ඩී. ඇස්. සේනානායක අගමැතිතුමා ද ඩඞ්ලි සේනානායක, ආර්. ජී. සේනානායක ආදී සෙසු දේශපාලනඥයන් ද සමග සුහද මිත්‍රත්වයෙන් සිටි ඊරියගොල්ල මහතා 56 මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ හා එක් වූයේ ඒ වන විට අගමැති ධුරය හෙබවූ සර් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රතිපත්තිවලට තමන් එකඟ නොවන බැවිනි. ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉවත්ව ගියේ දැඩි කලකිරීමත් උදරාබාධයකින් පෙළෙන හෙයින් ඊට ප්‍රතිකාර ලබා ගැනීමත් සලකා ගෙනය. යළි දේශපාලනයට නො එළඹීමේ තීරණයක් ද එතුමා විසින් ගන්නා ලදැයි ප්‍රචාරය විය. කොතලාවල මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට 56 මැතිවරණයෙන් හිමි වූයේ ආසන අටකි.

 

ලංකාවේ 04 වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වුණේ 1960 මාර්තු මාසයේය. සමාජවාදී මහජන පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන එහි නායකයා වශයෙන් ඊරියගොල්ල මහතා කුලියාපිටිය ආසනයට තරග කළේය. ඔහු සමග තවත් අපේක්ෂකයෝ 41 දෙනෙක් තරග බිමට පැමිණ සිටියහ. ඔවුන් අබිබවා ඊරියගොල්ලයෝ ඡන්ද 8257 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ කුලියාපිටිය ආසනයට තේරී පත් වූහ. ඔහුගේ පක්ෂයේ අනෙක් අපේක්ෂකයෝ සියලු දෙනාම පරාජය වූහ. ඉදිරි කාලයේදී තමන් සමග එක්ව දේශපාලයට එළඹෙන්නැයි යළිත් එ.ජා.ප.යේ. නායකත්වය බාරගෙන සිටි ඩඞ්ලි සේනානායක මහතා ඊරියගොල්ලයන් අමතා කීයේය. හෙතෙම තම මිත්‍ර නායකයාගේ ඉල්ලීම පිළිගත්තේය. එබැවින් 1960 ජූලි මාසයේදී පවත්වන ලද පස් වැනි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊරියගොල්ල මහතා කුලියාපිටිය ආසනයට නාම යෝජනා බාර දුන්නේ එක්සත් ජාතික පකෂයේ අපේක්ෂකයා වශයෙනි. මැතිවරණයෙන් එතුමාට ඡන්ද 11,407 ක් ලැබිණ. ඊට වඩා ඡන්ද 96 ක් ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මැතිවරණයෙන් ජය ලැබුවේය. එතැන් සිට 1965 මහා මැතිවරණය එළඹෙන තෙක් ඊරියගොල්ල මහතා ඩඞ්ලි සේනානායකයන්ගේ නායකත්වයෙන් යුක්ත වූ එක්සත් ජාතික පක්ෂයට පුනර්ජීවනයක් ලබා දීමේ ව්‍යායාමයක නිරත වූයේය.


රට පුරා ගමන් කරමින් පක්ෂය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කැරිණ. මේ සඳහා සාහිත්‍යධරයකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතාගේ සහාය ද එතුමාට ලැබිණ. 1965 මාර්තු 22 වැනි දින පැවැති මහා මැතිවරණයෙන් ඊරියගොල්ල මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 17,246 ක් ලබා ගනිමිනි. 

 


මැතිවරණයෙන් පසුව ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද ජාතික රජයේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා වූයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාය. අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමෙන් ඉක්බිති ඊරියගොල්ල මහතා වෙහෙස නොබලා වැඩ කළේය. ඔහු අමාත්‍ය ධුරය හෙබවූ පස් වසරක කාල පරිච්ඡේදය තුළ ඉසුඹුවක් ලැබුවේ නම් ඒ සතියක හෝ දෙසතියක කාලයක් පමණය. එතුමා තම සමස්ත කාලයම වැය කළේ ජාතියේ උන්නතියට උචිත වන පරිද්දෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් සම්පාදනය කොට ක්‍රියාත්මක කරවීමටය. අධ්‍යාපනයෙහි ලා ඉතා වැදගත්ම සාධකය වන්නේ ජාතික වැදගත්කමක් ඇති විෂය මාලාවක් හැම අධ්‍යාපන ආයතනයකම ක්‍රියාත්මක කිරීමය. විෂය මාලාව ශාස්ත්‍රීය අධ්‍යාපනයට පමණක් බර නොකොට තාක්ෂණය හා විද්‍යාවට ද කලාවට හා සාහිත්‍යයට ද නැඹුරු කරමින් නව විෂය මාලා සම්පාදනයකොට අධ්‍යාපනයේ සාධනීය විප්ලවයක් සිදු කිරීමට ඊරියගොල්ලයෝ සමත් වූහ. පාසල් අධ්‍යාපනය ඵලදායි කරනු පිණිස හැම විෂයක් සඳහාම එකම රටාවකින් සැකසුණු පාසල් පොත් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම පාඩම් පොත්වල අන්තර්ගත දෑ හැම පාසලකම එකම ආකාරයකින් ඉගැන්වීම සඳහා මඟපෙන්වන ගුරු පාඨමාලාවක් ද ඒ සමගම නිකුත් කැරිණ. නුපුහුණු ගුරුවරයකුට වුව ද එම ගුරු පාඨමාලා පරිශීලනය කරමින් සාර්ථක ලෙස ඉගෙනුම් කාර්යයෙහි නිරත වීමට හැකියාව තිබිණ. පාඨමාලා හා විෂය මාලා සම්පාදනය කිරීම සඳහා කොළඹ විෂය මාලා මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබ තිබිණ. සියලු පාසල් පොත්වල ද ගුරු පාඨමාලාවල ද භාවිත වූයේ නිවැරදි බස් වහරකි. ලේඛනයෙහි භාෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණි. සිංහල පාසල් පොත් පෙළ සම්පාදනය කැරුණේ හිඟුරක්ගොඩ ගුරු විදුහල්පති ධුරය හොබවමින් සිටි අ. දො. චන්ද්‍රසේකර මහතාගේ මූලිකත්වයෙනි. ළමයින් සඳහා ලියැවුණු හැම පොතක් අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මහතා තමන් සමග එක්ව කියැවූ බවත් අවශ්‍ය සංශෝධනයක් වෙතොත් එය යෝජනා කළ බවත් චන්ද්‍රසේකර මහතා මා සමග පැවැසීය. පාසල් පොත් රජය මගින් පළ කරවා පහසු මිලට සිසු සිසුවියනට ලබා දීම සඳහා ප්‍රථම වරට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ ඊරියගොල්ලයන් විසිනි. පළාත් පාලන ආයතන මගින් නොමිලයේ පාඩම් පොත් ලබා දීමේ වැඩපිළිවෙළක් ද විය. එම පොත් පිරිනැමුණේ මුදලට පොත් ලබා ගැනීම අසීරු පවුල්වල දරුවනටය. 


කොළඹ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා දෙමාපියන් අතර පැවැති තරගය හැකිතාක් අවම කොට සිසුනට සුවපහසුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසනු පිණිස කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අරඹන ලද්දේ ඊරියගොල්ලයන් විසිනි. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය පුළුල් කරනු පිණිස ද ක්‍රියාමාර්ග කිහිපයක්ම ගන්නා ලදි. ලංකා විශ්වවිද්‍යාලයේ කොටසක් ලෙස පවත්වාගෙන ගිය කොළඹ විශ්වවිද්‍යාලීය ආයතනය ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්කොට තුරඟ තරග පිටියේ එය ස්ථාපනය කිරීමට කටයුතු කළේ ඊරියගොල්ලයන්ය. හුදෙක් ශිෂ්‍යයන්ට පමණක් සීමා කැර තිබුණු විද්‍යෝදය හා විද්‍යාලංකාර යන සරසවි දෙකට ශිෂ්‍යාවන්ටත් ඇතුළුවී අධ්‍යාපනය ලැබීමට එතුමෝ ඉඩ සලසා දුන්හ. උසස් අධ්‍යාපනය විධිමත්ව පත්වාගෙන යෑම සඳහා ජාතික උසස් අධ්‍යාපන සභාවක් ද පිහිටුවන ලදි. 


වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය වැඩිදියුණුකොට බහුතරයකට එම අවස්ථාවන් උදාකැර දෙනු පිණිස අම්පාරේ හාඩි කාර්මික ආයතනයත් රත්මලානේ කාර්මික විද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නා ලදි. 

 

 

තවත් කොටසක් ලබන සතියට.

 

 

 

 

 

ආචාර්ය ඊ. ඇම්. රත්නපාල