හිටපු අගමැතිවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා 1989 මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත් සකස් කෙරෙමින් පැවැති කාලයේ ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටියේය. එසේ වූයේ ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ දී හමුදා නිලධාරියෙකුට කළ පහර දීමක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය ඔහු ගැන සොයමින් සිටි බැවිනි.


හැබැයි ඒ චෝදනාව බොරුවක් නෙවි. මම ඒ හමුදා නිලධාරියාට පාරවල් දෙක තුනක් ගහපු එක ඇත්ත. ඒත් මම එහෙම කෙරුවේ ඒ හාදයා කරපු අසාධාරණ වැඩක් මගේ ඇස් දෙකෙන්ම දැකපු නිසයි.


දිමු කියන අන්දමට ඔහු එම සිද්ධියෙන් පසු මඟ තොටේ ප්‍රසිද්ධියේ ගැවසීමෙන් වැළකී සිටියේ ඒ දිනවල ගම්පොළ පැත්තේ කරක්ගැසූ අවිගත් නිල නොවන කණ්ඩායම්වලින් අනතුරක් සිදු නොවනු පිණිසය. ජ.වි.පෙ. භීෂණය ඉතා තදින්ම පැතිරී තිබුණ ඒ කාලයේ පොලිසියට හෝ හමුදාවට විරුද්ධව වචනයක් කතා කිරීම පවා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන වරදක් විය හැකි බව හෙතෙම දැන සිටියේය. 


ඔහු අතින් සිදුවූ වැරැද්ද වඩාත් බරපතළ වූයේ දිමු තරමක නහරකාරයෙකු ලෙස ප්‍රදේශය පුරා ප්‍රසිද්ධව සිටි බැවිනි. විශේෂයෙන්ම ජ.වි.පෙ. භීෂණය අවසන් වෙමින් පැවති ඒ කාලයේ හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණ තරුණියන්ගේ මළසිරුරු මඟ දෙපස අනන්තවත් දමා ගොස් තිබුණේය. 


“ඒ විදියේ දේවල් අනන්තවත් සිද්ධ වුණත් ආණ්ඩුවේ ලොකු ලොක්කන් ඒ දිහා ඇහැක් ඇරලවත් බැලුවේ නැහැ”යි කියන දිමු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වන විට 1989 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දිය යුතු අවසන් දිනය ද අත ළඟටම පැමිණ තිබූ බවය. 


“කොහොම හරි නොමිනේෂන් අත්සන් කරන්නත් එපායැ. අපි හෙට උදේ කොළඹ යමු”යි කී දිමු ඊට පසුවදා තම රියැදුරා ද සමඟ කොළඹ බලා ඒමට දොළුවේ පිහිටි නිවසින් පිටත් වූවේය. කෙසේ වෙතත් ඔවුන්ට ගලහ පාරේ වැඩි දුරක් යාමට නොහැකි විය. ඔහුගේ වාහනය පසුපස හඹා ආ පොලිස් ජීප් රථයක් මඟ හරස් කරමින් දිමුට පොලිසියට යාමට කතා කළේය. 


“කොහේ පොලිසියට ද මම එන්න ඕනෑ.” 


මහනුවර පොලිසියට. ඔබතුමා ඇවිත් අපේ ජීප් එකට ගොඩ වෙන්නයි එම පොලිස් පිරිස කියා සිටිය ද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 


“හරි මේ මහත්වරු ඉස්සරවෙල යන්න. මම මගේ වාහනෙන් ජීප් එක පස්සෙන් එන්නම්” යි කී දිමු ඒ ඊට ඔවුන් දැක් වූ ප්‍රතිචාරය ගැනවත් නොසලකා තමන්ගේ වාහනයට ගොඩ වූවේය. 


කෙසේ වෙතත් ඔහු පොලිස් ජීප් රිය පිටුපසින් ගමන් කළේ ටික දුරකි. ඊළඟට තිබුණු හතරමං හන්දිය දුටු විගස “ඔතනින් දකුණට දානවා” යි දිමු කියද්දී එසැණින් වාහනය දකුණට හැර වූ රියැදුරා රියේ වේගය දෙගුණයකින් වැඩි කළේය. 


ඊට පස්සේ මම කෙළින්ම ගියා ලූල්කඳුර පැත්තේ හිටපු මම දන්න කියන මුස්ලිම් මුදලාලි කෙනෙකුගේ ගෙදරට. පස්සේ ඒ ගෙදරින් දුන්න රොටි වගේකුත් කාලා ඒ හරියෙම තිබුණු එච්. ඇම්. නවරත්නගේ ගෙදරට ගියා. එයා ඒ වෙනකොට යූ.ඇන්.පී. එකට ගිහින් හිටියත් අපේ යාළුමිත්‍රකම් ඒ විදියට තිබුණා. නවේ මාව දැකලා හොඳට පිළිඅරන් කතා කර කර ඉන්නකොට එයාගේ සහෝදරයෙක් වුණු පොලිස් නිලධාරියෙක් මාව දැකලා ඔළුවෙ අතගහ ගත්තා. 


දිමු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ඒ වන විටත් පොලිසියෙන් සොයමින් සිටින බව ඔහුට දැනුම් දෙන ලද්දේ එම පොලිස් නිලධාරියා විසිනි. 


මන්ත්‍රීතුමා මේ පැත්තේ ඉන්නේ නැතුව වහාම කොළඹ යන්න. ගිහින් හොඳ ලෝයර් කෙනෙකුගේ මාර්ගයෙන් උසාවියට බාර වෙන්න යි කියමින් ඔහු දුන් උපදේශය පිළිගත් දිමු තමන් දන්නා  කියන හමුදා නිලධාරියෙකුගේ ජීප් රියෙන් කොළඹට ආවේය. එලෙස කොළඹට පැමිණි ඔහු කෙළින්ම ගියේ සිරිමාවෝ මැතිනියගේ රොස්මිඞ් මැදුරටය. ඒ වන විටත් එක් එක් දිස්ත්‍රික්කයෙන් ඡන්ද අපේක්ෂකයන් පැමිණ නාමයෝජනා ලැයිස්තුවලට අත්සන් කරමින් සිටින අයුරු දුටු දිමු ඒවා භාරව සිටි දොස්තර මහරුප්ගෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව අතටගෙන බැලුවේ එහි තමන්ගේ නම සඳහන්ව ඇත්තේ කොතැනකදැයි දැන ගැනීමටය. එහෙත් එහි කොතැනකවත් තමන්ගේ නම සඳහන්ව නැති බව දුටු ඔහුට ඉබේටම උඩ බිම බැලුණේය. 


“කෝ ඩොක්ටර් මේකේ මගේ නම නැහැනේ?” 


ඒ මොහොතේ ශ්‍රී.ල.නි.ප. නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටි දොස්තර මහරුප් මඳක් විපිළිසර වී හිස කැසුවේය. 


“දිමුගේ නම දාන්න මට කවුරුත් කිව්වේ නැහැනේ?” 


ඒ සමගම යක්ෂාවේෂ වූ දිමු මුළු රොස්මිඞ් මැදුරම දෙදරුම් කා යන අයුරින් ඔහුට බැණ වැදුණේය. ඒ මොහොතේ නාමයෝජනා අත්සන් කරමින් සිටි අපේක්ෂකයන් කීප දෙනෙකු ද තිගැස්සී ගොස් තමන් දෙස බලා සිටින අයුරු ඔහුට පෙනුණේය. 


හා ඒකට කමක් නෑ දැන් දානවා මගේ නම යි කී දිමු තම නමට ඉදිරියෙන් සුපුරුදු අත්සන යොදා මැතිනිය හමු වීමට ඉහළ මාලයට ගියේය. 


ඒ වන විට සිරිමාවෝ මැතිනිය සිටියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙකු සමඟ සාකච්ඡාවක නිරත වෙමිනි. “ආ දිමු මෙච්චර දවසක් කොහේද ගිහින් සිටියේ. යන තැනක අපට කියලා යන්න එපායැ”යි දිමු දෙස බලමින් කී මැතිනිය වහාම දොස්තර මහරුෆ් හමුවී නාමයෝජනා අත්සන් කරන ලෙස උපදෙස් දුන්නාය. 


නොමිනේෂන් ලිස්ට් එකේ මගේ නම තිබුණේ නැහැ මැඩම්. පස්සේ මම ඩොක්ටර්ට කියලා මගේ නම දමාගෙන අත්සනුත් කරලයි ආවේ යි දිමු කියද්දී මැතිනිය ඔළුවේ අතගසා ගත්තාය. 


අන්තිමට බලන විට සිදුවී තිබුණේ දිමු ආමිකාරයෙකුට ගහල දැන් පොලිසියට බයේ හැංගිලා. එයා තව මාස ගණනකින් මෙහා එළියට එන එකක් නෑ යි කී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු ඔහුගේ නම කරමුලින්ම කපා දමා තිබීමය. 


අනතුරුව මැතිනිය විසින් දෙන ලද උපදෙස් පිරිදි පක්ෂයේ නීතිඥයෙකු සමඟ උසාවියට ගිය දිමු විවෘත අධිකරණයේ පෙනී සිටියේය. ඔහුගේ නීතිඥයන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ දිමු ළඟ එන මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් කවර හෝ ඇපයක් මත ඔහු මුදා හරින ලෙසය. අධිකරණය එම ඉල්ලීම පිළිගෙන තිබුණද ඔහුට ඇප ලබා දෙනු ලැබුවේ දැඩි කොන්දේසි කීපයකටම යටත් කරමිනි. ඒ අනුව නිදහසේ මැතිවරණ කටයුතුවල යෙදුණ හෙතෙම එවර මනාප 54,290 ක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්වී සිටියේය.

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර