කම්කරු පන්තියෙන් බිහිවූ එකම කොමියුනිස්ට් නායකයා-02

 

බල්ගේරියානු මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අංක 1689 දරණ ආඥාවයි.


බල්ගේරියානු සහජන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 93 වැනි වගන්තියේ 23 වැනි ඡේදය යටතේ බල්ගේරියානු මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් කරනු ලබන ආඥාවයි.


සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ ප්‍රගතිය වෙනුවෙන්ද, බල්ගේරියානු කොමියුනිස්ට් පක්‍ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය අතර හා බල්ගේරියානු සමූහාණ්ඩුවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තහවුරු කිරීම සඳහාද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් කොට්ටෝරුගේ පබ්ලිස් සිල්වා විසින් පිරිනමන ලද දායකත්වය සහ ඔහුගේ හැටවැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් බල්ගේරියානු මහජන සමුහාණ්ඩුවේ මෙම ප්‍රථම උපාධිය පිරිනමනු ලැබේ.
ටී. සිව්කොව්


බල්ගේරියානු මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති,


1983 මැයි 31 දින 

සොෆියාහිදීය.


එම සම්මානය ප්‍රදානය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කේ. පී. සිල්වා මහතාට එවකට ලෝකයේ පැවති මහ බල කඳවුරු දෙකින් එකක ප්‍රධාන රාජ්‍යය සභාවේ සභාපති මණ්ඩලයේ උපසභාපති අයිවන් පොල්යාකොව් මහතා විසින් සෝවියට් දේශයේ පැවති ඉහළම සම්මානය වූ ජනතා මිත්‍රත්වයේ සම්මානය ඒ මහතාට පිරිනමන ලදී. එම උත්සවය පැවතියේ මොස්කව් හි ක්‍රෙම්ලින් මන්දිරයේදීය. ලෝකයේ මේ සා බලගතු රාජ්‍යවලින් ගෞරව සම්මානයට බඳුන් වූ කේ. පී. ද සිල්වා මහතා පසුගිය සතියේ අභාවයට පත් විය. 


ඉතා දුප්පත් පවුලක ජන්ම ලාභය ලබා දුප්පත් කම්කරුවෙකු ලෙස ජීවිතය ආරම්භ කළ සිල්වා මහතා ලෝකයේ රාජ්‍ය නායකයන් අතර මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වරින් වර කතානායක ආසනය හෙබවීමටද වරම් ලැබීය. අවංක කොමියුනිස්ට් වාදියෙකු වශයෙන් මුළු ජීවිත කාලය පුරා කරන ලද ඇප කැපවීම් සහ සමාජවාදී ශ්‍රී ලාංකේය ජන සමාජයක් ගොඩනැඟීම සඳහා පන්ති අරගලයට දක්වන ලද මිල කළ නොහැකි දායකත්වය ඔහුගේ ජීවිතයේ සුවිශේෂීව සලකා බැලිය යුතු අංගයක් වේ. මේ ඒ පිළිබඳව සලකා බැලීමට කරනු ලබන ප්‍රයත්නයකි.


පානදුරයට නුදුරු තල්පිටිය ගමේ විසූ වෘත්තියෙන් දේවාලයක කපු මහතෙකු වූ දුප්පත් ගැමියෙකුට දාව උපත ලැබූ කේ. පී. සිල්වා (කොට්ටෝරුගේ පබ්ලිස් සිල්වා) දරුවාගේ පවුලේ දියණියෝ තිදෙනෙක් සහ පුත්තු තිදෙනෙක්ද වශයෙන් සාමාජිකයෝ හය දෙනෙක් වූහ. එතරම් බරපතළ පවුලක් නඩත්තු කිරීමට කපු රැකියාවේ ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. ක්‍රමයෙන් නාගරීකරණය වෙමින් පැවති පානදුරේ ප්‍රදේශයේ දේවාල හා බැඳුණු චරිත්‍ර වාරිත්‍ර අඩුවීම එයට එක් හේතුවක් වීය. දේවාලයට පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව අඩුවීමට සමානුපාතිකව එහි වැටෙන පඬුරු ප්‍රමාණය අඩුවීම නිසා කපු මහතාට වෙනත් රැකියාවක් සොයා ගැනීමට සිදුවිය. එහි ප්‍රතිඵලය වූවේ ඔහු කුලී වැඩට බැසීමය. එහෙත් නිතරම කුලී වැඩ ලැබුණේත් නැත. මේ නිසා දරුවන් හය දෙනාට බඩකට පිරෙන්නට තබා බඩ රවටා ගැනීමටවත් යමක් සපයා දීම මෙම පියාට අසීරු සහගත ක්‍රියාවක් විය. එනිසා මවද කීයක් හෝ උපයා ගැනීමට උත්සුක වූවාය. ඇය පොල් හකුරු මිලදී ගෙන ඒවා උණු කොට කුඩාවට තනා ගන්නා හකුරු බෑ අලෙවි කිරීමට පටන් ගත්තාය. රෑ එළිවෙන තුරු හකුරු උණුකරන ඇය තමා නිපද වූ නිෂ්පාදන පිරවූ කූඩුය හිස මත තබාගෙන මොරටුව පානදුරය වාද්දුව ආදී ප්‍රදේශවල නිවසක් පාසා ඇවිද්දොය. එයින් ලැබුණු සුළු ආදායමද පවුලේ කුසගින්න නිවීමට යෙදවූවාය. රැයක් නිදි නොමැතිව දවාලේත් මහ මග දැරිය නොහැකි බරක් ඔසවාගෙන යන තම මව කෙරෙහි දෙවැනි පුතා වූ කේ. පී. තුළ ඇති වූයේ අති මහත් කනගාටුවකි. එවකට පාසල් සිසුවෙකු වූ කේ. පී. තම මව සමග පාරට බැස්සේ ඇයගේ බර සැහැල්ලු කිරීමටය. හකුරු පිරවූ කූඩය හිස මත තබාගන්නා කේ. පී. “හකුරු හකුරු” යැයි හඬ නගමින් අම්මාත් සමග නිවසක් පාසා ඇවිද්දේය. පාසැලට යාමට බස් රථයක් නිවස අසලින් ගමන් කළද එහි ගමන් කිරීමට ශත පහක බස් ගාස්තුව ඔහුට තිබුණේ නැත. ඥාති සොහොයුරියකද සමග පා ගමනින්ම පාසලට ගිය ඔහු උනන්දුවෙන් ඉගෙන ගැනීමට උත්සාහ කළේය. නිවාඩු දිනවලදී ඔහු අම්මාත් සමඟ හකුරු වෙළෙඳාමේ යෙදුණේය. ටික කලකින්ම පාසල් ගමන අත්හිටවූ කේ. පී. රැකියාවක් සොයා කොළඹට පැමිණියේය. ප්‍රථමයෙන්ම ඔහුට ලැබුණේ බේකරි රැකියාවකි. වැටුප අඩුවුවත් බඩ පිරෙන්නට ආහාර ලැබීම ඔහුගේ සතුටට හේතුවක් විය. 1938 වසර වූ මෙම වකවානුවේ කේ. පී. ගේ වයස අවුරුදු පහළොවක් විය. එවක් පටන් බේකරි සේවකයෙකු ලෙස ජීවිතයට මුහුණ දුන්නේය.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කේ. පී. සිල්වා මහතා හමුවීමට ගිය මොහොතක්..

 


ගමේදීත් වමේ දේශපාලනය ගැන ඔහුට යම් කිසි අවබෝධයක් තිබුණි. 1936 දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී පානදුර ආසනයට සම සමාජයෙන් තරග කළ ලෙස්ලි ගුණවර්ධන මහතාගේ ප්‍රචාරක රැස්වීම් ඔහු දැක තිබුණි. එනිසා කොළඹ පැමිණි පසුවද කේ. පී. ගෝල්ෆේස් පිටියේ නිතරම පාහේ පැවැත්වෙන රැස්වීම් බලන්නට යාම පුරුද්දක් කරගෙන තිබුණි. දැඩි උත්සාහයකින් පසු රජයේ රැකියාවක් සොයා ගැනීමට කේ. පී. සිල්වා තරුණයා සමත්ව තිබුණි. ඒ මට්ටක්කුලියේ රජයේ සම්භාණ්ඩ කර්මාන්ත ශාලාවේය. දිනකට වැටුප ශත හැට දෙකකි. පැමිණි දුක් පැණි රස යැයි කීවාක් මෙන් ඔහු තමාට උරුමව ඇති දුක් ගැහැට දරා ගනිමින් උකටලී නොවී ධෛර්යයෙන් කටයුතු කරගෙන ගියේය. එවකට සුලභව පැවති රෑ ඉස්කෝලෙකින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමද අතනොහැර කරගෙන ගියේය. සම් භාණ්ඩ කම්හලේ සේවය කරන සෑම දෙනා සමගම සිනාමුසු මුහුණින් සුහදව කටයුතු කිරීමට කේ. පී. සිල්වා අමතක නොකළේය. තමා මෙන්ම දුප්පත්කමින් අසරණව පීඩාවට පත්ව සිටින මෙම සෑම සගයෙකුගේම ජීවන අරගලයේ දුක් ගැහැට හොඳින්ම ඔහු වටහාගෙන සිටියේය. එදා යටත්විජිත යුගයේ රජය ගෙන ගිය සුදු පාලකයෝ කිසිම මොහොතක කම්කරුවන් ගැන හෝ ඔවුන්ට යහපතක් කිරීම ගැන සිතුවේම නැත. ඔවුන්ගෙන් ලැබුණේ මර්දනයම පමණි. පන්ති අරගලය ගැනත්, කම්කරු සටන් ව්‍යාපාරය ගැනත් ගෝල්ෆේස් පිටියේ රැස්වීම්වලදී අසා දැනගෙන සිටි කේ. පී. සම් කර්මාන්ත ශාලාවේදී තම සගයින්ට ඒ ගැන පහදා දුන්නේය. කම්කරුවෝද එම උපදෙස් නොපැකිළිව පිළිගත්හ. ප්‍රබල වෘත්තීය සමිතියක් ගොඩනගා ගැනීමට ක්‍රියා කළහ. කේ. පී. එහි නායකයා විය. ටික දිනකින්ම සම් කර්මාන්ත ශාලා සේවකයෝ වැඩවර්ජනය කළහ. සටනට බිය නැති කේ. පී. එම සටන ජයග්‍රහණය කරා මෙහෙයවූවේය. ප්‍රබල ඉල්ලීම් කීපයක්ම දිනා ගැනීමට හැකිවීම නිසා සේවකයෝ මහත් සතුටට පත්වූහ. දිවා ආහාරය නොමිලයේ සැපයීම, කම්කරු කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු, සුළු පඩි වැඩිවීමක් සහ තවත් ඉල්ලීම් ලැබුණි. මෙම ජයග්‍රහණය නිසා කේ. පී. සිල්වා මහතා කොළඹ නාගරික කම්කරු පන්තියේ වීරයා බවට පත්විය. ලෙදර් සිල්වා යනුවෙන් ප්‍රකට වූ මොහුගේ ආදර්ශය ගනිමින් තවත් බොහෝ ආයතනවල කම්කරුවෝ තම අයිතිවාසිකම් පතා සටනට වන්හ. ඔවුන් උපදෙස් ගත්තේ කේ. පී. ගෙනි. සමහර ආයතන සමිතිවල උපදේශක මට්ටමේ තනතුරුද පිරිනැමුණි. එවකට පැවති නොයෙක් ආයතනවල කම්කරු නායකයෝ ඔහුගේ සමීප මිතුරන් බවට පත් වූහ. එලිපන්ට් පෙරේරා (එලිපන්ට් සිගරට් සමාගම) හොස්පිටල් පෙරේරා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ පෑලිස් සේරසිංහ මුද්‍රණ කම්කරුවෙකු වූ ආරියදාස මහ රෝහලේ තිරන්නදාස, එහිම සේවය කළ ලීලාවතී, මර්කිනා සහ සොපී ආදීහු මෙම කණ්ඩායමට අයත් වූහ. මේ සෑම දෙනාම සමසමාජ පක්‍ෂයේ වෘත්තීය සමිතිවල ප්‍රබලයෝ වූහ. එනිසා මෙම ක්‍ෂේත්‍ර දෙකේම ඉහළ තැනක් කේ. පි. ට හිමිවීම නිසැකවම සිදුවිය. මෙසේ දේශපාලන ක්ෂේත්‍රයේ සහ වෘත්තීය සමිති අංශයේද කැපී පෙනෙන නායකයෙකුගේ තත්ත්වයට කේ. පී. සිල්වා මහතා ඉතා ඉක්මනින්ම පත් වූවේය. මෙම යුගයේ සමසමාජ පක්‍ෂයේ ඇති වූ මතභේදයක් හේතුවෙන් එම පක්‍ෂය දෙකඩ වෙද්දී කේ. පී. ද එක් කණ්ඩායමක ප්‍රබල සාමාජිකයෙක් විය. ඇල්. ඩබ්ලිව්. පණ්ඩිත, වී. ඒ. සමරවික්‍රම, ස්ටැන්ලි තිලකරත්න වැනි ප්‍රබල කණ්ඩායමක් සමඟ කේ. පී. ද සිල්වා මහතාද සම සමාජ පක්‍ෂයෙන් ඉවත්ව කොමියුනිස්ට් පක්‍ෂයට බැඳුණහ. කේ. පී. ට පැවති ජනප්‍රියත්වය සැලකූ කොමියුනිස්ට් පක්‍ෂය ඔහු තම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවටත් දේශපාලන මණ්ඩලයටත් පත්කර ගත්තේ ඔහුගේ ක්‍රියාකාරී සේවය අගය කරමිනි. අනතුරුව කොමියුනිස්ට් පක්‍ෂයේ උප ජාතික සංවිධානයක තනතුරටත් පසුව ජාතික සංවිධායක තනතුරටත් පත් කර ගන්නා ලද අතර දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ සහ පීටර් කෙනමන් යන මහතුන්ට පසුව ඊළඟ බලවතුන් කීපදෙනා අතර ප්‍රබලයෙකු බවට පත්විය. 1947 සමස්ත මහා වැඩ වර්ජනයේදීද ඉන් පසුව පැවති මහා වැඩවර්ජනවලදී හා 1953 මහ හාර්තාලයේදීද ඇප කැපවීමෙන් දක්වන ලද නායකයත්ව ගුණාංගයන් මෙන්ම ප්‍රගතිශීලී සහ වාමාංශික සමගිය උදෙසා ඉටුකළ අයෝමය කාර්යභාරයද මෙහිදී සැලකිල්ලට ගන්නට ඇතිවා නිසැකය.


ට්‍රොට්ස්කිවාදී, ස්ටාලින්වාදී, විප්ලවවාදී, සංශෝධනවාදී ආදී නොයෙකුත් භේද කරපින්නාගෙන කල්ලිවාදී හෝ කට්ටිවාදී වෙමින් භේද භින්නව නව පක්‍ෂ ගොඩනැගීම වමේ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම දක්නට ලැබුණු ව්‍යසනයක් විය. සමසමාජ පක්‍ෂයත්, කොමියුනිස්ට් පක්‍ෂයත් බොහෝ වාරයක් මෙම ඉරණමට ගොදුරු වු බවට වමේ ඉතිහාසය සාක්‍ෂි දරයි. එක්සත් වාමාංශික පෙරමුණක් සඳහා කේ. පී. සිල්වා මහතා අවංකවම සටන් කළේය. 1953 සමස්ත මහා හර්තාලයෙන් වාමාංශයට ඉගැන්වූ පාඩම වන්නේ සමගියෙන් තොරව සමාජවාදී අරගලය ජයග්‍රහණය කළ නොහැකි බව මෙන්ම වම එක්සත් වුවහොත් ධනපති බලවේගය පරාජය කිරීම අසීරු නොවන බවත්ය.


එවකට මාක්ස්වාදී පක්‍ෂ තුනක් මෙරට දේශපාලන කරළියේ පැවතුනි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්‍ෂය, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මෙහෙය වූ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ එම දේශපාලන පක්‍ෂ තුන වූවේය.

 

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි