දේශපාලන ප්‍රහසන ගැන වැරැදි අන්දමින් වටහාගෙන මාධ්‍යවේදීන් ගෙන් එළව එළවා පළිගන්නා දේශපාලනඥයෝ කවදත් සිටියහ. අවවාදයෙන්, පැහැරගෙන යාමෙන්, පහරදීමෙන්, රැකියාව අහිමි කිරීමෙන් හා බැරිම තැන අතුරුදන් කිරීමෙන් ඔවුන් නිහඬ කිරීමට පාලකයෝ උත්සාහ දරති.

ගහන්න ගහන්න වඳින මිනිසාත් වඳින්න වඳින්න ගහන මිනිසාත් මෝඩයන් ලෙස පැරණි කියමනක් ඇත. 


හෙයියන්තුඩුවගේ දොන් විජේදාස හෙවත් එච්. ඩී. විජේදාස සමාජයේ සහ දේශපාලනඥයින්ගේ දුර්වල තැන්වලට උපහාසාත්මකව තම මාධ්‍යයෙන් පහරදුන් මිනිසෙකි. 


ඔහුට පෙරළා ලැබුණේ තහනම සමග රැකියාව අහිමි වීමය. ඒත් විජේදාස ඔවුන්ට වඳින්න ගියේ නැත. ඔහු කළේ මිනිසා මිනිසාටම දර්ශනය කරන කැඩපතක් සේ ක්‍රියා කිරීම පමණි. 


ගුවන් විදුලි සේවයේ හාස්‍යොත්පාදක නාට්‍ය කලාවට හා නිවේදන කලාවට නව අරුතක් දුන් එච්. ඩී. තමන්ට එල්ල කළ චෝදනා මල් පොකුරු සේ සැලකීය. අවසානයේ ඔහුගේ අනන්‍යතාව පිළිගැනීමට රාජ්‍ය නායකයන්ට සිදුවිය.


ඓතිහාසික බැංඩුන් සමුළුව සඳහා රාජ්‍ය නායකයෝ බැංඩුන් නගරයේ රැස්වූහ. මේ ගැන මාධ්‍ය තුළ ප්‍රසාදයක් නොවුණු අතර එය අනුවණ නිෂ්ප්‍රයෝජන මුදල් නාස්තිකාර කටයුත්තක් ලෙස සැලකුවේය. එහෙත් එහි සංවිධායකයෙකු වූයේ මෙරට රාජ්‍ය පාලකයකු වූ සර් ජෝන් කොතලාවලය.


එකල එච්.ඩී. විජේදාස විහිළු තහළු නමින් ජනප්‍රිය හාස්‍යොත්පාදක වැඩසටහනක් ගුවන් විදුලියේ නිෂ්පාදනය කළේය. මෙවර තේමාව ලෙස ඔහු යොදා ගත්තේ බැංඩුන් සමුළුවය. එහි චරිත වනන්තරේ විවිධ සතුන්ගේ ඉරියව් අනුව නිරූපණය විය. 


මී හරක් හඬ නැගුවේ “හෝ මෝසා...” හඬිනි. බූරුවා හඬ නැගුවේ “නේරූ...” හඬිනි. මෙය කාලීන වැඩසටහනක් ලෙස ප්‍රචාරය කළ අතර ශ්‍රාවක ප්‍රතිචාර ගලා එන්නට විය. 


මෙය සමුළුවට අවමානයකැයි ගුවන් විදුලිය තුළින්ම විරෝධයක් නැගුණි. පෙත්සම් විභාගය ද ඇරඹිණ. විජේදාසගේ වැඩසටහන නතර කළ අතර ඊට එරෙහිව ජනමාධ්‍ය හඬ නැගුවේය. අන්තිමට ප්‍රශ්නය අගමැති වෙතට යනතුරු දිග්ගැස්සිණ.


අරලියගහ මන්දිරයේ දොරටුව අසල බියෙන් සැලෙමින් විජේදාසලා පෙනී සිටියහ. 


“අන්න ඔහෙලට අගමැතිතුමා කතා කරනවා.” 


විජේදාස හා තේවිස් ගුරුගේ සැප පුටුවක අසුන්ගෙන සිටි අගමැති ජෝන් කොතලාවල හමුවූහ. 


“උඹල ද මේක කරන්නෙ”


“එහෙමයි සර්”


“හොඳයි දාපිය ඒක බලන්න” විහිළු තහළු පටිය ක්‍රියාත්මක කරන ලදී. නාට්‍යය ගලා යද්දී අගමැතිට උන්හිටි තැන් අමතක විය. ඔහු මහ හඬ දී බඩ අල්ලාගෙන සිනාසුණේය. අගමැති අපහුසතාවට පත්වේ යැයි වහා එය නතර කෙරිණ.


“යකෝ මරේ මරුනෙ. ඇයි ඒක නැවැත්තුවෙ ගිහින් ආයෙත් කරනවා. මටත් අහන්න එවනවා.” 


සර් ජෝන්ගෙ කතාව අදහාගත නොහැකිව දෙදෙනා බලා උන්හ. 


“මොනවද බලා ඉන්නෙ. මොනවද උඹලට ඕනෑ.” ඔහු සාක්කුවට අත දමමින් විමසීය. 


“මුකුත් නෑ සර් අපි යන්නම්.” 


සියලු අණවින පරදා වැඩසටහන විකාශය විය.


අගමැති බණ්ඩාරනායක යුගය උදාවිය. පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ දී ප්‍රියසාදයක් පැවැත්විණි. එහි කැපී පෙනෙන දසුනක් වූයේ කිරිබත් කැවුම් අතිරස කොකිස් හා කෙසෙල්වලින් කෑම මේසය පිරී තිබීමයි. එහෙත් දේශීය රසකැවිලි කෑමට තබා තිබුණේ හැඳි ගෑරුප්පුය. 


සිංහලකම ගැන දොඩමින් සිංහල ඡන්දයෙන් මැතිසබයට ආ සිංහල බෞද්ධ නායකයන් මෙලෙස හැසිරීම දුටු විජේදාසට එය හිසදරයක් විය. තම නිර්මාණ සඳහා කදිම තේමාවක් ලෙස ඔහුට එය පෙනිණ. එදා රසාංගයේ එම සිද්ධිය ප්‍රචාරය විය. 


“රටේ සංස්කෘතිය රැකෙන්නේ හැඳි ගෑරුප්පුවලින් අනුභව කළොත් පමණි” එහිදී කියැවිණ.


පෙත්සම්කැරවෝ යළි ක්‍රියාත්මක වූහ. ඔවුන් අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජේ. පෙරේරාට බල කළේ එච්. ඩී. අස්කරන ලෙසය. ඊට කන් නොදුන් එම්. ජේ. පෙරේරාට වූයේ ගෙදර යාමටය. විනය පරීක්‍ෂණය සංස්කෘතික අමාත්‍ය ජයවීර කුරුප්පුට පැවරිණ.


“මොකද ජයවීර තත්ත්වය” බණ්ඩාරනායක අගමැති ඇසීය. “කිසි වරදක් මට නම් පේන්නේ නෑ සර්” අමාත්‍යවරයා කීවේය. 


බණ්ඩාරනායක අගමැති ද පෞද්ගලිකව එය ගෙන්වාගෙන ඇසීය. අගමැති මැදුර දෙසින් ඇසුණේ නොනවත්වාම නැගෙන සිනා හඬක් පමණි.


“මේකෙ තියෙන්නෙ අපහාස රසය නොවෙයි අයිසේ උපහාස රසය” කී අගමැතිවරයා ඔහු චෝදනාවලින් නිදහස් කළේය.


බණ්ඩාරනායක යුගයේ තිබූ මාධ්‍ය නිදහස උපයෝගී කරගෙන එච්. ඩී. අපූරු වැඩසටහන් රැසක් කළේය. නම්බුනාම වෙන්දේසිය ඉන් එකකි. 


සුද්දන්ගෙන් ලැබූ නම්බුනාම නතර කරලීමට බණ්ඩාරනායක ආණ්ඩුව කළ තීරණයම පැසසීමට මෙවර විහිළු තහළු වැඩසටහන වෙන් වූයේය. 


වෙන්දේසිකරු නම්බුනාම හැඳින්වූයේ, “මෙච්චර පන්දම් අල්ලා, තොරන් බැඳලා ගත්ත මුහන්දිරම් පට්ටම” යනාකාරයෙනි. ගැනුම්කරුවෝ ඒවා ඉල්ලුවේ ඉහළ ලන්සුවේ සිට අඩුම ලන්සුව දක්වාය අන්තිමට පට්ටම තුට්ටුවට ගියේය. 


මෙම වැඩසටහනේ රසවත්කම නිසා ඊට යැවූ පෙත්සම් කුණුකූඩයට ගියේය. මෙම පැමිණිලි කර තිබුණේ රැජිනගේ ආණ්ඩුවෙන් පට්ටම් ලබා තිබූ ධනපති දේශපාලනඥයන් ඇතුළු පිරිසක් විසිනි. 


විජේදාස උපන්නේ 1925 ජනවාරි 06 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ හෙයියන්තුඩුවේ දීය. හෙයියන්තුඩුව මිශ්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලබා කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමටය.


මෙහිදී සාහිත්‍යාචාර්ය මධ්‍යම විභාගයෙන් සමත්වූ ඔහු පාසල් වේදිකාවෙන් ගුවන් විදුලි රඟමඩලට යෝධ පිම්මක් පැන්නේය. ඒ කවි ගායනය තුළිනි. රසවත් වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ප්‍රචලිත ඔහු 1951 දී සහන නිවේදක තනතුර ලැබීමෙන් පසු ගුවන් විදුලියට ගහට පොත්ත මෙන් තදින් බැඳුණේය. 


විජේදාස ප්‍රාදේශීය දේශපාලනඥයකු ද විය. දේශපාලනයෙන් සමුගත් ඔහු පූර්ණකාලීනව ගුවන් විදුලියට එක්විය. 1954 සිට ඔහුගේ විහිළු තහළු විකාශය සිදුවිය.
විජේදාසගේ හපන්කම් අතර “ප්‍රවෘත්ති සංදර්ශනය” මුල්තැනක් ගත්තේය. කාලීන සිද්ධිය පෙළගස්වා විකාශය කිරීමට ඔහුට භාර විය.

 

1956 මහජන ආණ්ඩුව පිහිටුවා මැති ඇමැතිවරුන් දිවුරුම්දීමට දළදා මාලිගාවට යද්දී එම උළෙල පටිගත කිරීමට ප්‍රථම සිංහල අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජේ. පෙරේරා පටිගත කිරීම් අංශයට (ඩී.බී. සෙක්ෂන්) නියෝග කළේය. නිලධාරීහු ඊට මැළිවූහ. 


“අනේ සර් ඔයවගේ ලොකු වැඩක් කරන්න අපට මැෂින් නැහැ. යන්න වාහන නැහැ” කියමින් මග හැරියහ. 


ඇත්ත වශයෙන්ම සත්‍යය එය නොවේ. ඔවුන් පසුගිය ආණ්ඩුවේ නිලධාරීන් බැවිනි. එම්. ජේ. අසරණව සිටි අවස්ථාවේ සොක්කෙකු වූ විජේදාස ඔහුට ළං වූයේය. 


“සර් මට අවසර දෙනව නම් මං වැඬේ කරන්නම්” 


එම්. ජේ. විජේදාසගේ උඩ සිට පහළට බැලීය. 


“තමුසෙ? තමුසෙට පුළුවන්ද?”


“පුළුවන් නිසා තමයි සර් ඇහුවෙ” විජේදාස පපුව ඉස්සරහට දමා කීවේය. 


“අයිසෙ මේක වැදගත් වගේම භයානක වෙලාවක්. පොඞ්ඩක් වැරදුණොත් පුතෝ! උඹත් ඉවරයි. මාත් ඉවරයි.” 


“මං දන්නව සර්”


“මට කරන්න බැරි නිසයි තමුසෙට ඉඩ දෙන්නෙ. මොනවද ඕනෑ කරන්නෙ”


වෙනත් නිලධාරීන් මෙන් මුදල් ඉල්ලතැයි එම්.ජේ. හිතුවා විය හැකිය. 


“වාහනයක් තමයි සර්”.


“වාහන නෑ සල්ලි දෙන්නම්” විජේදාස පළමු කඩඉම පැන ගත්තේය. ඔහු සමරපාල නම් මිතුරකුට අඬ ගැසීය. රාජකාරිය ඇසූ සමරපාල ඔහුටත් වඩා බිය විය. 


“රජ දරුවොයි සර්පයොයි එක්ක සෙල්ලම් කරන්න එපා කියනවනෙ. අප්සෙට් එකක් වුණොත් බෙල්ල යන එක ෂුවර්” 


විජේදාස නැවැත්වීමට කිසිවකුට බැරිවිය. තමා කාමරයේ තිබූ කුඩා ටේප් යන්ත්‍රය ගෙන කුලී රියකින් දෙමිතුරෝ මහනුවර උත්සවයට ගියහ. 

 

 


(මතු සම්බන්ධයි)

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි