“පාසල් වියේ සිට මට මිතුරන් තිදෙනෙක් සිටියා. එයින් පළමුවැන්නා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යි. දෙවැන්නා නැසීගිය ඩඞ්ලි සේනානායකයි. තෙවැන්නා වූයේ නැසීගිය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරායි.”


මේ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී සුළු මොහොතකට පසු ගුවන් විදුලිය මගින් ප්‍රචාරයවූ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රකාශයකි. 


“ඇන්. ඇම්. සහ කොල්වින් නැති පාර්ලිමේන්තුවකින් වැඩක් නැහැ. දැන් ඉතින් ප්‍රශ්නයක් ගැන තර්කානුකූලව විවාද කරන්න, විග්‍රහ කරන්න ඉන්නේ කවුද? ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඉන්නේ කවුද?”


මේ ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 ජූලි 21 වැනිදින පැවති මහා මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලබා අග්‍රාමාත්‍ය පදවියේ දිව්රුම් දී පැවැති ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී කළ ප්‍රකාශයකි. “දවස” පුවත්පතේ එය මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. 


ඇන්. ඇම්., කොල්වින්, ඩඞ්ලි සහ ජේ. ආර්. දේශපාලන මතවාද අතරින් ප්‍රතිවිරුද්ධ මත දැරුවත් ඉතා සමීප දිගුකාලීන මිතුරෝ වූහ. එම මිතුරුදම පාසල් සමය දක්වා දිව යන්නකි. 
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ නීතිඥ ජීවිතයට වසර පනහක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් කොළඹ “ඉන්ටර් කොන්ටිනෙන්ටල්” හෝටලයේදී 1982 වසර මැද භාගයේදී උපහාර උත්සවයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි. 


මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇරියුම් කොට තිබුණේ එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාටය. 


එම රාත්‍රී භෝජන සංග්‍රහයේදී තම පළමු මිතුරා වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාට ශුභ පතමින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය. 
“ශ්‍රී ලංකා නීති වෘත්තියේ සාමාජිකයෙකු වශයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ සේවා කාලයට වසර පනහක් පිරීම සැමරීම සඳහා පැවැත්වෙන මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වීම සඳහා ආරාධනය ලත් විට මම සතුටට පත්වීමි.”


“1920 ගණන්වල මුල හරියේදී කොල්වින් සහ මා රාජකීය විද්‍යාලයේ එකට ඉගෙන ගත් බැවින් මෙහි සිටින අන් හැමටම පෙර මා ඔහු හඳුනාගෙන සිටි බව මම සිතමි. ඔහු අදත් මා අමතන්නේ පාසල් අවදියේදී ඇමතූ පරිදිම “ඩිකී” යනුවෙනි. ඩඞ්ලි සේනානායක මහතා සහ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා මිය යාමෙන් පසුව ඒ නමින් මා අමතනු ලබන්නේ දේශපාලනඥයින් දෙදෙනකු විසින් පමණකි. ඒ දෙදෙනාම මාක්ස්වාදීන්ය. ඔවුන් නම් කොල්වින් සහ පීටර් කෙනමන්ය.”


“පාසලේදී අපි එක්වී පාපන්දු සහ බොක්සිං ක්‍රීඩාවන්හි යෙදුණෙමු. බොක්සිං ක්‍රීඩාවෙන් දිනූයේ කවුරුන්දැයි මට මතක නැත. එහෙත් පාපන්දු ක්‍රීඩාවේදී නම් කොල්වින් මගේ නිකටට පා පහරක් දුන් බවත්, හක්කට එල්ලවූ තවත් පා පහරක් යන්තම් මඟ හැරුණු බවත් මට මතකය.”


“ඔහු බි්‍රතාන්‍යය බලා පිටත්ව ගිය පසු වසර කීපයකට අප හමු නොවූ නමුත්, මා සමග විශ්වවිද්‍යාලයේ වූ ඔහුගේ මිත්‍ර ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඒ අතරතුර මට හමුවිය.”
“කොල්වින් ආපසු මෙරටට පැමිණි පසුව නැවතත් ඔහු මට නිතර හමුවිය. විවිධ විෂයන් ගැන සාකච්ඡා කිරීමට අපි පුරුදුව සිටියෙමු. ඔහු බුද්ධාගමට හැරවීමට මා නිතර උත්සාහ කළ අතර, ඔහු උත්සාහ කළේ ඔහුගේ මාක්ස්වාදී පිළිගැනීම් නිවැරදි බව මට ඒත්තු ගැන්වීමටය. ඔහුගේ අදහස් මට ඒත්තු ගැන්වීමට හෝ මගේ අදහස් ඔහුට ඒත්තු ගැන්වීමට හෝ හැකිවූවා නම් මෙරට දේශපාලන ඉතිහාසය අද පවතිනවාට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.” 


“නගර ශාලාවේ පැවැති කොල්වින්ගේ විවාහ මංගල්‍යයට සහභාගිවීමේ වරප්‍රසාදය මටත් ලැබුණා. ඒ වනවිට විප්ලවවාදී තරුණ නායකයෙකු වශයෙනුත්, තරුණ නීතිඥවරයෙකු වශයෙනුත් ඔහුට ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. මේ විප්ලවවාදියාගේ බිරිඳ ඉතාමත් සුවිනීත, ශාන්ත කාන්තාවක්. එතුමිය දැනට ජීවතුන් අතර නැතත්, මට එදා කොල්වින්ගේ අත ගෙන සිටි මනාලිය මතකයට නංවා ගන්නට පුළුවන්.”


“බ්රේස්ගර්ඩල් නඩුව සහ මුල් ඔය නඩුව වැනි ඇතැම් වැදගත් නඩුවලට කොල්වින් සහ මම නීතිඥයන් වශයෙන් එකට පෙනී සිට ඇත.”


“කොල්වින්, ඇන්. ඇම්. සහ අනෙකුත් අය ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන විට මට නීති වෘත්තියේ වැඩ බහුලව තිබූ හෙයින්, ඔවුන්ගේ කටයුතු ගැන උනන්දුවක් දැක්වීමට තරම් අවකාශයක් නොලැබිණි. එහෙත් මා ඔවුන්ගේ රැස්වීම්වලට ගොස් ඔවුන්ගේ දේශනවලට කන්දුන් අවස්ථා බොහෝ විය.”


“1938 දී මා ලංකා ජාතික සංගමයට බැඳීමෙන් පසුව අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයන් හිදී අපි එකමුතුව කටයුතු කළෙමු.

 


මතු සම්බන්ධයි.

 

ඊ. එල්. ජයන්ත ද සොයිසා
ඡායාරූප : අන්තර්ජාලයෙනි