගෙන් සමන්විත විය.


එම සටන් 1818න් පසු අවසන් වූ අතර ඊට වසර 30කට පසු නිදහස් සටනේ දෙවැනි ඉනිම 1848 දී මාතලෙන් ආරම්භ විය. එය පසුව කුරුණෑගල හා මහනුවර දක්වා ව්‍යාප්ත විය. මෙකල අපේ රටේ ආණ්ඩුකාර තැන්පත් ටොරින්ටන් සාමිතුමාගේ නව බදු ප්‍රතිපත්තියට විරුද්ධව විමුක්ති සටන වෙනුවට බදු විරෝධී සටන් ආරම්භ විය.


1848 ජූලි මාසයේදී අලුතින් බදු වර්ග කීපයක් හඳුන්වා දෙන ලදී. බලු බද්ද, ඇඟ බද්ද, තුවක්කු බද්ද, ජනතාව මත පැටවීම ජනතාවට දරාගත නොහැකි විය. ගිහියන්ට අමතරව ස්වාමීන් වහන්සේලාගෙනුත් ඇඟ බද්ද අය කිරීම නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍ර විය. මෙයට විරුද්ධ වූ සිංහලේ සටන්කාමීන් ඔවුන්ගේ බළකොටුවලට පහර දීමට තරම් යුද ශක්තියක් නැති නිසා කෝපි වතුවල සිටි යුරෝපීන්ට පහර දෙන ලදී. වාරියපොළ වත්තට මුලින්ම පහර දුන් අතර මෙය මැඩ පැවැත්වීමට මහනුවරින් සේනාංකයක් යවන ලදී. මෙම සටනින් සිංහලේ සටන්කාමීන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්විය. මෙහිදී මැලේ ජාතික සොල්දාදුවන් කිණිස්සෙන් ඇන සිංහලයින් මරා දමන ලදී. මෙම සටන මෙහෙය වූයේ දකුණින් පැමිණි පුරන් අප්පු නම් සටන්කාමියෙකි. ශ්‍රී ලාංකිකයන්ට රජෙක් නොමැතිව කල් ගෙවිය හැකි ජාතියක් නොවේ. එමනිසා 1848.07.30 වැනිදා දඹුල්ල විහාරයේ දී ගොන්ගාලේගොඩ බණ්ඩාට සිහසුන භාරකරන ලද්දේ ගිරානේගම ඉන්ද්‍රජෝති හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති රාජාභිෂේකයේ දී ය. මෙහිදී යුවරජ තනතුරට වීදි පැල්ලේ බණ්ඩාත් මහ ඇමති තනතුරට පුරන් අප්පුත්, දීනිස් හා කරෝ අප්පු සේනාධිනායක තනතුරුවලටත් පත් කරගන්නා ලදී. මේ සියලු තොරතුරුම ඉංග්‍රීසීන්ට පවසන ලද්දේ වෑබැද්දේ නිලමේ විසිනි. මේ රාජාභිෂේකයට සහභාගි වූ සියලු දෙනා අත්අඩංගුවට ගෙන මරා දැමීමට ඉංග්‍රීසින් නියෝග කරන ලදී. මේ අනුව කඳපොල බස්නායක නිලමේත් දුල්ලෑවේ මහ නිලමේත් හැවන්පොල කෝරලේත් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදී.


1848 අගෝස්තු 01 වැනිදා දීනිස් හා කරෝ අප්පු කුරුණෑගලට පහර දී ඉංග්‍රීසින් පලවා හැර කච්චේරියේ තිබූ පවුම් 1500කුත් සිංහලේ සිරකරුවනුත් මුදා ගන්නා ලදී. මින් කුපිත වූ ඉංග්‍රීසීන් සිංහලේ ගම්වැසියන්ගේ ගේදොර සහ විහාරස්ථාන ගිනිබත් කරන ලදී. කුරුණෑගල සිදුකළ ප්‍රහාරයෙන් පසුව සිංහලේ නායකයන් බඹාවේ පන්සලේ සිටිනා බව සිංහලේ ඔත්තුකරුවන් ඉංග්‍රීසින්ට දැනුම් දෙන ලදී. එම ප්‍රදේශය භාරව සිටි කපිතාන් මැක්ඩොනල්ඞ් සිංහලයින්ට සිංහලයින් ලවාම පහර දීමට දරමිටිවැවේ රටේ මහත්තයා යොදා ගන්නා ලදී. බඹාවේ පන්සලේ සිට සිංහල හමුදාව එතනින් ලුවැල්ල බලා පිටත් වූ අතර මෙම පිරිස 5000 කින් පමණ සමන්විත විය.


ලුවැල්ලේ දී සිංහලේ හමුදාවට තවත් අතිරේක පිරිසක් එකතු වූහ. ඔවුන් නම් දරමිටිපොළ රටේ මහත්තයාගේ බත් බැලයන්ය. මැදියම් රැය පමණ වන විට මේ නරුමයා යුවරජතුමා නිදා සිටි කාමරයට ඔහුගේ පිරිස සමඟ පැන යුවරජතුමා අල්ලා ගන්නා ලදී. ඒ සමඟ සිටි තවත් නායකයන් 20 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන පිටිතලයා බැඳ ඉංග්‍රීසින්ට භාර දෙන ලදී. ඉංග්‍රීසීන් වඩාත් සතුටු වූයේ 5000ක පමණ පිරිසක් මැද සිටි යුවරජතුමා ඉංග්‍රීසි හමුදාවේ එක ලේ බිඳක්වත් නොසොල්වා අල්ලා ගැනීමට හැකිවීමයි. අල්ලාගත් පිරිසට නඩු අසා ඒ අවස්ථාවේම මරණ දඬුවම පමුණුවන ලදී. හඟුරන්කෙත ඩිංගිරාල හෙවත් වීදි පැල්ලේ බණ්ඩා යුවරජතුමාට විරුද්ධව තිබූ චෝදනාව කියවා ඉන්පසු යුවරජතුමාගෙන් මේ පිළිබඳ විමසීය. ඔහු ප්‍රකාශ කළේ “චෝදනා පිළිබඳ කිසිම දෙයක් මට කීමට නෑ” යනුවෙනි. 


ඉන්පසු යුද්ධාධිකරණය ප්‍රකාශ කළේ උතුම් වූ ඉංග්‍රීසි අග රැජිණගේ සාධාරණ ආණ්ඩුවට ද්‍රෝහිව කැරලි ගැසීමෙන් හා කුමන්ත්‍රණ කිරීමෙන් මූලිකව කටයුතු කළ යුෂ්මතා තව මොහොතකින් මෙහිදී වෙඩි තබා මරා දැමිය යුතු යැයි අපි තීරණය කරමු. යුෂ්මතාගේ සිරුර නැගෙනහිර කඩවතේ ප්‍රසිද්ධ ස්ථානයක දින 04ක් එල්ලා තැබීමට අපි නියෝග කරමු.

 

මෙම දේශප්‍රේමී ජාතිමාමක රණවිරුවා 1848 අගෝස්තු 05 වැනි දින මෙසේ සිංහලයන්ගේ පාවාදීම නිසා ජාතියට අහිමි විය. නඩු තීන්දුවෙන් නියෝග කළ පරිදි මළ සිරුර දින 04ක් ගසක එල්ලා තිබුණි.


ඉංග්‍රීසීන්ට විශාල අභියෝගයක් එල්ල කළ මාතලේ නිදහස් සටන මෙහෙය වූ පුරන් අප්පුත් සිංහලේ රජකම දරා සිටින ගොන්ගාලේ ගොඩබණ්ඩාත් අල්ලාගතහොත් සිංහලේ නිදහස් සටන කෙළවර කිරීමට හැකි බව තේරුම්ගත් ඉංග්‍රීසීන් සිංහල මිනිසුන්ට වරදාන දී මේ දෙදෙනා අල්ලා ගැනීමට තීරණය කරන ලදී. මහනුවර දිසාපති බුලර් මහතා දිස්ත්‍රික්කයේ සියලුම සිංහල නිලමේවරුන් දිසාපති මැදුරට කැඳවුවත් දුම්බර රටේ මහත්වරුන් වූ මඩුගල්ලේ හා හල්පේ ඊට සහභාගි නොවූ නිසා එදිනම ඔවුන් ධුරයෙන් නෙරපන ලදී.


මේ බව දැනගත් පල්ලමේ කුඹුරේ බස්නායක නිලමේ ඉංග්‍රීසීන් වෙත ගොස් එම තනතුරු දෙක තමාටත් තම පුතාටත් ලබාදෙන්නේ නම් සිංහලේ රජු අල්ලා දෙන බවට ප්‍රතිඥා දෙන ලදී. පල්ලමේ කුඹුරේ බස්නායකගේ දැනුම් දීම මත සතුරු රජුගේ තොරතුරු දන්නා කාහල්ලේ ගල් ලෙනක සැඟවී සිටි භික්ෂූන් වහන්සේ නමක් අල්ලා ගන්නා ලදී. මේ හිමිනමට විරුද්ධව සාක්ෂි දීමට එම බස්නායක නිලමේත් ඔහුගේ පුතාත්, වීදියවැල්ලේ නිලමේත් ඉදිරිපත් වූහ. නඩු අසා උන්වහන්සේ මරා දමන ලදී. එසේ මරණයට පත් කළේ කුඩාපොළ හිමියන්වයි. මේ අසෝබන සිදුවීමට ඉංග්‍රීසි නීතිඥවරු ද විරුද්ධ වූහ. පසු කලෙක ටොරින්ටන් සාමිට සිය ධුරය පවා අහිමි වූයේ මේ සිදුවීමයි. සිංහලේ ද්‍රෝහීන්ගේ ද්‍රෝහී ක්‍රියා නිසා කැරැල්ල දවසින් දවසම අඩාළ විය. මේ පොදු සටන පාවා දී ඉංග්‍රීසින්ගේ තාන්න මාන්න ලැබූ බත් බැලයන්ගෙන් උඩරට පිරී පැවතුණි.


සිංහලේ සටනට පක්ෂ බවක් පෙන්වා පුහු අනුරාගයකින් සටන් බිමට එන සිංහලේ ද්‍රෝහීන් ගැන පුරන් අප්පු විමසිල්ලෙන් පසුවිය. සටන් බිම ආරම්භ වූ දා සිට පුරන් අප්පු සමග සිටි හේවාහකුරුගේ හා බැද්දගේ අල්ලීස් යන දෙදෙනා 1848.08.06 වැනිදා ඉංග්‍රීසි හමුදාවට පහර දී පැමිණියා යැයි පුරන් අප්පුට පවසා ඔවුන් සමග පැමිණි පුංචි අප්පු, ඇල්ලේපොල, හොදිගේ, වීරනෙත්ති, රුප්පු කුට්ටි, ආරුමුගම්, කාරියවසම් යන 7 දෙනාත් එදින පුරන් අප්පු සමග රාත්‍රිය ගත කළහ. අල්ලීස් හා හේවා හකුරුගේ සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි සේනාධිනායක තෙමේ ගල් ගෙය තුළ නින්දට ගියේය. මධ්‍යම රාත්‍රිය ඉකුත් වී ටික වේලාවකින් ගල් ගෙය තුළට කඩා වැදුණු මේ අමුත්තන් 09 දෙනා සිංහලේ සේනාධිනායකයාගේ දෑතත් දෙපාත් බැඳ දමා 1848 අගෝස්තු 07 වැනිදා ඉංග්‍රීසීන්ගේ සිරකරුවෙකු වශයෙන් මාතලේ කඳවුරට ගෙන ආහ. ඉංග්‍රීසින්ගේ රහස් පොරොන්දුවක් අනුව සිංහලේ සේනාධිනායක පුරන් අප්පු සිරකරුවෙකු වශයෙන් අල්ලා ගෙනවුත් ඉංග්‍රීසීන්ට බාර කළ සිංහල ද්‍රෝහීන් 09 දෙනාත් සිරකරුවන් වශයෙන් මහනුවරට පිටත් කර හැරීම කාගේත් විමතියට හේතුවක් විය. 
සිය දේශයේ නිදහස තකා සටන් කළ ජාතික වීරවරයෙකු ප්‍රසිද්ධියේම විදේශිකයන්ට පාවා දීමට තරම් ද්‍රෝහිකමක් කළ පිරිසකගෙන් කිසිදු පක්ෂපාතී බවක් බලපොරොත්තු විය නොහැකි බව ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රකාශ කරන ලදී. පසුව යුධාධිකරණයේ නඩු අසා පුරන් අප්පු වැරදිකරුවෙකු බවට පත්කොට 1848 අගෝස්තු 08 වැනිදා සවස 2.30ට සිංහලේ සේනාධිනායකයාව සිටි පුරන් අප්පු දෑතේත් දෙපයේත් විලංගු සහිතව ඝාතක සේනාංකය ඉදිරියේ පෙනී සිටියේය. පොදු ජනතාව වෙනුවෙන් ජාතික සටනක් මෙහෙයවීමේ ගෞරවය ලැබූ සිංහලේ සේනාධිනායක පුරන් අප්පු ඉංග්‍රීසි ඝාතක හමුදාවෙන් නිකුත් කළ වෙඩි උණ්ඩ හමුවේ ළය පෑවේය. ද්‍රෝහීන්ගේ මරු උගුලක බැඳී ඉංග්‍රීසීන් වෙත පැමිණි ජාතියේත් දේශයේත් අනාගත විමුක්තිය සලකා සිය මව්බිම වැළඳගෙන අවසන් සුසුම් පොද හෙළීය.


සිංහලේ නිදහස් සටනේ රජතුමා ලෙස සිටි උඩුනුවර ගොන්ගාලේගොඩ මැණික්රාල හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා ද ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්විය. 1848.11.14 වන දින නඩු අසා 1849.01.06 වැනිදා බෝගම්බර හිර ගෙදර තුළ දී එල්ලා මරා දමන ලදී. 2 වන නිදහස් අරගලයේ දී සිරභාරයට ගත් පිරිස 380ක් විය. 126 දෙනෙක් නඩු අසා මරා දමන ලදී. දවස් 79ක් තිස්සේ මාතලේ, කුරුණෑගල, මහනුවර යන ප්‍රදේශ පුරා ගෙනගිය දේශමාමක දේශානුරාගයෙන් ඔදවැඩුණු සිංහලේ සටන්කාමීන් විවිධ අන්දමින් 1000 කට ආසන්න පිරිසක් මරණයට පත් වුවද එකම ඉංග්‍රීසි භටයෙක්වත් මෙහිදී ජීවිතක්ෂයට පත් නොවීම සුවිශේෂී තත්ත්වයකි. මෙම ලිපියෙන් පෙන්වාදීමට අදහස් කළේ මීට වසර 170 කට පමණ පෙර දිනා ගැනීමට තිබූ රට දිනා ගැනීමට නොහැකි වූයේ රට ගැන නොව බඩ ගැන සිතූ පාපතරයින් නිසාවෙනි. ඔවුන් ජාතියට හඳුන්වා දීම ජාතික යුතුකමකි.

 

 

 


උපාලි උඩුගමසූරිය
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.