පක්ෂ හෝ පාර්ලිමේන්තුව ගන්නා සෑම තීරණයකටම අත් නොඋස්සා තමන්ගේ ආත්මාභිමානය ප්‍රදර්ශනය කළ දේශපාලනඥයන් ඇත්තේ අතළොස්සකි. ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන මහජන නියෝජිතයාගේ වගකීම් වටහාගෙන පාලනයට බලපෑම් කිරීමට සමත් වූ පන්නරයක් තිබූ ඇමැතිවරුන් අතරින් රිචඞ් පතිරණයන්ට හිමිවන්නේ මුල්පෙළේ අසුනකි.


විශේෂයෙන් එතුමා කාගේත් ප්‍රසාදයට ලක් වූයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ අමිල මෙහෙවර තුළිනි. එසේම ආගමික සංහිඳියාව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ගුරු ගෞරවය රැකගැනීම, පක්ෂයේ අනන්‍යතාව රැකගැනීම, පාසල්වල නිවැරදි පරිපාලනය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රැකගැනීම බලපෑම් හා වරප්‍රසාදවලට යටත් නොවීම, පරාජය ගැන නොසිතා අභීත පියවර ගැනීම හා කෙනෙකුගෙන් දැඩි විවේචන එල්ල වුවද නිසැක ජයග්‍රහණය යන අනන්‍යතා ලක්ෂණ රිචඞ් පතිරණයන්ගෙන් ප්‍රදර්ශනය විය.


1938 පෙබරවාරි 24 වැනිදා දකුණු පළාතේ උපත ලද රිචඞ් පතිරණ මාඉටිපෙ විජයරාජ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් උපාධිය ලබා 1958 දී ගුරු සේවයට එක්විය. 1971 දී මීපාවිට අමරසූරිය විද්‍යාලයෙන් විදුහල්පති සේවය ඇරඹූ ඔහු දේශපාලනයට පිවිසුණේ නාගොඩ රාජකීය විදුහල්පතිවරයා ලෙස සේවය කරද්දීය.


අසාධාරණය නොඉවසීමත් මන්දගාමී දේශපාලන පසුබිමක් දැන හඳුනාගෙන තෙම්පරාදු වූ මනසකින් හා නායකත්වයට අවශ්‍ය එඩිතරකමත් මුඛරිකමත් වියදම් සෙවීමේ ඥානයක් ඇති නිසා රිචඞ් පතිරණයන්ට 1980 දී ශ්‍රීලනිපයට ජීවය කැවීමේ පරමාර්ථයෙන් බලකාමී එජාප ආණ්ඩුවට එරෙහිව එම තීරණය ගන්නට සිදු විණ.


1983 මැයි 18 වැනිදා අක්මීමන අතුරු මැතිවරණය ඔහු ජයග්‍රහණය කළේ එජාප අපේක්ෂක සුමනදාස අබේවික්‍රමයන් වැඩි ඡන්ද 2778 කින් පරදවමිනි. එදා ගාලු දිස්ත්‍රික්කය ජයගත් අනිත් ශ්‍රීලනිප අපේක්ෂකයා වූයේ බද්දේගම මන්ත්‍රී අමරසිරි දොඩම්ගොඩය. බලකාමී එජාප රජයේ අභියෝගයට දකුණු පළාතෙන් සාර්ථකව මුහුණ දුන් මෙම දෙදෙනාගේ ප්‍රතිජීවය ලැබී පාර්ලිමේන්තුවේ විපක්ෂය අළුගසා අවදිවිය.


රිචඞ් පතිරණ අනාගතයේ දී තමන්ට කරදරකාරයකු විය හැකි යැයි සිතූ ප්‍රතිගාමීහු ඡන්ද පෙත්සමක් නිර්මාණය කර ඔහුට අසුන අහිමි කළහ. 1986 අප්‍රේල් 18 වැනිදා පැවැත් වූ අතුරු මැතිවරණයෙන් ද එජාපයේ ඇල්බට් සිල්වා වැඩි ඡන්ද 2605 කින් පරදවා අක්මීමන කිරුළ පැලැන්දේය.


1988 - 89 ජවිපෙ දෙවන කැරැලි සමයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම හා ජවිපෙ තහනම නිසා රටපුරා භීෂණ රැල්ලක් නිර්මාණය විය. ඒකාලේ රිචඞ්ලා පාර්ලිමේන්තුවේය. 1988 දී රටම ගිනි ගොඩක් වූ සමයේ දෙවන විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස යුගය ඇරඹිණ.


එතෙක් පැවති කොට්ඨාස මන්ත්‍රී ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් ක්‍රමය පදනම් කරගත් මනාප ඡන්ද ක්‍රමය ඇරඹිණ. ගමේ බලය ලබාසිටි ශ්‍රීලනිපයට මෙය අභියෝගයක්වනු ඇතැයි ආණ්ඩුව සිතන්නට ඇත. එහෙත් මනාප පොරයෙන්ද ගාලු දිස්ත්‍රික්කයට ජයගත හැකි බව ශ්‍රීලනිප කණ්ඩායම ඔප්පු කළේ 1989 පෙබරවාරි 15 වැනිදා පැවති මහ මැතිවරණය තුළින්.


ගාල්ලේ ශ්‍රීලනිප පස්මහා යෝධයෝ එම අභියෝගය දිනූහ. අමරසිරි දොඩම්ගොඩ, රිචඞ් පතිරණ, හේමකුමාර නානායක්කාර, නොයෙල් පද්මසිරි, පියසේන ගමගේ යන වීරයන් නිසා විපක්ෂය ශක්තිමත් වූ අතර එම ගෞරවය රිචඞ් පතිරණයන් වෙත පිරිනැමුණේ විපක්ෂයේ සංවිධායක ධූරය පවරමිනි.


ඔවුන්ගේ පළමු ප්‍රහාරය වූයේ 1991 අගෝස්තු 28 වැනිදා ඉදිරිපත්වූ ජනපති ආර්. ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයයි. විපක්ෂයේ සියලුදෙනාට අමතරව ආණ්ඩු පක්ෂයේ 47 දෙනකුගේ අත්සන් ලබාගැනීමට ප්‍රේමදාස විරෝධී විපක්ෂ බලවේගයට හැකිවිය. එහි ප්‍රතිඵලය වූයේ ඊට නායකත්වය දුන් එජාප බලවතුන් 08 දෙනකු පක්ෂයෙන් නෙරපා ජනපතිගේ බලය තහවුරු කර ගැනීමය.


1993 දී අමරසිරි දොඩන්ගොඩ දකුණු පළාත් සභාවට තරග වැදීමේ අභියෝගය භාරගත් විට ඔහුගේ දේශපාලන සගයා වූ රිචඞ් පතිරණ ඔහු මහ ඇමති අසුනට ගෙන ඒමට ඇප කැප විය.


1994 මහ මැතිවරණයේ දී ගාලු දිසාවෙන් මනාප 116,893 ක් ලැබූ රිචඞ් පතිරණයන්ට අගමැතිනි චන්ද්‍රිකා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති පදවිය පිරිනැමුවාය. රටම පෙරළිකාර හිතවතාට කළගුණ සැලකූ ඇය 1999 ජනපතිවරණය ජයගත් වහාම 2000 දී පැවැත් වූ මහ මැතිවරණයෙන් දිනූ රිචඞ් පතිරණයන්ට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූර සහ සභානායක පදවිය පිරිනැමුවාය.


රිචඞ් පතිරණයන් තම නිසඟ වාග් චාතුර්යය හා උපක්‍රමශීලී දේශපාලන රටාව භාවිත කළේ තනතුරු සහ වරප්‍රසාද සොයායාමේ යම් අරමුණකින් නොවන බව පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා පිළිගනිති. එනිසාම නායකත්වයේ විශ්වාසය ද දිනාගත් ඔහුට තනතුරු හා වගකීම් ගලාඑන්නට විය.


2001 සැප්තැම්බර් 14 වැනිදා කැබිනට් සංශෝධනයේ දී පළාත් පාලන හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධූරය පිරිනැමීම නිසා ගමේ නායකත්වය ඉබේටම පතිරණයන් වෙත පැවරිණ. 2001 මහ මැතිවරණයේදී ද අසුන ජයගත් රිචඞ් පතිරණ එජාප පාලනය යටතේ විපක්ෂයේ අසුන්ගත් අතර රෝගාතුර වීම නිසා දේශපාලනයෙන් සමුගත්තේය. 2008 ජූලි 03 වැනිදා එතුමාගේ අභාවය සිදුවිණ.


අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රිචඞ් පතිරණයන් කළ විශිෂ්ටතම සේවාවන් අතර ගුරු වැටුප එක්වරම දෙතුන් ගුණයකින් වැඩිකිරීම. ගුරු වෘත්තියේ කැපවීම දුක වේදනාව දේශපාලන පළිගැනීම් සොච්චම් වැටුප් වර්ධනය බොරු පොරොන්දු කෙනෙහිලිකම් ගැන හොඳින් දැනසිටි ගුරුවරයකු වූ ඔහුට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය සමග ඒ සඳහා අරගල කිරීමට සිදුවිය.


1995 දී ලබුදුවේ සිරිධම්ම විදුහල ළමුන් 90 කගෙන් අරඹා ඔහුගේ ශක්තිය මත ගාලු දිස්ත්‍රික්කයේ උසස් විදුහලක් වූ අතර අද ළමුන් 3500 ක් පමණ ඉගෙනුම ලබති. ගාලු දිස්ත්‍රික්කයේ නොසලකා හරින ලද පාසල් මංමාවත්, පාලම්, පණ ලැබුවේ ඔහුගේ මග පෙන්වීම මතය.


පාසල් හා ආයතනවල භෞතික සම්පත් මෙන්ම විනය ද ඉතා ඉහළ මට්ටමක තිබිය යුතු බව ඇමැති රිචඞ් පතිරණ නිතරම පැවසීය.


ඉහළ පන්ති අහෝසිවීමත් අලුත් පාසලට බඳවා ගැනීමත් නිසා ළමුන් අතරමංව සිටින බව දෙමාපියෝ අමාත්‍යවරයාට පැමිණිලි කළහ. අවනීතිය පිටු දකින රිචඞ් පතිරණ මෙහිදී තමාට කළ හැකිදේ ගැන සොයා බැලීය.
අවාසනාවකට මෙන් ක්‍රිස්තුරාජයේ විදුහල්පතිවරයා වූයේ කිසිවකුත් නොව තම එක කුස උපන් සහෝදරයාය.


“මල්ලියේ අර කොටගොඩ ඉස්කෝලෙ ළමයි. ටිකක් මහා විද්‍යාලෙට අරගන්නකො.” රිචඞ් තම සොයුරාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඇමැති සොහොයුරා මෙන් කෙළින් තීරණ නොගන්නා විදුහල්පති සොයුරා එම ඉල්ලීම ගණනකට නොගත්තේය.


“කොහොමද දැන් ළමයි ඉස්කෝලෙ යනවද?” ඇමැති රිචඞ් දෙමව්පියන්ගෙන් විමසීය.


“පිස්සුද ඇමැතිතුමා තාම අපේ ළමයි ගෙදර” ඇමැති රිචඞ්ට යකා නැංගේය. ඔහු කොළඹ සිටම දුරකථනයෙන් සොහොයුරා ඇමතුවේ නිල වශයෙනි.


“අයිසේ ඔය කතා කරන්නෙ බද්දේගම ඉස්කෝලෙ ප්‍රින්සිපල් ද? මේ කතාකරන්නෙ රටේ අධ්‍යාපන ඇමැති. මට නිදහසට කාරණා ඕනෑ නෑ. වහාම කොටගොඩ ඉස්කෝලෙ ළමයි තමුන්ගෙ විද්‍යාලෙට භාර අරන් මට දන්වන්න ඕනෑ.”


අධ්‍යාපන ඇමැතිගේ නියෝගයට සැලුණු විදුහල්පති සොහොයුරා වහාම නියෝගය ක්‍රියාත්මක කළ අතර ගාල්ලේ දරුවන්ගේ අධ්‍යාපන ගැටලුව ද එකවරම විසඳුණේය.


ආගමික සංහිඳියාව පිළිබඳව රිචඞ් පතිරණයන් දැක්වූ උනන්දුව සහ සහයෝගය නිසා කිසිම අවකැපෙන ආගමික ගැටුම් තත්ත්වයක් ඉන් පසු සිදු නොවුණි. විශේෂයෙන් මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපනය නැංවීමට විශාල සේවයක් සිදු කළේය.


අපට වෙසක් පෝයට දන්සල් දෙන්නත් පෙලඹ වූයේත් රිචඞ් පතිරණ මහත්තයා තමයි. ඕනෑම ගැටලුවකට නිර්මාණශීලී උත්තර හොයපු ප්‍රායෝගික මිනිසෙක්. සුළු ජාතීන් වෙනුවෙන් එයා කළ සේවය අමරණීයයි. ආචාර්ය රිචඞ් පතිරණයන්ගේ අභාවය වෙනුවෙන් පැවැත්වූ ශෝක යෝජනාවලියේදී ජ්‍යෙෂ්ඨ මුස්ලිම් ඇමතිවරුන් වූ ඒ. එච්. එම්. පවුසි, ඒ. එස්. එම්. අස්වර් සහ රාවුෆ් හකීම් පැවසූහ.


රිචඞ් පතිරණ තරම් පක්ෂය තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළ රණ්ඩුකර අයිතිය දිනාගත් වෙනත් චරිතයක් නොමැති තරම්ය. එනිසාම ගැටලුවක් මතුවූ විට මන්ත්‍රීවරුන් ඔහු සොයා ඒම පුරුද්දක් විය. දුක්ගන්නාරාළ භූමිකාව ඔහුටම සීමා විය. එසේම ජනතාව තුළත් මන්ත්‍රීවරුන් තුළත් ඔහු විශ්වාසය රැකගත්තේය. ඇතැමෙක් රිචඞ් පතිරණ හා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ යන දේශපාලන චරිත දෙක හැඳින්වූයේ නායකත්වයට කෙළින් නොකළ හැකි රැඩිකල් අදහස් ඇති දෙදෙනකු ලෙසිනි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයන් ලෙස මගපෙන්වමින් ඉලක්කයට මෙහෙයවීමේ බලය ඔවුන් සතුව තිබිණ.


මන්ත්‍රීවරුන්ගේ වූ පාද යාත්‍රා හා ජන ඝෝෂා සංවිධානය කරමින් ද ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට ද එතුමා කළ මගපෙන්වීම විශිෂ්ට ප්‍රභූ ආරක්ෂාව ගැන නොතැකූ සරල මිනිසකු වූ එහෙත් වගකීම් අමතක නොකළ රිචඞ් පතිරණ වැනි දේශපාලනඥයන්ගේ අගය හෙට වඩාත් දැනෙනු ඇත.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.