සුද්දන්ගේ පාලනයට මෙරට යටත්ව තිබූ යුගයේ එම අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව නැගී සිටි කිහිප දෙනකු වූ අතර බහුතර පිරිස වූයේ ඉංග්‍රීසීන්ගෙන් නොයෙකුත් වරප්‍රසාද තාන්න මාන්න ලබමින් සුඛිත මුදිත දිවියක් ගතකළවුන්ය. දේශපාලන අරමුණ මුදුන්පත් කරමින් සුළු පිරිසක් එසේ සුද්දන් සමඟ හැපුණු අතර ව්‍යාපාරික අරමුණ සඳහා ඉංග්‍රීසීන් හා ගැටුණු අය සිටියේ අතළොස්සක් පමණි.


පානදුරේ විසූ එබ්‍රහම් පෙරේරාද එවැන්නෙකි. සුද්දන් සමග තරගයට රබර් වවමින් තමාගේම රබර් අධිරාජ්‍යයක් ගොඩනගනා ගැනීමට සමත්වූ ඒබ්‍රහම් පෙරේරා එදා මෙරට වැසියන් හැඳින්වූයේ රබර් රජ්ජුරුවෝ නමිනි. 
මෙම තරගයෙන් ඒබ්‍රහම් පෙරේරා ජය ලැබූ අතර ඒ වනවිටත් මොහු පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ අරක්කු රේන්දකරුවකුද විය. අරක්කු රේන්දයෙන් ලත් අසීමිත ධනසම්භාරයත් පසුව රබර්  වගාවෙන් ලද ආදායමත් නිසා ඒබ්‍රහම් පෙරේරා මෙරට නොසෙල්විය හැකි ධනවතකු බවට පත්විය රබර් ව්‍යාපාරයට අමතරව පොල්වගාවටද යොමුවූ මොහු පසුව අරක්කු රේන්ද ව්‍යාපාරය අතහැර දැමීය.


මොහුගේ මුල් නිවස පානදුරේ වෑකඩ ‘ශ්‍රී නගර්’ මන්දිරයයි. පසුව ස්වර්ණගිරි නමින් තවත් මන්දිරයක් පානදුරේ ඉදිකළ මොහුට හොරණ කපුකුළකන්ද, හෑගල්ලවත්ත, බැල්ලපිටියේ අරඹකන්ද වැනි දර්ශනීය ස්ථානවල අලංකාර බංගලාද විය.


පානදුරේ ප්‍රසිද්ධ ආතර් වී. දියෙක් මහතාගේ සොහොයුරියක වන ලිලියන් ටිලීෂියා දියෙස් මෙනවිය හා විවාහවූ ඒබ්‍රහම් පෙරේරා යුවළට දරුවන් හතර දෙනෙකි. තෙවැනි දරුවා ලෙස විල්මට් ඒ පෙරේරා උපත ලද්දේ 1905 ජුනි මස 12 වැනි දිනය.


විල්මට් ඒ. පෙරේරාගේ වයස අවුරුදු දහයක් පමණ වූ කාලයේ 1915 මෙරට මරක්කල කෝලාහලය හටගත්තේය. කැති පොලු ආදිය රැගත් විශාල පිරිස් එදා කෝපයෙන් කෑ ගසමින් එළුවිල මුස්ලිම් පල්ලිය ආක්‍රමණය කිරීමට දිවයන අයුරුත් මුස්ලිම් ජනතාව ජීවිත ගලවා ගැනීමට කෑ මොර දෙන හැටිත් එදා පුංචි විල්මට් දුටුවේය. සිය පියාවූ ඒබ්‍රහම් පෙරේරා වහා මුස්ලිම් පල්ලිය කරා ගොස් එහි සිරවී සිටි මුස්ලිම් ජනතාව බේරාගෙන සිය නිවෙසට කැඳවාගෙන විත් ආරක්‍ෂා කළ හැටි විල්මට් දුටුවේය.


ජාති, කුල ගෝත්‍ර, ආගම් වශයෙන් නොබෙදී එකම ජාතිකයක් ලෙස ජීවත්වීමේ අගය එදා පුංචි විල්මට්ගේ සිතට තදින්ම කාවැදුණි. 


කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගැනුම ලත් විල්මට් එවකට ටවර්හෝල් යුගයේ ඉතා ජනප්‍රියව තිබූ ජෝන්ද සිල්වාගේ නාට්‍ය බැලීමට මහත් ආශාවක් දැක්විය.


එංගලන්තයට ගොස් ගණකාධිකාරී විභාගය සමත්වීම විල්මට්ගේ කැමැත්ත වුවද ඔහුගේ පියා ඊට අකමැති විය. පසුව විල්මට් පුරාවිද්‍යාව ඉගැනීමට කැමැති වූයේ ඒ අනුවය. කේම්බි්‍රජ් සරසවියට ඇතුළු වී පුරාවිද්‍යාව ඉගැනීමට සිතුවද එයත් අහිමිව ගියේ එංගලන්තය බලා යෑමට සතියක් තිබියදී සිය පියා අසනීපවීමත්, පියා මිය යෑමෙන් පසුව එම දේපළ වතුපිටි රැකබලා ගැනීමට මෙරට නතරවීමට සිදුවීමත් නිසාය. ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටියදීම මෙරට අධ්‍යාපන ක්‍රමයේ ඇති අසාධාරණය දුරු කිරීමටද අදිටන් කර ගත් විල්මට් පෙරේරා සෑම දරුවකුටම එක හා සමාන අධ්‍යාපනයක් ලැබනෙ ක්‍රමයක් ගැන සිතුවේය. නිදහස් අධ්‍යාපනය මෙන්ම මධ්‍යම පාඨශාලාවල  අවශ්‍යතාව ගැනද ඔහු පෙන්වා දුන්නේ යම් 1933 වසරේදී සුළු ගොවියා ගැනද සිත යොමු කළ මොහු යුද්ධ කාලයේ ඇතිවූ ආහාර ද්‍රව්‍ය හිඟයට පිළියමක් ලෙස සමුපකාරයේ ඇති වැදගත්කම පහදා  දුන්නේය. දිවයිනේ නිරිතදිග කොටසේ ආරම්භ කරන ලද දෙවැනි සමුපකාර වෙළෙඳසල හොරණ හෑගල්ලේ පිහිටුවීම ඔහු ලද ජයග්‍රහණයක් විය. 1933 වසරේ පිහිටුවන ලද ගොවිකම් උපදේශක සභාවේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ විල්මට් ඒ.  පෙරේරා හොරණ කනන්විල ආදර්ශ ගොවිපළ ඇරඹීමට මුල්විය.


ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගොස් එහි අධ්‍යාපන කටයුතු හැදෑරීමට වාසනාව ලද විල්මට් නාට්‍ය කලාවට දැක්වූ මහත් ආශාව නිසාම රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ  ආදරයටද පාත්‍රවූ අතර එතුමාට ලංකාවට පැමිණෙන මෙන් විල්මට් කළ ඉල්ලීම රබීන්ද්‍රනාත් තාගෝර්තුමා පිළිගත්තේය. එතුමාගේ ලංකා ගමන 1934 මැයි මස සිදුවූ අතර ශාන්ති නිකේතනය වැනි අධ්‍යාපන ආයතනයක් මෙරට බිහි කිරීමේ විල්මට් තුළ වූ සිහිනය සැබෑ කරමින් හොරණ වෑවල කපුතුල කන්ද පාමුල රමණීය බිම්කඩක එදා තාගෝර්තුමා අතින් ශ්‍රීපාලි අධ්‍යාපන ආයතනය විවෘත විය. අක්කර 37ක පමණ බිමක ශ්‍රීපාලි ආයතනය විහිද පැතිර යද්දී එදෙස බලමින් විල්මට් ඒ. පෙරේරා ඉමහත් සතුටක් ලැබීය. දේශපාලනයටද සිත යොමුකළ විල්මට් ඒ. පෙරේරා ලංකා සමසමාජ පක්‍ෂයේද ප්‍රබල සාමාජිකයකු විය. එහෙත් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස මතුගම ආසනයට තරග කරමින් එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා පරාජය කිරීමට විල්මට් සමත් වූයේ වැඩි ඡන්ද 3614ක් ලබාගනිමිනි. ඊළඟ මැතිවරණයේදීත් සිය අසුන රැකගැනීමට  සමත්වූ විල්මට් 1956 දී දේශපාලන බිමෙන් ඉවත් වූයේ භාෂා ප්‍රශ්නය මුල්කර ගෙනය. 


වත්මන් යුගයේ ඇතැම් මහජන නියෝජිතයන් මෙන් මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ජනතා මුදල් ගසා කෑමට යොමු නොවූ විල්මට් ඒ. පෙරේරා සිය මන්ත්‍රී වැටුප පවා ලබා නොගත් බව පැවසේ. මතුගම ආසනය නොකඩවා දෙවරක්ම ජය ගැනීමට මොහු සමත් වූයේ පක්‍ෂ විපක්‍ෂ කා අතරත් ජනප්‍රියව සිටීම නිසාය. රජයෙන් ලැබෙන ඉන්ධන දීමනාව පවා ලබා නොගත් මොහු ජනතා සේවය සඳහා ගියේ සිය පෞද්ගලික මෝටර් රියෙනි. සිංහල-දෙමළ භාෂා දෙකටම සමතැන් දිය යුතුය. යන මතයේ තරයේම එල්බ සිටි මොහු කිව යුතුදේ නොසඟවා එළිපිටම පැවසීමට එඩිතරව සිටි දේශපාලඥනයෙකි. 1956 දී බලයට පත් බණ්ඩාරනායක රජය මගින් චීනයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර යැව්වේ විල්මට් ඒ. පෙරේරාවය. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය නංවාලීමට මහත් සේවාවක් ඉටුකළ මොහුට එම තනතුරද එපා වූයේ තම සිතට එකඟව කටයුතු කිරීමේදී ඇතිවූ බාධා නිසාය. පසුව වැටුප් කොමිසම, අධ්‍යාපන කොමිසම ආදියේ මුල්පුටුවට පත්වූ මොහු එම තනතුරුද අත්හැරයාම ගැන කිසිදා දුක් නුවූවද ඔහුට දුක ඇති කළ එකම කරුණ වූයේ  ශ්‍රීපාලිය අතහැර යාමට සිදුවීමය. පටු ජාතිවාදී අදහස් සැමවිටම ප්‍රතික්‍ෂේප කළ විල්මට් ඒ. පෙරේරා සැමවිටම ප්‍රාර්ථනා කළේ ජාතියේ එකමුතුකම පිළිබඳවය. සිංහලය මුළු රටේම රාජ්‍ය භාෂාව විය යුතු යැයි රට පුරා හඬක් නැගුණු වේලාවේදීත් ඔහු එයට විරුද්ධ වෙමින් පැවසුවේ යම් භාෂාවක්  කිසිවකුට බලහත්කාරයෙන් ගිල්ලවිය නොහැකි බවයි.


ඔහු මෙයට ආදර්ශ දුන්නේ ශ්‍රීපාලියෙනි. ශ්‍රීපාලි අධ්‍යාපන පීඨයේ සිංහල-දෙමළ ගුරුවර, ගුරුවරියෝ හරි හරියටම වාගේ සේවයට බඳවා ගත් විල්මට් ඒ. පෙරේරා එකිනෙකා අතර ඇති භාෂාමය බාධකය ඈත්වූ විට ජාතීන් අතර අසමඟිය තුරන් වන බවට තරයේම විශ්වාස කළේය. 


ශ්‍රීපාලි අධ්‍යාපන මධ්‍යස්ථානයක් විනා ජාති - කුල - ආගම් දේශපාලන පක්‍ෂබේදවලට ඉඩ තැබූ ආයතනයක් නොවන තැනට කටයුතු කළ විල්මට් ඒ. පෙරේරා එම පරමාර්ථය සපුරා ගැනීමට හැමවිටම කටයුතු කළේය. 


සිංහල - දෙමළ ගුරුවර, ගුරුවරියෝ මෙන්ම එම ජාතීන්ට අයත් සිංහල හා දෙමළ දරුවෝද එකම පවුලක අය මෙන් ශ්‍රීපාලි සෙවණේ පසුවූහ. එකම රටක් එකම ජාතියක් යන හඬ අද දේශපාලන පසුබිමෙන් ඇසෙද්දී විල්මට් ඒ. පෙරේරා එදා සිංහල හා දෙමළ ජාතීන් එක් කර ජාතික සමගියක් ඇතිකර සිංහල දෙමළ භාෂා දෙකටම සමාන ස්ථානයක් ලබාදිය යුතුයැයි හඬනැගීමේ ප්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක මහතාගේ කඳවුරෙන් ඈත්වීමට සිදුවීමය.

