1974 අගෝස්තු 09 වැනිදා පත්කරන ලද නොයෙල් තිත්තවැල්ල සීමා නිර්ණ කොමිසම මගින් ලංකාව ඡන්ද කොට්ඨාස 160කට බෙදූ අතර බහු ආසන සමග මන්ත්‍රීන් 168ක් තෝරා ගැන්ම සඳහා මැතිවරණය 1977 ජුලි 21 වැනිදා පවත්වන බවට ප්‍රකාශයට පත්වී 1977 මැයි 18 වැනිදා ජාතික රාජ්‍ය සභාව විසුරුවා  හැර නාමයෝජනා  භාර ගැන්ම ජුනි 06 වැනිදාට දින නියම විය. මේ වනවිට පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස තහවුරු වී තිබුණේ පක්‍ෂ 07 පමණි. ජුනි 06 වැනිදා අපේක්‍ෂකයින් 756 දෙනෙක් නාමයෝජනා භාර දුන් අතර ඉන් 461 දෙනෙක් විවිධ දේශපාලන පක්‍ෂවලින්ද 295 ස්වාධීනවද  තරග කළහ.


1974 අගෝස්තු 09 වැනිදා පත්කරන ලද නොයෙල් තිත්තවැල්ල සීමා නිර්ණ කොමිසම මගින් ලංකාව ඡන්ද කොට්ඨාස 160කට බෙදූ අතර බහු ආසන සමග මන්ත්‍රීන් 168ක් තෝරා ගැන්ම සඳහා මැතිවරණය 1977 ජුලි 21 වැනිදා පවත්වන බවට ප්‍රකාශයට පත්වී 1977 මැයි 18 වැනිදා ජාතික රාජ්‍ය සභාව විසුරුවා  හැර නාමයෝජනා  භාර ගැන්ම ජුනි 06 වැනිදාට දින නියම විය. මේ වනවිට පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස තහවුරු වී තිබුණේ පක්‍ෂ 07 පමණි. ජුනි 06 වැනිදා අපේක්‍ෂකයින් 756 දෙනෙක් නාමයෝජනා භාර දුන් අතර ඉන් 461 දෙනෙක් විවිධ දේශපාලන පක්‍ෂවලින්ද 295 ස්වාධීනවද  තරග කළහ.


මෙතෙක් පැවැති සියලු මහ මැතිවරණ වලට වඩා ඉහළ ප්‍රතිශතයක් එනම් 87.7%ක් ඡන්දය පාවිච්චි කළ මෙම මැතිවරණයේදී දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයින් 135 කගේ හා ස්වාධීන අපේක්‍ෂකයින් 270කගේ ඇප රාජසන්තක වූ අතර ස්වාධීනව තරග කළ 295 දෙනාගෙන් ජය ගත්තේ එක් අපේක්‍ෂකයකු පමණි. 


මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්‍ෂය ආසන 140ක් ජයගත් අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආසන 18ක්ද එතෙක් බලයේ සිටි ශ්‍රි.ල.නි.ප ආසන 08ක්ද ජයගෙන තිබුණි. මේ අනුව එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් අයත් විය. විපක්‍ෂනායක ධුරය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ අමිර්තලිංගම් මහතාට හිමිවිය.


ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් 1977 ජුලි 23 වැනිදා නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දුන්නේය. ජේ. ආර්. ජයවර්ධන මහතා අගමැති  විය. 23 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක්  හා 26 දෙනෙක් නියෝජ්‍ය අමාත්‍ය වරුන් වශයෙන් දිවුරුම් දුන්නහ. මේ අතර 1972 මැයි 22 වැනිදා සම්මත කර ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට 1978 බලයට පත් එ.ජා.ප පක්‍ෂ ආණ්ඩුව සකස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආර්. ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව 1978 පෙබරවාරි 04 වැනි දින අග්‍රාමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ආර්. ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී වැඩ භාරගත්තේය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 අගෝස්තු 16 වැනිදා ජාතික රාජ්‍ය සභාවේ ඡන්ද 137 ක් ලබා තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත විය. කලින් දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ සුළු වෙනස්කම් කීපයක් පමණක් සිදුකරමින් ආර්. ප්‍රේමදාස මහතා පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට අමතරව අග්‍රාමාත්‍ය පදවියක් සභනායක පදවිය භාර ගත්තේය. විමලා කන්නංගර මැතිනියට ග්‍රාම සංවර්ධන අමා්‍යංශයත් ඩි. බී. විජේතුංග මහතාට බලශක්ති හා මහාමාර්ග අමාත්‍යංශයත්, ලලිත් ඇතුලත්මුදලි මහතාට වෙළෙඳ හා නාවුක අමාත්‍යංශයත් ෆෙස්ටස් පෙරේරා මහතාට ධීවර අමාත්‍යංශයත් එස්. තොණ්ඩමන් මහතාට ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයත්, රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ කටයුතු හා රැකී රක්‍ෂා අමාත්‍යංශයත්, ආනන්ද  තිස්සද අල්විස් මහතාට රාජ්‍ය අමාත්‍යංශයත්, හිමිකර දෙන ලදී.


ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් නොවන විෂයභාර ඇමතිවරුන් ලෙස තුන් දෙනෙක් පත් කිරීම සිදුවිය.


1. ටී. බී. වේරපිටිය මහතා - ආරක්‍ෂක
2. රංජිත් අතපත්තු මහතා - සෞඛ්‍ය
3. හැරල්ඞ් හේරත් මහතා - පොල් කර්මාන්ත


1980 පෙබරවාරි 14 වැනිදා තවත් කැබිනට් නොවන අමාත්‍යවරු 02 පත් කළේය.


1. ලයනල් ජයතිලක මයා - අධ්‍යාපන සේවා
2. ධර්මසේන ආටිගල මයා - දේශීය වෛද්‍ය 


1978 දී ආරම්භ වූ මේ කැබිනට් නොවන ඇමැතිවරුන් පත් කිරීම පසුව පාලන කාලවලදී විශාල වශයෙන් ව්‍යාප්ත විය.


මේ අතර ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේ නව පැතිකඩක් විවෘත කරමින්  දිසා අමාත්‍යවරු 24 දෙනෙක් දිස්ත්‍රික්ක 24 සඳහා පත් කිරීමද 1978 ඔක්තෝබර් 05 වැනිදා සිදුවූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවය.


1. බදුල්ල - ආර්. ඇම්. අප්පුහාමි මහතා
2. රත්නපුර - එල්. එම්. එල්. අබුසාලි මහතා
3. මොනරාගල - ආර්. ඇම්. අබේකෝන්  මහතා
4. අනුරාධපුර - එච්. බී. අබේරත්න මහතා
5. මාතර - කීර්ති අබේවික්‍රම මහතා
6. මාතලේ - කේ. ඩබ්ලිව්. ආර්. එස්. ඒකනායක මහතා
7. මඩකළපුව - එම්. කනගරත්නම් මහතා
8. ගාල්ල - රූපා කරුණාතිලක මහතා
9. ගම්පහ - ටියුඩර් ගුණසේකර මහතා
10. අම්පාර - පී. දයාරත්න මහතා
11. පොලොන්නරුව - මෙරිල්  ද සිල්වා මහතා
12. මහනුවර - ඩබ්ලිව්. ඇම්. පී. බී. දිසානායක මහතා
13. ත්‍රිකුණාමලය - එච්. ජී. පී. නෙල්සන් මහතා
14. කුරුණෑගල - ජයවික්‍රම පෙරේරා මහතා
15. කොළඹ - වීරසිංහ මල්ලිමාරච්චි මහතා
16. මන්නාරම - එම්. ඊ. එච්. මහරුප් මහතා
17. වව්නියාව - ජි. ඩී. මහින්ද සෝම මහතා
18. පුත්තලම - එච්. බී. වන්නිනායක මහතා
19. හම්බන්තොට - පී. එම්. බී. සිරිල් මහතා
20. කෑගල්ල - එන්. වී. සෙනවිරත්න මහතා 
21. කළුතර - ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා 
22. නුවරඑළිය - රේණුකා හේරත් මිය
23. යාපනය - යු. බී. විජේකෝන් මහතා
24. මුලතිව් - ඒ. ආර්. මන්සුර් මහතා

 


සංවර්ධනයට නව ප්‍රවේශයන් ඇතුළත් කරමින් දිස්ත්‍රික්  සංවර්ධන ව්‍යාපෘති දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් වේගවත් කිරීමේ අරමුණෙන් මෙය සිදුකළත් පසුකාලීන බලයට පත් ආණ්ඩු මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබීය.

 


බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි