පළාත් පාලන, පළාත් සභා මැතිවරණ සේම ජනමත විචාරණ සහ මහමැතිවරණ හා ජනාධිපතිවරණ අවස්ථාවන්හි බලය පිළිබඳ තීරණාත්මක සාධකය වී ඇත්තේ උතුරේ ඡන්ද දායකයන්ගේ හැසිරීමයි.


උතුරේ දෙමළ නායකයෝ තමන්ගේ ඉල්ලීම් සපුරාදෙන බවට විශ්වාසය තබන ප්‍රධාන පක්ෂවලට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට උපදෙස් දෙති. විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමඟ දකුණේ සහ උතුරේ පාරිභෝජන භාණ්ඩ හා සේවා හුවමාරුකර ගැනීමේ පදනම බිඳ වැටිණ. පෙඩරල් ක්‍රමය පිළිබඳ බලාපොරොත්තු බිඳවැටී නිජබිම් සංකල්පය හිස ඔසවන්නට විය.


බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුම, පනහට පනහ යෝජනාවලිය පරාජය වීමත් බලලෝභී සිංහල සහ දෙමළ නායකයන් අතර වූ දේශපාලන මතිමතාන්තර මතගැටුම් ජාතිවාදී කෝලාහල බවට පෙරළීමත් නිසා එතෙක් දෙපළාතේ පැවති සංහිඳියාව අඩපණ වන්නට විය.


ශ්‍රීලනිපයට රාජ්‍ය බලය හිමිවූ 1960-70 යුගයේ දකුණේ එළවළු පලතුරු, භෝග වර්ග ලොරි පිටින් උතුරට යැවුණු අතර උතුරේ සරුවට වැවෙන අල ලූනු මිරිස් තොග වශයෙන් දකුණට ගෙන එන ලදී. ආණ්ඩුවේ නායකයන් උතුරට ගිය කල පිළිගනු ලැබුවේ නිල් රතු මල්මාලා නොව ලූනු මිරිස් මාලා දමාය.


දකුණේ සිංහල සිනමා ප්‍රේක්ෂකයන් අතර ඉන්දීය නළු එම්. ජී. ආර්. හා ජයලලිතා ජනප්‍රිය වූයේ යම්සේද උතුරේ දෙමළ සිනමා ප්‍රේක්ෂකයන් අතර විජය කුමාරතුංග ඇතුළු සිංහල නළු නිළියන් රඟන චිත්‍රපට ජනප්‍රිය විය.
1975 ශ්‍රීලනිපයේ යාපනය නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඞ් දොරේ අප්පා ඝාතනය කෙරිණ. ශ්‍රීලනිප ආණ්ඩුවේ කොටස්කරුවන් වූ නිසා මෙවැනි ඝාතන හා මැරවර ක්‍රියාවලට මුහුණපෑමට උතුරට ගිය දේශපාලන නායකයන්ට මෙන්ම හමුදා නායකයන්ට ද සිදුවිය.


මෙවැනිම තත්ත්වයක් 1977 - 82 අතර නිර්මාණය විය. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා පාක්ෂිකයන් අමුඅමුවේ මරා දැමීමේ රැල්ලක් නිර්මාණය වීමෙනි. එජාපයේ පොතුවිල් මන්ත්‍රී කනගරත්නම් ඝාතනය කිරීමෙන් එය ඇරඹිණ. රජයට පක්ෂපාතී සිංහල දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයෝ ද පාක්ෂිකයෝද මැරුම් කෑහ. ප්‍රභාකරන්ලාට හා උමා මහේෂ්වරන්ලාට ද සිනාසෙන මිනීමරුවා යන විරුදාවලිය ලැබූ තමිල් චෙල්වම්ලාට ද වැඩ වැඩිවිය.


“ආණ්ඩුව එක්ක බහුතර දෙමළ ජනතාව ඉන්නේ තරහින්. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ආර්ථිකය විනාශ කළේ ආණ්ඩුව කියල. ස්වාධීනත්වය විනාශ කළේ ආණ්ඩුව කියල. යාපනය පුස්තකාලය ගිනි තිබ්බෙ ආණ්ඩුව කියල.”
ශ්‍රීලනිපයත් එජාපයත් කෙරෙහි මොවුන් තුළ තිබූ විචිකිච්ඡාව ජවිපෙ කරා එල්ල නොවූ බව මේජර් බලගල්ල වරක් කීවේය.


1982 ඔක්තෝබර් 20 වැනිදා පළමු ජනපතිවරණය යෙදී තිබිණ. මරණීය තර්ජන එල්ලකරමින් දෙමළ සන්නද්ධ කණ්ඩායම් ඡන්දය ඉල්ලා උතුරට එන දේශපාලනඥයන් උණ්ඩයෙන් පිළිගැනීමට මග බලා සිටියහ.
මෙවැනි බිහිසුණු වාතාවරණයක් මැද ජනපතිවරණ සටනට ප්‍රධාන පක්ෂ මෙන්ම සුළු පක්ෂ ද සැදී පැහැදී සිටියහ. විධායක බලය සහිත පළමු ජනපති ජේ. ආර්. ජයවර්ධන ප්‍රධාන අපේක්ෂකයා වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවය. ලංකා සමසමාජ පක්ෂයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ද නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර ද තරග කළ අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් කුමාර් පොන්නම්බලම් තරග වැදුණේය.


ඡන්ද සටනේ තීරණාත්මක සාධකය වූයේ වෙනදා මෙන්ම උතුරු - නැගෙනහිර පළාත්වල ඡන්ද ගණනයි. බහුතර ඡන්ද බලය ගැනීමට ප්‍රධාන බාධාව වූයේ මෙම තත්ත්වයයි. ඒ නිසා උතුරේ ජනතාවට ඇමතීමේ පිපාසයෙන් මෙම අපේක්ෂකයෝ දින ගැන්නාහ.


එජාප නායක ජේ. ආර්. ඔවුන්ගේ ප්‍රධාන සතුරා විය. දිනෙන් දිනම ජේ. ආර්. ට උතුරේ ජනයා ඇමතීමට තිබුණ අවස්ථාව දුරස්ථ විය.


හෙක්ටර් කොබ්බෑකඩුව ඊට වඩා වාසනාවන්ත වූයේය. ඒ තවමත් මධ්‍යස්ථ කළගුණ දන්නා උතුරේ ජනතාව ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප නොකළ බැවිනි.


අනිත් වාසනාවන්තයා වූයේ ජවිපෙ අපේක්ෂක රෝහණ විජේවීරය. තරුණ ජනතාව ඔහු දෙස බැලුවේ තමන්ගේ රැඩිකල් අදහස් අනුව ක්‍රියාකරන සිංහල රැඩිකල් නියෝජිතයකු දෙස වන්නට ඇත.


කොළඹ යුද හමුදා මූලස්ථානයෙන් ඉංග්‍රීසි බසින් සැකසුණු අතිරහස්‍ය ලිපියක් යාපනයේ ගුරුනගර්හි ආරක්ෂක මූලස්ථානයට යැවිණ. ඒ සමඟ උතුර ආඥා ප්‍රදේශ මූලස්ථානයට ද ලිපියක් යැවිණි.


“හෙක්ටර් කොබ්බෑකඩුව හෝ රෝහණ විජේවීර යාපනය ජනතාව අමතන රැලිවලට දැඩි ආරක්ෂාව සපයන්න.”


අද මෙන් ඊමේල් හෝ තාක්ෂණික පහසුකම් නොමැති 80 දශකයේ කොළඹින් ඈත පළාත්වලට හමුදා නියෝග යැවුණේ හමුදා යතුරුපැදිකරුවන් මගිනි. හමුදා මූලස්ථානයේ නියෝගය කොළඹ කොටුවෙන් යාල්දේවි දුම්රියට භාරදුන් අතර අලිමංකඩ හරහා යන දුම්රිය මගින් හෝ ඒ - 9 මාර්ගය ඔස්සේ යාපනය කඳවුරට පණිවුඩ භාරදෙනු ලැබිණ. අලිමංකඩ සංඥා බළකායේ මේජර් ෆ්රෑන්ක් ද සිල්වා යටතේ විය. ආරක්ෂක සේනා ආඥාපති බි්‍රගේඩියර් සිරිල් රණතුංග ආරක්ෂාව දැඩි කරන ලෙස හමුදාව දැනුම්වත් කර තිබිණ. ආණ්ඩුවේ රැලිවලටයි තර්ජනය මේජර් සරත් මුණසිංහ පැවසුවේ බුද්ධි අංශ තොරතුරු ඒ ගැන තමා දැනුම්වත් කළ බව දැනුම් දුන්නේය.
කොළඹින් ගිය සිංහල නායකයන් නවාතැන් ගත් ප්‍රධාන ස්ථාන දෙකක් විය. එනම් යාපනයේ සුභාෂ් හෝටලය සහ අශෝක් හෝටලයයි. මෙම ස්ථාන දෙකට දැඩි ආරක්ෂාව සපයා තිබිණ.


පෙරවරු 6 ට වව්නියාව ඉරට්ටකුරියකුලම් හා විජයබාහු පාබල මූලස්ථානයේ සිට ජීප් රිය පෙළක් මාන්කුලමට ධාවනය විය. ඒ සමගම කොබ්බෑකඩුවලාගේ රථ පෙළක් ගමන් ඇරඹීය. හෙක්ටර් කොබ්බෑකඩුව සමඟ සුවිශේෂී චරිතයක්ද එහි විය. ඒ සිංහල මෙන්ම උතුරේ දෙමළ ප්‍රේක්ෂකයන් අතරද වීර චරිතයක් වූ ජනප්‍රිය නළු විජය කුමාරතුංග ය.


විජය මීට කලින්ද යාපනයේ ජනතාව අතරට ගොස් සුහදත්වය දිනා සිටියේය. පෙරවරු 10 ට යාපනය නගරයට රිය පෙළ ළඟාවිය. ඊට මීටර් 100 ක් දුරින් සිවිල් ආරක්ෂක කමාන්ඩෝ බළකායේ ගුරු නගර්හි භාෂා පරිවර්තක රාහුමතුල්ලා ඇතුළු පිරිස විය. 

 


අති විශාල ජනකායක් හෙක්ටර් සහ විජය දැක බලා ගැනීමට පැමිණ සිටියහ. ඔවුන් හරසරින් පිළිගනු ලැබීමෙන් පසු වඩමාරච්චියේ තැනූ වේදිකාව වෙත පෙරහරින් රැගෙන යනු ලැබිණ.


විජය හා හෙක්ටර් විනාඩි 30 ක් පමණ රැලිය ඇමතූහ. මොනවද ඔයාලට තිබෙන ප්‍රශ්න විජය ඇසුවේය. අපිට සමහර හමුදා නිලධාරීන් ගැන අවිශ්වාසයි. එයාල අපට හිරිහැරයක්. යාපනය පුස්තකාලය ගිනි තැබීම අපරාධයක්. අපිට ඒක හදල දෙන්න.


අතීතයේ ශ්‍රීලනිප යුගයේ භෝග වවා සශ්‍රිකව තිබූ උතුරු පළාත විවෘත ආරථිකය නිසා විනාශ වූ බවද කීය. අන්තිමේදී දෙමළ තරුණයෝ ඔවුන් කෙරේ කෙතරම් ප්‍රසාදයට පත්වූවාදයත් මෙසේ අදහස් දැක්වූහ.
“හෙක්ටර් විජය වැනි උතුම් මිනිස්සු යාපනයට ගෙන ඒමට හමුදා පොලිස් ආරක්ෂාව එපා. අපි ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න සූදානම්”


ශ්‍රීලනිප ජනාධිපතිවරයකු යටතේ උතුරේ දමිළ ජනතාවට සාධාරණය ඉටුකර දෙපළාතේ ජනතාව අතර සංහිඳියාව ඇතිකරන බවට හෙක්ටර් කොබ්බෑකඩුව පොරොන්දු විය.


ඔවුන් පෙරළා කොළඹ ගියපසු යාපනය ජනතාව හමුවට ආවේ ජවිපෙ අපේක්ෂක රෝහණ විජේවීරය. ඔහුගේ රැස්වීම් චුන්නාකම් මල්ලාකම් හා තෙලිප්පලේට සීමාවිය. විජේවීරගේ රැස්වීම්වලට සහභාගි වූ බහුතරය විශ්වවිද්‍යාල සිසුසිසුවියෝය. ඊළඟට යාපනයට පැමිණියේ දෙමළ අපේක්ෂක කුමාර් පොන්නම්බලම්ය. ඊට සහභාගිවූ බහුතරය මැදිවියේ හා මහලු අය වීම විශේෂයකි.


“හමුදාව ආරක්ෂාව දෙනවා කියල කරන්නෙ. අපේ තොරතුරු රැස්කරලා ඔත්තු දෙන එක විතරයි.”


මෙම තොරතුරු අසාදැනගත් ජනපති අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධන ආරක්ෂක ලේකම් සී. ඒ. ධර්මපාල හරහා මේජර් තිස්ස ජයවර්ධන සම්බන්ධ කර ගත්තේය.


“සර් උතුරට දැන්ම නොගියොත් එකම දෙමළ ඡන්දයක්වත් ලැබෙන එකක් නෑ.”


මේ ඇසූ ජේ. ආර්. වහ වහා යාපන ගමනට සූදානම් විය. ඊට පෙර දොරේඅප්පා ක්‍රීඩාංගණය හා මර්මස්ථාන දැඩි පරික්ෂාවට ලක්වූ අතර බිම්බෝම්බ නිෂ්ක්‍රිය අංශ කැඳවන ලදී. ජනතාව දැඩි පරික්ෂාවට ලක්කෙරිණ. රහස් පණිවුඩ ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක විණ. නුවරඑළියේ ජනපති නිල නිවසේ සිට හත්දෙනකුගෙන් යුත් යුද බළ ඇණියකගේ ආරක්ෂාව ඇතුව නුවරට පිවිසියේය. ඉන්පසු හමුදා හෙළිකොප්ටරයෙන් යාපනයට ගියේය.
ගෞරවාචාරය මැද ජනාධිපති අපේක්ෂකයා පිළිගැනුණු අතර යාපනයේ සියයක පමණ ජනතාව ඇමතීය. යාපනය කොටුව තුළවූ නිල නිවස තුළ දැඩි හමුදා රැකවරණ මැද රැය ගත කළ ජේ. ආර්. කොළඹ ගියේය.
හෙක්ටර්ට හෝ විජේවීරට ලැබුණු මහජන ප්‍රසාදය අනුව ඔවුන්ට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තා අනුව පෙනීගිය නමුත් අවසන් ප්‍රතිඵලය වූයේ ජේ. ආර්. දිනා හෙක්ටර් පරාජය වීමය. ප්‍රභාගේ අණ ක්‍රියාත්මක වූ වඩමාරච්චි කලාපයේ ආසන රැසක් දිනා පොන්නම්බලම් හා සමතැන ගැනීමට හෙක්ටර්ට හැකිවිය.


1986දී ද යළි විජය ඇතුළු දේශපාලන සගයෝ යාපනයට පැමිණියහ. එවර ඔවුන් පැමිණියේ මැතිවරණ කටයුත්තකට නොවේ. මන්නාරමේ ආඩම්පන්හිදි එල්ටීටීඊට කොටුවී සිරබත් කන හමුදා භටපිරිස බේරාගැනීමටය. එල්ටීටීඊ එදා විජය පිළිගත්තේ ගෞරවයෙනි.


“ජාතිය, ආගම හෝ පක්ෂයට වඩා කෙනෙකුගේ ප්‍රතිපත්ති ගරුකකම ඉතා වැදගත් යැයි” විශ්‍රාමික ලුතිනන් කර්නල් සුසන්ත සෙනවිරත්න මාධ්‍යයට වරක් පවසා තිබිණ.


2020 ජනාධිපතිවරණයේදී ඡන්ද පදනමේ ප්‍රධාන සාධකය වනු ඇත්තේ උතුරේ ඡන්දයයි. උතුරේ ඡන්ද දිනාගැනීමට ඔවුන්ට පෙඩරල් හෝ ඊළාම් නොදී සිත් දිනාගත හැකි ක්‍රමයක් ගැන දකුණේ දේශපාලනඥයන්ට ක්‍රමවේදයක් ඇද්දැයි නොදනිමු. ඒ සඳහා සපුමල් කුමාරයකු බිහිවන දිනය කවදාදැයි සිතාගත නොහැකිය.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි