සංහිඳියාවෙන් පෝරකයට ගිය සිංහල මුස්ලිම් සුමිතුරෝ-2

 

දි නක් මම්මලේ හමුවූ විට සරදියෙල් ඔහු ඇමතුවේය. හැම මාසෙකම අර රත්තරන් බඩු විකුණන්න මහනුවරින් අපේ ගමට එන කාටු බාවා මතක ද? මාස කීපයකට ඉස්සර ඔය මිනිහා මගේ අම්මාට මුද්දක් ණයට දුන්නා. දැන් හැම මාසයක් ගාණෙම අපේ ගෙදරට ඇවිත් සල්ලි ඉල්ලනවා. සල්ලි නැතැයි කීවාම පොලියට හරියන්න කියලා කැකුළු හාල් සේරු හයක් අරන් යනවා. මේක මහ අපරාධයක්. අපේ හාල් අපට කන්ඩත් මදිව තිබිය දී මේ මංකොල්ලකෑම අපට දරාගන්න බැහැ. ගෑනු හරි මෝඩයි. ඔය මිනිහාගේ රත්තරන් බඩු දැක්කාමත්, එයාගේ කපටි කතාවටත් අපේ ගෑනු උදවිය වහ වැටිලා. තමන්ට ගන්ඩ බැරි උණත් ණයට හරි ගන්ඩ දඟලනවා. ආයෙ කවදාවත් අපේ ගමට නේන්ඩ මිනිහාට පාඩමක් උගන්නන්න ඕනෑ.


දෙදෙනා අතර ඇති වූ මෙම කතා බහෙන් දින කීපයකට පසු කාටු බාවා සරදියෙල්ගේ ගමට පැමිණියේය. ඔහු ගමට පැමිණියාම නවාතැන් ගත්තේ හරමානිස්ගේ කඬේ බව සරදියෙල් දන්නේය. ඔහු හරමානිස්ට බොරු පණිවුඩයක් යවා එදා රාත්‍රියේ ගෙදරින් පිටව යාමට සැලැස්වීය. එදා රාත්‍රී දහයට පමණ සරදියෙල් සහ මම්මලේ හරමානිස්ගේ කඬේට කිට්ටු කළහ. ජනේලයෙන් පිටත සිට එහි පොලු අතරින් එබි බැලූහ. කාටු බාවා පැදුරක තද නින්දේ පසුවන බව ඔව්හු දුටහ. ජනේලයේ පොලු දෙකක් කඩාදමා කඩ කාමරයට රිංගාගත් මොව්හු කලින් සූදානම් කරගෙන තිබුණු කැලෑ කොළ වර්ගයක කූඩු විශේෂයක් කාටු බාවාගේ නාසයට ඇල්ලූහ. එය ටික වේලාවක් සිහි නැති කිරීමට සමත් විෂ වර්ගයක් ලෙස ගමේ වෛද්‍යවරුන් භාවිතයට ගන්නා ශාක වර්ගයක් විය. මෙය තද නින්දට පත් කරවන විස වර්ගයක් බව ද දෙමිතුරෝ දැන සිටියහ. කාටු බාවා තද නින්දට වැටුණු පසු ඔහු නින්දෙන් පිබිදෙන තුරු මිතුරෝ රැක සිටියහ. කලින් සැලසුම් කර තිබූ ආකාරයට කාටු බාවාගේ දෑත් පිටිකරට තබා බැඳ ඔහුගේ රත්තරන් බඩු පෙට්ටිය සහ මුදල් ද පැහැරගත් සරදියෙල් සහ මම්මලේ වහා තම තිප්පොළ බලා පැන ගත්හ.


මෙය සරදියෙල්ගේ සහ මම්මලේ මරික්කාර්ගේ ප්‍රථම මංකොල්ලය විය. යොවුන් වයසේදී එය සාර්ථක කර ගැනීමට හැකිවීමෙන් ඔව්හු ධෛර්යයට පත් වූහ. තව තවත් අපරාධයන් සඳහා ඔවුන් යොමු වූවේ එබැවිනි. උතුවන්කන්ද අවට ජීවත් වූ ධනවතුන්ගේ ධනය කොල්ලකෑම සරදියෙල්ගේ ප්‍රථම ප්‍රයත්නය විය. මේ වන විට මම්මලේ මරික්කාර් හැර තවත් සගයන් කීප දෙනෙක්ද ඔහුගේ චෞර කණ්ඩායමට එක්ව සිටියහ. සිරිමලා ඉන් එක් අයෙකි. කාදර් තවත් එවැන්නෙකි. මෙසේ එක් වූ අය කොළඹ සිට මහනුවර ප්‍රදේශයට සහ මාතලේ වතුවලට වැටුප් ගෙවීමට මුදල් රැගෙන යන විට ඒවා මංකොල්ලකෑම් ද සිදුකර තිබුණි. මෙසේ නිතර නිතර මංකොල්ලකෑම් සිදුවෙද්දී යුරෝපීය වතු හිමියෝ කලබලයට පත් වූහ. මෙකල මුදල් ප්‍රවාහනය මෙන්ම ඔවුන්ගේ ගමනා ගමනය සිදුවූවේ ද අශ්ව කෝච්චි මගිනි. අශ්වයන් දෙදෙනා බැඳි කරත්ත මෙන්ම අශ්වයන් සිව් දෙනා බැගින් බඳින ලද කරත්ත ද මෙකල භාවිතයට ගැනුණි. එකල මාවනැල්ල පෙදෙසේ නුවර පාර පවා තිබුණේ ඉතා පටු මාර්ගයක් වශයෙනි. අනෙක් අතුරුමාර්ග ගැන කියනුම කවරේද? මෙම පටු මාවතක රැක සිට මුදල් හා අනෙකුත් වටිනා දේ පැහැර ගැනීම සරදියෙල්ගේ මංකොල්ල කල්ලියට අපහසුවක් වූවේ නැත. විශේෂයෙන්ම ගිනි අවිවලින් සන්නද්ධව සිටින මැර පිරිසකට එවැනි කටයුත්තක් සුළු සිදුවීමක් විය. එමෙන්ම මෙවැනි දේ නිතර සිදුවන විට මුදල් අහිමිවනවාටත් වඩා තම නිලධාරින් තුවාල ලැබීම ද වතුකාරයන්ට මහත් දුෂ්කරතාවක් වූවේය. එමෙන්ම ජීවිත හානි ද ඉඳ හිට වාර්තා විය. වතුහිමියන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට ද මේ ගැන නිරන්තරයෙන් පැමිණිලි කිරීමට පටන් ගැනීම නිසා එය රාජ්‍ය මට්ටමේ බරපතළ ගැටලුවක් බවට පත් විය. පියවරක් ගත යුතුම තැනට පත් වීම නිසා සරදියෙල් අත්අඩංගුවට ගෙන මෙම හිසරදය නිමා කිරීමට කටයුතු කරන ලෙස මහනුවර උප දිසාපතිව සිටි සෝන්ඩර්ස්ට නියම කළේය. ඔහුගේ නිගමනය වූවේ සරදියෙල් සහ සගයා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පහසු ක්‍රියාවක් නොවන බවයි. එනිසා මේ සඳහා විශාල ප්‍රයත්නයක් සඳහා සංවිධානය විය යුතු බව උප දිසාපති සෝන්ඩර්ස් වටහා ගත්තේය. ඒ අනුව කටයුතු කළේය. 1864 මාර්තු 18 වැනි සිකුරාදා මහනුවර සිට මාවනැල්ලට හමුදා භට කණ්ඩායමක් පැමිණියේය. හමුදාවෙන් සහ ගම්වැසියන් පිරිසක්ද එයට එකතු වූහ. අපරාධකරුවන් සැඟවී ඇතැයි සිතෙන කැලෑ ප්‍රදේශය වට කළ ඔවුහු මුළු පෙදෙසම දැඩි පරීක්ෂණයකට ලක් කළහ. එහෙත් සරදියෙල් සහ සගයා ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැත.


එයින් අධෛර්ය නොවූ ඔහු තමාට රැස්කර ගැනීමට හැකි තරම් මිනිසුන්ද රැගෙන වහාම උතුවන්කන්දට එන ලෙස සෝන්ඩර්ස් විසින් හතර කෝරලේ රටේ මහත්වරුන්ට දන්වා යවන ලදී. ඒ අනුව සියඹලාපිටිය රටේ මහත්තයා සිය පිරිස ද සමඟ කාදර්ගේ නිවස වටකොට රෑ මුළුල්ලේ බලා සිටි නමුදු කිසිවක් සිදු නොවීය. එයින් පසු ඔවුන් කළේ සරදියෙල්ගේ මිතුරා වු කාදර්, ඔහුගේ බිරිඳ සහ සොහොයුරිය හා ඇගේ සැමියා, සරදියල්ගේ මව වූ පිච්චොහාමි ද ඇයගේ අසල්වැසි කාන්තාවක් වූ උක්කුහාමිද සිරභාරයට ගැනීමය. මෙසේ නොයෙකුත් ආකාරයට සරදියෙල් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කෙරෙද්දී ඔහුගේ වෙඩි පහරින් මිනිසුන් දෙදෙනෙකු මිය ගොස් තිබුණි. තත්ත්වය තවත් බැරෑරුම් විය. අදාළ බලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතුව ආරක්‍ෂක කමිටු රැස්වීමක් ද පැවති අතර එයට දිසාපතිවරු හා රැජිනගේ අධිනීතිඥවරයා ද (නීතිපති) සහභාගි වූහ. මෙහිදී තීරණය වූවේ සම්පූර්ණ බලය ඒකරාශී කර සාහසිකයන් සිරභාරයට ගැනීමය. සිවිල් බලධාරීන්ගේ සහායට යුද හමුදා සහාය ද රයිෆල් සේනාංකයේ භටයන් අටදෙනෙකු ක්වොරි නමැති නිලධාරියා යටතේ කොළඹ සිට කෑගල්ලට එවනු ලැබීය. ලාංකික නිලධාරියෙකු යටතේ තවත් භටයන් අටදෙනෙකු යවන ලෙස මහනුවර ඒකකයට නියම කරන ලදී. පොලිස් නිලධාරින් පහළොස් දෙනෙකු කොළඹ සිට මහනුවරට එවීය. ගම්වැසියන් දහසකට වැඩි පිරිසක් ඔවුනට එක්ව උතුවන්කන්ද අවට පීරමින් 1864 මාර්තු 21 වැනි දින මහා මෙහෙයුමක් දියත් කළේ සෝන්ඩර්ස්ගේ ප්‍රධානත්වයෙනි. එහෙත් ප්‍රතිඵලයක් නොවීම ගැන ඔව්හු කනගාටුවට පත් වූහ. එමෙන්ම සරදියෙල් අල්ලා දෙන කෙනෙකුට පවුම් 150ක මුදල් පරිත්‍යාගයක් ලැබෙන බව රජයෙන් නිවේදනය කෙරිණි.


සියල්ල කණපිට හැරුණේ එයින් ඉක්බිතිවය. මුදල් ලැබෙනවා නම් ඕනෑම පාවාදීමක් කරන පාදඩයෝ යටත් විජිත් යුගයේදීත් මෙරට සිටියහ. කලක් තමාගේ නායකයා සහ අවංක හිතවතා වූ සරදියෙල් අල්ලා දීමට සිරිමලා හිත හදාගත්තේ මුදල් තණ්හාව නිසාමය. ඔහු වනයට ගොස් සරදියෙල් සහ මම්මලේ මුණ ගැසුණේය. ලබන සඳුදා දින (මාර්තු) 21 වැනි දින මුළු හතර කෝරලයේම සෙනඟ පැමිණ උතුවන්කන්දේ සිට මහනුවර දක්වා කැලය පීරන බවත් එයින් බේරීමට ඉඩක් නොවන බවත් එනිසා ගමට පැමිණ කාදර්ගේ නිවෙසේ සෝල්දරයේ සැඟවී සිටින ලෙසත් උපදෙස් දුන්නේය. සරදියෙල්ට ද සිතුණේ එම යෝජනාව හරි බවය. කැලයේ සැඟවී සිටීමෙන් බේරුමක් නොවන බව ලැබෙන ආරංචි අනුව ඔහුට ද වැටහී තිබුණි. කලින් තමාගේ සගයකුව සිටි සිරිමලා විසින් තමා පාවා දෙනු ඇතැයි සරදියල් කිසිවිටෙකත් සැක නොකළේය. 21 වැනි දින සැකකරුවන් ඇල්ලීමේ මහා මෙහෙයුම ක්‍රියාවට නැගුණි. බැමිණිවත්ත රටේ මහත්මයා 21 වැනි සඳුදා මිනිසුන් දාහක් පමණ රැගෙන උතුවන් කන්දට පැමිණියේය. අණ කරන ලද පරිදි තෙදිනකට සෑහෙන ආහාර පාන ආදිය ද තුවක්කු හා අවි ආයුධ ද රැගෙන ආරච්චිවරුන් සහ සෙනඟ සමග මාර්තු කැප්පෙටිපොළ කෝරලේ මහතාද උතුවන්කන්දට පැමිණියේය. මෙසේ මිනිසුන් හාර පන් දහසක් රැස්කරගෙන සෝන්ඩර්ස් මහතා කැලෑව පීරීමේ යෙදුණේය.


මේ වන විට බලධාරීන්ගේ භාරයට පත්ව සිටි සිරිමලා, සරදියෙල් සහ මම්මලේ මරික්කාර් සැඟවී සිටි ස්ථානය පෙන්නීමට එකඟව සිටියේය. එදින උදේ මහනුවර පොලිසියේ සාජන්ට් මහත් සහ කොස්තාපල් සබාන් විශාල ගම්වැසි පිරිසක්ද සමග උතුවන්කන්දේ සිට මහනුවර දෙසට ගමන් කරන විට එතැනට පැමිණි සිරිමල් කාදර්ගේ නිවසේ මෙසේ සොයන අපරාධකරුවන් දෙදෙනා සැඟවී සිටින බව දන්වා සිටියේය. ඒ අනුව උක්කුවා නමැති ඔත්තුකරුත් සබාන් කොස්තාපල්, මහත් සාජන්ට් හජ්ජි සහ යූසුප් යන අය නිවස අසලට ගියහ. කාදර්ගේ නිවස වැඩි සවි ශක්තියක් ඇති එකක් නොවීය. බාගෙට සාදා තිබුණු එහි දොරක් ආවරණය කර තිබුණේ පොල් අතුවලිනි, එහි සෝල්දරයක් ද තිබුණි. ගේ වැටලූ රජයේ නිලධාරිහු සහ ආධාරකරුවෝ යටත්වන ලෙස සරදියෙල්ට දැන් වූහ. එවැන්නකට ඔහුගේ මිතුරා එකඟ වූවේ නැත. 


මේ අවස්ථාවේ දී ඇති වූ වෙඩි හුවමාරුවෙන් සබාන් නමැති පොලිස් කොස්තාපල් මිය ගියේය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථමයෙන්ම රාජකාරියේ දී මියගිය පොලිස් නිලධාරියා වන්නේ මොහුය. එනිසාම ලංකා පොලිස් දිනය වශයෙන් අද දක්වාම අනුස්මරණය කරනු ලබන්නේ රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ කොස්තාපල් සබාන්ගේ මරණ දින යයි. දැඩි සටනකින් පසුව වූවත් සරදියෙල් සහ මම්මලේ යටත් වූවේ හෝ අත්අඩංගුවට ගත නොහැකි වූ නිසා ඔවුන් සැඟවී සිටින කාදර්ගේ නිවසට ගිනි තැබීමට ඔව්හු කටයුතු කළහ. ඔවුන් පැන ගියහොත් අල්ලා ගැනීමට අවශ්‍ය රැකවල් යොදා තිබුණි. නිවසට ගිනි තැබීමෙන් පසුව ද වෙඩි හුවමාරු වූ අතර සරදියෙල් ද තුවාල ලැබීය. පසුව උප දිසාපති සෝන්ඩර්ස් විසින් සරදියෙල් සහ මම්මලේ යන දෙදෙනා අත්අඩංගුවට ගෙන මහනුවර සිරගෙදර බලා රැගෙන යන ලදී. සරදියෙල් රැගෙන යන අශ්වකරත්තයට කලින් තවත් අශ්ව රථයක් ගමන් කළේය. එහි ගමන් කළ අය ගමක් පාසා නවතිමින් සරදියෙල් අත් අඩංගුවට ගත් පුවත දැනුම් දෙමින් ගමන් කළහ. ඒ ගැන දැනගත් ගම්වාසීහු දහස් ගණන් මහමගට රොක්ව සිරකරුවන් දෙදෙනා දැක ගැනීමේ අපේක්‍ෂාවෙන් පසු වූහ.


(නඩු විභාගය සහ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ ආකාරය ලබන සතියේ.)

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි