කැමරාව, පන්හිඳ මෙන්ම හෙළිතුඩද සමාජයේ පෙරළියක් කළ හැකි මාධ්‍ය මෙවලම් බව මෙරට ඉතිහාසයේ දී ඔප්පු වී හමාරය. දේශපාලන කාටුන් කලාව දශක හයක් තිස්සේ මෙරට පුවත්පත්වල ප්‍රධාන විශේෂාංගයක් විය. අපහාසය නොව උපසාහය මෙහි ප්‍රධාන තේමාව වූ අතර එය අපහාසයක් ලෙස හඳුනාගත් පාලකයෝ කාටුන් ශිල්පීන් සහ ඔවුන් සේවය කරන පුවත් පත් හඹා ගියෝය. 
 
මෙරට මුල් පෙළේ නායකයන් සියල්ලෝම කාටුන් චරිත වලට නැඟිණ. ඒ ඒ පාලන යුග වලදී ජනතාවගේ අදහස් උදහස් වලට පාත්‍ර වූ දේශපාලන ප්‍රතිපත්ති හා නායකයන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් කාටුන් මගින් විවේචනය කෙරිණ. 
 
ඇතැම් ශිල්පීන් කෙළින්ම නායක කාරකාදීන්ගේ මුහුණු යොදා විවේචනය කළ අතර ඇතැම් ශිල්පීහු සංකේතානුසාරයෙන් ඔවුන්ට පහර දුන්හ. 
 
මෑත යුගයේ ප්‍රතිභාසම්පන්න කවියෙකු වූ පී. මලල්ගොඩ ගැටඹේ රාජෝපවනාරාමය වටා ජනපති ජේ. ආර්. යුගයේ කටුකම්බි ගසා පළි ගැනීමට කළ නිර්ලජ්ජිත උත්සාහය විවේචනය කරමින් රචනා කළ නූතන දේවදත්ත කෘතියේ අවසන් පිටුව සැරසුවේ මොටාගෙදර වනිගරත්නයන්ගේ කාටූනයකිනි. 
 
නූතන දේවදත්ත කාව්‍ය ග්‍රන්ථය තුළින් එම යුගයේ සිදු වූ ශාසන විරෝධී ප්‍රතිගාමී ප්‍රයත්නයන් පිළිබඳ හෙළි කළ වරදට රාජ්‍ය විරෝධී චෝදනා මත 41 වතාවක් රහස් පොලිසියේ හතර වෙනි තට්ටුවට කැඳවා ප්‍රශ්න කරන ලදී. දේශපාලන කාටූනයෙන් පළවූයේ ජේ. ආර්. නමැති කරණවෑමියා කවියා පුටුවක ඉන්දවා අත පය බැඳ කටවසා දැළි පිහියෙන් ඔහුගේ බෙල්ල කැපීමට ගන්නා උත්සාහයයි. 
 
එහි ජේ. ආර්. මිල්ටේරිකාර කරණවෑමියකු ලෙසත් කවියා හෙවත් මලල්ගොඩ සුදු ජාතික ඇඳුමින් සැරසුණු අයකු ලෙසත් රූප ගත කර ඇත. එසේ බලපෑම් කළත් කවියා මරණයට බිය නොවූ බව පෙන්වා ඇත්තේ පා ඇඟිලි අතරේ පන්හිඳ රඳවා කවි ලියන ඉරියව්වෙනි. එම කාටූනය පහළින් මෙම කවිය ලියා තිබිණි. 
 
ළය දී රටට ජනතාවට එඩිපාන 
දැය රුපු පඳුරු දුටු හැටියෙම කඩුගාන 
සිය යුතුකම කරන සිතකින් අබිමාන 
බිය නැත කිසිඳු රාජ අණකට කවි පෑන
 
මොටාගෙදර වනිගරත්නයන් සම්භාව්‍ය ගණයේ චිත්‍ර ශිලිපියෙකු ලෙස ප්‍රකටව සිටි නමුත් ඔහු කාටුන් ශිල්පියකු ලෙස ජනාදරයට පත් වූයේ ‘ඇත්ත’ පුවත් පත ඇතුළු විකල්ප මුද්‍රිත මාධ්‍යවලට ඇඳි දේශපාලන කාටූන් පෙළ නිසාය. ඩඞ්ලි, ජේ. ආර්, සර් ජෝන්, නීතිපති අමීර් රොනී ද මැල් ආදීහු එම කාටුන් තුළින් නිර්දය ලෙස විවේචනයට පාත්‍ර වූහ. 
ඇත්ත පත්‍රයට මෙන්ම ඉංග්‍රීසි පුවත් පත් වලට කාටුන් සැපයූ මාණ්ඩලික චිත්‍ර ශිල්පියකු වන යූනුස්ට ද මෙතෙර හා එතෙර රසිකයන්ගෙන් අත් වූයේ ඉමහත් ප්‍රසාද ජනක ප්‍රතිචාරය. අන්තිමට ප්‍රතිගාමීහු ඔහුට මරණ තර්ජන එල්ල කළහ. රැකියාව අහිමි කළහ. යූනුස් ඒ කිසිත් ගණන් නොගෙන තමා කරන ජනතා සේවය වඩාත් තීව්‍ර ලෙස කරගෙන ගියේය. 
 
අවසානයේ දී පැහැරගෙන යනු ලැබූ මෙම කාටූන් ශිල්පියාගේ නාසය පවා ම්ලේච්ඡ දේශපාලන හෙංචයියන් විසින් කපා හිරි හැර කරන ලදී. 
 
ඉංග්‍රීසි පුවත් පත් කාටුන් මාධ්‍යයෙන් සැරසූ තවත් ප්‍රවීණයකු වූයේ කොලට්ය. දිවංගත අමිත අබේසේකරයන් බොහෝ විට කාටුන් සඳහා යොදා ගත්තේ ගැමි චරිතය. 
 
රාළහාමි මොට්ටපාල පඬිතුමා, ගොබ්බසේන වැනි අපට එදිනෙදා හමුවන ගති ලක්ෂණ ඇතුළත් පොකට් කාටුන් තුළින් 60 දශකයෙහි ලංකාදීප ටයිම්ස් පුවත් පත් හා රසවාහිනී සඟරාව අපූරුවට සැරසිණි. එදිනෙදා දේශපාලන ලෝකයෙහි ආ සමාජයෙහි සිදු වන සංසිද්ධීන් කාටූනයට නගා ගැමි වහරින්ම පෙළ ලියා උපහාස රසය අනූනව ගැබ්තර තිබිණ. 
 
අබරන් සීයා නම් දවස පුවත් පත් සමූහයෙහි පළ වූ ජනප්‍රියව මුල් පිටුවේ පොකට් කාටූනය වැඩිහිටියන් පමණක් නොව ළමා පෙළ ද ආදරයෙන් වැලඳ ගත් නිර්මාණ පෙළකි. එදිනෙදා දේශපාලන හා සමාජ වගතුග එම නිර්මාණ තුළින් අපූරුවට චිත්‍රණය කර තිබිණ. 
 
අමිත අබේසේකර 1960 පෙබරවාරියේ රසවාහිනී කලාපය මෙවැනි කාටූන් නිර්මාණයක් කළේය. ගමේ රාලහාමිට පාසලෙන් කට්ටි පැන්න මොට්ට පාල හමුවෙයි. 
 
රාලහාමි : මොට්ටපාල මොකද බං උඹලගේ අම්මා පරයා ජඩයා නරියා වලා කිය කියා අර කාටද බණින්නේ? 
මොට්ටපාල : බණිනවා නොවෙයි රාලහාමි ප්‍රැක්ටිස් කරනවා. 
 
රාලහාමි : මොනවට ප්‍රැක්ටිස් කරනවද? 
මොට්ටපාල : එයා එන මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසනයකට තරග කරනවානෙ. 
 
එකල සමාජ දුර්වලකම් ගැන කාටුන් පළ කළ චිත්‍ර ශිල්පීන් අතර බී. බී. ඕපාත, රොබට් ජනප්‍රිය ගුණසේකර ඇම්. චන්ද්‍රපාල ආදීන් පමණක් නොව සුසිල් ප්‍රේමරත්න, ආනන්ද සමරකෝන් හා මහගම සේකර වැනි දැවැන්තයෝ ද වූහ. 
ආනන්ද සමරකෝන් වනාහි සකල කලාවෙහි නිපුණ ජාතික සම්පතක් වැනි කලාකරුවකු බව අවිවාදිතය. ශ්‍රී ලංකාවේ ජාතික ගීතයේ නිර්මාතෘවරයා ලෙස ඔහුට ජනතාව තුළ ඇති ගෞරවය ඉමහත්ය. ඔහු කලාදිවියේත් පෞද්ගලික දිවයේත් ආර්ථික කළමනාකරණයේත් ගැටලු රැසකට මුහුණ පා අන්ත අසරණව සිටි මොහොතක ඔහු නිර්මාණය කළ ජාතික ගීයේ අයිතිය පිළිබඳ ගැටලුවකට ද මුහුණ පෑමට සිදු විය. 
 
ජාතික ගීයේ නිර්මාණ ශිල්පියාට රජය විසින් පිරි නැමීමට නියමිත රු. 2500ක මුදල ඔහුට අහිමි විය. එම ගීතය පළ කළ කුමුදිනි සඟරාවේ ප්‍රකාශකයාට එම මුදල පිරිනැමීමට තීන්දු කෙරිණ. 
මෙය ආනන්ද සමරකෝන්ට එරෙහිව දියත් වූ රාජ්‍ය ඇමැතිවරයෙකුගේ කුමන්ත්‍රණයක් බවට පුවත් පළ විය. 1951 දී දිවංගත ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී. එස්. ප්‍රනාන්දු එම සිද්ධියට ‘හිඟන්නගෙ පාත්තරේට හෙන හුරා’ මැයින් ලංකාදීප පත්‍රයට චිත්‍රණය කර තිබිණ. එහි මෙසේ සඳහන් විය. 
 
රජය නමැති ගැහැනිය සමරකෝන් නමැති හිඟන්නාට රුපියල් 2500 නමැති ආප්පය පිනට දෙද්දී සිරිවර්ධන (කුමුදිනි සඟරාවේ ප්‍රකාශක) නමැති කපුටු හෙනහුරා ඉඟිලී ඇවිත් එය හොටින් ඩැහැගෙන යයි. 
 
ජාතික ගීයෙහි කර්තෘභාගය කුමුදිනි සංඟරාවේ ප්‍රකාශක පී. කේ. ඩබ්. සිරිවර්ධන මහතාට හිමි වීම ගැන ජනතාවගේ ශෝකය කාටුන් මාධ්‍යයෙන් ජී. එස්. පළ කළේ එසේය.
 
ජී. එස්. ප්‍රනාන්දු වනාහි ප්‍රබල දේශපාලන කාටුන් ශිල්පියෙකු වූ අතර බණ්ඩාරනායක සර් ජෝන්, ඉලංගරත්න ඩඞ්ලි ජේ. ආර්. සිරිමාවෝ වැනි දේශපාලන චරිත රැසක් ඔහුගේ පැනට ගොදුරු වූහ. 
තමා වඳුරකුට උපමාකර ඇන්ඳ නිසා හොරගොල්ලේ වලව්වට ඔහු කැඳ වූ බණ්ඩාරනායක අගමැතිතුමා ජී. ඇස්. ට බැන වදිනු වෙනුවට ඔහුගේ කාටුන් ශෛලිය ඉතා අගය කළේය. ඉතා ගොරෝසු දරදඬු පුද්ගලයෙකු යැයි ප්‍රසිද්ධ අගමැති සර් ජෝන් ජී. ඇස්. කඳවලවත්ත වලව්වට කැඳවූ දිනයේ නම් ඔහු එහි ගියේ බියෙන් වෙවුලමිනි. 
 
“යකෝ උඹේ කාටුන් මරේ මරු බං. මාව ඒ විදියටම ඇඳල තියෙනවා. තව තවත් හොඳට ඇඳපන්. උඹට ඕන දෙයක් තියෙනවා නම් කියාපන් මං දෙන්න ලෑස්තියි.” මෙසේ කීයූ සර් ජෝන් චිත්‍ර ශිල්පියා සැනසුවේය. මෙම රාජ්‍ය නායකයන් දෙදෙනාගේම කාර්යාල ජී. එස්. ගේ චිත්‍ර වලින් සැරසුණු බව පැරැන්නෝ පවසති. 
 
80 දශකයේ දේශපාලන කාටුන් ශිල්පීන් අතර ජනප්‍රියභාවයට පත් වූ තලංගම ජයසිංහ, කේ. කරුණාදාස ඇම්. ඩී. වීරරත්න, දාස හපුවලාන, විජේසෝම ආදී ප්‍රවීණයන් ගැන ද පාඨකයන් තුළ ඇත්තේ මහජන ප්‍රසාදයකි. තලංගම ජයසිංහගේ එතුමා තුළින් දේශපාලන චරිත හාස්‍යයට ලක් කළ අතර විජේසෝම පුංචි සිඤ්ඤෝ නම් දුප්පත් ජනතාව නියෝජනය කරන චරිතය තුළින් ද දාස හපුවලානගේ ගැමි චරිතය තුළින් ද කාලීන සමාජ විෂමතා ජනතා ඇසින් පෙන්වයි. කාටුන් ශිල්පියා හුදෙක් සිනා ගන්වන දෙබස් ලියන්නෙකු පමණක් නොව ජන මතයට වඩා ඉහළින් සිට දැනුම්වත් කරන්නෙකු බව මොවුන්ගේ උසස් මට්ටමේ කාටුන් දැනීමෙන් පෙනී යයි. 
 
ඇත්ත, දිනකර, බජිරි හටන, දවස වැනි පුවත් පත් එජාප ආණ්ඩු සමයේ තද බල ලෙස වාරණයට ලක් විණ. කතුවරුන්ගේ දරදඬු වාග් ප්‍රහාර පමණක් නොව කාටුන් පවා අමු අමුවේ තහනමට ලක් කෙරිණ. ඇත්ත පත්‍රය එහි ඡේද රජයේ නිසි බලධරයා විසින් කපා හරිනු ලැබූ ස්ථාන වල බල්ලා කෑවා යැයි සඳහන් කර තිබිණි. 
 
1965 එජාප ආණ්ඩුවේ පුවත් පත් බලධාරින්ගේ තීරණවලට විරෝධය පෑමට එසේ යෙදුණු බව පෙනේ. තද කාටුනයක් විකල්ප පුවත් පතක පළ වී තිබුණු විට එම චිත්‍ර ශිල්පියාගේ අත පය කඩා දැමීමට පවා මැරවරයෝ උත්සහ කළහ. අමිත අබේසේකරයන් සේම පවුලේ චරිත කාටූනයට නගා පවතින සමාජ හා දේශපාලන වාතාවරණය විවේචනයට ලක් කළ තවත් කාටුන් ශිල්පියෙකි. කැමිලස් පෙරේරා සිරිබිරිස් එහි එන ජනප්‍රියම චරිතාංගයකි. 
මතු සම්බන්ධයි.
 
සටහන සහ ඡායාරූප :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි