මේ දිනවල අපේ රටපුරා නොයෙකුත් තැන්වල කතා බහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇතැයි කියන ගිවිසුමක් ගැනය. එය දෙපාර්ශ්වයක් අතර දැඩි මත භේදයට ලක්වූ කරුණක් බවට පත්ව ඇති ආකාරයක් පෙනී යයි. රජයේ පාර්ශ්වය කියන්නේ එයින් මහත් ප්‍රතිලාභ අත්වන බවය. විරුද්ධ පක්‍ෂය සිරිත් පරිදි එයට විරුද්ධය. එමගින් රටට විශාල හානියක් සිදුවන බවත් වෙනකක් තබා අපේ භූමිය සිංගප්පූරුවේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගොඩගැසී විශාල පරිසර හානියක් සිදුවනු ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති. කුමන තත්ත්වයක් යටතේ කල්පනා කර බැලුවත් මේ දෙකම සත්‍ය වන්නට බැරිය. සත්‍යය විය හැක්කේ එකක් පමණි. එය එසේ නමුදු ද්වී පාර්ශ්වික ගිවිසුමකදී අඩු වැඩි වශයෙන් රටවල් දෙකටම යම් කිසි කැපකිරීමක් කිරීමට සිදුවීම සාමාන්‍ය සංසිද්ධියකි. කෙසේ වූවත් මෙම ගිවිසුම ගැන මත පළකිරීම අපේ අරමුණ නොවේ. 


මෙම ලිපිය මගින් අපේක්‍ෂා කරනුයේ ඉහත කී දේපාර්ශ්වය අතින්ම නොකියවෙන නමුත් රටට ජනතාවට සහ රට කරවන ඇත්තන්ට වැදගත් වන පසුබිම් කතාවක් මතුකරලීමය.


ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනි දින නිදහස ලබන විටත් සිංගප්පූරුව බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ නොවැදගත් සහ ඉතා කුඩා දූපතක් වශයෙන් පැවතුණි. අලංකාරය සඳහා එසේ කීවත් ඒ වන විට හිරු නොබසින අධිරාජ්‍යයක් බි්‍රතාන්‍යය සතුව තිබුණේ නැත. බටහිරින් කැනඩාව, දකුණු අප්‍රිකාව වැනි විශාල රාජ්‍යයන්ද ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වශයෙන් වර්තමානයේ රටවල් තුනක් ලෙස හැඳින්වෙන එදා ඉන්දියාවද පෙරදිග මහා රාජ්‍යය වූ ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය ද බුරුමය සහ ලංකාවද තවත් යටත් විජිත ගණනාවක්ද නිදහස ලබා තිබුණි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යය නමැති කිරුළේ අග්‍රමාණික්‍ය ලෙස සැලකුවේ සුවිශාල ඉන්දියානු අර්ධ මහාද්වීපයයි. එය අහිමිවීමෙන් වික්ටෝරියානු යුගයේ බි්‍රතාන්‍යය සතුව පැවති ප්‍රතාපය බලපරාක්‍රමය සහ ශ්‍රී විභූතිය අහිමිව ගියේය. ඉතිරිව තිබුණේ අප්‍රිකානු මහාද්වීපයේ නයිජීරියා, කෙන්යා, උගන්ඩා, ඝානා මුල් කරගත් රටවල් ගොන්නක් සහ ආසියාවේ, කැරිබියන් කලාපයේත් කුඩා දූපත් රාජ්‍ය වැලක් පමණි. ඉන්දියානු සාගරය පසුකර පැසිෆික් සාගරයට අවතීර්ණ වන මුවදොර පිහිටි සිංගප්පූරුව සාගරය මැද පිහිටි විශාල ගල් කුලක් මෙන් වූ අතිශය කුඩා දූපතකි. යාබද මලයාවද බි්‍රතාන්‍යයට අයත්ව පැවති අතර සිංගප්පූරුවේ එකම වැදගත්කම වූවේ නාවික ගමනාගමනයේදී රට සතු වූ භූගෝලීය ආකර්ෂණයයි. එනිසා බි්‍රතාන්‍යයන්ගේ යුද උපාය මාර්ගයන්ට ගෝචර වන පරිදි පිහිටුවා තිබුණු නාවික හමුදා කඳවුර එම රට සතු එකම ධනෝපායන මාර්ගය විය. 1958 දී ත්‍රිකුණාමලයේ පැවති නාවික යුද කඳවුර ඉවත් කර ගන්නා ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා බි්‍රතාන්‍යයට දැනුම් දුන් අවස්ථාවේදී එහි පැවති සම්පත් ද යළි ස්ථාපිත කරනු ලැබුවේ සිංගප්පූරුවේය. එකල රාජකීය නාවික හමුදාවේ සෙබළෙකුව සිටි මගේ මාමා (මවගේ බාල සොහොයුරා) නිවාඩුවට සිංගප්පූරුවේ සිට පැමිණි අවස්ථාවේ මට වටහා දුන්නේ රටේ එකතැනක සිට බැලූ විට දෙකොනම පෙනෙන, බීමට ජලය පොදක්වත් නැති ඒකත් පිටරටින් ගෙනෙන සිංගප්පූරුව සම්පූර්ණයෙන්ම යුද කඳවුරක් බවයි.


එවිට මගේ සිතේ මැවුණු චිත්ත රූපය වූවේ බාල්දියක් රැගෙන ඔරුවකින් වෙනත් රටකට යන ගැහැනියකගේ සටහනක් බව මට අදත් මතකය. සිංගප්පූරුව ගැන සඳහන් වන විටම මගේ මනසෙහි ඇඳෙන්නේ එම චිත්තරූපයයි. වර්තමානයේ මෙන් විදේශ ගතවන අය බහුල නොවූ එකල කුඩා අපි මාමාගෙන් අපට ලැබෙන රසකැවිලි ගැන විමසූ විට මාමා දෙන පිළිතුර වූවේ “එහෙන් ගේන්ට මෙලෝ දෙයක් නැහැ. ඒක මහ හිඟන රටක්. මම කොළඹ ගියාම ඇපැල් ගෙනත් දෙන්නම්.” කියාය. තරමක මසුරෙකු වූවත් මාමා කීවේ ඇත්තක් යයි පසුව පොත පත කියවද්දී මට අවබෝධ විය. සුද්දන් වෙසෙන ඔවුන් පාලනය කරන රටේ ඇපල් ගෙඩියක් සොයා ගන්නට නැතැයි මගේ මාමා කියන මතය පිළිගැනීමට තරම් අප අන්තවාදී නොවිය යුතු නමුත් සිංගප්පූරු ජන ජීවිතය පැවතියේ එවැනි පහත් අඩියකය. පානය කිරීමට දිය පොදක්වත් නැති එයද මුහුදින් එතර මලයාවෙන් ගෙනෙන සිංගප්පූරු වැසියන්ට කුමන දියුණුවක්ද? සංවර්ධනයක්ද? සෞභාග්‍යයක්ද?


යටත් විජිතවාදී බැමිවලින් නිදහස් වන අවස්ථාවේදීත් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යයක් විය. දෙවැනි ලෝක මහා යුද්ධය අවසාන වන විට හොඳටම හෙම්බත්ව සිටි බි්‍රතාන්‍යයට කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට අපට ශක්තිය තිබුණි. කොරියානු යුද්ධය නිසා එරට රබර් නිෂ්පාදනය ඇනහිටීමෙන් ලෝක වෙළඳපොළේ ඇති වූ රබර් හිඟයේ වාසිය මුළුමනින්ම අත්වූයේ ලංකාවටයි. එයින් රැස් වූ ධනය නිසා භාණ්ඩාගාරය පිරී තිබුණි. ලෝකයේ හොඳම තේ නිෂ්පාදකයා වශයෙන් තේ වලින්ද හොඳ ආදායමක් ලැබුණි. පොල්වල තත්ත්වයද එසේමය. අලුතෙන් ඇති කරන ලද ජනපද යෝජනා ක්‍රම නිසා මින්නේරිය, හිඟුරක්ගොඩ පොළොන්නරුව, මහ විලච්චිය, කලාවැව, පමණක් නොව නැගෙනහිර අල්ල, කන්තලේ සහ ගල් ඔය ව්‍යාපාර සංවර්ධනය වී එකම කොළ පැහැති නිම්නයක් බවට පත්ව තිබුණි. එමගින් වී නිෂ්පාදනය ඉහළගොස් ආහාර සුලබ වූ බව දක්නා ලදී.
ගත වූයේ දස වසරකට මඳක්, වැඩි කාලයක් පමණි. 1959 දී සිංගප්පූරු රාජ්‍යය යන නමින් යුතුව මෙම කුඩා රාජ්‍යය ලෝකයට ප්‍රවිෂ්ට වූවේය. බි්‍රතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ උසස් නිලධාරියෙකු වශයෙන් ඈත පෙරදිග බලා යාත්‍රා කළ සර් ස්ටැම්ෆෝඞ් රැෆ්ල්ස් නම් යාත්‍රිකයා 1818 දී මෙම කුඩා දිවයිනේ ඉහත කී සමාගමේ වෙළඳ ඒකකයක් පිහිටුවීමෙන් මෙම රට වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රචලිත වූ බව කියනු ලැබේ. මලයා, බෝර්නියෝ, සරවක් ආදී ප්‍රදේශවලින් එකතු කර ගන්නා වෙළඳ භාණ්ඩ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගෙන අවුත් සිංගප්පූරුවේ ගබඩා කිරීම සිදුවූ බව කියති. මෙම තත්ත්වයේ වර්ධනයක් වශයෙන් 1867 දී බි්‍රතාන්‍යයේ කොලනියක් බවට පත් වූ සිංගප්පූරුව දෙවැනි ලෝක මහා යුද්ධයේදී ජපන් ආක්‍රමණිකයන් විසින් අල්ලා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල පීඩනයකට ගොදුරු වීමට සිංගප්පූරු වාසීන්ට සිදුවිය. සියගණන් මිනිසුන් ඝාතනයට ලක් විය. ගොඩනැගිලි මංමාවත් විදුලි සැපයුම් ආදී පහසුකම් බොහොමයක් බෝම්බ ප්‍රහාරයෙන් විනාශව ගියේය. බි්‍රතාන්‍ය පාලනය යටතේ සිංගප්පූරුවද බොහෝ විට සලකන ලද්දේ මලයාවට අයිති කොටසක් වශයෙනි. යුද්ධයේදී ජපන් හමුදාවට විරුද්ධව විශාල ගරිල්ලා සටන් ව්‍යාපාරයක් මලයානු කොමියුනිස්ට් පක්‍ෂයේ නායකත්වයෙන් පැවතියේය. ඒ නිසා සිංගප්පූරුවේද බලවත් කොමියුනිස්ට් ව්‍යාපාරයක් බිහිවූ බව කියනු ලැබේ. විශේෂයෙන් විශාල චීන ජනගහනයක් ඇති මේ රටේ එම ජනතාව අතර කොමියුනිස්ට්වාදය කෙරෙහි බලවත් පිළිගැනීමක් ඇති විය.


යුද්ධය නිමාවත් සමඟ 1945 සැප්තැම්බර් 12 වැනිදා ජපන් හමුදා ජෙනරාල් ඉහතෙකී ප්‍රමුඛ තවත් ජෙනරාල්වරු හත් දෙනෙකු විසින් සම්ප්‍රදායිකව ජපන් සමුරායි කඩු හතක් බි්‍රතාන්‍ය හමුදාවන්හි අග්නිදිග ආසියානු අණදෙන නිලධාරි අද්මිරාල් මවුන්ට්බැටන් සාමිවරයාට භාරදීමෙන් පරාජය භාරගෙන ආපසු බි්‍රතාන්‍යයටම සිංගප්පූරුව භාර කරන ලදී. මේ වන විට වෘත්තීය සමිති සංවිධානය කිරීම කොමියුනිස්ට් පක්‍ෂය විසින් ආරම්භ කර තිබුණි. ඉතා බලවත් කම්කරු සමිති ව්‍යාපාරයක් මගින් එරටේ බි්‍රතාන්‍ය පාලනයට අභියෝග කිරීම ඇරඹුණි. 1946 අවසාන භාගය වන විට සිංගප්පූරුව රටට අහිතකර යැයි සැලකෙන ආකාරයේ මහා වැඩ වර්ජනයන්ගෙන් ගහන රටක් බවට පත්ව තිබුණි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව කරන කම්කරු සටන් වුවත් එයින් ජනතාවට විශාල අපහසුතාවක් ඇතිවන බව පිළිගත යුතු සත්‍යයක් විය.


රටේ ආර්ථිකය පිරිහෙමින් තිබුණි. නිෂ්පාදනය මෙන්ම දේශයේ සංවර්ධනයද ඇණ හිටින තත්ත්වයක් ඇති බව සිංගප්පූරුව අත්දකිමින් සිටි සත්‍යය වූවේය

 

නිදහස ලබාදීමේ ගිවිසුම් අත්සන් කළ අයුරු.

 


මේ අතර වාරයේදී එම රට කලක් තිස්සේ සොයමින් සිටි ගැලවුම්කරුවා කරළියට පැමිණියේය. ඔහු නමින් ලී ක්වාන් යූ නමැති තරුණ නීතිඥයෙකි. බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියේ ඉනර් ටෙම්පල් ආයතනයෙන් අධ්‍යාපනය ලැබූ මධ්‍යම පාන්තිකයෙකු වූ ඔහු අවංක දේශපාලනයක යෙදීමේ කැමැත්තෙන් පසුවන්නෙකු වූවේය. යුද්ධයේ පීඩාව නිසා මුළු රටම අගාධයකට පත්ව තිබුණු යුගයක එරට දේශපාලනය පැවතියේ දුගඳ හමන නරා වළක් වශයෙනි. අල්ලස දූෂණය, රාජ්‍ය දේපළ අවභාවිතය, වංචාව, ආත්මාර්ථකාමී බව සිංගප්පූරු දේශපාලනයේ ස්වභාවික අංග බවට පත්ව තිබුණි. බි්‍රතාන්‍ය අග්‍රආණ්ඩුකාරවරයා සහ ඔහුගේ උපදේශක මණ්ඩලය රටේ පාලනය ගෙන ගියාවූවද සුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක්ද විය. එහි කටයුතු කෙරුණේ අග්‍රාණ්ඩුකාරවරයාගේ අභිමතය අනුමත කිරීමට පමණි. එපමණක් නොව ජාතිභේද, ආගම් භේද නිමක් නොවීය. චීන, මැලේ සහ ඉන්දියානු යන ජනවර්ග තුනකින් සමන්විත සිංගප්පූරු සමාජය බොහෝ බෙදීම්වලට ලක්ව තිබුණි. චීන භාෂාවේ පමණක් බෙදීම් අටක් තිබුණු බව කියවේ. මෙසේ බෙදී බිඳී ගිය එමෙන්ම වැඩ වර්ජන මෙහෙයවමින් රටේ ආර්ථිකය පසු පසට දමන රටකට අනාගතයක් නැතැයි ලීක්වාන් යූ ජනතාවට පැහැදිලි කර දුන්නේය. “වඩාත් සැපවත් පරිසරයක ඉපදුණු හැදී වැඩුණු තරුණ සිංගප්පූරු ජාතිකයන්ට මතක් කර දෙන්නේ පැරණි දේශපාලන පුරුදු වෙනස් කර ගැනීමට සහ අප දැනුම්වත් කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් සහ කැපවීමක් අවශ්‍ය බවයි. සිංගප්පූරුව සාර්ථකත්වයේ මාවතට අවතීර්ණ වන්නට මත්තෙන් විවිධ ජාති ආගම් සහ භාෂාවලට අයත් අපේ ජනතාව බෙදා වෙන් කරන ප්‍රතිවිරෝධී ආකල්ප වෙනස් කළ යුතු මෙන්ම වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර වූ තරගයද අවම කළ යුතුය” ඔහුගේ ආකල්පය ඉතා කෙටියෙන් එබඳුය.
සම්ප්‍රදායික පක්‍ෂ මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළ ලී ක්වාන් යූ තමාගේ ප්‍රතිපත්ති මත නව පක්‍ෂයක් බිහි කළේය. එය හැඳින්වුණේ ජනතා ක්‍රියාකාරී පක්‍ෂය නමිනි. එම පක්‍ෂය 1959 මැතිවරණය ඉතා ඉහළින් ජය ගත්තේය. ඔහුගේ ප්‍රතිපත්තිය ජනතාවට අවබෝධකර දීමට ලීක්වාන් යූ සමත්විය. එහෙයින්ම ආසන 51කින් සමන්විත වූ ව්‍යවස්ථාදායක සභාවේ ආසන 43ක් ලීගේ පක්‍ෂයට හිමිවිය. එය ඔහු විසින් හඳුන්වනු ලැබුවේ “මහ ජනතාවගේ තීන්දුව පැහැදිලියි. තීරණාත්මකයි. මෙය නරක පරදවා හොඳ ද අධර්මිෂ්ඨකම පරදවා ධර්ම්ෂ්ඨකමද ජයග්‍රහණය කරන ලද අවස්ථාවක් වශයෙනි.”


රටේ ඉදිරි ගමන වෙනුවෙන් තමා කිරීමට බලාපොරොත්තු වන කාර්්‍යභාරය විස්තර කරමින් ලී ක්වාන් යූ මෙසේ නැවතද ප්‍රකාශ කළේය “අපි නව පරිච්ඡෙදයක් ආරම්භ කළෙමු. පත් කරන ලද ආණ්ඩුව හරහා ජනතාවට ඇති බලය අපේ අභ්‍යන්තර කටයුතුවලට පමණක් සීමාවේ. මෙය සැබවින්ම අපේ අවශ්‍යතාව නොවුණත් එය අපේ නිදහස දිනා ගැනීමටත් එක්සත් වීම සඳහාත් වූ එක් පියවරකි. ජීවිතයේ හොඳ දේවල් කිසිවක් අහසින් කඩා වැටෙන්නේ නැත. ඒවා මහන්සි වී වැඩ කිරීම තුළින් සහ කාලයාගේ ඇවෑමෙන් ලැබෙන දේවල්ය. ජනතාවගේ සහාය නැතිනම් රජයකට ඵලදායි කිසිවක් කළ නොහැක. සමහර විට බහුතරයකගේ ශුභ සිද්ධිය සහ රටේ ධනාත්මක දියුණුව වෙනුවෙන් අප ගන්නා ජනප්‍රිය නොවන සමහර ක්‍රියාමාර්ග එක කොටසකගේ අකැමැත්තට හේතුවනු ඇත. ඒ ක්‍රියාමාර්ගයන් කෙරෙහි නැඹුරුවීමට ඇති එකම හේතුව බහුතරයකගේ ශුභ සිද්ධිය බව මතක තබා ගන්න”.


ආරම්භක දිනයේ සිටම ඔහු වැඩපටන් ගත්තේය. අගමැතිධූරයට පත්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් පිළිගැනීමේ උත්සව, අභිෂේක මංගල්‍ය සඳහා රාජ්‍ය උත්සව ජනයාගේ මුදල් කෝටි ගණනින් වැය නොකෙරුණි. පක්‍ෂයේ කථිකයෝ මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි ලංකාව වැනි දියුණු රටක් බවට පත්වීම සඳහා දිවා රාත්‍රී නොබලා ඔව්හු වැඩ කළහ. එසේ තමන් වැඩකරන අතරතුර එසේ සැලසුම් කළ ආකාරයටම කටයුතු කිරීමට ජනතාව යොමු කිරීමටද පාලකයෝ සමත් වූහ. තම සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් පෙරට යාම සඳහා නිවැරදි මාර්ගෝපදේශනය ලබා ගැනීමටද ඔවුහු පසුබට නොවූහ. සුදුස්සාට සුදුසු තැන දීම, දේශපාලන පළිගැනීම් නොකිරීම, ජාතික විනයක් ඇති කිරීම, රාජ්‍ය බලතල සහ දේපොල අවභාවිතය මුලිනුපුටා දැමීම අකුරටම සිදුවිය. මෙසේ සංවර්ධනය ඉලක්ක සපුරාගනිමින් සිටියදී යාබද මලයානු රාජ්‍යය හා ඒකාබද්ධ රාජ්‍යයක් ගොඩනගා ගැනීම ගැන දෙපාර්ශ්වයෙන්ම යෝජනා ඉදිරිපත් වන්නට විය. එය සාර්ථක කර ගැනීම සඳහා 1959 දී බි්‍රතාන්‍යයෙන් නිදහස් වී තිබීම අතිශයින්ම ප්‍රයෝජනවත් විය. 1961 දී මලයාව, සිංගප්පූරුව, උතුරු බෝර්නියෝ සහ බෘනායි රාජ්‍යය එක් වී මැලේසියා සංයුක්ත රාජ්‍යය පිහිටුවා ගැනීම අග්නිදිග ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම සිදුවූ මහත් පෙරළියක් බවට පත් විය. එමගින් මෙම කලාපයේ නැගී එමින් තිබූ කොමියුනිස්ට් බලපෑම් පාලනය කිරීමක්ද අපේක්‍ෂා කරන ලදී. මෙම රටවල වාමවාදී බලගතු ත්‍රස්ත ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වූ බවද අමතක නොකළ යුතුය. කොරියාවේ  සිවිල් යුද්ධය නිමා වී තිබුණද උතුරු කොරියාව කොමියුනිස්ට් රටක් බවට පත්ව තිබුණි. වියට්නාමයේද එම තත්ත්වයම පැවතුණි. උතුරු වියට්නාමය හෝචි මිංගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පාලනයක් ගොඩනැගී තිබුණ අතර දකුණු වියට්නාමය මුදා ගැනීමට ඇමරිකාව සමඟ තියුණු ගරිල්ලා යුද්ධයක් පැවතුණි. ලාම්සයේ සහ කාම්බෝජයේත් මෙවැනි ගරිල්ලා සටන් වර්ධනය වූවේය. මලයාවේ සහ සිංගප්පූරුවේද චීන සම්භවයක් සහිත ජනතාව කොමියුනිස්ට්වාදයට දැඩි ලෙස හිතවත් බවක් දැක්වීය. මෙය තම පාලනයට අභියෝගයක් බව මලයානු අගමැති තුන්කු අබ්දුල් රහමන් සහ ලී කුවාන්යූ ද වටහාගෙන සිටියහ. ආර්ථික සහ වෙනත් සමාජයීය අරමුණුද මෙම මැලේසියා සංයුක්ත රාජ්‍ය පිහිටුවීම ගැන බලපෑවා වූවද ප්‍රධානම ඉලක්කය වූවේ කොමියුනිස්ට්වාදයෙන් ගැලවීමයි.

 

නිදහස ලබාදීමේ ගිවිසුම් අත්සන් කළ අයුරු.

 


කෙසේ වූවත් රාජ්‍ය ඒකාබද්ධවීම නොමැතිව වුවද ශීඝ්‍ර සංවර්ධන මාවතකට යොමුව සිටි සිංගප්පූරුව එකමුතු වීමෙන් පසුවද එම මගේම තව තවත් ඉදිරියටම ගියේය. උසස් බලාපොරොත්තු ඇති නොයෙකුත් ගිවිසුම් මත ගොඩ නගා සාර්ථකව ඉදිරියට යමින් තිබූ මැලේසියානු සංයුක්ත රාජ්‍යයේ නායකයන් අතරද ජාතිවාදය පදනම් කරගත් මතභේද ඇතිවිය. මලයානු රාජ්‍යය මැලේ ජාතිවාදයට පක්‍ෂ වූ අතර සිංගප්පූරුව චීන සම්භවය වෙනුවෙන් පෙනී සිටියේය. මෙහි දීර්ඝ විවාදයකින් පසු දීගය අතහැරීමට සිංගප්පූරුව තීරණය කළේය. තනිව ගමන වුවද අසාර්ථක වූවේ නැත. ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වීමට එරටට හැකි විය. ලෝකයේ වෙනත් රටවල ඩොලර් කෝටි දහස් ගණනක ආයෝජන එම රට සතුය. ඒවායින් ගලා එන ලාභාංශවලින් සිංගප්පූරු මහ බැංකුව පිරී යයි.


අපේ මාතෘකාවට යොමු වන ශ්‍රී ලංකා - සිංගප්පූරු ආර්ථික ගිවිසුම මගින් අපේ රටට යම්කිසි ප්‍රතිලාභ අත්වෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. 


එය මල්ඵල ගැන්වෙන බවට ඉඟි කෙරෙන මාධ්‍ය වාර්තාද පළ වේ. එයින් කීපයක් මෙසේය. 


(1) සිංගප්පූරු ගිවිසුම යටතේ කර්මාන්ත 4ක් අරඹන්න ඩොලර් බිලියන 16ක්. 


(2) සිංගප්පූරු ගිවිසුමෙන් වැඩිම වාසි ශ්‍රී ලංකාවට, ආදී වශයෙනි. 


එහෙත් සැලකිය යුතු කරුණ වන්නේ මේ කිසිවක් නොවේ. අතීතයේදී සිංගප්පූරු නායකයන් එරට ජනතාවට පොරොන්දු වූවේ ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට සමාන සමෘද්ධිමත් බවක් ලබාදෙන බවටය. දශක කීපයකට පසු අපේ අය කියන්නේ සිංගප්පූරු ආදර්ශය අනුව එරට දියුණුව ලංකාවටද උරුම කර දෙන බවටය. කුමක් කීවත් කළත් අද අපට පෙනී යන සත්‍යය වන්නේ මේ ගිවිසුම හරහා යම් උපකාරයක් ලබාගැනීම නම් හෝ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියන පරිදි න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුදාහරින කුණු ගොඩක තත්ත්වයෙන් අප තවමත් සිටිනුයේ නම් ඒ ගැන වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතු වන්නේය. මාරුවෙන් මාරුවට එන පාලකයන් කියන සුරංගනා කථාවලට අනුව නම් මෙරට නන්දන වනය බදු සුරපුරකි. මේ සියල්ල කටින් බතලය. අපේ රටේ දියුණුවට මහා බාධක ගල්පරය වශයෙන් පවතින්නේ හැම දෙනාගේම ආලිබබා සහ මිතුරන් හතළිස් දෙනාගේ න්‍යාය අනුගමනය කිරීමය. මේවා මගහැරී අපේ ආත්මගත සිහිනය වූ සිංගප්පූරු සංවර්ධනය උදාකර ගැනීම තවත් සියවසකදී හෝ සිදුවන්නේ නම් අපේ ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යනු නිසැකය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : ශාන්ත රත්නායක