 

තමන් හැදූ වැඩූ ශ්‍රීපාලිය තුළින් උසස් ගණයේ සංගීතඥයන්, අධ්‍යාපනඥයන්, පුවත්පත් කලාවේදීන්, ගත්කතුවරුන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, දොස්තරවරුන් බිහිවනු දැකීමෙන් විල්මට් ඒ. පෙරේරා ලැබුවේ අපමණ සතුටකි. 


එතරම් ආදරය කළ ශ්‍රීපාලිය 1961 දී පාසල් රජයට පවරා ගැනීමේ පනත මගින් රජයට පවරා ගැනීම වළක්වා ගැනීමට බැරිවීම ගැන විල්මට් ඒ. පෙරේරා දැඩි ලෙස දුක්විය. ඒ තමන් සතු වස්තුවක් අහිමිවීමේ දුක නොවේ. ඉඩකඩම්, ගොඩනැගිලි අහිමිවීමේ දුකට නොවේ. මින් පසු ශ්‍රීපාලියට මුහුණදීමට සිදුවන ඛේදජනක ඉරණම ගැන සිතීමෙනි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මහා පෙරැළියක් කර නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් විරුදාවලී ලද ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි පතාක දේශපාලනඥයන් මැතිවරණ සටනේදී පරදවාලීමට විල්මට් ඒ. පෙරේරා සමත් වුවද 1960 සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයේ ආධාර ලබන සියලුම පාසල් රජයට පවරා ගැනීමේ පනත යටතේ ශ්‍රීපාලි අධ්‍යාපන ආයතනය බේරා ගැනීමට බැරිවීම ගැන විල්මට් ඒ. පෙරේරා සිටියේ දැඩිකනස්සල්ලෙනි. ශ්‍රීපාලියේ අධ්‍යාපන අංශය පමණක් රජයට පවරාදී එතුමා දිවිහිමියෙන් ඇලුම් කළ ශ්‍රීපාලියට ලලිත කලා අංශය භාරකාර මණ්ඩලයක් යටතේ ලලිත කලායතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට ඒ මහතාට අවසර ලැබිණි. එහෙත් තමන් සමග සෞන්දර්ය අංශයේ සිටි ගුරුවරු රජයේ පාලනයට එක්වී අධ්‍යාපන අංශයට කැඩීයාමත් ආදරයෙන්  රැකගත් ශ්‍රීපාලියේ වැඩි කොටසක් තමාගෙන් ගිලිහී යාමත් නිසා ඇතිවූ පසුතැවිල්ල, කනගාටුව නම් ඔහු මියයන තුරුම විල්මිට්ගේ සිතින් බැහැර වූයේ නැත.


විල්මට් ඒ. පෙරේරා සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේද ශ්‍රීපාලිය තම දෙනතට හසුවන කඳු මුදුනේ තනාගත් නිසසල පරිසරයක පිහිටි නිවෙසකය. මහා ධනකුවේරයකුගේ දරවකු බොදු ජනතාවට සේවය කිරීමට උපන් නිහතමානී සමාජවාදියකුම විය. සමානාත්මතාව ගරු කළ ලොකු පුංචිකම් ජාති, ආගම් භේද නොතැකූ විල්මට් වැනි චරිත අද සමාජයේ දක්කට නොලැබීම අප ලද අවාසනාවකි. 


විල්මට් ඒ. පෙරේරා චරිතය පිළිබඳ තොරතුරු සෙවීමේදී සහාය වූ ශ්‍රීපාලි ශ්‍රීවිභූතිය 75 වැනි සංවත්සර කලාපයේ සංස්කාරක මණ්ඩලයේ ගාමිණී ජයසුන්දර මහතා ඇතුළු හොරණ ශ්‍රීපාලි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ (කොළඹ ශාඛාවේ) සැමට ස්තූතිය.

 

 

 

ඉංගිරියේ හරිශ්චන්ද්‍ර කහවල