සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මෙරට ප්‍රථම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාව 89 ක් වූ අතර තෝරා පත් කර ගත් මන්ත්‍රීන් සංඛ්‍යාව 95 ක් විය. අතිරේක මන්ත්‍රීවරුන් හය දෙනා තේරි පත් වුයේ බහු මන්ත්‍රී කොට්ඨාස හරහාය. එම බහු මන්ත්‍රී කොට්ඨාස හය පළාත්බදව බෙදී තිබුණේ මෙසේය. 


අංක 02 මැද කොළඹ (03) බස්නාහිර පළාත, අංක 23 කඩුගන්නාව (02) මධ්‍යම පළාත අංක 33 අම්බලන්ගොඩ - බළපිටිය (02) දකුණු පළාත, අංක 76 බදුල්ල (02) ඌව පළාත සහ අංක 89 බළංගොඩ (02) සබරගමුව පළාත වශයෙනි. මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන අංක 33 අම්බලංගොඩ - බළපිටිය ආසනයේ අතුරු මැතිවරණය පැවැත්වුයේ 1950 මැයි මස 20 දිනදීය.

එය 1947 ප්‍රථම මැතිවරණයෙන් පසු පැවැත්වු නව වැනි අතුරු මැතිවරණය ලෙසද, බහු මන්ත්‍රී කොට්ඨාසයක මන්ත්‍රිවරයෙකු මිය යාමේ හේතුවෙන් පවත්වන්නට යෙදුන පළමුවැනි අතුරු මැතිවරණය වශයෙන් ද සටහන් වී තිබේ. 


ප්‍රථම මැතිවරණයේදී අම්බලන්ගොඩ - බළපිටිය ආසනයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


පී. එච්. විලියම් ද සිල්වා (බෝ.ලෙ.ප. - කුඩය) 37,650 ජී. ආතර් ද සොයිසා (එ.ජා.ප. - ඇස) 26,764 පී. ද ඇස්. කුලරත්න (ගෙය - 17,520) පී. ඒ. ප්‍රේමදාස (හැන්ද - 9086) ඩී. ස්ටැන්ලි සොයිසා (තරාදිය - 3927) ඇස්. අබේගුණවර්ධන (මහත්මිය) (කරත්ත රෝදය - 3105) කේ. ටී. ඊ. ද සිල්වා (මල - 2000) ඩී. ජේ. ප්‍රේමතිලක (අලියා 1002) වැඩි ඡන්ද සංඛ්‍යාව (පළමුවැනි මන්ත්‍රී 10,886 දෙවැනි මන්ත්‍රී 9244) ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 2724, ඡන්ද දුන් මුළු ගණන 103,728 ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ මුළු ගණන 104,843 මෙම ප්‍රතිඵලයට අනුව ජී. ආතර් ද සොයිසා මහතා අම්බලංගොඩ බලපිටිය ආසනයේ දෙවැනි මන්ත්‍රීවරයා වශයෙන් පත් වන්නේය. 


ඔහුගේ දේශපාලන ඉතිහාසය ආරම්භ වනුයේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයෙනි. 1931 පළමු වන රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු 1935-09-21 දින බළපිටිය ආසනය සඳහා අතුරු මැතිවරණයක් පවත්වා තිබේ. එම මැතිවරණයට ඉදිරිපත් වූ ජි. ආතර් ද සොයිසා මහතා ඡන්ද 11,807ක් ලබා ගෙන ඒ. ඩී. ද සිල්වා (10,701) සහ ප්‍රැන්සිස් ද සොයිසා (6638) පරාජයට පත් කර වැඩි ඡන්ද 1106 න් ප්‍රථම වතාවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වුයේය. එහෙත් 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ බළපිටිය ආසනය නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේ දෙවරක්ම පරාජයට පත් වීමේ හේතුවෙනි. දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී බළපිටිය ආසනයට තේරී පත් වුයේ රාජ නීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා මහතාය. ඔහු ඡන්ද 17,711 ක් ලබා ගත් අතර ආතර් ද සොයිසා මහතාට හිමි වුයේ ඡන්ද 12,737 ක් පමණි. නැවත වරක් 1942-06-13 දින බළපිටිය ආසනය වෙනුවෙන් පැවත් වූ අතුරු මැතිවරණයට ද ඔහු තරග කළ නමුත් දෙවැනි වරටත් පරාජයට පත් විය.


එම මැතිවරණයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


පී. ද ඇස්. කුලරත්න 17,260 පී. ආතර් ද සොයිසා 13,585 ආර්. පියදාස ද සිල්වා 7621 වැඩි ඡන්ද සංඛ්‍යාව 3675. 


අතුරු මැතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම 1950-04-05 දින ගාල්ල කච්චේරියේදී සිදු කෙරිණ. අපේක්ෂකයෝ හතර දෙනෙක් එදින නාම යෝජනා පත්‍ර භාර දුන්හ. ඉයන් ද සොයිසා (එ.ජා.ප. - කුරුල්ලා) වොල්වින් ඒ. ද සිල්වා (ස්වාධීන - යතුර) ෂොක්මන් ද එස්. ගුණතිලක (ස්වාධීන - කුඩය) ඩී. ඇල්. සුමනසේන (ස්වාධීන - සමනලයා) ඒ සිව් දෙනාය. අධිනීතිඥ ඉයන් ද සොයිසා හිටපු මන්ත්‍රී ආතර් ද සොයිසාගේ බෑනනුවන් විය. හෙතෙම ජි. ආතර් ද සොයිසා මහතා සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් බළපිටිය ආසනයේ ස්ථාපනය කළ බෞද්ධ පාඨශාලාවල සාමාන්‍යාධිකාරවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. (ඔහු මෙම අතුරු මැතිවරණයෙන් වර්ෂ දෙකකට පසුව පැවැත් වු 1952 මහා මැතිවරණයේදී ඡන්ද 37,901 ක් ලබා ගෙන (එ.ජා.ප. - ලාම්පුව) පළමු වැනි මන්ත්‍රී ධුරයට පත් විය. 


වොල්වින් ඒ. ද සිල්වා ප්‍රකට නීතිවේදී එවකට වැල්ලවත්ත ගල්කිස්ස ආසනයේ මන්ත්‍රී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ සහෝදරයා වු අතර වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කර තිබුණි. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ යනු ලංකාවටම තිබු එක තනතුරකි. ඔහු කොළඹ අධ්‍යාපන කන්තෝරුවේ ස්ථානගතව සිටියේය. පළාත් මට්ටමෙන් උප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සිටියහ. 


අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු උද්ගතව තිබු දේශපාලන වාතාවරණය විස්තර කරමින් 1950 මැයි මස 03 දින දිනමිණ පත්‍රය ඉදිරිපත් කර තිබු විග්‍රහයක මෙසේ සඳහන් විය. “බෝල්ෂේවික්” පක්ෂය තුළ මතභේද: බෝල්ෂේවික් සම සමාජ පක්ෂය අම්බලංගොඩ - බළපිටිය අතුරු මැතිවරණයේදී කවර ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු දැයි තීරණය කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ නොබෝදා සාකච්ඡාවක් ඇති වු බව දැන ගන්නට තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ වොල්වින් ඒ. ද සිල්වා මහතාට පක්ෂයේ අම්බලන්ගොඩ - බළපිටිය ශාඛාව ආධාර කළ යුතු යැයි වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තීරණය කරන ලද බව සැලයි. එහෙත් අම්බලංගොඩ - බළපිටිය කොට්ඨාසයේ පිට පක්ෂයේ සාමාජික සාමාජිකාවන් ද ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත්ව සිටිය යුතු යැයි ද තීරණය කර ඇත. මෙම යෝජනාව මධ්‍යම කාරක සභාව තුළ මත භේද ඇති කළ බවත් එය තීරණය කළේ සුළු ඡන්ද සංඛ්‍යාවකින් බවත් කියැවේ. විරුද්ධත්වය පළ කර ඇත්තේ පානදුර මන්ත්‍රී හැන්රි පිරිස් මහතා ප්‍රමුඛ පිරිසකි. පක්ෂයේ විනයට අනුකූලතාවක් නොදක්වන්නාවුත් පක්ෂයේ වැඩ පිළිවෙළ නොපිළිගන්නාවුත් වොල්වින් ඒ. ද සිල්වා ට ආධාර කිරීමෙන් මහජනයා ඉදිරියේ පක්ෂයට හානි විය හැකි යැයි ඔව්හු කල්පනා කරති. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටියේය. 


මේ අතර අතුරු මැතිවරණය කෙසේ හෝ ජය ගැනීමට පාලක එ.ජා.ප.ය. මහත් වැර වෑයමක් දරණ ආකාරය දැක ගත හැකි විය. 1950-05-11 දින ඉඩම් සහ කෘෂිකර්ම අමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් වුඞ්ලන්ඞ් මන්දිරයේදී පැවැත්වුණි. මෙම රැස්වීමේ අරමුණ ලෙස දක්වා තිබුණේ පක්ෂයේ මුළු බලයම යොදවා බළපිටිය ආසනය තම පක්ෂය සතු කර ගැනීමය. මැතිවරණය අවසන් වන තුරු පක්ෂයේ ප්‍රචාරක කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මන්ත්‍රීවරුන් විසි දෙනෙකු බළපිටියේ පදිංචි කර වීමට ද කටයුතු සංවිධානය කෙරිණ. 


අතුරු මැතිවරණයේ උණුසුම වැඩි වෙත්ම විශේෂ සිදුවීම් දෙකක් වාර්තා විය. පළමු වැනි සිදුවීම එ.ජා.ප. අපේක්ෂකයාට සහය පළ කරන බව දන්වමින් ස්වාධීන අපේක්ෂක ෂොක්මන් එස්. ගුණතිලක මහතා තරගයෙන් ඉවත් වීමය.


ඔහු 1950-05-18 දින අම්බලන්ගොඩ තානායමේ දී අග්‍රාමාත්‍ය ඩි. එස්. සේනානායක මහතා මුණ ගැසී භාර දුන් ලිපියෙහි තමා තරගයෙන් ඉවත් වන බවත් තමාගේත් තම ආධාරකරුවන්ගේත් සම්පූර්ණ ආධාරය ඉයන් ද සොයියා මහතාට ලබා දෙන බවත් සඳහන් විය. හෙතෙම ඉල්ලා අස් වුවද ආණ්ඩුවේ මැතිවරණ වැඩපිළිවෙළට අනුව මෙය සිව් දෙනෙකු අතර තරගයක් හැටියට තවරදුටත් පැවතින. දෙවැනි සිදුවීම වුයේ මෙම ඡන්ද විමසීමේදී ක්‍රියා කිරීම සඳහා පාඨශාලාචාර්යවරුන්ටත් පාඨශාලා පරීක්ෂකවරුන්ටත් පවරා තිබුණ බලය පාර්ලිමේන්තු ඡන්ද විමසීම පිළිබඳ කොමසාරිස්ගෙන් ලැබුණ උපදෙස් පිට ඡන්ද විමසීම භාර නිලධාරී එම්. කේ. ටී. සැන්ඩිස් මහතා විසින් අවලංගු කරනු ලැබීමයි. 


ඡන්ද මධ්‍යස්ථාන 60 ක දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා තිබුණි. තෝරා පත් කර ගත යුතු වුයේ දෙවැනි මන්ත්‍රීවරයා බැවින් ඡන්ද දායකයාට එක් ඡන්දයක් පමණක් ප්‍රකාශ කිරීමට හැකි විය. ආණ්ඩුව අතුරු ඡන්දය දිනා ගැනීමට සියලු උත්සාහයක් දරමින් සිටි පසුබිමක් තුළ ඡන්ද කොට්ඨාසයේ පොලිස් බළ ඇණියද සැලකිය යුතු පරිද්දෙන් ශක්තිමත් කොට තිබුණි. අම්බලන්ගොඩ පාලක මධ්‍යස්ථානය වශයෙන් තබාගෙන ඌරගහ, මිටියාගොඩ, දොඩන්දුව යන පොලිස් ස්ථාන වල ගුවන් විදුලි පණිවුඩ හුවමාරු කිරීමේ වැඩ පිළිවෙළක් ද සකස් කර තිබුණි. ඡන්දය පවත්වන දින පොලිස් මුර සංචාරක රථ 18 ට ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර සපයා තිබු අතර මොහොතක නිවේදනයකින් ක්‍රියාකාරී විය හැකි පරිදි කඳුළු ගෑස් කණ්ඩායම් ද නතර කර තිබුණි. ඡන්ද මධ්‍යස්ථාන 60 ක ඡන්ද පෙට්ටි ඡන්දය විමසු දින 5.00 න් පසු ගාල්ල අතිරේක දිස්ත්‍රික් උසාවි ගොඩනැගිල්ල වෙත ගෙන එනු ලැබූ අතර පසුදා උදේ ඡන්ද පත්‍රිකා ගණන් කරන තුරු රාත්‍රිය පුරා සන්නාහ සන්නද්ධ පොලිස් භට පිරිස් මුර කරමින් ආරක්ෂාව සැලසිය. 


1950-05-21 දින උදෑසන 8.00 ට ඡන්ද පත්‍රිකා ගණන් කිරීම ආරම්භ විය. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණේ දහවල් 11.00 ට පමණය. අතුරු මැතිවරණයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. වොල්වින් ඒ. ද සිල්වා (ස්වාධීන - යතුර) 23,558, ඉයන් ද සොයිසා (එ.ජා.ප. - කුරුල්ලා) 21,590 ජේ. සුමනසේන (ස්වාධීන - සමලනයා) 1429 එස්. බී. එස්. ගුණතිලක (ස්වාධීන - කූඩය) 600 වැඩි ඡන්ද සංඛ්‍යාව 1968 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 505 ඡන්දය දුන් මුළු ගණන 47,682 ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ මුළු ගණන 100,257 මෙම ඡන්ද ප්‍රතිඵලයක් සමගම අම්බලන්ගොඩ බළපිටිය බහු මන්ත්‍රී කෝට්ාඨාසයේ එ.ජා.ප. මන්ත්‍රී ධුරය ප්‍රථම වතාවට එම පක්ෂයෙන් ගිලිහී ගිය ආකාරය දැක ගත හැකි විය.

 

 


ජී. ආර්. ඩි. බණ්ඩාර