1815 වසරේ පෙබරවාරි මස 18 වැනිදා දුම්බර මැද මහනුවර බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී ඉංග්‍රීසිහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් අවස්ථාව.

 

 

1815 වසරේ පෙබරවාරි මස 18 වැනිදා දුම්බර මැද මහනුවර බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එකල මේ රට පානය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසිහු සමත් වූහ. එම හේතුව නිසා දෙදහස් වසරකට වැඩි කාලයක් අවිච්ජින්නව පැවත ආ ශ්‍රී ලංකාවේ රාජාවලියද නිමාවට පත්විය. එපමණක් නොව අපේ රටේ පැවති ජාතිකාභිමානයට සුවිශේෂි වශයෙන් හේතු වූ ජාතික නිදහස මෙන්ම ස්වාධීනත්වයද අහෝසි වී ගියේය. ශ්‍රී ලංකාවාසී ජනතාව එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජුගේ පාලනයට යටත් වූ වහල් ජනතාවක් බවට පත්විය. මේ රට පාලනය කිරීම මුළුමනින්ම  එංගලන්ත කිරීටයට හිමිවූවේය. 


එම පාලනය බි්‍රතාන්‍යයන්ට හිමි වූයේ 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරටදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගිනි. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා රාජ්‍යය බි්‍රතාන්‍ය කිරීටයට පවරා දීමට සිංහල ප්‍රභූන් හැම දෙනාම එම ගිවිසුමට එකඟ වූ බවට වර්තමානිකයෝ වැරැදි ලෙස වටහා ගනිති. එහෙත් එය  සිදුවුවේ එසේ නොවේ. ආරම්භක මොහොත් සිට සමහර ඉහළ නිලමේවරු බි්‍රතාන්‍යයට යටත්වීම ප්‍රතික්‍ෂේප කළහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ නුවර කලාවියේ දිසාව නියෝජනය කළ නුවරවැවේ නිලමේ එවැන්නෙකි. මාර්තු 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේ පැවති උඩරට ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය ඔහු වර්ජනය කළේය. වගන්ති දොළහකින් සමන්විත එම ගිවිසුම වලංගුවීමට නම් නුවර කලාවිය භාර දිසාවේ වශයෙන් නුවරවැවේ නිලමේගේ අත්සන් තැබීම අනිවාර්ය විය. තමාගේ බලාපොරොත්තු කඩවන අයුරින්  හැසිරෙන නුවරවැවේ නිලමේගේ ක්‍රියා කලාපය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ ඉමහත් කෝපයට හේතුවිය. වහාම  නුවරවැවේ දිසාව අල්ලා අධිකරණය හමුවට පැමිණවිය යුතු බවට අණ කළ බ්‍රවුන්රිග් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසි හමුදා පිරිසක් නුවර කලාවියට යැවීය. අනතුරුව ඇහැළේපොල අදිකාරමගේ උපදෙස් පරිදි උඩරට පාලනයේ ප්‍රබලයකු වූ ගලගොඩ විජේසුන්දර රාජපක්‍ෂ මුදියන්සේ නුවරකලාවියේ දිසාපති ලෙස පත්කර ඔහුගේ අත්සන ලබාගැනීමෙන් උඩරට ගිවිසුම නීත්‍යනුකූල කරගත් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එකල නුවර කලාවිය හෙවත් අනුරාධපුරය විශාල වනාන්තරයක්ව පැවති නිසා නුවරවැවේ දිසාව අත්අඩංගුවට ගැනීම ඉංග්‍රීසින්ට පහසු වූවේ නැත. මෙසේ බොහෝ කලක් බි්‍රතාන්‍යයන්ගේ ආඥාවට හිස නොනමා සිටි දේශප්‍රේමී නුවරවැවේ දිසාව අන්තිමේදී අත්අඩංගුවට පත්වූවේ සිංහල පාවා දෙන්නෙකුගේ ක්‍රියාවක් හේතුවෙනි. 


