බලය ලබා ගැනීමටත් ගිලිහෙන බලය රැක ගැනීමටත් දේශපාලනඥයෝ නොයෙක් පොරොන්දු ජනතාවට දෙති. බලය ලැබූ විගසම එම පොරොන්දු සිහින බටව පත්වී කිසිදා ඉටු නොවෙයි. මෙය එදත් අදත් සමාජයට රහසක් නොවේ. 


ගමට ඒදණ්ඩක්, ප්‍රජා ශාලාවක්, රෝහලක්, පාසලක්, කර්මාන්ත ශාලාවක් ලබාදීමටත් වගාවට පොහොර සහනාධාරය, වාරි ජලය, විනාශ වූ වගාවන්ට වන්දි, වී වලටත්, තේ ඇතුළු අපනයන භෝගවලටත් ස්ථාවර මිලක් ලබාදෙන බව පවසා ගමේ ඡන්දය දිනාගන්නා අතර අවසානයේදී පොරොන්දු මතක් කරමින් ජනතාවට වීදි බැසීමට සිදුවන අවස්ථා සුලභය.


ගම් මට්ටමින්, බලය ගෙන ජාතික මට්ටමින් දැවැන්ත පොරොන්දු දී රටේම බලය තහවුරු කරගන්නා දේශපාලනඥයන් පිළිබඳව ජනතා කලකිරීම උද්ඝෝෂණයන්ගෙන් නොනැවතී තමන්ම පත්කරගත් ආණ්ඩුව පෙරළා දමන්නට මීළඟ ඡන්දය එනතුරු පුල පුලා සිටීමෙන් පොරොන්දු දේශපාලනයේ නිරුවත වැටහෙයි. 


මහජාතියට එක ලෙසකටත් සුළු ජාතිකයන්ට වෙනත් ලෙසකටත් පොරොන්දු දෙන බවට මැසිවිලි මැතිවරණ වේදිකාවේදී නිතර ඇසේ. තමන් ගැන ආණ්ඩුව නොසලකන තරමට සුළු ජාතික පක්‍ෂ තව තවත් සැර කොන්දේසි ඉල්ලීම් ගෙන එන බවටත් අවසානයේ සිවිල් යුද්ධයක් බවට එම අසහනය පත්වෙන බවත් විචාරකයන්ගේ මතයයි.


වසර දහස් ගණනක් ඒකීය රාජ්‍යයක් ලෙස පැවති මෙරට, පෘතුගීසි හා ලන්දේසීන්ගේ අර්ධ පාලනයටත් ඉංග්‍රීසීන්ගේ පූර්ණ පාලනයටත් නතු වූයේ පොරොන්දු දේශපාලනයේ බලපෑම් නිසාය. අද වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙන්ම එන්.ජී.ඕ. කොන්දේසිවලටත් යටත්ව මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලනික ව්‍යුහයන් හැසිරීම නිසා රට කබලෙන් ළිපට වැටී ඇති බව පැවසේ.


ශ්‍රී ලංකාව “ඉන්දීය සයුරේ මුතු ඇටය” යැයි විරුදාවලි ලබා ඇත්තේ නිකම්ම නොවේ. පුරා විද්‍යාත්මක වශයෙන් පමණක් නොව වාණිජකරණය හා යුදමය වශයෙන්ද මෙරට ලෝකයම ඇස ගසා සිටින කේන්ද්‍රස්ථානයකි. එබැවින් මෙම දේශය තම ග්‍රහණයට නතු කර ගැනීමේ ආධාර උපක්‍රම, යෝජනා, ගිවිසුම් හා හුවමාරුවීම් සිදුකිරීමට ජාත්‍යන්තරයේ ඇත්තේ උණුසුම් තරගයකි. 


දැනටමත් අපේ මුහුදේ අයිතිය, ඉඩකඩම්, වෙළෙඳපොළ, කර්මාන්ත මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයේ වැඩි අයිතිය, වැඩිබර උසුලන්නේ ජාත්‍යන්තරයයි. චීනය, ඉන්දියාව වැනි ආසියානු කලාපයේ රටවල් මෙන්ම බි්‍රතාන්‍ය, ඇමරිකාව සහ පර්මනිය වැනි බටහිර කලාපයේ රටවල ප්‍රාන්තයක් බවට අප රට අප පත්වී ඇද්දෝයි සැක සිතේ. 


මෙරට සිංගප්පූරුවක් හෝ සුරලොවක් හෝ කරන බවට දේශපාලනඥයෝ දිගු කලක් අපට පොරොන්දු දුන්හ. සිංගප්පූරුව ඇතුළු කලාපීය රටවල් පවා අපේ රටේ ශක්තිය දැක විස්මයට පත්වූ යුගවල රට ගොඩගැනීම අමතක කළ නායකයෝ අද ඒ රටවල දියුණුව පෙන්වමින් ඡන්ද පොරොන්දු දෙති. 


“අහසින් වැටෙන එක දිය බිඳක් හෝ අපතේ නොහරිමි” යි   පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජු සපථ කළේ ඡන්දය බලාගෙන නොවේ. ඒ වනාහි ජාතිකාභිමානයයි. එලෙසම දහස් ගණන් වැව් අමුණු බැඳ බතින් බුලතින් රට සශ්‍රීක කළ රජවරුන් නිසා මෙරට ලොව විරාජමාන වෙයි.


එම සටන් පාඨය අද දේශපාලනඥයන්ගෙන් ඇසෙන නමුදු වී සහල්, තේ එළවළු, ගම්මිරිස් ඇතුළු භවභෝගවලට හා කිරි නිෂ්පාදනවලට පාලන මිලක් නොමැතිව, ජල කළමනාකරණයද හරි හැටි නොවූ නිසා කලට ජලය හෝ පොහොර නොමැතිවීමෙන් වගා පාළු වූ ගොඩමඩ ඉඩම්, දෙස බල බලා ගොවි රජවරු හූල්ලති. රට වටේටම මුහුද ඇතත් තවමත් අප කන්නේ ටින්මාළු ය. 


“හැම දරුවකුටම ආහාර වේලක්, පෝෂණ මල්ලක්, පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වැනි පොරොන්දු එදා මෙන්ම අදද ඇසේ. වෙනසකට ඇත්තේ 1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය “හැම පුරවැසියකුටම ධාන්‍ය රත්තල් අටක් දෙන” බවට වූ පොරොන්දුවද “හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා” යැයි 1970 දි සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව දුන් පොරොන්දු අලුතින්ම ඒවාට එකතුවීමය.


පොරොන්දු නිසාම රාජ්‍ය නායකයන්ට පටබැඳුණු නම්ද ජනප්‍රියය. “ජාතියේ පියා” ලෙස අගමැති ඩී. ඇස්. සේනානායකයන් හැඳින්වූයේ නිදහස ලැබූ පසු ජනතාවට නිදහසේ සුඛිත මුදිතව වාසය කිරීමට තරම් පරිසරයක් ඇති කරනු ඇතැයි හැඟීමෙනි. 


එමෙන්ම 1953 දී මුදල් ඇමැති ජේ. ආර්. ගේ අය - වැය අනුව හාල් සේරුවේ මිල ශත 75 දක්වා වැඩි කිරීම නිසා කෝපයට පත් ජනතාව මහා හර්තාලයක් ඇරඹූහ.


සිරිමාවෝ අගමැතිනිය ලෝක ආහාර අර්බුදයට පිළියම් වශයෙන් ජනප්‍රිය පොරොන්දු දේශපාලන වෙනුවට වගා සංග්‍රාම ව්‍යාපාරය ඇරඹුවාය. රටපුරා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සීමා කළාය. ඇපල්, මුද්දරප්පලම් හා අත්‍යවශ්‍ය ආහාර පිටරටින් ගෙන ඒම තදබල ලෙස සීමා කළාය. 


ඇය කෙතරම් ස්වාධීනව නිස්සරණාධ්‍යාශයෙන් එම දැඩි තීරණය ගත්තද ඊට නිසි සහයෝගයක් රටෙන් නොලැබුණු අතර එම ක්‍රියාවලිය විවේචනය කළ විරුද්ධ පක්‍ෂවල ප්‍රතිගාමීන්ගේ කීමට ජනතාව අවධානය යොමු කිරීම නිසා 1977 දී බරපතළ පරාජයකට ඇගේ ආණ්ඩුව ලක්විණ.


“අමුඩ මාමා හෝ බනිස් මාමා” වැනි අන්වර්ථ නාමවලින් හැඳින්වුණු ආචාර්ය විජයානන්ද දහනායක ජනප්‍රිය වූයේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය තුළ පෙරළි කළ දේශපාලනඥයකු නිසාය. පාසල් දරුවන්ට කුසගින්න නිවීමට බනිස් සැපයීම හා රටේ පවතින රෙදි හිඟයට විරෝධය පෑම සඳහා අමුඩයකින් සැරසී පාර්ලිමේන්තු යෑමත් නිසා පොරොන්දු දේශපාලනය හෙළා දකින රැඩිකල් චරිතයක් වූයේය. තෙල් හිඟයට විකල්ප බරකරත්තද යි ඇතැම් මන්ත්‍රීවරු ඇසූහ. 


චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගේ ආකර්ෂණීයම පොරොන්දුවක් වූයේ රුපියල් 5.50 ට විකිනූ පාන් රත්තල මිල රුපියල් 3.50 ට අඩු කිරීමය. 1977 දී ජේ. ආර්. ආණ්ඩුව භාර ගන්නා විට ශත 75 ට තිබූ පාන් මිල රුපියල් 5.50 ට නැඟීම නිසා රටපුරා අසහනය පැතිරිණ. ජනතාවට චන්ද්‍රිකා දුන් පොරොන්දු පරිදිම රුපියල් දෙකකින් එහි මිල අඩු කළාය. එහෙත් ඡන්ද උණුසුම් නැතිවී යත්ම යළි පාන් මිල ඉහළ නැඟිණ. 


ජනපති ආර්. ප්‍රේමදාසගේ ජනප්‍රිය ඡන්ද පොරොන්දුව වූයේ පොල් මිල අඩු කිරීමය. ශත 70 ට ඉහළ නැඟි පොල් ගෙඩියේ මිල තමන් බලයට ආ විගස ශත 35 ට බස්සන බව ඔහු කීවේය. 


වේදිකාවට නැඟුණු ඔහු ජනතාවට පොල් බෑ දෙකක් පෙන්වා “අද මේක තිස්පහයි. මේ බෑයත් තිස්පහයි. දෙකම හත්තෑවයි. අපි බලයට ආවාම ගෙඩියම තිස්පහයි.” පැවසූ අතර බලයට ආ විගස පොල් මිල අඩු කළේය. ඒ තාවකාලිකවය.


1994 ට පෙර යූඇන්පී පාලනය දූෂණ හා අක්‍රමිකතාවන්ගෙන් පිරී ගිය වකවානුවක් බව චන්ද්‍රිකා මැතිනිය පැවසුවාය. ඇය කීවේ “මං බලයට ආවාම පරීක්‍ෂණ පවත්වලා දූෂිතයන් ගෝල්ෆේස් පිට්ටනියට ගෙනෙල්ලා දඬුවම් කරනවා” කියාය. 


කෙසේ වෙතත් ඇගේ කාලය අවසන් වනතුරු මහපරිමාණ දූෂණ කළවුන්ට දඬුවම් දීමක් නම් වූ බව අමතකය. ඇගේ තවත් ජනප්‍රිය සටන් පාඨයක් වූයේ ”විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දෙන” බවය. එයද සුරංගනා කතාවක් බව තතු දන්නෝ කියති.


එයද හරියටම “ජේ. ආර්. ධර්මිෂ්ඨ සමාජයක්” ඇතිකිරීමට 1977 දී දුන් පොරොන්දුව හා සමානය. තමන් බලයට ආ විගසම ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා ණය උගුලින් රට බේරාගන්නා බව විමල් වීරවංශ වැනි රැඩිකල් වාමාංශිකයන් පිරිසක් එදා පැවසූ බවත් තමන් තුන්වැනි බලවේගය බැව් ජ.වි.පෙ. නායකයන් අනාගත වාක්‍යය කියූ බවත් අපට මතකය. එහෙත් අද වනතුරු එම සිහින සැබැවී නැත. 


ප්‍රේමදාස යුගයෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්‍ෂ වැනි ජනාධිපතිවරුන්ගේ ප්‍රධාන ඡන්ද සටන් පාඨය හා පොරොන්දු වූයේ ජේ. ආර්. ඇටවූ මර උගුල වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. ඒ පිළිබඳ දෙතුන් පිල්වලට බෙදී වාද විවාද කළද සංශෝධන ගෙන ආවද එතරම් බලපෑමක් ඊට නොවිණ.


එසේ වුවද දැවැන්ත ප්‍රමාණයේ ඡන්ද පොරොන්දු හා ජනතා ඉල්ලීම් රැසක් ඉටුකරදුන් නායකයකු ලෙස මහින්ද රාජපක්‍ෂ වෙත ජනතා ආකර්ෂණයක් යොමුවී තිබිණ. එනම් පොරොන්දු වූ පරිදිම 30 වසරක් පුරා මෙරට පැවැති දරුණු ත්‍රස්තවාදී යුද බය නැතිකර රට එක්සේසත් කර රටට නව බලාපොරොත්තු ඇති කිරීම නිසාය. 


එය පොරොන්දු ඉක්මවා ගිය ක්‍රියාන්විතයක් බව නොකිවමනාය. යුද්ධයේ ආදීනව දුටු විරුද්ධ පක්‍ෂ මෙන්ම ජාත්‍යන්තරය පවා එහි අගය මැනවින් හඳුනාගෙන සිටිති. මාර්ග තදබදය හා සංවර්ධන බාධාවන් වැළැක්වීමට අධිවේගී මාර්ග හඳුන්වා දුන්නේය.


මහින්ද රාජපක්‍ෂගේ තවත් පොරොන්දුවක් වූයේ රුපියල් 350 කට ලබාදෙන බව කී පොහොර සහනාධාරයයි. එය තම පාලන කාලය පුරාම ආරක්‍ෂා කර ගැනීමට ඔහු සමත්විය. මහින්ද චින්තනය ඉදිරියට ගෙන එමින් දෙවරක් විධායක ජනපති තනතුර දරන්නට ඔහුට වාසනාව පැදුණි. 


“ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනවා. පංචබල කේන්ද්‍රයක් බවට රට ගෙන එනවා. 2010 දී විධායක ජනපති ධුරය භාරකාර ජනපති ධුරයක් බවට පත් කරනවා” මහින්ද පොරොන්දු වූයේය.


කෙසේ වෙතත් 2015 ජනවාරි 08 වැනිදා එවන් බලසම්පන්න රජයක් පරාජය කර බලය ගන්නට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පොරොන්දු සමත් විය. ඔහුගේද ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ විධායක ජනපති ක්‍රමය නැතිකර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවකි. 


විශේෂයෙන් 18 වන සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැදගත් පොරොන්දු විය. මෛත්‍රීගෙන් පසු විධායක ජනපති ක්‍රමය අහෝසි වේ යැයි රටම සිතා සිටියත් 2020 දීද ශ්‍රීලනිපයේ ජනපති අපේක්‍ෂක ලෙස යළි මෛත්‍රිපාල සිරිසේනම ඉදිරිපත්වන බවට ඉඟි කිරීම නිසා එම පොරොන්දුව කන්දක් විලිලා කෙන්දක් වැදුවා මෙන් වනු ඇත. 


කාලය විසින් ජේ. ආර්., ප්‍රේමදාස, විජේතුංග යන නායකයන්ගේ යුගයන් අවසන් කර ඇත. මහින්ද යුගය කලින් අවසන් වුවද පොරොන්දු දේශපාලනය යළි කරළියට එමින් පවතී. උතුරේ දෙමළ නායකයන්ද මුස්ලිම් නායකයන්ද පොරොන්දුවලට අලුත් මුහුණුවරක් දෙමින් ඡන්ද එනතුරු කල්මරනු පෙනේ. කියන්නා කෙසේ කීවත් අපි බුද්ධිමත් විය යුතු වෙමු.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි