වසර 37 කට පෙර එනම් 1981 මැයි 31 වැනිදා සහ ජුනි 01 වැනිදා අතර මධ්‍යම රාත්‍රියේදී යාපනය පුස්තකාලය ගිනිතබා විනාශ කරන ලදී. පුද්ගලයන් කීපදෙනෙකුගේ සහ ආයතන කීපයක අඩසියවසක කැපවීම සහ වෙහෙස මහන්සිය තුළින් ගොඩනැගුණු දැනුම් ගබඩාව විනාශකාරී කිහිප දෙනෙකුගේ ඉලක්කයක් බවට පත්විය. මෙම පාඩුව සිදු වූයේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටත්, අධ්‍යයන කටයුතුවල යෙදෙන මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවටත්ය.


දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයට තරග කළේ වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ලබා ගැනීම සඳහා වුවත්, 1982 වන විට රාජ්‍ය පාලනයේ දෙවැනි මට්ටමක් සඳහා යෝජනා වී තිබූ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය භාරගැනීමට ඔවුන් එකඟ වී තිබුණි. දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා අණ්ඩුව හා දෙමළ නායකයන් අතර කෙරුණු සාකච්ඡාවල අතරමැදියා ලෙස ක්‍රියාකර තිබුණේ චෙල්වනායගම්ගේ බෑනා වූ මහාචාර්ය ඒ. ජේ. විල්සන්ය. දිස්ත්‍රික් සංවර්ධන සභා පනතට පක්ෂව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරු එක් නොවිය යුතු බවට දෙමළ ඊළමක් සඳහා කෙරෙන සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි කල්ලිවලින් එල්ල වෙමින් තිබූ විරෝධයද නොසලකාය.


එහිදී සිදු වූ ඉතාමත්ම අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ සන්නද්ධ කල්ලිවලින් එල්ල වන බලපෑම් නොසලකා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා එකඟ වී සිටියදී යාපනයේ සංවර්ධන සභා ඡන්දය ඔවුන්ට දිනාගන්නට ඉඩහැර ඊට තරග කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට එම සංවර්ධන සභාවේ බලය ලබා ගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩුවද ඒ සඳහා තරග කරන තැනකට තල්ලුවීමය.


ආණ්ඩු පක්ෂය එම මැතිවරණයේ තරගකරුවකු බවට පත්වීම නිසා ත්‍රස්තවාදී කල්ලිවලට එම මැතිවරණයේදී සිය ක්‍රියාකාරකම් උපරිම තත්ත්වයකට ගෙන ඒමේ පුළුවන්කම ලැබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අවසාන ප්‍රචාරක රැලිය පැවති ස්ථානයේ රාජකාරි කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කිරීම නිසා යාපනය ගිනිගන්නා තත්ත්වයක් ඇතිවිය. පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉවක් බවක් නැතිව කඩසාප්පුවලට ගිනි තැබිණි. එදා රාත්‍රී නගරයේ සිදු වූ ගිනි තැබීම් අතුරින් යාපනේ පුස්තකාලයට ගිනිතැබීම එහි සිදු වූ ලොකුම ගිනි තැබීම ලෙස සැලකිය හැකිය. ලොවෙහිම පැතිරුණු කීර්තියක් හිමිව තිබූ මෙම පුස්තකාලයේ ඉතිහාසය විමසා බැලීම මේ මොහොතේ වැදගත් වේ.


යාපනය ප්‍රදේශයේ විසූ කේ. එම්. චෙල්ලප්පා නම් සමාජ හිතකාමියෙකු විසින් තම දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමේ අභිලාසයෙන් වසර 1933 දී සිය නිවසේ නොමිලේ පවත්වාගෙන යන පුස්තකාලයක් ආරම්භ කරන ලදී. එය ආරම්භ කරන විට ඔහු සතුව තිබුණේ පුවත්පත් සහ සඟරා ස්වල්පයක් පමණි. චෙල්ලප්පා මහතාගේ අදහස අගය කරමින් දැනුම් පිපාසයෙන් පෙලුණු පොත් ලෝලීන් පිරිසක් එක්ව 1934 ජුනි මස 09 වැනිදා රැස් වී පුස්තකාලයක් පිහිටුවා ගැනීම සඳහා කමිටුවක් පත්කර ගත්හ. මෙහි සභාපතිධුරය සඳහා එවකට යාපනය මහාධිකරණ විනිසුරු අයිසැක් තම්බයියා තේරී පත් වූ අතර කේ. එම්. චෙල්ලප්පා ලේකම් ධුරයට පත්වූයේය. 


මෙම කමිටුවේ උත්සාහය මත 1934 අගෝස්තු 01 වැනිදා යාපනය රෝහල් වීදියේ විදුලි බල ස්ථානය ඉදිරිපිට කුලියට ගත් කුඩා කාමරයක පුස්තකාලයක් විවෘත කෙරිණි. ආරම්භයේදී මෙම පුස්තකාලයෙහි තිබුණේ පොත් 844 ක් සහ පුවත්පත් සඟරා 30 ක පමණ ප්‍රමාණයක් වුවත්, දැනුම පිපාසයෙන් පෙළුණු තරුණ හා මහලු නගරවාසීන්ගේ අනුග්‍රහය මෙයට ලැබිණි. උදේ 8 ට විවෘත කළ එය සවස 7.30 ට වසන ලදී. අවුරුද්දක කාලයක් යාපනය පුස්තකාල සංගමය විසින් නඩත්තු කරන ලදුව පුස්තකාලයේ පොත් සංඛ්‍යාව වැඩිවත්ව වැඩි ඉඩකඩක අවශ්‍යතාව මතුවූයෙන් 1934 දෙසැම්බර් 20 දින පවත්වන ලද කමිටු සාකච්ඡාවක තීරණයක් මත 1935 ජනවාරි 01 දින සිට යාපනය ප්‍රධාන වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක් කරා එය ගෙන යන ලද අතර පුස්තකාලයේ පාලනයද යාපනය නගර සංවර්ධන සභාව වෙත පැවරුණි. එහි පළමු වන පුස්තකාලයාධිපතිගේ නම සී.එස්. රාජරත්නම්ය. එහිදී රුපියල් 3 ක් වන සාමාජික ගාස්තුවකට පොත් බැහැරදීම ආරම්භ විය.


පුස්තකාලයේ ජනප්‍රියත්වය කෙතරම්වීද යත්, සියලු නවීන පහසුකම්වලින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතුවිය. 1950 දශකය වන විට යාපනය පුස්තකාලයට දරාගත නොහැකි තරමේ පාඨකයෝ විශාල පිරිසක් සිටියහ. ස්ථිර එසේම අංගසම්පූර්ණ දැවැන්ත පුස්තකාලයක අඩුව තදින්ම දැනෙන්නට විය. ඒ අනුව නව පුස්තකාලයක් ගොඩනැගීම සඳහා අරමුදල් සපයා ගැනීම පිළිබඳව සෙවීමට යාපනයේ පළමු පුරපතිවරයා වූ සෑම් සභාපතිගේ ප්‍රධානත්වයෙන් සමුළුවක් පැවැත්වුණි. මේ සඳහා ඉන්දීය කලාශිල්පීන් යොදාගෙන නැටුම් හා  සංගීත සංදර්ශන පැවැත්වීම, සැණකෙළියක් පැවැත්වීම, ලොතරැයි විකිණීම වැනි දේ යෝජනා වූ අතර මෙයින් සංවිධායකයන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් එක්රැස් විය. 1953 වසරේදී පුස්තකාල කමිටුවක් පත්කර ගැනුණි.


පුස්තකාලය ගොඩනැගීම සඳහා පුස්තකාල කමිටුව වෙතින් ආරාධනා ලැබූ විද්වතුන් අතර මදුරාසියේ සිට ලංකාවට පැමිණි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ කේ. එස්. නරසිම්මන් මෙන්ම පුස්තකාල විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන් ද විය. පුස්තකාල ගොඩනැගිල්ල නිර්මාණය කළේ ගෘහ නිර්මාණ ශිල්පී කේ. එස්. නරසිම්මන්ය. ඔහු සුප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෆ්රි බාවා ගේ හිතවතෙකි.

 

1981 ගිනි තැබීමෙන් පසු පුස්තකාලය දක්නට තිබූ අයුරු.

 

ඔහු ජෆ්රි බාවා සමග හවුලේ කොළඹ මෙන්ම මදුරාසියේද ගොඩනැගිලි කිහිපයක් සැලසුම්කර තිබිණි. 1959 දී යාපනය පුස්තකාලයේ විශේෂ පුස්තක භාරකරු ලෙස කටයුතු කළේ ඉන්දියාවේ සිට පැමිණි ප්‍රවීණ ගණිතඥයෙකු සහ පුස්තකාලයාධිපතිවරයෙකු වූ මහාචාර්ය එස්. ආර්. රංගනාදන්ය. ඔහු කෙතරම් අද්විතීය මිනිසෙකුද යත්. ඉන්දියාව තම රටේ ජාතික පුස්තකාල දිනය ලෙස සමරන්නේ ඔහුගේ උපන්දිනයය.


අංගසම්පූර්ණ සැලැස්මක් නිර්මාණය කෙරුණු අතර  ඉදිරි හා පසුපස කොටස් අදියර දෙකකට ඉදිකිරීමට යෝජනා විය. මුළු දිවයිනෙන්ම හා ඉන්දියාවේද සිට පැමිණි අධ්‍යාපනඥයින් හා සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වය ඇතිව 1954 මාර්තු 29 වන දින මුල් ගල තැබුණි. පළමු අදියරේ ඉදිකිරීම් අවසන් වී 1959 ඔක්තෝබර් 11 වැනි දින යාපනය නගරාධිපති වූ ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. 1967 නොවැම්බර් 03 දින ළමා අංශයක් විවෘත විය. 1971 වසරේ දේශන, සම්මන්ත්‍රණ, සාහිත්‍ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා බිම් මහලේ ශ්‍රවණාගාරයක් විවෘත විය. 


1977 දී යාපනයේ තිබූ ්පැරසජ්බ ක්‍ැබඑරු නමැති පුස්තකාලය වසා දැමීමත් සමග එහි සංරක්ෂණය වූ තවත් පොත් රාශියක් යාපනය මහජන පුස්තකාලය සතුවිය. එදා යාපනය පුස්තකාලය ආරම්භ වන විටම අනික් පසින් වර්ගවාදය ආරම්භ විය. පුස්තකාලය වර්ධනය වූ වේගයටම වර්ගවාදයද වැඩෙන්නට විය. යාපනය පුස්තකාලය වැඩුණේ රාජ්‍ය භාෂා පනත, විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය 1972, 1978 ව්‍යවස්ථා ඔස්සේ වර්ගවාදය වර්ධනය වූ දේශපාලන පසුබිමකය.


1981 මැයි 31 වැනිදා ඉරිදා දිනයකි. මේ කාලයේදී මෙරට තිබූ වඩාත් ජනප්‍රිය දෙමළ පක්ෂය අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. යාපනය සංවර්ධන සභා ඡන්දය නිමිත්තෙන් එම පක්ෂයේ රැලියක් යාපනය ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී හටගත් වෙඩි තැබීමකදී සිංහල පොලිස් නිලධාරින් දෙදෙනෙක් මිය ගියහ. එදින රැය ඉතා නපුරු රැයකි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයට මැරයන් විසින් එදින රාත්‍රියේ ගිනි තබන ලදී. ගෙවල්වල සිටි දෙමළ මිනිස්සු හතර දෙනෙකු එළියට ඇද මරණ ලදී. යාපනය මන්ත්‍රී වී. යෝගේෂ්වරන්ගේ නිවෙසට පහර දී විනාශ කරන ලදී. පුස්තකාලයට ගිනි තබන ලද්දේ ඉන් පසුවය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රැලියේදී සිංහල පොලිස් නිලධාරීන් මැරීමේ පළිය ගැනීමට පොලිසිය හා මැරයන් එකතුව මේ අපරාධය කළ බව යාපනය වැසියෝද, වාමාංශික ක්‍රියාකාරකයෝද කල්පනා කළහ.


පුස්තකාලය ගිනි ගන්නා විට ඒ බව දුරකථන මාර්ගයෙන් යාපනය නාගරික කොමසාරිස් ඩී. වී. කේ. සිවඥානම්ට දැනුම් දී තිබුණි. ඔහු ඒ වේලාවේදී නින්දේ සිටි බවත්, වහාම යාපනය නගර ශාලාවේ සිටි රාත්‍රී මුරකරුවන්ට දුරකථන ඇමතුමක් දී ආරංචිය නිරවද්‍යතාවය වටහාගෙන යාපනය ගිනි නිවස හමුදාවට කතාකර ගිනි නිවන රථ සහ කම්කරුවන් හයදෙනෙක් එහි යැවූ බවත්, ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේ පොලිස් කඳවුරේ සිටි පිරිසක් පුස්තකාලයට ගිනි තැබූ බව ඔහුට ආරංචි වූ බවත්, පසුව පොලිසියට දුන් කට උත්තරයේදී ඔහු සඳහන් කළේය.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

 

එම්. තාරික්