බි්‍රතාන්‍ය හමුදාවේ නිලධාරියෙකු වූ එල් ද බුෂේ නමැත්තා තම  මිතුරෙකුට යැවූ ලිපියක උඩරට ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව විස්තර කර ඇත්තේ මේ ආකාරයෙනි. “අප මහනුවර අත්පත් කර ගනිද්දී එහි කිසිම මනුෂ්‍යයෙක් පේන තෙක් මානයක නොවීය. සතියක් ගත වෙන්නටද කලින් එහි සියලු නිවෙස් ඒවායේ අයිතිකරුවන්ගෙන් පිරී ගිය අතර නගරයෙහි බොහෝ වූ වීදි මාර්තු 02 වැනිදාට නියමිත වූ උත්සවය දැකගැනීම සඳහා එදිනට කලින් නන් දෙසින් පැමිණි ජනකායකගෙන් ගහන විය. එදින උදෑසනම මාලිගයේ සුවිසල් ශාලා මොහොට්ටාල, කෝරලේ හා විදානේ යනුවෙන් හැඳින්වුණු ජන නායකයන්ගෙන් පිරෙන්නට පටන් ගත් අතර ඒ හැම දෙනාම කළුවන් හෝ සුදුවන් දිගු රැවුලකින්ද මනා බුද්ධිමත් පෙනුමෙන්ද යුත් වෘද්ධයෝ වූහ. බොහෝ දෙනෙක් යුරෝපීය මුහුණක් එතෙක් නුදුටුවෝ වූහ. අපගේ හමුදා  දුටුවෝ වී නම් ඒ කීප දෙනෙක්ම පමණි. නැතිනම් එවැනි කිසිවෙක් නොසිටියහ. සුපුරුදු පරිදි නියමිත හෝරාවේ දෛනික මුර සෙබළුන් ඔවුන්ගේ සේවා ස්ථානවලින් මුදා හැරෙද්දී එකී ජන නායකයෝ විස්මයට පත් වූහ. එය ඉතාම දීප්තිමත් දිනයක් විය. සෙබළුන්ගේ අවිවල දීප්තියත්, තූර්ය වාදනයත්, සෙබළුන්ගේ රිද්මයානුකූල ගමන් විලාසිතාවක් ඒ ජන නායකයන්ගේ කුහුල් සිත් පිනවීමට සමත්විය. එදින සවස හතරේ කණිසම එළඹෙත්ම අපගේ මිත්‍ර ඇහැලේපොල පළමුවැනි සහ දෙවැනි අදිකාරම්වරුන්ද සියලුම  දිසාවේවරුන් හා සේවකයන් කීප දෙනෙකුද කැටුව මාලිගයට පැමිණියහ. පුරාණ රෝමයේ තානාපතිවරුන් නිල උත්සවයකට සම්ප්‍රාප්ත වනවිට ඔවුන් පෙරටුව ගමන් ගත් යෂ්ටිධරයින් වැනි සේවකයෝ දෙදෙනෙක් යෂ්ටි වෙනුවට නියඳ කෙන්දෙන් තැනුණු විශාල කස දෙකක් අතැතිව අදිකාරම්වරුන් දෙදෙනා ඉදිරියෙන් ගමන් කළහ. අදිකාරම්වරුන්ගේ සම්ප්‍රාප්තිය නිවේදනය කිරීමත් ඔවුන්ට වීදියේ ඉඩකඩ ලබාදීමත් පිණිස කසකාරයෝ දෙදෙනා උස් හඬක් නැගෙන සේ නොකඩවා කස පිපිරවූහ. අදිකාරම්වරුන් දෙදෙනා සුවිසල් ශාලාවට පිවිසෙන තෙක්ම කස හඬ අඛණ්ඩව නැංවිණි. සම්මන්ත්‍රණ ශාලාව තුළදී ගිවිසුම සම්මත කෙරුණු අතර මාලිගා අංගණය වෙත ගෙනෙන ලද ගජනාවලින් නැංවුණු ආචාර වෙඩිමුර මධ්‍යයෙහි අදාළ සියලු පාර්ශ්ව ගිවිසුමට අත්සන් තැබූහ.


මහනුවර රාජ්‍යය මහා බි්‍රතාන්‍යයේ රජ අතට පත්කිරීමේ කාර්ය භාරය අපගේ හමුදා විසින් සාර්ථක කරගන්නා ලද අවස්ථාවේදී කන්ද උඩරැටියන් ඒ කෙරෙහි දැක්වූ ප්‍රතිචාරයත් මහනුවර පැවැති ස්වෛරී පාලනය වෙනස් කිරීමට 1803 දී අප යථෝක්තාකාරයෙන්ම දැරූ ප්‍රයත්නයේදී කන්ද උඩරැටියන් ඒ කෙරෙහි දැක්වූ ප්‍රතිචාරයත් අතර වෙනස මෙහිදී සඳහන් නොකර සිටීමට නුපුළුවන් තරමට පුළුල්ය.


මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය බි්‍රතාන්‍යයට අයත් වූ අතර එම පාලනය යටතේ උඩරට ගිවිසුමේ කොන්දේසි ආරක්‍ෂා නොවන බවත් දේශීය ප්‍රජාවගේ ආගම්වලට නිසි ආරක්‍ෂාවක් නොලැබෙන බවත් මෙරටවාසීහු වටහා ගත්හ. තමන් රැවටීමකට ගොදුරු වූ බව දේශීය පුරවැසියෝ තේරුම් ගත්හ. ආරම්භයේදී කුතුහලයක් පමණක් වූ අදහස් ක්‍රමයෙන් දැඩි විරෝධයක් සහ කෝපයක් බවට පත් වූ අතර උඩරට දේශප්‍රේමිහු මහා කැරැල්ලක් ආරම්භ කළහ. ඌව වෙල්ලස්සේදී පටන් ගත් මෙම සටන මාතලේ, දුම්බර, වලපනේ, දෙනුවර, හතර කෝරලේ සහ හත්කෝරලේ දක්වාද පැතිර ගියේය. මෙම සටන ගැන නිරන්තරයෙන්ම කියවෙන බූටාවේ රටේ රාල, කිව්ලේගෙදර මොහොට්ටාල, කොහුකුඹුරේ රටේ රාල, කැප්පෙට්පොළ දිසාව ඇතුළු ප්‍රකට වීරයන් ගැන මෙහිදී විස්තර දැක්වීමට අදහස් නොකරමි. බොහෝ  ලිපිවල මෙන්ම පොත්පත්වලද සඳහන්ව තිබෙන බැවිනි. එහෙත් අප්‍රකටව සටන් කොට ජීවිත පරිත්‍යාග කළ වීරයෝ බොහෝය. එවැනි චරිත කීපයක් ගැන අපි අවධානය යොමු කරමු. ආරම්පොළ මොහොට්ටාල, වයඹ පළාතේ සත් කෝරලයේ විමුක්ති සටනේ ප්‍රධාන සෙන්පතියෙකි. මෙතුමා ඉතා නිර්භීත එමෙන්ම මනා කාය ශක්තියකින් හෙබි නිලධාරියෙකු වූ බව කියනු ලැබේ. 1818 කැරැල්ල ඌව වෙල්ලස්සෙන් ඇරඹුණු විට සත් කෝරලයේ දේශප්‍රේමින් එකතු කොටගෙන එම ප්‍රදේශයෙන් නිදහස් අරගලයක් ආරම්භ කිරීමට මෙම ප්‍රදේශීය නායකයා මූලිකත්වය ගත්තේය. ඉහළ දොළොස්පත්තුවේ මොහොට්ටාල, වැල්ලව නිලමේ, බොරලුවැවේ කෝරාල, අරම්පොල කුඩා මොහොට්ටාල, කඳුළව, මොහොට්ටාල, මාවතගම නිලමේ වෑඋඩ අප්පු, හුනුපොළ නිලමේ, ආදීහු අරම්පොළ මොහොට්ටාල සමග එක්ව සත් කෝරලය පෙදෙසින් ජාතික විමුක්ති සටනට තම දායකත්වය ලබාදුන්හ. සටන කොතරම් උග්‍රවූවේද යත් ඉංග්‍රීසි හමුදාවන්ට සත් කෝරලය අතහැර මහනුවරට පසු බසින ලෙස නියෝග කිරීමට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ට සිදුවිය.


මෙවැනි ජයග්‍රාහි මාවතකට අපේ නිදහස් අරගලය පැමිණ තිබුණත් සමහර සිංහලයන්ගේම පාවාදීම් නිසා කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ ආදී නායකයෝ සතුරු අත්අඩංගුවට පත් වූහ. එනිසා ඌව වෙල්ලස්සේ හා උඩරට පළාත්වලදී සටන අඩපණ වූයේය. පාවාදීම ආරම්භ වූ පසු අරම්පොළ මොහොට්ටාලට අවබෝධවූවේ තවදුරටත් කැරැල්ල පවත්වාගෙන යා නොහැකි බවයි. අන්තිමේදී පරාජය පිළිගැනීමට සිදුවුවහොත් තම පළාත් වැසියන්ට නොයෙක්  දුක් ගැහැටවලට සහ සම්පත් විනාශයකට මුහුණ දී විශාල හානියකට ලක්වීමට සිදුවන බව තේරුම් යාම නිසා ඉතා අකමැත්තෙන් යුතුව වුවත් හත් කෝරලේ බි්‍රතාන්‍ය හමුදා අණදෙණ නිලධාරියා වූ කර්නල් හුක්ගේ කුරුණෑගල හමුදා මූලස්ථානයට ගොස් භාර වූ බව කියවේ. ඔහු භාර වූ බවත් නොසලකා කටයුතු කළ බි්‍රතාන්‍යයෝ අරම්පොල මොහොට්ටාල යුද්ධාධිකරණයට පමුණුවන ලදුව එල්ලා මරා දැමීමට නියම විය. ඔහු පෝරකයට නංවන ලදුව වධකයා විසින් මෙම වීරයාගේ ගෙලට කඹය දමා ඔහු සිටුවා තිබුණු පුවරුව  ගස්සා ගෙල සිරකරනු ලැබීය. අනතුරුව ඔහු පෝරකයේ එල්ලී සිටිනු දක්නා ලදී. මොහොතකින් කඹය කඩාගෙන අරම්පොල මොහොට්ටාල බිමට ඇද වැටුණි. ඔහුගේ ගෙල පෙදෙස සම්පුර්ණයෙන්ම හම ගැලවී ගොස් තිබුණි. දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෝරකයෙන් වැටී මරණයෙන්  බේරී ඇති නිසා ඔහුට සමාව දිය යුතුයැයි ඒ මොහොතේ යෝජනා වී ඇතත් අරම්පොල මොහොට්ටාල පවසා ඇත්තේ සුද්දන්ගෙන් ලැබෙන ක්‍ෂමාව තමාට අවශ්‍ය නොවන බවයි. තමා එල්ලා මරා දමන ලෙස ඔහු එඩිතරව ඉල්ලා සිටියේය. එය එසේම සිදුවූ බව කියනු ලැබේ. 1818 නිදහස් අරගලයේදී මෙසේ දිවි පිදුවෝ බොහෝය. එවැන්නන් අතර වීර කාන්තාවෝද වූහ. වෙල්ලස්සේ හමාපොල රංකිරි එබඳු වීර මාතාවකි. බදුල්ලේ උප දිසාපතිව  කටයුතු කළ මේජර් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් සේනාවක් සමග පැමිණෙද්දී ඊතණවත්තේ දේවාලය අසලදී සිංහල දුනුවායෙකුගේ ඊතල ප්‍රහාරයකින් මරණයට පත්විය. ඒ ගැන කෝපයට පත් බි්‍රතාන්‍ය නිලධාරීහු එම ඝාතනයට වගකිවයුත්තන් සොයා ප්‍රදේශය පීරූහ. මේ වනවිට බොහෝ දෙනා එම ගම්බිම් අතහැර ගොස් සිටියහ. ඉංග්‍රීසි සෙබළුන්ට හමුවූයේ මහලු කාන්තාවකි. ඒ මෙම රන්කිරි වීර මාතාවය. ඇගෙන් තොරතුරු විමසූ නමුදු ඇය කිසිදු තොරතුරක් හෙළි නොකළාය. තම දෑත්, දෙපා හා කන් නාසා කපද්දීත් ඇය ඒ සියල්ල දරා ගනිමින් සතුරන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී රහස් ආරක්‍ෂා කළාය. ඒ වෙනුවෙන් ලැබුණු මරණය සතුටින් වැලඳ ගත්තාය.


ඉන් පසුව එළඹුණේ 1848 සටන් ව්‍යාපාරයයි. පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා ආදී නායකයන්ගෙනුත්, හඟුරන්කෙත ඩිංගි රාල, දිනේශ් හා කරෝඅප්පු ආදී පිරිසක් විසින් මෙම අරගලය ආරම්භ කරන ලද්දේ නිදහස් සටනේ කොටසක් වශයෙන් නොව එවකට ආණ්ඩුකාරවරයා වූ ටොරින්ටන් සාමිවරයා විසින් පනවන ලද බදු හතකට විරෝධය පළ කරමිනි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිණිස ඇඟ බද්ද, තුවක්කු බද්ද, කරත්ත බද්ද බලු බද්ද ආදී වශයෙන් මෙම බදු නම් කර තිබුණි. මේවාට  එරෙහිව බදු විරෝධී අරගලයක් වශයෙන්  දියත් වූ මෙම සටන් ව්‍යාපාරය කුරුණෑගල සිට මාතලේ දක්වා ප්‍රචලිත විය. එය මැඩලිමට ඉංග්‍රීසි හමුදා යොදන ලද අතර ක්‍රමයෙන් එය ජනතා විමුක්ති අරගලයක් බවට පත්විය. මහනුවරට ආසන්නයෙන් පිහිටි උඩුනුවර - යටිනුවර - පාතදුම්බර - උඩුදුම්බර, හාරිස්පත්තුව, හේවාහැට, මාතලේ, තුම්පනේ ආදී ප්‍රදේශවලින්ද ජනයා මහනුවර කච්චේරිය අසලට එක් රැස් වී තම විරෝධය පළකළහ. එයට නායකත්වය දුන්නේ ගුන්නෑපානේ ආරච්චි නම් වූ ප්‍රාදේශීය නායකයාය. මෙම විරෝධතාව මැඩ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ නායකයාට අසුපිටින් වැටෙන තුරු මිනිස්සු පහර දුන්හ. මෙය ආයුධ සන්නද්ධ සටනක් බවට පත්වූයේ ඒ අනුවය. 


මෙසේ මෝරා ගිය සටන තවත් තීව්‍ර කරමින් 1848 අගෝස්තු 31 වැනි දින වඳුරාගල නොතාරිස් රාලහාමිගේ ප්‍රධානත්වයෙන් වූ දහස් ගණනක විශාල සිංහල තරුණ පිරිසක් අරගලයට එක්වූහ. මේ අතරවාරයේ දඹුල්ලේ රාජමහා විහාරයට රැස්වූ (1848 ජුලි 30 වැනි දින) පනස් දහසක පමණ ජනතාවක් මධ්‍යයේ එම විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති නාහිමියන් විසින් ඔටුනු පළඳවන ලදුව ගොන්ගාලේගොඩ බණ්ඩා වීරයා සිංහලේ රජු වශයෙන් අභිෂේක කරන ලදී. ඒ ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි යන නමිනි. 


එම රජුගේ යුව රජු වශයෙන් හඟුරන්කෙත ඩිංගි රාලත් පුරන් අප්පු වීරයා සේනාධිනායක ලෙසත් දිනේෂ් හා කරෝඅප්පු යන දෙදෙනා උප සේනාධිනායකවරුන් ලෙසද තනතුරු ලැබූහ. තනතුරු වරප්‍රසාද හා මිල මුදල් ත්‍යාග කෙරෙහි ලොල් වූ සිංහලයන්ගේ පාවාදීම් සහ කුමන්ත්‍රණ නිසා සටන ක්‍රමයෙන් දුර්වල විය. ඉංග්‍රීසින් සමග ඉතා කිට්ටු සම්බන්ධතා පැවැත්වූ දරටියාවේ රටේ රාල පාවාදෙන්නන්ගේ ප්‍රමුඛයා බවට සඳහන් වේ. ඔහු සැපයූ ඔත්තුවකට අනුව අරගලයේ නායකයෝ සියලු දෙනාම අත්අඩංගුවට පත්වූහ. ඔවුන් මරා දැමීමෙන් සටන නිමාවට පත්විය. මරණයට ගොදුරු කිරීමට පෙර පුරන් අප්පු වීරයා ප්‍රකාශ කළේ “මගේ මව මා වැනි තව එකෙක් වැදුවානම් එක පර සුද්දෙක් ඉතිරි නොකරන” බවයි.


මෙසේ ඉදිරියට ගිය නිදහස් සටන 1915න් පසු දේශපාලන  සටනක් බවට පත්විය. සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, රාජ නීතීඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඇෆ්. ආර්. සේනානායක, සර් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක වැනි දේශපාලනඥයෝ මෙම දේශපාලන සටනට ක්‍රියාකාරීව නායකත්වය දුන්හ. පියදාස සිරිසේන,  කුමාරතුංග මුනිදාස ආදීහු ලේඛන කලාව ඔස්සේ එයට ධෛර්ය දුන්හ. ඩී. ආර්. විජයවර්ධන මහතාගේ ලේක්හවුස් පත්‍ර සමාගමද මෙම නිදහස ලබාගැනීමේ දේශපාලන සටනට අති විශිෂ්ට සහායක් දුන් බවද සඳහන් කළ යුතුමය. 


මෙවැනි දීර්ඝ අරගලවලින් සහ 1915 වසරේ ඇතිවූ සිංහල - මුස්ලිම් ජාති භේදවාදී කෝලාහල නිසා ඇතිවූ තත්ත්වයන් මත ලංකා ජාතික සංගමය ආරම්භ වීම මගින් නිදහස සඳහා දේශපාලන ක්‍රියාමාර්ගයක් ආරම්භවීමද යන හේතු නිසා පුළුල් පෙරමුණක ජාතික නිදහස පිළිබඳ අදහස රට පුරා මතු වූවේය. එහි නියත ප්‍රතිඵලය වශයෙන් ලංකාවට නිදහස ලබාදීම තවදුරටත් කල්දැමීමට හෝ ප්‍රමාද කිරීමට බි්‍රතාන්‍ය පාලනයට නොහැකි විය. එනිසා 1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට නිදහස ප්‍රදානය කිරීමට බි්‍රතාන්‍යය තීරණය කරන ලදී. එම උළෙල අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට එවකට මෙරට ක්‍රියාත්මක වූ ඩී. ඇස්. සේනානායක මහතාගේ රජය කටයුතු සංවිධානය කර තිබුණි.
එදින සමස්ත ලංකාව පුරා සියලුම වෙහෙර විහාරස්ථානවල සහ දේවස්ථානවල ඝණ්ඨා නාද විය. වරායන්වල නවතා තිබූ නැව්වල නළාවල ශබ්ද නිකුත් විය. දේශපාලන අංශයෙන් සිදුවූ ප්‍රථම සිදුවීම වූවේ කලින් මෙරට සිටි බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මොන්ක්මේෂන් මුවර් මහතා නව නිදහස් රාජ්‍යයේ නව අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් දිවුරුම් දීමයි. එවකට ලංකාවේ සිටි අග්‍ර විනිශ්චයකාරවරයා වූ සර් ජෝන් හාවඞ් ඉදිරියේ එම දිවුරුම් දීම සිදුවිය. බි්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය සහිතව ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් අපට ලැබුණු නිසා බි්‍රතාන්‍යයේ කිරීටයේ නියෝජිතයා වශයෙන් බලවත් තැනක් අග්‍ර ආණ්ඩුකාර ධුරයට හිමිවිය. එනිසා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේෂන් මුවර් දිවුරුම් දීම අතිශය සුවිශේෂි සිදුවීමක් ලෙස සටහන්  වූවේය. අනතුරුව අගමැති ඩී. ඇස්. සේනානායක මහතා ජාතිය ඇමතීම සිදු කෙරුණි.  සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම  එතුමා  ජාතිය ඇමතූ බව සටහන්ව ඇත. එතුමාගේ කතාව මෙසේ විය. 


“අද දින විශේෂ උතුම් දිනයකි. ලංකා වැසියන් සියලු දෙනාටම ප්‍රිතියක් යෙදෙන දිනයක්ය. අවුරුදු දෙදහස් ගණනක් නිදහස් ජාතියක්ව සිටි අවුරුදු හාරසිය ගණනක් නිදහස ආරක්‍ෂා කර ගන්නට බලාපොරොත්තු වූ ලංකාව අවුරුදු එකසිය ගණනකට ඉස්සර ඒ ආරක්‍ෂාව ප්‍රවේශම් කරන්ඩ බැරි නිසා ඉංග්‍රීසි කිරිටයට පාවා දෙන්නට සිදුවිය. ඒ පාවාදීම මේ අවුරුදු ගණනාවකට පස්සේ ආයේ විඩයක් අපේ ලංකාව ලාංකිකයන්ටම බාරදුන්නා.


සත්තකටම අද අපේ සියලු දෙනාටම බොහොම සන්තෝස දිනයක්. මං විශ්වාස කරනවා මේ ලංකාවට මීට ඉස්සර මෙවැනි දිනයක් ඇතිකෙරුණානම් මීට වැඩිය උතුම් දිනයක්. ඒ දිනය නම් ලංකාවට බුද්ධ ධර්මය වැලඳ ගන්නට හේතු වූ දිනයයි. ඊට පස්සේ මේ අපට ලැබුණු නිදහස අප භුක්ති විඳින්නට නම් ඒ නිදහසේ බලාපොරොත්තුව මොනවාද කියා අපි සියලු දෙනාම කල්පනා කරන්ඩ උවමනාය.


නිදහසක් වුවමනා කරන්නේ ඒ රටේ සියලු වැසියන්ගේ දුක අඩුකර, සැප වැඩිකර ගන්ට මාර්ග සලස්වා ගැනීමටයි. ඒ මාර්ග සලසා ගන්ඩ පුළුවන් වන්නේ අපි සියලු දෙනාම සහෝදර ප්‍රේමයෙන් අපි අපේ එකිනෙක්කෙනාගේ දියුණුව ගැන කල්පනා කර පුළුවන් තරමක් ධෛර්යයෙන් අපි අනික් එක්කෙනාගේ දියුණුව වැඩිකර ගන්ට වීරිය කරනවානම් ඒ නිදහස අපට භුක්ති විඳින්ට පුළුවන් වෙන එක සහතිකයි.

 

උඩරට ප්‍රධානීන්, ඇහැලේපොල අදිකාරම, මොල්ලිගොඩ දිසාව සහ කපුවත්ත දිසාව ජෝන් ඩොයිලි බි්‍රතාන්‍ය පරිවරතක සාකච්ඡාවක යෙදී සිටි අයුරු සිත්තමකින්.

 

 


මේ වෙලාවෙදි අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්ඩ ඕනෑ, අපිට මේ නිදහස කිසි කලබලයක් නැතුව ලේ වැගිරීමක් නැතිව අපට භුක්ති විඳින්ට ලැබිච්ච එක ගැන. ඒකට හේතුවනුයේ අපි අපේ ආගම්වල හැටියට අපි කටයුතු කරලා හිටන් ලේ වැගිරීම්වලට සම්බන්ධ වෙන්නේ නැතුව අපේ උරුමය ලබාගත්තා යැයි කියා මා විශ්වාස කරනවා.


මේ කාලයේදී මේ ලංකාවට නිදහස ලැබිච්ච වෙලාවෙදි අපි සියලු දෙනාම සිංහල, ද්‍රවිඩ, මරක්කල, ලන්දේසි සහ ලංකාවට උරුමකම් කියන කව්රුත් එක්සත්වී එක සහෝදර ප්‍රේමයෙන් එක බැම්මෙන් බැඳී අපි ධෛර්යය දා අපේ රටේ ජාතියේ අපේ මනුෂ්‍යත්වයේ දියුණුව වැඩිකර ගන්න හිතට ගන්න ඕනෑ. මෙම උළෙල සඳහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ හෙබවූ හයවැනි ජෝර්ජ් මහ රජතුමා නියෝජනය කරමින් මෙරටට පැමිණියේ එම රජුගේ බාල සොහොයුරා වූ ග්ලොස්ටර්හි ආදිපාදවරයා සහ එම කුමරියයි. 


ඔහු සම්බන්ධවූ උත්සවය පැවතියේ 1948 පෙබරවාරි 10 වැනිදා නිදහස් චතුරශ්‍රයේ ඉදිකළ තාවකාලික ගොඩනැගිල්ලකදීය. එහිදී ග්ලොස්ටර්හි ආදිපාදවරයා විසින් අපේ ජාතික කොඩිය එසවීමෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු බව සංකේතවත් කළේය. එය ලංකාවේ පාර්ලිමේන්තුවේ සභාවාරයක් ලෙසින්ද හැඳින්වේ.


නිදහස ලබා පුරා හැත්තෑ වසරක් සම්පූර්ණ වෙමින් තිබේ. එම අත්‍යුදාර අනුස්මරණ දිනයේදී නිදහසෙන් පසු දීර්ඝ ගමන ගැන ආපසු හැරී බැලීම අතිශයින්ම උචිතය. අප ඉදිරියට ගොස් තිබේද? නැතිද? යන්න සමාලෝචනය කළ යුතුය. යම් යම් අංශවල ප්‍රගතියක්  දක්නට ඇති බව සැබෑය. එහෙත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා දේශය සහ ශ්‍රී ලාංකේය ජන සමාජය නිදහසෙන් අපේක්‍ෂිත පරිදි නියමිත ඉලක්කයකට අනුව නිර්මාණය කර ගැනීමට අපේ රට සමත්ව තිබේද යන ගැටලුව යමෙකුගේ චිත්ත සන්තානය තුළ මැවෙනු නිසැකය. එවැනි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරැදි කර ගන්නා ආකාරය තීරණය කර ගැනීමටත් ඒ සඳහා නොමැළිව සටන් වැදීම ආරම්භ කිරීමටත් මේ යෝග්‍යතම මොහොතයි. එසේ නොවුවහොත් දැයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සහ අපමණ දුක් ගැහැට විඳි ශ්‍රේෂ්ඨයන්ගේ නාමයට කරන නිගරුවක් වනු ඇත.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි