සුද්දන්ගේ පොපි මල් ව්‍යාපාරයට එරෙහිව යටත් විජිත පාලන කාලයේදීම සුරියමල් ව්‍යාපාරය ආරම්භ විය. එය මෙහෙයවන ලද්දේ මෙරට බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව විවෘත ලෙස නැඟී සිටි ලංකා සම සමාජ පක්‍ෂය විසිනි.


සුරිය මල් ව්‍යාපාරය මෙරට දේශපාලනයේ විප්ලවවාදී සටන් බිමේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් ද විය. එය ඇන්. ඇම්. කොල්වින්, බර්නාඞ්, එඞ්මන්ඞ්, ලෙස්ලි, හෙක්ටර් සහ පිලිප් යන සමසමාජ නායකයන් විසින් මෙහෙයවන ලද අතර උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ එහි අනුශාසකයාණෝ වූහ. සූරිය මල් ව්‍යාපාරයේ ක්‍රියාකාරී සහභාගීත්වය දැරූ කාන්තාවන් අතර එම්. සෙලිනා මාග්‍රට් පීරිස් මෙනවියට හිමි වූයේ මුල් තැනකි.


බදුල්ලේ ධනවත් පවුලකින් පැවැත ආ සෙලිනා දේශපාලනයට අවතීර්ණ වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1936 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා රුවන්වැල්ල ආසනය තරග කළ අවස්ථාවේය. රූමත් තරුණියක වූ සෙලීනා ඒ වන විට උපාධිධාරිනියක්ව සිටි අතර ඇන්. ඇම්. සමග රුවන්වැල්ලට තරග කළ සබරගමු පළාතේ රජකළ කන්ද උඩරට දැවැන්ත වලව්කාර පවුලකින් පැවත ආ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි පරාජය කිරීම පිණිස දැඩි වෙහෙසක් දැරුවාය. වලව් පැලැන්තියට එරෙහිව ඇන්. ඇම්. ජයග්‍රහණ කරවීම පිණිස ඇය රුවන්වැල්ල ආසනයේ ඉතා දුෂ්කර ප්‍රදේශවල ගම්මානවල ගෙයින් ගෙයට ගියාය.


රුවන්වැල්ල ජනතාව ඒ වන විට ඇන්. ඇම්. දැන සිටියේ “පරිප්පු මහත්තයා” ලෙසිනි. මුළු සබරගමු පළාතේම මහජනයා මැලේරියා තර්ජනයට ගොදුරු වී සිටිය දී එහි ගිය සම සමාජ කණ්ඩායමේ නායක ඇන්. ඇම්. රෝගී පවුල්වලට සහල් පොල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර බෙදාදීම ඊට හේතු විය.


1936 මහ මැතිවරණයෙන් රුවන්වැල්ල ආසනය වැඩි ඡන්ද 2975 කින් දිනා ගත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඒ අවුරුද්දේ මාර්තු 16 වැනිදා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව ප්‍රථම වරට රැස්වීමටත් පෙර මාර්තු 6 වැනිදා සෙලිනා සමග විවාහ විය.


ඇත්තටම එම විවාහය සිදුවීමට නියමිතව තිබුණේ ඊට මාස කීපයකට පෙරදී වුවත් මැතිවරණ කටයුතු නිසා එය පමා විය. විවාහ රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ විවාහය පිණිස නම් දුන් දිනය ද ඉකුත් වී ගොස් තිබූ අතර රුපියල් 2.50ක මුද්දර ගාස්තුවක් ගෙවා එය දීර්ඝ කරගනු ලැබීය.


විවාහයෙන් පසු සෙලීනා පෙරේරා ලෙස හැඳින් වූ ඇය සම සමාජ පාක්ෂිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ පක්‍ෂයට සම්බන්ධ වී වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් සඳහා සටන් කළ සුදු වතු පාලකයෙකු වූ බ්‍රෙස්ගර්ඞ්ල් රටින් පිටුවහල් කිරීමට බි්‍රතාන්‍ය පාලකයන් නිකුත් කළ නියෝගයට එරෙහිව අභීත ලෙස ක්‍රියා කිරීම නිසා ය. බ්‍රෙස්ගර්ඞ්ල් බදුල්ලේ නිවසක සඟවා තැබීමට විධි විධාන යොදන ලද්දේ ද ඇය විසිනි.


කෙසේ වුවත් ඇන්. ඇම්. ට දේශපාලනය විනා විවාහක බිරිඳට වුව ප්‍රේම කිරීමට හෝ යහපත් මනසකින් පවුල් කෑමට අවස්ථාවක් නොවීය. සෙලීනා විවාහය සාර්ථක එකක් නොවීය. කලක් හුදකලා ජීවිතයක් ගත කළ ඇය 1960 මුල් භාගයේ දී රට හැර ඉන්දියාවේ පදිංචියට ගියාය. ඇය ජීවත්වීම උදෙසා කල්කටාව තෝරා ගත්තේ ඒ වන විට බටහිර බෙංගාලය ජාත්‍යන්තර වාමංශික ව්‍යාපාරය ඉන්දියාව තුළ පිවිසීමේ දොරකඩ බවට පත් වී තිබීම නිසා ය.


මුලින් සූර්ය සෙන් වීදියේ නිවසක ද පසුව ලෙනින් සරණි හන්දියේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කාමරයක ද පදිංචියට ගිය ඇය උදෑසන සිට සවස් වනතරු ඉංග්‍රීසි උගැන්වීමේ පන්ති පැවැත් වූ අතර සවස් කාලයේ කල්කටාවේ ප්‍රධාන පෙළේ වාමාංශික තරුණ තරුණියන්ට දේශපාලන පන්ති පැවැත් වූවාය.


දිග දේශපාලන ගමනක් ගිය ඇන්. ඇම්. සෙලිනා ගැන නිතර සොයා බැලුවේ ය. පිටරටක සිට එන අතරමග දී ඉන්දියාවට යන ඔහු කල්කටාවේ දී සෙලීනා හමුවී ඇගේ සුවදුක් විමසීමට පුරුදුව සිටයේ. සම සමාජ පක්ෂයේ මහා න්‍යායවාදියා වූ හෙක්ටර් අබේවර්ධන ඔහුගේ බිරිඳ වන කුසලා සමග නිතර සෙලීනා බැලීමට කල්කටාවට ගියේය.

 

ඇන්. ඇම්. ට දේශපාලනය විනා විවාහක බිරිඳට වුව ප්‍රේම කිරීමට හෝ යහපත් මනසකින් පවුල් කෑමට අවස්ථාවක් නොවීය. සෙලීනා විවාහය සාර්ථක එකක් නොවීය. කලක් හුදකලා ජීවිතයක් ගත කළ ඇය 1960 මුල් භාගයේ දී රට හැර ඉන්දියාවේ පදිංචියට ගියාය. ඇය ජීවත්වීම උදෙසා කල්කටාව තෝරා ගත්තේ ඒ වන විට බටහිර බෙංගාලය ජාත්‍යන්තර වාමංශික ව්‍යාපාරය ඉන්දියාව තුළ පිවිසීමේ දොරකඩ බවට පත් වී තිබීම නිසාය. මුලින් සූර්ය සෙන් වීදියේ නිවසක ද පසුව ලෙනින් සරණි හන්දියේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කාමරයක ද පදිංචියට ගිය ඇය උදෑසන සිට සවස් වනතරුැ ඉංග්‍රීසි උගැන්වීමේ පන්ති පැවැත් වූ අතර සවස් කාලයේ කල්කටාවේ ප්‍රධාන පෙළේ වාමාංශික තරුණ තරුණියන්ට දේශපාලන පන්ති පැවැත් වූවාය.

 

1991 දී කල්කටාවේ රාජ භවන්හි පැවැති ඉන්දියාවේ නිදහස් දින අනුස්මරණ උත්සවයට මම ද සහභාගි වීම්. ප්‍රධාන ශාලාවේ උත්සවය අවසන පැවැති සාදයේ දී බටහිර බෙංගාලයේ කොමියුනිස්ට් ආණ්ඩුවේ ප්‍රධාන ඇමැති ජෝති බාසු සමුවීමට විදේශිකයන්ට ලැබුණු අවස්ථාවේ දී “මම ශ්‍රී ලංකාවෙන්..” යැයි පැවසූ විට ඔහු එක්වරම ඇසුවේ හෙක්ටර් අබේවර්ධන ගැනය. “අපි එකට දේශපාලනය උගත් අය. ඒ විතරක් නොවේ මැඩම් සෙලීනා අපේ දේශපාලන ගුරුවරිය... මගේ ඇමති මණ්ඩලේ කීප දෙනෙක්ම ඇගේ දේශපාලන පන්තිවලට ගියා.” ඔහු එසේ පැවසුවේ මහත් ගෞරවයෙනි.


1988 දී පමණ සෙලීනා සිය කාමරය තුළ මිය ගොස් තිබිණි. අසල් වැසියන් විසින් ඒ බව දැන ගත්තේ දින කීපයකට පසුවය.


සෙලීනා ඉන්දියාවට පය තැබූ මොහොතේ සිට මිය යන තුරුම ඉන්දීය රහස් ඔත්තු සේවය ඇය ගැන විමසිල්ලෙන් සිටි බව මම අවුරුදු 20ක් ඉන්දියාවේ සිටි කාලය තුළ දැන ගතිමි.

 

 

 

 

 

 

 

 

 

 


උපාලි රූපසිංහ